ඡන්ද ක‍්‍රමය සහ ජනතාව

ජුනි 8 වැනිදා සවස රැස්වූ කැබිනට් මණ්ඩලය 20 වැනි සංශෝධනය සඳහා නව යෝජනාවක් සම්මත කර තිබෙනවා. ඒ පසුගිය සතියේ අනුමැතිය දුන් යෝජනාවට වඩා වෙනස් යෝජනාවකට. මේ නව යෝජනාවට අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව වෙන්නේ 225මයි. මුල් යෝජනාවල එය 255 දක්වා ඉහළ නංවන්න යෝජනා වී තිබුණා. මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 255 වුණත් 225 වුණත් මේ සංශෝධන හරහා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයක් සතු බලය වැඩිකර ගන්න කියලා අපි මුල සිටම කිව්වා. සමානුපාතික නියෝජන ක‍්‍රමයයි කේවල නියෝජන ක‍්‍රමයයි දෙකම එකතු කරලා මිශ‍්‍රණයක් හදනවා කීවාට ඒ මිශ‍්‍රණය හැදෙන්නේ දිනන පක්ෂයට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් හිමිකර ගන්න විදියට කියලා අපි මීට පෙර කිහිප වතාවක් ජනරළේ ලිව්වා. නමුත් ‘20 නැත්නම් වැඩක් නෑ’ කියන සටන් පාඨයෙන් ඇස් අන්ධ කරගත් සවන් බිහිරි කරගත් අය ඒ කිව්ව දේ හරියට ග‍්‍රහණය කරගන්නේ නෑ. මේ ගැන නැවත නැවතත් ලියන්නේ ඒ නිසා.

1978 දී අලූත් ව්‍යවස්ථාව හඳුන්වා දෙන කොට ඒකෙ තිබුණ විශේෂම ලක්ෂණය තමයි පූර්ණ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් හඳුන්වා දෙන එක. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දෙන විටම පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සමානුපාතික නියෝජන ක‍්‍රමය හඳුන්වා දුන් නිසා විධායක බලය තනි කෙනකු අතට ඒකරාශි වුණත් පාර්ලිමේන්තුව තුළ යම් ආකාරයක බල තුලනයක් සඳහා අවස්ථාව හැදුණා. මේක ජේ.ආර්.ට අදාළ නොවුණේ ඔහුට කොහොමත් හයෙන් පහක බලයක් තිබුණු නිසා. ඔහු ඒ බලය ජනමත විචාරණයක් හරහා තවත් වසර හයකට දිගුකර ගත්තා. නමුත් ඉන් පසුව හදපු ආණ්ඩුවල බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව ඒ තරම් විශාල අගයක් වුණේ නෑ. විශේෂයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 1994 මැතිවරණයෙන් පසුව තිබුණේ එක් වැඩි ආසනයයි. මන්ත‍්‍රීවරු පිල් මාරු කරන විට ආණ්ඩු බිඳවැටීමේ සිදුවීම් 2000න් පසු අපට දකින්නට ලැබෙනවා. මේ තත්වයේ යම් වෙනසක් වුණේ මහින්දගේ පාලන කාලයේදී මහින්ද සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ තනි පක්ෂයකට අත්පත් කර ගන්න බැරි තුනෙන් දෙකේ බලයක් ගොඩනැඟුවා. ඒ විවිධ අක‍්‍රමිකතා පෙන්වා බිය ගැන්වීමෙනුත් මුදල් – ඇමැති ධුර දීම වැනි වරප‍්‍රසාදවලිනුත් විපක්ෂ මන්ත‍්‍රීවරු බිලීබාගෙන.

