විඥානවාදියකු හෝ ප‍්‍රචාරකවාදියකු නොවීම කලාකරුවාට පැවරෙන වගකීමක් – ඩබ්ලිව්.ඒ. අබේසිංහ

Abesingheඔහුගේ නිර්මාණ ඔස්සේ කතා බහ කළ යුතු බොහොමයක් දේවල් තිබෙනවා. සිංහල ඉංග‍්‍රීසි ලේඛන කලාව, කවිය, ගීතය, පරිවර්තන සාහිත්‍ය, විචාර කලාව, නවකතාව, කෙටිකතාව, පුවත්පත් කලාව, ළමා සාහිත්‍ය, නීතිය, මෙවැනි බොහෝ ක්ෂේත‍්‍ර තුළ ඔහු කටයුතු කළා. ‘මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා’….. ‘අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් කරුණා මුදිතා ධාරා’… ගැඹුරින්ම මිනිස් හදවත්වලට දැනෙන ඔහුගේ ගීත රචනා. කලා දිවියේ හතළිස් වසරකට පසුව ඔහු සමඟ අප කළ සංවාදයක කොටස් මෙසේ සටහන් කරමු…

  • ඔබ නිර්මාණකරණයට ප‍්‍රවේශ වීම සිදු වුණේ කොහොමද?

1960 වසරේ මම ටික කාලයක් ඇඞ්වර්ටයිසින් ආයතනයක වැඩ කළා. මේ කාලයේ කොමර්ෂල් යැයි කියන්න පුළුවන් වැඩසටහන් සඳහා යම් යම් නිර්මාණ කළා. දේශාභිමානී ගීත ඒ අතර තිබුණා. ”අඩවන් වූ දෙනෙතින්” ගීතයත් ලියවුණේ ඔය අතරේ. මේක ගායනය සහ තනු නිර්මාණය ඉතාම ප‍්‍රබලයි. අමරදේවයන්ගේ හොඳම කාලයේ හොඳම කටහ`ඩින් කීව නිසා මේ ගීතය විශේෂත්වයක් සහිත නිර්මාණයක් වුණා. මිහිමඬලේ ගීතයේ විශේෂ කවි සංකල්පනයක් තියෙනවා. නන්දා කියූ මේ ගීතයට මවක තුළ තිබෙන උතුම් මානුෂික දේවල් පදනම් වුණා. මැක්සිම් ගොර්කිගේ කෙටි කතාවක කියවෙනවා මේ ලෝකයේ සියලූ දේ බිහිවන්නේ මව්ගේ කිරිවලිනුත් හිරුගේ කිරණිනුත් කියලා. ඇත්තටම මේ දේ තමයි මට මේ ගීතය ලියන්න උත්තේජනය වුණේ. මම හිතුවා ස්වභාව ධර්මයේ තිබෙන බොහෝ දේවල් මවට ආරෝපණය කරන්න පුළුවන් කියලා. මව කියන සංකල්පය අපිට පෞද්ගලික වුණාට ඒ තුළ පුළුල් අර්ථයෙන් මහ විශාල ආධ්‍යාත්මික බැඳීමක් විශ්වීය බැඳීමක් පවතිනවා. මේ ගීතයේ තනුවත් නන්දා මාලනිය විසින්ම කළ නිර්මාණයක්. ඒ තුළ ජනකවිවල ආභාසයක් ඇතැයි කියල හිතෙනවා.

  •  ඔබ අනන්‍යතා බහුලත්වයක් තුළ නිර්මාණකරණයේ යෙදුණු කෙනෙක්. ඔබ තුළ කවියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක්, විචාරකයෙක්, ළමා සාහිත්‍ය පිළිබඳ විශේෂඥයෙක් ඉන්නවා. අපේ භාෂාවෙන් කියනවා නම් පත්තරකාරයෙක්, ගුරුවරයෙක්, නීතිවේදියෙක්. අපි කතා කළ මේ භූමිකාවල ඔබ කැමතිම භූමිකාව වුණේ මොකක්ද?

