සන්නස්ගල කියැවීම

sannaඅලූත් හඬක් එක් කළ සන්නස්ගල’ මේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ නව සංවිධායකයා ලෙස පත් වූ සන්නස්ගලගේ තවත් ප‍්‍රචාරක පෝස්ටරයක තේමාවයි. අප සන්නස්ගල ගැන කියන්නට යන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන ක‍්‍රියාවලිය ගැන යමක් කීමට ඇති නිසාය.

77දී ලාංකේය ධනවාදයට ඒ වන විටත් ලොව බොහෝ රටවලට කඩා වදිමින් තිබූ නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය එක්කාසු විය. ඒ නිකම්ම නොව, හයෙන් පහක බලයක් සමඟ ජේ.ආර්. බලයට පත්වීමෙනි. ජේ.ආර්. ගෙන ආ ධනවාදී පාලනය තුළ නවලිබරල් පාලනය වැඞී ආයේ ආකාර කිහිපයකිනි. එහි එක් ආකාරයක් වූයේ නවලිබරල් ආර්ථික ක‍්‍රියාවලිය හරහා ලාබ රේට්ටුව වෙනුවෙන් ඕනෑම දෙයක් මිල කිරීමයි. ඕනෑම දෙයක් මිල කරන ආර්ථිකය හරහා දේශපාලනයද පාදඩකරණය වීම ඇරඹිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙසය, ගෝනවල සුනිල්ලාගේ සිට එජාපයේ කෘත්‍යාධිකාරී සභාවට එවකට පාතාල මැරයෙක් වූ සොත්ති උපාලිලා දක්වා අයවලූන් පැමිණියේ. මෙසේ ආරම්භ වූ පාදඩ දේශපාලන සංස්කෘතිය ලාංකේය භූමිය පුරා වසා පැතිර ගියේ මහින්ද රාජපක්ෂ පාලනය තුළය. ඒ භීෂණය, හිංසනය, මර්දනයද සමඟ දේශපාලනයේ එක් පැතිකඩක් නිරූපණය කෙරිණි. රාජපක්ෂ පාලනයට එරෙහි විරෝධතා පළවූයේද මෙකී සංස්කෘතියද විවේචනයට ගෙන එමිනි.

බැලූ බැල්මට ඒවා ජේ.ආර්.ගේ හෝ මහින්දගේ දේවල් හැටියට පෙණුනද එය පුද්ගලයන්ටම සීමා කිරීම වරදකි. ලාංකේය නවලිබරල් ධනවාදය වැඞී ආයේ පැවැති පසුගාමීත්වයද එහි අගතීන්ද එක්කර ගනිමිනි. එනිසා පාදඩ දේශපාලන සංස්කෘතියද ඒ හා බැඳි වංචා දූෂණද ධනවාදයේම ප‍්‍රකාශනයක් මිස අන් දෙයක් නොවේ.

කෙසේ වෙතත් මෙවර එජාපය නැඟී ආයේ ආකාර දෙකකිනි. එකක් වනුයේ, මහින්ද රාජපක්ෂලාගේ පවුල් පාලනයට, එහිම පැවැතියා වූ පාදඩ දේශපාලන සංස්කෘතියට, මර්දනයට එරෙහිව වෙනසක් පිළිබඳව වූ ජනතා අපේක්ෂාවට තමන් විකල්පයක් බව කියාපෑමෙනි. මෙකී ජනතා අපේක්ෂාව කොල්ලකෑමට ඔවුන් ගෙන ආ අපූරු සටන් පාඨය වූයේ යහපාලනයයි. ඔවුන් වහා වංචා දූෂණ, දූෂිතයන්ට දඬුවම් කිරීම, කුඩු එතනෝල්කාරයන් පන්නා දැමීම වැනි සාකච්ඡුා ඉදිරියට දැමීය. ඒ සඳහා ඔවුන්ගේ තවත් සහායක බලඇණියක් වූයේ ජවිපෙයි. ජවිපෙ සිය මූලික වගකීම කොට ගත්තේ පවත්නා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝ්ධී පාලනය පලවා හැරීමයි. ඒ වෙනුවට වංචා දූෂණ නැති, නීතිගරුක සමාජයක් පිහිටුවීමයි. එහිදී ඔවුන්ට එජාපයේ යහපාලන සටන් පාඨයට එකඟ විය හැකි වූ අතර එජාපයටද අත්‍යවශ්‍ය මොහොතක ජවිපෙ සහෝදරාත්මක සහායද පළ විය. මෙසේ පවත්නා පාලනයට එරෙහිව පෙළ ගැසුණු ජනතා විරෝධය එජාප බලයක් වෙනුවෙන් ඒකරාශී කෙරිණි.

