වැලිකඩ සංහාරය දෙවන වාර්තාවෙන් විජ්ජා පෙන්නවද? දඬුවම් දෙනවද?

welikada-victims-of-the-massacreමිය ගිය අය වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු විය යුතු යැයි අප හඬ නඟන්නේ ඇයි? යුක්තිය හා සාධාරණය ඉටු වීමෙන් මිය ගිය අයට වන යහපතක් තිබේද? නැත. ඔවුන් මිය ගොසිනි. මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුත්තේ අන්කිසිවක් නිසා නොව ජීවත් වන්නන්ගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිසය. වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් 27 දෙනකු මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා හඬ නඟන්නේද මිනිසුන් ඒ ආකාරයෙන් මිය නොයා යුතු බැවිනි. එය කළ හැක්කේ කෙසේද? එය කළ හැකි වඩාත් හොඳම ආකාරය උසස් සමාජ සංස්කෘතියක් බිහි කිරීමයි. එය පවතින සමාජ සංස්කෘතික හැඩගැසීම්වලට එරෙහි අරගලයක ජයග‍්‍රහණයකින් පමණක් ඇති කළ හැක්කකි. එතෙක් මිනිස් ජීවිත සුරක්ෂිත කළ හැක්කේ පොදුවේ සියලූ දෙනා විසින් පිළිගත් පොදු සම්මතයන්, නීතිරීති, චර්යා පද්ධති හා හර පද්ධති ගොඩනැඟීමෙන් සහ ආරක්ෂා කිරීමෙන්ය. අපි වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය වෙත යොමු වෙමු.

2012 වසරේ නොවැම්බර් මස 09 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම ගැන ‘ජනරළ’ පුවත්පතේද ඇති තරම් වාර්තා පළ වී තිබෙන නිසාත් එය තවමත් සමාජයට අමතක වී නැති නිසාත් ඒ ගැන යළිත් පුනරුච්චාරණය කිරීමේ තේරුමක් නැත. එහෙත් ලිපියේ අවස්ථා සම්බන්ධය ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය වන කරුණක්, දෙකක් පමණක් සඳහන් කිරීම යෝග්‍ය විය හැකිය.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසියකින් අනතුරුව උණුසුම් තත්වයක් නිර්මාණය විය. ඇතැම් පාර්ශ්වල අදහස වන්නේ එම උණුසුම්කාරී තත්වයද කලින් සැලසුම් කර ඇති කරන ලද්දක් බවය. බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක වූ ආකාරය බලන විට කරුණු ලැබෙන්නේ එම සැකය තහවුරු වන පැත්තටය. අවසානයේ උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවනු ලැබීය. සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන නන්දිමාල් විස්තර කරන ආකාරයට සිරකරුවන් කිහිප දෙනකුම ඝාතනය කරන ලද්දේ ඔවුන් නිදා සිටි ස්ථානවලින් ඇදගෙන ගොසිනි. ඔවුන් අහඹු ලෙස ඇද ගෙන යන ලද සිරකරුවන් නොවේ. විශේෂ ඝාතක කණ්ඩායමක් පැමිණ තමන්ට අවශ්‍ය සිරකරුවන්ගේ නම් කියමින් ඔවුන් තෝරා බේරාගෙන ගොස් ඝාතනය කරනු ලැබීය.

