ලාංකේය වේදිකාවේ අසහාය ගැහැනිය-සෝමලතා සුබසිංහ

”විභාගෙ විභාගේ

කොහෙ බැලූවත් විභාගේ

විභාගේ තමයි අපේ අභාගේ”

යා න්ත‍්‍රික අධ්‍යාපනය වෙනුවට දරුවන්ට නිදහසේ නිර්මාණශීලීත්වය පුබුදුවමින් ඉගෙන ගන්නට අවස්ථා උදා කළ යුතු බව ප‍්‍රකට කරමින් ඒ ගායනය ඇසුණේ ‘විකෘති’ වේදිකා නාට්‍යයෙනි. මෙසේ පළමු වරට සම්මත අධ්‍යාපන රටාව ප‍්‍රශ්න කළේ 80 දශකයේ මුල් භාගයේ නිර්මාණය වූ වේදිකා නාට්‍යයකිනි. කිසිවකු මැසිවිලි නොකියා ඔහේ පවත්වාගෙන ගිය සාම්ප‍්‍රදායික ගතානුගතික අධ්‍යාපනය එසේ ප‍්‍රශ්න කරන්නට තරම් ධෛර්යක් සහිත වූ ඇය සෝමලතා සුබසිංහ, ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ අසහාය කාන්තාව ලෙස විවාදයකින් තොරව පිළිගන්නට සිදු වේ. අප එසේ කියන්නේ ඇයි?

ගම්පහ සාමාන්‍ය ගුරු පවුලක උපන් ඇය අධ්‍යාපනය ලද්දේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. 1961 දී පේරාදෙණිය සරසවියට ඇතුළු වූ ඇය එහි මූලික උපාධිය ලබන්නට පෙර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන්, එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් ඇය වේදිකාවේ පළමු පිය සටහන් තැබුවාය. ගුණසේන ගලප්පතිගේ ‘මූදුපුත්තු’, දිරිය මව සහ ඇගේ දරුවෝ හි රඟපෑ ඇය විශ්වවිiාලයෙන් පිට වී ඇය ගුරුවරියක ලෙස සේවය ආරම්භ කළාය. ‘මූදු පතුල යට ඉඳලා’ ගීතය ගායනා කරමින් ‘මූදු පුත්තු’ නාට්‍යයේ රඟපෑම නිසා ඇය පේ‍්‍රක්ෂක අවධානයට ලක් වූවාය. එසේ ඇය ලංකාවේ නාට්‍ය වේදිකාව මතට මුලින්ම ගොඩ වූ කාන්තාවන් කිහිප දෙනා අතර විශේෂත්වයකට පත් වූවාය.

ඒ හා සමාන්තරව ඇය සෞන්දර්ය ගුරුවරියකගේ සිට පාසල් සඳහා සෞන්දර්ය කලා විෂයමාලාව සංවර්ධනය කිරීම දක්වා සෞන්දර්ය අධ්‍යාපනය වෙනුවෙන් විවිධ කැපකිරීම් කළාය. ළමා හා යොවුන් නාට්‍ය කෙරෙහි අවධානය යොමු කළ සෝමලතා සුබසිංහ 1979 වසරේදී ‘පුංචි අපිට දැන් තේරෙයි’ සහ ‘තොප්පි වෙළෙන්දා’ ළමා නාට්‍ය නිෂ්පාදනය කළාය.

‘විකෘති’ නාට්‍ය නිෂ්පාදනය කරමින් රංග කලාවේ තවත් දිගු ගමනකට සූදානම්ව සිටි ඇය 1983දී පේරාදෙණිය සරසවියෙන්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලබා ගත්තාය. විකෘති නාට්‍ය කොතරම් සාර්ථක වීද යත් එය අවුරුදු 34ක් තිස්සේ තවමත් ලංකාවේ වේදිකාගත කෙරේ.Somalatha-Subasinghe

