ග්ලයිපොසේට් අශ්වයා පැනගියා මෛත‍්‍රී ඉස්තාලය වැහුවා, නියමයි-මල්හතයි

tea fertilizerමුලින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චිය ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් පමණක් වාර්තා වී මේ වන විට අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල, මාතලේ යන දිස්ත‍්‍රික්කවල පැතිර ගොස් තිබෙන වකුගඩු අකරණ රෝග වසංගතයට හේතුව පානීය ජලයට බැරලෝහ මිශ‍්‍ර වීම බවට වන මතය මේ වන විට පිළිගැනී ඇත. එසේ පානීය ජලයට ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහ මිශ‍්‍ර වන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල වගාකටයුතු සඳහා යොදා ගැනෙන කෘෂි රසායන නිසා බව පසුව හෙළි විය. පටු ලාභ උවමනාවන් වෙනුවෙන් බහුජාතික සමාගම් ඇටවූ ‘හරිත විප්ලව’ උගුලට හසුව පරිසරය විනාශ කර ගනිමින් සිටින අපේ රට වැනි රටවල් දැන් ඒ අපරාධය වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවමින් සිටී. 2000 වසරේදී උතුරු මැද පළාතේ ජනගහනයෙන් 2%කට වැලඳී තිබූ වකුගඩු

Glyphocet -2අකරණ රෝගය මේ වන විට එම පළාතේ ජනතාවගෙන් 15.3%ක් ගොදුරු කරගෙන ඇත. 2014 වසර වන විට 195,000කට මෙම රෝගය වැලඳී ඇති බවත් 30,000ක් පමණ මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙසේ වකුගඩු රෝගයට හේතු වන රසායන ද්‍රව්‍ය අතර ග්ලයිපොසේට් රසායනිකයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රසිද්ධ කර තිබෙන ග්ලයිපොසේට් කෘෂි රසායනය තහනම් කළ රටවල් ගොන්නට ලංකාවද ඇතුළත්ය. එහෙත් මැයි 9 වැනිදා කොළඹ වරායට ඉන්දුනීසියාවේ කැපේ මාස් සමාගමෙන් ආනයනය කරන ලද මෙම රසායනිකයේ ලීටර් 236,000ක් අඩංගු කන්ටේනර් 20ක් පැමිණියේය. ඒ සමඟම රේගු බලධාරීන් එම කන්ටේනර් නිකුත් කිරීම අත්හිටවූ මුත් පසුව අදාළ සමාගම පැමිණ ආණ්ඩුවේ ප‍්‍රබලයකුගේ අනුග‍්‍රහයද ඇතිව ඒ අතරින් කන්ටේනර් 15ක් රේගුවෙන් නිදහස් කරගෙන ගෙනගොස් ඇත. මේ පිළිබඳව රේගුව පවසන්නේ එක් කතාවකි. ඔවුන් පවසන ආකාරයට ග්ලයිපොසේට් ආනයනය ලංකාවේ තහනම් කර නැත. රටේ දිස්ත‍්‍රික්ක කිහිපයක හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක එය විකිණීම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් ඒ මත පදනම්ව මෙම රසායනිකය රට තුළට ගෙන ඒම වැළැක්විය නොහැක. 2013දී එවකට හිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මේවා ආනයනය තහනම් කරන බව ප‍්‍රකාශ කර ඇතත් එය නියෝගයක් ලෙස ගැසට් කර නැත. රේගුවට වාචික ප‍්‍රකාශ මත පදනම්ව කටයුතු කළ නොහැකි අතර ඒ සඳහා නීති අවශ්‍ය වේ. රේගුවේ නිලධාරීන් කියන කතාව එයයි.

