විස්ස සහ ෆුල් ෆේස් හෙල්මට්

ජුනි 08 වැනිදා විහාරමහාදේවි උiානයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරමින් ජනාධිපතිවරයා පැවසුවේ විස්සට එරෙහි වන අය, එය ප‍්‍රමාද කරන අය ද්‍රෝහීන් බවය. එහි නිරවiභාවය ගැන සැක කරන්නන් හැම දෙනාම මනාප ක‍්‍රමයටත් මුදල් හදල් අතේ ඇති සල්ලිකාර මුදලාලිලාට පාර්ලිමේන්තුව සින්න වන මැතිවරණ ක‍්‍රමයටත් කැමති අය බවය. මේ සටහන තබන්නේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පාලන තන්ත‍්‍රයේ ද්‍රෝහී හංවඩුව වැදෙන බව දැන දැනමය. එය අප එතරම් ගණන් නොගන්නා නිසාය. ජුනි 08 වැනිදා ගෙවී ගියේ ඒ ආකාරයටය. ජුනි 09 වැනිදා උදා වූයේ වෙනස්ම ආකාරයකටය. මීට සතියකට පමණ පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස්වලට අනුව සැකසූ ව්‍යවස්ථා සංශෝධනයකට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයම 08 වැනිදා රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයකට අනුමැතිය ලබාදී තිබිණි. ඊටත් මාස පහකට පමණ පෙර කැබිනට් මණ්ඩලය පසු කී දෙකම නොවන වෙනත් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතකට අනුමැතිය දී තිබිණි. එම සංශෝධනය ගැන ජනරළේ ලිපියක්ද පළ විය. එරෙහි වන්නන් ද්‍රෝහීන් වන බව ජනාධිපතිවරයා කියන්නේ මේ තුනෙන් කුමන එක ගැනද? 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් එක් කෙටුම්පතක් නැත. ඒකත් විස්සය. අරකත් විස්සය. මේකත් විස්සය. ජනරළට කෙටුම්පත ලැබුණු යෝජනාවත් විස්සය. ශ‍්‍රීලනිපය ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරු 225ක් සහිත යෝජනාවත් විස්සය. දැන් එජාපය ඉදිරිපත් කර ඇති යෝජනාවත් විස්සය. මෙම ලිපිය ලියන මොහොත වන විට විසි වැනි සංශෝධන කෙටුම්පත් සංඛ්‍යාවෙන් තුනකි. ඇතැම් විට ඔබ මෙය කියවන මොහොත වන විට එම සංඛ්‍යාව හතර හෝ පහ වීමටද ඉඩ ඇත.

  •  පිළිතුරු දෙන ප‍්‍රශ්නය

හැම කෙනාම විවිධ කෙටුම්පත් සකස් කරමින් පිළිතුරු සොයන ප‍්‍රශ්නය කුමක්ද? ජනාධිපතිවරයා තැන් තැන්වල කියන ආකාරයට නම් වත්මන් මැතිවරණ ක‍්‍රමය නිසා පාර්ලිමේන්තුවට යා හැක්කේ විශාල ලෙස මුදල් වියදම් කළ හැකි ධන කුවේරයන්ට හා නළුවන්-ගායකයන් වැනි සුපිරි තරුවලට පමණි. 08 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේදීත් ඔහු පුන පුනා කියන්නේ ‘සාමාන්‍ය ජනතාවට’ පාර්ලිමේන්තුවට යා හැකි පරිදි මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු බවය. ඔහු කියන කතාවෙන් හැෙඟන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ කම්කරුවන්, ධීවරයන්, ප‍්‍රජා නායකයන්, තරුණයන්, බුද්ධිමතුන් හා සමාජ ක‍්‍රියාකාරීන් පාර්ලිමේන්තුවට යැවිය හැකි මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීම බවය. පාර්ලිමේන්තුවට ජාවාරම්කරුවන්, සිටුවරුන්, පුම්බන ලද තරු හා හොරුන්, සල්ලාලයන් යැවීම ගැන ජනාධිපතිවරයා කියන විට නිරායාසයෙන් හිතට නැෙඟන ප‍්‍රශ්නයක් ඇත. මෙවැනි තත්වයක් පාලනය කිරීමට දේශපාලන පක්ෂවල නායකයන්ට තිබෙන වගකීම ගැන මෛත‍්‍රී සිතන්නේ කෙසේද යනු ඒ ප‍්‍රශ්නයයි. අපේක්ෂකයන්ට නාම යෝජනා ලබාදීමේ සිටම ඔවුන්ට මේ සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකිද? නැතිනම් මේ කතා කියන්නේ එවැනි වගකීමකින් තොරව ප්‍රෝඩාකාරී ලෙසද?