ඒක ස්ථාවර හා විශ්වාස කටයුතු ක‍්‍රමයක් නොවෙන බව පාලකයෝ දන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ක‍්‍රමය වෙනස් කර තනි පක්ෂයකට බහුතරය හිමි වන පාර්ලිමේන්තුවක් හදන්න උවමනාව තිබ්බා. උවමනාව තිබ්බට ඒක වරින්වර උස් පහත් වුණේ ඒ ඒ අවස්ථාවේදි තමන්ගේ ශක්තියේ ප‍්‍රමාණය හා බල අරමුණු එක්ක. කෙටිකාලීනව වාසි අවාසි කොහොම වුණත් දිගුකාලීනව බලය ශක්තිමත් කර ගැනීමක් සඳහා වන එකඟතාවකුත් මේ අය අතර තිබ්බා. 19 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැන කතාව කරළියට එන්නේ ඒ විදියට. මේ ආණ්ඩුවේ අය මුලින් පොරොන්දු වුණේ විධායක ජනාධිපති සතු බලතල කප්පාදු කරලා ඒකෙ හිලව්වට පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය වැඩි කරනවා කියලා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිගේ බලය අඩු කිරීමේත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේත් ව්‍යාපෘති සකස් වෙන්නේත් ඒ තර්කයට අනුව. ඒත් අන්තිමේදී මොකද වුණේ? 19 පුස්සක් වුණා. විධායක ජනාධිපති බලතලවලට අත තියලා මිස ඒවා ඉවත් කරලා නෑ. පාර්ලිමේන්තුවේ බලය තනි පක්ෂයකට ලැබෙන විදියට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන්න යන්නේ ඒ විදියට විධායක බලයත් අතේ තියාගෙන ඉන්න අතර.

මෙච්චරකල් කළේ පාලක තන්ත‍්‍රයේ බලය තවත් ශක්තිමත් කරන කතාව යටපත් කරන්න වෙන වෙන කතා ඉදිරියට ගේන එක. සුළු පක්ෂවලට අවස්ථා අඩුවෙයි වගේ කතා ඒ ගොල්ලොම ගෙනල්ලා පස්සේ ඒ ගොල්ලොම එහෙම නොවන බවට කරුණු ඉදිරිපත් කරනවා. මෛත‍්‍රීපාල ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරු 255 යෝජනාවේ ජාතික ලැයිස්තුවේ මන්තී‍්‍ර ධුර 59ක් තිබෙන නිසා කුඩා පක්ෂවලට යම් ඉඩක් ලැබෙනවා. නමුත් දැන් රනිල් ඉදිරිපත් කර තිබෙන මන්ත‍්‍රීවරු 225 යෝජනාවේ ජාතික ලැයිස්තුවේ තිබෙන්නේ මන්ත‍්‍රී ධුර 25ක් විතරයි. කුඩා පක්ෂවලට නියෝජනය වෙන්න තිබෙන ඉඩ තවත් අඩු වෙනවා. දිස්ත‍්‍රික් සමානුපාත නියෝජනය ලෙස මන්ත‍්‍රී ධුර 75ක් තිබුණත් ඒකෙන් බහුතරය හිමිවෙන්නේ පළමු හා දෙවැනි ස්ථාන ගන්නා පක්ෂවලට. දැන් නැවත වරක් වෙනත් ආකාරයක සංවාදයක් ‘රනිල්ද, මෛත‍්‍රීද වැඩිය අගේ’ කියන සංවාදය මතුවෙන්න ඉඩ තිබෙනවා. තමන් බුද්ධිමතුන් යැයි කියන හැම දෙනාම රනිල්ගේ 225ද – මෛත‍්‍රීගේ 255ද කියලා දෙපිලට බෙදෙන්න ඉඩ තිබෙනවා. ඒත් ඒ බොරු සංවාදය වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා දියත් වන පාලකයාගේ බලය තවත් ශක්තිමත් කිරීමේ මෙහෙයුම ගැන සංවාදය ඉදිරියට ගත යුතුයි. ජනතාවගේ බලය ශක්තිමත් කරන නව රාජ්‍ය ව්‍යුහයක් ගැන සංවාදය ජනතාව අතරට ගෙනයාමේ පළමු පියවර වෙන්නේ ඒ බලය පාලක පන්තිය විසින් උදුරා ගන්න නිර්මාණය කර තිබෙන සැලැස්මට එරෙහිව ජනතාව පෙළගැස්වීම. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔව්-නෑ උත්තර දීම වෙනුවට අප ප‍්‍රවේශ විය යුත්තේ එතැනින්.