ඇත්තටම මගේ පැවැත්ම බැලූවොත් මම හිතන්නේ ලේඛකයෙක් විදිහට තමා වැඩි අනන්‍යතාවක් තියෙන්නේ. බොහෝ දේවල් කළා, විවිධ දේවල් ලියුවා තමයි. නමුත් ලේඛනයේ කාර්යභාරය තුළ පවතින්න තමයි මම කැමති. අනෙක් බොහෝ දේවල් විවිධ හේතු නිසා කරන්න වෙනවා. නමුත් මම සන්තුෂ්ටියක් ලබන්නේ ලේඛන කලාව තුළ. අනෙක මම මේ පුවත්පත් ජීවිතයෙන් ඈත්වෙලා කියලා මම හිතන්නෙ නෑ. ඒ වගේම මම එක්තරා කාලයක් ගුරු වෘත්තියේ හිටියා. ඒත් අවුරුදු 8ක කාලයක් විතරයි. විවිධ හේතු නිසා ඒ තුළ දිගටම රැුඳී උන්නේ නෑ. ඒ වගේම ලේක්හවුස් එකට බැඳිලා පත්තරකාරයෙක් විදිහට වැඩ කළා. ඒකත් ඒ විදිහට හරියන්නෙ නෑ කියලා හිතුනහම අයින් වුණා. ඒත් මම හිතනවා මේ මොහොත දක්වාමත් මා තුළ ඒ පත්තරකාරයත් ගුරුවරයත් රැුඳී ඉන්නවා කියලා. ගුරු වෘත්තියේදී මම ඉගැන්වූයේ ඉංග‍්‍රීසි භාෂාවත් සාහිත්‍යයත්. ඒ තුළ ගොඩනැඟුණු ශිෂ්‍යයන් සිටිනවා. ඒ දේ බොහොම තෘප්තිමත් අත්දැකීමක්. නමුත් නීතිඥයා මතුවෙන්නේ නැහැ. හරියට කිව්වොත් ඒක ජීර්ණ වෙලා නැහැ. නමුත් මම මුලින් අතහැරපු ගුරු වෘත්තියත් පුවත්පත් කලාවත් මා තුළ ජීවත්වෙනවා. මේ ගුරු වෘත්තියෙන් සහ පුවත්පත් කලාවෙන් ලැබුණු ශික්ෂණය බොහොම ප‍්‍රයෝජනවත් වුණා. ඒ ශික්ෂණයන් වැඩ කරන්න ප‍්‍රයෝජනවත් වෙනවා කෙනෙක්ට.

  •  විශේෂයෙන් ඔබේ ලේඛන කලාවට ආභාසය ලැබුණේ කොහොමද? ඇයි ඔබ ලේඛකයෙක් වෙන්න හිතුවේ? ඔබට යම් ඉලක්කයක් තිබුණද?