Glyphocet -1ඉන් අනතුරුව, එනම් ග්ලයිපොසේට් කන්ටේනර් 15ක්ම රට තුළට ඇතුළු වූ පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජයග‍්‍රාහී තුන්වැනි වතාවටත් ග්ලයිපොසේට් තහනම් කළේය. ඒ මැයි 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති රැුස්වීමකදීය. නමුත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර නැත. එනිසා ජනාධිපතිවරයා රැස්වීම්වල කුමක් කීවද ලංකාවට වෙනත් රටකින් ග්ලයිපොසේට් ගෙන ඒමට කිසිදු නීතිමය බාධාවක් නැත. මේ වන විටත් 2013, 2014, 2015 වසරවලදී ගල්යිපොසේට් ‘තහනම් කර’ ඇති අතර අවශ්‍ය නම් 2016 වසරේදීත් කවුරු හෝ දේශපාලකයකුට ලකුණු රැුස්කිරීම සඳහා එය නැවත වරක් ‘තහනම් කළ’ හැකිය. ගල්යිපොසේට් තහනම් කරන බව ප‍්‍රකාශයට පත්කරමින් මැයි 22 වැනිදා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙවැනි අදහසකි. ”දැනට ගෙන්වා ඇති ග්ලයිපොසේට් විකුණා ගැනීමට ඉඩ දෙන්නැයි ඇතැම් ව්‍යාපාරිකයන් ඉල්ලා සිටියා. නමුත් තව එක් පුද්ගලයකුවත් වකුගඩු රෝගයට ගොදුරු වීමට ඉඩදිය නොහැකියි. ඒ නිසා එම වල්නාශක ආනයනය තහනම් කරනවා.” මෛත‍්‍රීපාල කරන මේ වංචාව ගැන වචනයක් කතා කළ යුතුයි. මැයි 9 වැනිදා ගෙන්වූ කෘෂි රසායන වරායෙන් පිටතට ගෙන යන්න ඉඩ දී ඒවා විකිණීමට හා තොග බෙදා හැරීමට සති දෙකක් ඉඩ ලබා දී එය බෙදාහැරීමෙන් පසු ආනයනය තහනම් කිරීම වංචාවක් හා ජනතාව රැුවටීමක් නොවන්නේද? ජනාධිපතිවරයාට මෙය නතර කිරීමට අවංක උවමනාවක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ ඒවා වරායෙන් නිකුත් කිරීම අත්හිටුවා තහනම් කිරීමයි.

අනෙක් අතට මෙතරම් විශාල ග්ලයිපොසේට් තොගයක් රට තුළට ඇතුළු වී තිබියදී එය යළි ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැත. වරායෙන් නිදහස් කරගන්නා ලද කෘෂි රසායන ප‍්‍රමාණය තවත් වසර 10ක් ලංකාව තුළ භාවිත කිරීමට ප‍්‍රමාණවත්ය. එහි බලපෑම ඉන් අනතුරුව වසර 30ක්වත් පවතිනු ඇත. එකවර වසර 10කට සරිලන තරම් රසායනික තොගයක් රට තුළට ගෙන්වා ආනයනය තහනම් කිරීම තරම් වංචාවක් තවත් තිබේද? තමන් රජරට පුත‍්‍රයකු ලෙසද ගොවියාගේ පුතා ලෙසද හඳුන්වා දෙන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රජරට ගොවි ජනතාවගේ මාරයාට මෙලෙස අනුග‍්‍රහය දැක්වීමෙන් පෙනී යන්නේ කෘෂිකර්මය ධනවාදී ලාභ අරමුණුවලින් මුදාගැනීමෙන් හැර ගොවි පවුල්වල සාමාජිකයන්ට ඔටුනු පැලඳවීමෙන් ගොවියාගේ ප‍්‍රශ්න නොවිසඳෙන බවය. අවශ්‍යව ඇත්තේ මූණු මාරු කිරීම නොව මේ ප‍්‍රතිපත්ති සහමුලින් කණපිට හැරවීමය. ග්ලයිපොසේට් තහනම් කිරීම ගැන පාරම්බාන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් ගෙන්වා ඇති ග්ලයිපොසේට් විනාශ කිරීම ගැන චණ්ඩි පාට් දාන රාජිත සේනාරත්න ඇමැතිවරයාටත් (ග්ලයිපොසේට් එසේ විනාශ කළ නොහැක. එය ගිනිතැබීම හෝ පොළොවේ වළ දැමීම කළ නොහැක. ඒවා විනාශ කරන එකම ක‍්‍රමය විශාල කොන්ක‍්‍රීට් ටැංකිවල බහා, ඒ ටැංකි සීල් තබා, ගැඹුරු මුහුදු පතුලේ තැන්පත් කරන වියදම් අධික ක‍්‍රමයයි) මතක් කළ යුත්තේ වත්මන් රජයේ ඛනිජතෙල් ඇමැතිවරයා සිපෙට්කෝ ආයතනය හරහා ග්ලයිපොසේට් ආනයනය කිරීමට මැයි දෙවැනි සතියේ කැබිනට් මණ්ඩල රැුස්වීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බව අප දන්නා බවය. අපට අසන්නට ඇත්තේ එදා එයට අනුමැතිය දී දැන් ග්ලයිපොසේට් තහනම ගැන නන් දොඩවන විට ලැජ්ජා නැත්තේ මෛත‍්‍රීලාටද නැතිනම් ඡුන්දය දුන් අපටද යන ප‍්‍රශ්නය පමණි.

දිනිත් හෙට්ටිආරච්චි