එජාපයේ නව ක‍්‍රියාකාරීත්වය පෙළ ගැසෙන අනෙක් ආකාරය සමාජ පසුගාමීත්වයේ පැන නඟින අගතීන් සියුම් ලෙස අත්පත් කර ගැනීමයි. මහින්ද එය අමුවට සිදු කළ අතර රනිල්ලා සියුම් ලෙස එය ක‍්‍රියාවට නඟයි. ජේ.ආර්. එදා කරළියට ආවේ ඇට අටක් සමඟ ධර්මිෂ්ඨ සමාජයක් යන සටන් පාඨයද යන සටන් පාඨයද සමඟිනි. එසේ ජේ.ආර්. ලාංකික ජාතිකවාදී, ආගමික හැඟීම් සියතට ගත්තා සේ අද රනිල්ලා ද එකී ආවේග නොදැනෙනා සේ මිල දී ගනිමින් සිටී. රණවිරු උත්සව, ආගමික උත්සව පමණක් නොව, රාජ්‍ය මාධ්‍යයද මේ සඳහා ඔවුහු යොදා ගනිති.

එහෙත් තවම එජාපය කඩඉම හරියට පැන ගත්තේ නැත. එවිට එජාපය මුහුණ දෙන තවත් අභියෝගයක් වනුයේ ඒ සඳහා ඉදිරියට දැමිය හැකි පුද්ගලයන් මතු කර ගැනීමයි. මහ මැතිවරණයක් වහා කැඳවීමට බලකිරීම වැනි ක‍්‍රියාමාර්ගවලදී එජාපය සමඟ ජවිපෙත් නව සමසමාජයේ වික‍්‍රමබාහුත් තවත් අයත් එක පෙළට සිටියද ඡුන්දයේදී එළියට දැමීමට තරම් මුහුණු එජාපයට නැත. එජාපයට අද අවශ්‍ය නිකම්ම මුහුණු නොවේ. සිය පෙනුම වඩාත් වසං කරන රැුවටිලිකාරි මුහුණුය. එජාපය අද බහුවිධ පෙනුමක් ඉල්ලා සිටී. එය සැපිරීමට සිරිකොතට රිංගාගත් ඊනියා වම්මුද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුද ඒ සඳහා නැතිවම බැරිය.

සන්නස්ගල වැන්නන් සාකච්ඡුාවට එන්නේ මෙවැනි තත්වයක් තුළදීය. එජාපය හදිසියේ නන්දන ගුණතිලක පානදුර ආසන සංවිධායක තනතුරටත් රත්මලාන ආසනයට සන්නස්ගලත් කැඳවන්නේ මේ පදනමිනි. වරෙක එජාපයට එරෙහිව තිබූ බෙදුම්වාදීන්ට රට පාවා දුන්, 17 වසරක මිනීමරු පාලනය වැනි කතා අද පසෙකට තල්ලූ වී ඇත. අද එජාපය බොහෝ දෙනකු එක්ව තිරිහන් කිරීම අරඹා ඇත. එහි තීරණාත්මක වැඩ කොටස සිදු කළේ ජවිපෙයයි. මේ අවස්ථාව වන විට වික‍්‍රමබාහුද එක්ව ඇත. සන්නස්ගලද එවැන්නෙකි. ඔහු එජාපයට පමණක් නොව රනිල්ටද දුෂ්කරම පැයේදී ආධාරයට ආ අයෙකි. ඔහු රනිල්ට අවාසිදායකම මොහොතක සිය සුප‍්‍රකටම රොටරියට රනිල් කැඳවා තරුණ සිසුන් ඇමතීමට අවස්ථාවක් ලබාදුන්නේය. මෙසේ කියන විට කෙනකුට රනිල් කෘතවේදී පුද්ගලයකු යැයි සිතෙන්නට හැකිය. නැත. දේශපාලන භාෂාවෙන් කියනවා නම් එහි ඇත්තේ පන්ති උවමනාවකි. වත්මන් ධනේශ්වරය තිරිහන් කිරීම අද අත්‍යවශ්‍යව ඇත. ඒ සඳහා එජාපයට හොඳම පාර වංචා දූෂණ නැති, යහපාලන ආණ්ඩු ක‍්‍රියාවලියක් තමන් ගෙන එන බව පෙන්වාදීමය. ඊට අහවලූන්, අහවලූන්ද එක්ව සිටී යන්න ඊළඟට දිය යුතු සංඥාවයි. අද එය කල්තියාම සන්නස්ගලලා රැගෙන එමින් තිබේ.

සමන්ත වර්ණසූරිය