ඒ අනුව මේවා වෙඩි හුවමාරුවකදී සිදු වූ මරණ නොවේ. රජය භාරයේ සිටි සිරකරුවන් ඝාතනය කිරීමේ වගකීමෙන් මිදීමට රජයට හැකියාවක් නැත. මිය ගිය පුද්ගලයන් අතරින් කිහිප දෙනකු වැරදිකරුවන් බව සැබෑය. අපරාධකරුවන්, මත්කුඩු විකුණන්නන් බව සැබෑය. එහෙත් ඔවුන්ට හිමි දඬුවමක් තිබේ. ඔවුන්ට හිමි විය යුත්තේ ඒ දඬුවමයි. ඒ දඬුවම මරණ දඬුවම නම් එය ක‍්‍රියාත්මක කරන, ලංකාවේ නීතියට අනුව පිළිගත් ක‍්‍රමවේදයක් තිබේ. එය ඒ ආකාරයට ක‍්‍රියාත්මක විය යුතුය. එසේ නොවී කිසියම් නිලධාරීන් කිහිප දෙනකුගේ අවශ්‍යතාවට, ඇතැම් විට ඇතැම් දේශපාලකයන්ගේ දූෂිත චරිත හෙළිවීම වැළැක්වීම සඳහා නීතියට පිටින් සිදු කරන ම්ලේච්ඡු ඝාතනවලට ඉඩ දිය යුතු නැත. ඒවාට ඉඩ දීමේ ප‍්‍රතිලාභ සමාජය පසුගිය කාලයේ භුක්ති වින්දේ අහිංසකයන් පොලිස් සිර මැදිරි තුළ ගුටි කා මිය යාමේ අත්දැකීම් විඳීම හරහාය.

සැම්සන් අල්විස් සාමි පවසන්නේ තමන්ගේ පුතා විජය රෝහණ ඝාතනය කිරීමට හේතුව රංගජීව නමැති පොලිස් නිලධාරියා සමඟ පැවැති පෞද්ගලික ප‍්‍රශ්නයක් බවයි. එම පොලිස් නිලධාරියා විසින් මත්කුඩු ජාවාරම්කරුවකුට පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මොහොමඞ් සිරියාවතී සාක්ෂිකාරියකි. රංගජීව ඇගෙන්ද පළි ගනිමින් සිටින බව ඔහු පැවසුවේය. නිර්මල අතපත්තු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මඩපාත ඔහුගේ නිවසේදී වුවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ රත්තනපිටිය, පිිල්ලෑව පන්සල ළඟදී අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් යැයි ඔහුගේ පියා සිරිපාල අතපත්තු පවසයි. මේ දෙදෙනාම පවසන්නේ තමන්ගේ දරුවන් කිසි ලෙසකින්වත් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධයක් නැති බවයි. ඔවුන් දෙදෙනාද ඇතුළු ඝාතනය වූ 27 දෙනාගේ ඥාතීන් පමණක් නොව ලංකාවේ සියලූ දෙනාම බලා සිටින්නේ යුක්තිය ඉටු වන තුරුය.

සමාජයෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ පැවැති රජය වැලිකඩ සංහාරය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළේය. හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු, බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති උපදේශක ලලිත් අන්ද්‍රාහැන්නදි යන අය එම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයෝ වූහ. ඔවුන් විසින් එළිදක්වන ලද වාර්තාවට බරපතළ විවේචන එල්ල විය. බොහෝ දෙනකු පැවසුවේ සිදුවීම සාධාරණිකකරණය කිරීමටත් ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හොඳ නම රැුක ගැනීමටත් කළ සෙප්පඩ විජ්ජාවකට වඩා වැඩි දෙයක් එහිදී සිදු නොවූ බවයි. වාර්තාවෙන් කිසිවක් සිදු නොවීය. ඒ අතරේ ආණ්ඩුව වෙනස් විය. නව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් වැලිකඩ සිද්ධිය ගැන යළිත් පරීක්ෂණයක් ආරම්භ කළේය. විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්, විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ ඊට ඇතුළත් වූහ. එකී කමිටුවේ වාර්තාව ජුනි මස 09 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත බාර දෙන ලදී. එම වාර්තාවේ කුමක් සඳහන්ව ඇත්දැයි තවමත් සමාජය දන්නේ නැත. එහෙත් ඊට අන්තර්ගත විය යුත්තේ මොනවාදැයි අදහසක් සියලූ දෙනාටම ඇත. වැරදිකරුවන්ට ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක වනු ඇතැයිද එහිදී කිසිවකුටත් විශේෂයක් නොවන ඇතැයිද සමාජය අපේක්ෂා කරයි.

ජනක තුෂාර