ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද නොවේ හෙට….

Awantha Cartoon-of-the-Day-24_03_2015-150-90ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සඳහා තෝරා පත් කරන සිවිල් නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න දැරූ උත්සාහය ජුනි 3 වැනිදාත් ව්‍යර්ථ වුණා. දැන් එය ජුනි 9 වැනිදා සිදු කෙරෙන බව කියනවා. නමුත් දැන් තිබෙන තත්වයේ හැටියට ඒක එහෙම කෙරෙයිද කියන එක සැක සහිතයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ස්වාධීන කොමිෂන් සභා ගැන දැනගන්න වෙනවා. රාජ්‍ය සේවය, පොලිසිය, අධිකරණය වැනි සේවාවන්ගේ වැඩකටයුතු, බඳවා ගැනීම්, මාරුවීම්, උසස්වීම්, දඬුවම්දීම් ගැන තීරණ ගන්නා දේශපාලන තන්ත‍්‍රය මැදිහත් වෙනවා වෙනුවට ඒක ස්වාධීන කොමිෂන් සභා හරහා සිදු කළ යුතුයි කියලා මතයක් ආවා. 2001දී සම්මත වූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම කොමිෂන් සභා ස්ථාපිත කළා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ ඒ කොමිෂන් සභාවලට නියෝජිතයන් පත්කරන ආයතනය. පසුව 2010දී ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ කොමිෂන් සභා දියාරු වුණා. නමුත් 2015 දී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් කොමිෂන් සභා 9ක් නැවත ස්ථාපිත කෙරෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අවශ්‍ය වෙන්නේ ඒවාට නියෝජිතයන් පත් කරන්න.

const2කොමිෂන් සභාවලට නියෝජිතයන් පත් කරන බලය සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. දැනට තිබෙන නීතියට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සිටින සාමාජික සංඛ්‍යාව දස දෙනෙක්. ඒ දස දෙනාගෙන් සත් දෙනකුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. මේ සභාවේ සාමාජිකත්වය අගමැතිවරයාට, විපක්ෂනායකවරයාට හා කථානායකවරයාට නිල වශයෙන් ලැබෙනවා. මීට අමතරව ජනාධිපතිවරයාට තමන්ගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු පත් කළ හැකියි. සුළු පක්ෂ නියෝජනය කරමින් තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු පත් වෙනවා. ඉතිරි පස් දෙනා පත් කරන්නේ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන්. එයින් දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු. ඉතිරි තිදෙනා සිවිල් පුද්ගලයන්. මෙවර විවාදය මතු වුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරන මන්තී‍්‍රවරු අතර කැබිනට් ඇමැතිවරු සිටීමත් පත් කරන සිවිල් පුද්ගලයන් තිදෙනාගේ දේශපාලන පක්ෂපාතීත්වයත් සම්බන්ධයෙන් විශේෂයෙන් සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මෙයට නම් කිරීම විශාල ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සිටින දස දෙනාගෙන් හත් දෙනකුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු නිසා මේ කොමිෂන් සභාවල ස්වාධීනත්වය ගැන බරපතළ සැක පහළ වෙනවා. අන්තිමට කොමිෂන් සභා පත් කරන්නෙත් දේශපාලන අධිකාරියෙන්මයි. එය ස්වාධීන කොමිෂන් සභා ගැන ඉදිරිපත් කළ සංකල්පයට වඩා බෙහෙවින් වෙනස්. අනෙක් එක මෙවර එය විශේෂයක්. මේ ආණ්ඩුවේ අගමැතිවරයා පත් කළෙත් විපක්ෂ නායක පත් කළෙත් ජනාධිපතිවරයාමයි. ඒ අනුව ඔවුන් දෙදෙනායි, ජනාධිපති පත් කරන නියෝජිතයායි, ඔවුන් දෙදෙනා එකඟත්වයෙන් පත් කරන පස් දෙනායි යන අට දෙනාම පත් වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීගේ අභිමතයට අනුව. ඒ අතර ජනාධිපතිවරයා තමන්ගේ නියෝජිතයා විදියට කැබිනට් ඇමැතිවරයකු වන චම්පික පත් කිරීම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කැබිනට් මණ්ඩලයටත් ගැට ගැහෙනවා. සිවිල් නියෝජිතයන් ලෙස පත් කිරීමට යෝජනා කර ඇති ඒ.ටී. ආරියරත්න, රාධිකා කුමාරස්වාමි හා ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් යන තිදෙනා එයට පත් කිරීමට දේශපාලන හිතවත්කම් බලපා තිබෙන බවට චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් ඒ.ටී. ආරියරත්න දේශපාලන තේරීමක් බව ප‍්‍රසිද්ධ රහසක්. මේ හැම දෙයක්ම සලකා බලන විට අපට පෙනී යන්නේ 19 වැනි ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සිදු කෙරෙන කාලයේ දුන්න බලාපොරොත්තු හා දැන් ඇත්තටම පේන දේ අතර ලොකු පරතරයක් තිබෙන බව.

const1මහජන සේවා ආයතන ජනතා හිතවාදී ආයතන බවට පත්කර ගන්න එක්කෝ යෝජනා වෙන්නේ ඒවා නිලධාරී තන්ත‍්‍රවල පාලනයට යටත් කිරීම නැතිනම් දේශපාලන තන්ත‍්‍රයට ඒවා මෙහෙයවන්න ඉඩකඩ ලබාදීම. මේ දෙකේම අවසන් ප‍්‍රතිඵලය ජනතාව පීඩාවට පත් වීම. මිශ‍්‍ර ක‍්‍රමයක් ලෙස දැන් යෝජනා වී තිබෙන එකේ ප‍්‍රතිඵලයත් ඒකමයි. පරිපාලන සේවා ආයතන ජනතා හිතවාදී ආයතන බවට පත් කිරීමට වමේ ව්‍යාපාර යෝජනා කරන්නේ ස්වේච්ඡුා ජනතා කමිටුවල මෙහෙයවීමට ඒවා සමත් කිරීම. කොහොම වුණත් මේ හැම යෝජනාවකම තිබෙන හැම පැත්තක් ගැනම වෙනම ලිපියක් ලිවිය යුතු වෙනවා. දැනට කියන්න වෙන්නේ ව්‍යවස්ථා සභාව බාලගිරි

දෝෂය වගේ ‘අද නොවේ හෙට’ කියමින් ඇදි ඇදී යනවා. ඒක පත් නොකිරීම වගේම පත් කිරීමත් ප‍්‍රශ්නකාරීයි. ඒක පත් කළාට ජනතාව ස්වාධීන කොමිෂන් සභාවලින් අපේක්ෂා කළ දේ ඉටු වෙන්නෙ නෑ.

දිනිත් හෙට්ටිආරච්චි