වත්මන් මැතිවරණ ක‍්‍රමය ප‍්‍රාග්ධනයේ බලයත් මාධ්‍ය බලයත් අවිචාරයත් මත පදනම් වූ මැතිවරණ ක‍්‍රමයකි. මෙය ජනතා මතයක් පිළිබිඹු කරන කැඩපතක් නොව ජනතා මතයක් වාත්තු කර සකස් කරන යන්ත‍්‍රයක් බව අපි මීට පෙරද කිහිප වරක් ලියා ඇත්තෙමු. මෙම මැතිවරණ ක‍්‍රමය ජනතාවගේ සැබෑ ප‍්‍රජා නායකයන් නියෝජිතයන් ලෙස පත් කරන ක‍්‍රමයක් නොව උඩින් පාත් කරන ලද පැරචුට්ටන් ජනතා නියෝජිතයන් ලෙස නාමකරණය කරන ක‍්‍රමයකි. මේ අප කියන කතාවම අද ජනාධිපතිවරයාත් කියන අතර ඔහු එයට විසඳුමක්ද ඉදිරිපත් කරයි. ඒ විසඳුම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයකි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. මෛත‍්‍රී කියන්නේ කොට්ඨාස ක‍්‍රමයට 165ක්, දිස්ත‍්‍රික් සමානුපාතික නියෝජනයෙන් 21ක්, ජාතික ලයිස්තුවෙන් 59ක් ලෙස පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරු 255ක් පත් කළ විට මේ සියලූ ප‍්‍රශ්න විසඳෙන බවයි. රනිල් කියන්නේ කොට්ඨාස ක‍්‍රමයට 125ක්, දිස්ත‍්‍රික් සමානුපාතික නියෝජනයෙන් 75ක් හා ජාතික ලයිස්තුවෙන් 25ක් ලෙස මන්ත‍්‍රීවරු 225ක් පත් කළ විට ප‍්‍රශ්නය විසඳෙන බවයි.

මැතිවරණ ක‍්‍රමය තුළ ඇති ¥ෂණය, ප‍්‍රචණ්ඩත්වය හා වංචනික බව හුදු මැතිවරණ ක‍්‍රමයේම ප‍්‍රශ්නයක් පමණක් නොවන අතර එය සමාජයේ ඇති ¥ෂිත, ප‍්‍රචණ්ඩ, වංචනික ස්වභාවයේ පරාවර්තනයකි. මැතිවරණ තුළ පමණක් නොව නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළද කලාව තුළද ක‍්‍රීඩාව තුළද සමාජ ක‍්‍රියාකාරකම් තුළද දේශපාලන දාර්ශනික ක්ෂේත‍්‍රය තුළද බල පැවැත්වෙන්නේ ප‍්‍රාග්ධනය,

මාධ්‍ය බලය, සිවිල් බලය, මැර බලය හා අවිචාරය පදනම් කර ගත් ක‍්‍රියාවලියකි. මැතිවරණ ක‍්‍රියාවලිය යනු ඒ සමස්තයෙන් ඇබින්දකි. දැන් මෛත‍්‍රීලා-රනිල්ලා කරන්නේ මෙතරම් බිඳ වැටුණු, මෙතරම් ජරාජීර්ණ වූ, මෙතරම් කුණු වූ සමාජයක ඇති වී තිබෙන රෝග ලක්ෂණ යටපත් කරන ක‍්‍රමයකි. ඒ සඳහා කෝඳුරු තෙල් හත් පට්ටිය එකතු කිරීම නම් කර ඇත්තේ ‘ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ’ යන ගාම්භීර නාමයෙනි. ව්‍යවස්ථාවට තියා මොකට අණ්ඩ දමා හෝ පිළිසකර කළ නොහැකි අගතියක් සමාජය තුළ වර්ධනය වී තිබේ. එයට පිළිතුර මැතිවරණ නියෝජන ක‍්‍රමය වෙනස් කිරීම යැයි මෛත‍්‍රී කියන විට අපට හිනා යන්නේ මේ විනාශයේ ගැඹුර අපට වැටහෙන නිසාය. එත අතකට පුදුම වීමට හේතුවක් නැත. මැතිවරණ ¥ෂණ හා මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයට හේතුව නියෝජන ක‍්‍රමය යැයි සොයා ගෙන ඇත්තේ මංකොල්ලකෑම්වලට හේතුව ෆුල් ෆේස් හෙල්මට් යැයි සොයා ගත් ආණ්ඩුවමය.