ලංකාවේ ළමා හා යොවුන් රංග ශිල්පීන් වෙනුවෙන් ඇය ආරම්භ කළ ‘ළමා හා යොවුන් රංග පීඨය’ ඇයගේ ශ‍්‍රම දායකත්වයෙන් නාට්‍ය හා රංග කලාකරුවන් බිහිකිරීමේ තිඹිරිගෙයක් බවට පත්ව තිබේ. එය වැදගත් වන්නේ හුදු නාට්‍ය නිෂ්පාදනය කරන, නළු නිළිියන් බිහි කරන ආයතනයක් නොවන නිසාය. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විසිරී සිටින නාට්‍ය ශිල්පීන් හා රංග ශිල්පීන් අතර පිරිපුන් මිනිසුන් නිර්මාණය කරන ආයතනයක් ඇය එයින් බිහි කළාය. එපමණක් නොව පොහොසත් කලා රසිකත්වයකින් යුතු නාට්‍ය පේ‍්‍රක්ෂාගාරයක් බිහි කරන්නට ඇය එයින් අඩිතාලම දැමුවාය. අද වන විට ‘ප්ලේ හවුස්’ නමින් කෝට්ටේ ප‍්‍රදේශයේ සිට ක‍්‍රියාත්මක වන එම රංග කලා පුහුණු පාසල මඟින් නිෂ්පාදනය කර ඇති ළමා සහ යොවුන් නාට්‍ය ප‍්‍රමාණය 17කි. එයින් බොහොමයක පිටපත රචනා කෙරුණේත් නිෂ්පාදනය කළේත් සෝමලතා සුබසිංහ විසින්මය.

punchi apataමේ අසහාය නාට්‍ය හා රංගකලා ආචාර්යවරිය විසින් නිමැවුණු නිර්මාණ පෙළ ‘පුංචි අපට දැන් තේරෙයි, ‘තොප්පි වෙළෙන්දා, ‘විකෘති, ‘මූදු පුත්තු, සඳ කිඳුරු, පවර නුවරක්, රත්මලී, ගමරාල දිවිය ලෝකෙට, යදම්, ඇන්ටිගනී, හිම කුමරිය, මවකගේ සංග‍්‍රාමය, ආදි වශයෙනි. එසේම ඒ, ඇය විසින් පිටපත් රචනා කර නිෂ්පාදනය කළ විශිෂ්ට නිර්මාණයන්ය. ආචාර්ය චන්දන අලූ‍ත්ගේ විසින් නිෂ්පාදනය කෙරුණු ‘වලස් පවුල’ නම් සම්මානනීය ළමා නාටකය ඇගේ රචනයක් විය. සෝමලතා විසින් නිෂ්පාදනය කෙරුණු ඉංගිරිසි වේදිකා නාට්‍ය අතර  The Hut, Opera Wonyosi, The Trial of Dedan Kimathi වැනි නිර්මාණයන් විය. නෙදර්ලන්තය, ප‍්‍රංශය, ඕස්ටේ‍්‍රලියාව, කොරියාව, ඉන්දියාව, බංගලාදේශය ආදී රටවල වේදිකාවන්හි පවා සෝමලතා සුබසිංහගේ නිර්මාණ වේදිකාගත කර තිබේ.

සිනමා නිර්මාණ කාරියටද ඇය දායක වූ අතර එහිදී රංගනයෙන් සම්මානද ලැබුවාය. ඇය නිළියක ලෙස දායක වූ සිනමා නිර්මාණ අතර ‘මහගෙදර, දාහකින් එකෙක්, මඩොල් දූව, සිරිබෝ අයියා, වසන්තයේ දවසක්, ගුරු ගෙදර, අරුණට පෙර, විරාගය, මේ මගේ සඳයි ආදී චිත‍්‍රපට විය.

පසුගිය 31 වැනිදා සිය අවසන් ගමන් යන විට ඇය අවුරුදු 79ක් ආයු වලඳා ලාංකේය කලා ක්ෂේත‍්‍රයටත් විශේෂයෙන් ළමා නාටය කලාවටත් ඉමහත් සේවාවක් ඉටු කොට තිබිණි. අන් කිසිවක් නැතත් කුඩා දරුවන් අධ්‍යාපන යන්ත‍්‍රයට සිරකර තැබීම විකෘති වැනි නිර්මාණයකින් නිර්දය ලෙස ප‍්‍රශ්න කිරීම පවා ඇගේ අද්විතීය කලාත්මක භාවිතය සනිටුහන් කරවන්නකි. කලාශූරී, කලාකීර්ති වැනි සම්මාන රජයෙන් හිමි කරගෙන සිටි ඇයට ජීවිතය අවසන් කාලයේ ආචාර්ය උපාධියක් පිරිනැමුනණු බවද ඇත්තකි. එහෙත් ඒ සියල්ල පරයා ඇය විසින් ලාංකේය නාට්‍ය වේදිකාව මත ගොඩ නැඟූ අසහාය කාන්තා පෞරුෂය කිසිදා නොමියෙනු ඇත.

අජන්තා එම්. ජයසේකර