  •  සුළු පක්ෂවල අඳෝනාව

නව ඡුන්ද ක‍්‍රමය ඉදිරිපත් කරන්නන් මෙන්ම එයට විවේචන කරන්නන්ද පය ගසා සිටින්නේ එකම පදනමකය. ඒ මේ සියල්ලේ කේන්ද්‍රය පාර්ලිමේන්තුවය යන පදනමේය. රවුෆ් හකීම්ගේ, මනෝ ගනේෂන්ගේ හා දිගම්බරන්ගේ සිට ටිල්වින් සිල්වා දක්වා විශාල පරාසයක විවේචකයන් ජුනි 09 වැනිදා රාත‍්‍රියේ රූපවාහිනියෙන් අඳෝනා නැඟුවේ මෙම නව ඡුන්ද ක‍්‍රමය නිසා සුළුතර මත දරන අයට පාර්ලිමේන්තවට යා නොහැකි බව කියමිනි. මේ සංශෝධනයට පක්ෂ අය කියන්නේ සල්ලිකාරයන් හා සුපිරි තරු වෙනුවට ගමේ ගොඬේ මිනිසුන් පාර්ලිමේන්තුවට ගියහොත් ප‍්‍රශ්නය නිමා වන බවය. එම සංශෝධනයේ විවේචකයන් කියන්නේ සුළු පක්ෂ පාර්ලිමේන්තුවට ගියා නම් මේ ප‍්‍රශ්න විසඳිය හැක කියාය. මුස්ලිම් කොංග‍්‍රසය, වතු කම්කරු කොංග‍්‍රසය ආදී පක්ෂ කියන්නේ තමිල්-මුස්ලිම් නියෝජිතයන් වැඩිපුර පාර්ලිමේන්තුවට ගියහොත් ජාතික ගැටලූව විසඳෙනු ඇත කියාය. සුළුතර ජනතාව මුහුණ පාන ජාතික පීඩනයට විසඳුම් ලැබෙනු ඇත කියාය. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරකම් නොකරන පිරිසිදු නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැව්වොත් එවැනි අයගේ ප‍්‍රතිශතය වැඩි කළොත් මේ ධනවාදී අර්බුදයේ ගැටලූ බොහොමයක් විසඳෙනු ඇත කියාය. ඇත්තටම පාර්ලිමේන්තුවේදී සිදු වන්නේ මේ සුළුතර දරන්නන් සැරසිලි බවට පත්කරගෙන දක්ෂිණාංශික පක්ෂවල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමකි. තමන්ට බහුතර බලය තිබෙන තුරු ඉතිරි සියල්ලන් කතා කරමින් හා වාද කරමින් පාර්ලිමේන්තුවේ සිටිනු නැරඹීම දක්ෂිණාංශික චින්තකයන්ගේ අවසානතම හා පැරණිතම සිහිනයකි.

මේ පිළිතුරු අප මුහුණ දී තිබෙන ප‍්‍රශ්නවලට සැබෑ පිළිතුරුදැයි තීරණය කිරීමේ වගකීම පාඨක ඔබට භාර කර අපි පහළ පාන්තික සමාජයට කියන්නට තිබෙන දේ කෙළින් කියමු. අපට ඔවුන්ට කියන්න ඇත්තේ කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගීමට උත්සාහ කිරීම වෙනුවට තමන්ගේ හා සමාජයේ දේශපාලන උද්ඝෝෂණයත් සක‍්‍රීය බවත් වර්ධනය කිරීමට තැත් කළ යුතු බවය. කළ යුත්තේ සමාජයේ පහළම බලවේග දක්වා දේශපාලනය ගෙන යාමකි. ඔවුන් දේශපාලනයට කැඳවීම, ඔවුන්ගේ දේශපාලන මට්ටම් වර්ධනය කිරීම, සමාජය දේශපාලන වශයෙන් සක‍්‍රීය කිරීම, ඔවුන්ට දේශපාලන අධ්‍යාපනය ලබාදීම ආදිය හරහා සමස්ත සමාජය ශක්තිමත් කිරීමය. අවසානයේදී ජයග‍්‍රහණ හිමි වන්නේ සමාජයේ, පහළ පන්තීන්ගෙන් දේශපාලන සක‍්‍රීයත්වය වර්ධනය වීම තුළය. මැතිවරණ ක‍්‍රමයේ පමණක් නොව අන් සෑම තැනකම තිබෙන පසුගාමීත්වයන්ට, අවරසිකත්වයන්ට ක‍්‍රීඩා කළ නොහැකි පිටියක් සකස් කළ හැකි වන්නේද ඒ හරහාය. එනිසා අප වෙහෙස වන්නේ ව්‍යවස්ථාව නොව පන්තිය ප‍්‍රතිසංස්කරණය කිරීම, පුනරුත්ථාපනය කිරීම සඳහාය.