ඔව්. ලේඛකයෙක් වෙන්න ඕන කියන අරමුණ නම් මගේ හිතට ඇවිත් තියෙනවා. එකක් මම මුලින්මත් කීව පාසල සහ ගුරුවරයකු ලෙස ලැබූ අධ්‍යාපනය. විශේෂයෙන් පාසල් කාලයේ අපේ ගුරුවරු දක්ෂ ගුරුවරුන් වුණා. ඔවුන් සාහිත්‍ය ගැන හොඳ අවබෝධයක් තිබුණු අය. කුලියාපිටිය සෙන්ට‍්‍රල් එකේ ඒ කාලයේ හිටිය විදුහල්පතිවරයෙක් තමා ලයනල් ලොකුලියන මහත්මය. එතුමා විශිෂ්ට උගතෙක්. හොඳ ලේඛකයෙක්. සාහිත්‍ය කලාවට සේවයක් කළ ග‍්‍රන්ථ රචනා කළ අයෙක්. තව හිටියා හොඳ ගුරුවරු චන්ද්‍රසේන පන්නිල, සෝමරත්න හේරත්, සෝමසිරි සර්, ඒ.එම්.ඞී. සුමනපාල වගේ ගුරුවරු. මේ අය සාහිත්‍ය පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළා. හරියටම කියනව නම් කුලියාපිටිය මධ්‍ය විiාලය තමයි අපට ලේඛකයෙක් වීමේ බීජය ඇතුල් කළේ. පත්තරේ නම පළවීමත් තරුණ කාලයේ ලිවීමට උත්තේජනයක් වුණා. මේ නිසා තමයි මම ගුරු වෘත්තිය අතහැරලා ලේක්හවුස් එකට ගියේ. 1963 ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට ඇතුල් වුණා. නමුත් මම වැඩි කාලයක් එහි රැුඳුණේ නැහැ. ලේක්හවුස් එකට ගියේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න නෙවෙයි ලේඛකයෙක් වෙන්න. ඒ වගේම තමයි ඒ කාලයේ කවියන්ට සමාජයේ බොහොම පිළිගැනීමක් ලැබුණා. අද නළුවන්ට නිළියන්ට තිබුණු තැන එදා තිබුණේ කවියන්ට. ඒ කාලයේ අනුකරණය කළේ ඔවුන්ව. ඇද්දේ පැලැන්ඳේ ඔවුන් වගේ. සමාජයේ පිළිගැනීමක් ඉහළ අවධානයක් ඔවුන් වෙත තිබුණා.

  •  නිර්මාණකරුවා යම් දෘෂ්ටිවාදයක් ඔස්සේ ගමන් කළ යුතුද, නිර්මාණකරුවා සමාජ විශ්ලේෂකයකුද, සමාජ ශෝධකයකුද, එහෙමත් නැත්නම් වෙළෙඳපොළ බලවේගයන්ගේ කොටස්කරුවෙක් විය යුතුද? ලංකාවේ නිර්මාණකරුවාගේ කාර්යභාරය කුමක්ද?

මම හිතනවා නිර්මාණකරණයේදී දෘෂ්ටියක එල්ලිලා ඉන්න උවමනා නැහැ කියලා. තමන් කරන නිර්මාණයට තමන් අවංක නම් තමන් හරියට කරනවා නම් ඒකෙන් සේවයක් ජනතාවට වෙනවා. ඒ දේ එහෙම වෙද්දි ඒ නිර්මාණය මොනවා හෝ දෘෂ්ටිවාදයක් තුළ රැුඳෙයි. දැන් තොල්ස්තෝයි යථාර්ථවාදී නවකතා ලියනව කියලා ලීවේ නැහැනේ. පස්සේ ඒව යථාර්ථවාදය තුළ සාකච්ඡුා කළා. පසුකාලයේ, සාහිත්‍ය නිර්මාණයට පසු වුණේ විචාර වාද ඇති වෙන්නේ, ලේඛකයා යම් නිර්මාණයක් කරන විට ඔහුට යම් සත් හැඟීමක් තියෙනවා. නිර්මාණයට ඔහු අවංක නම් යහපත් හැඟීමක් තියෙනවා නම් එවිට ඒ සඳහා මතවාදයක් දෘෂ්ටියක් ප‍්‍රතිපත්තියක් හැදෙයි. කොහොම වුණත් අවසානයේ නිර්මාණය මනුෂ්‍ය වර්ගයාට යම් මෙහෙයක් සිදු වෙන දෙයක් වෙන්න ඕන. නිර්මාණයේ අරමුණ මනුෂ්‍යයා, මිනිස් වර්ගයා ඒ අරමුණ තුළ පිහිටන්න වෙනවා. එය නිර්මාණකරුවාගේ ආධ්‍යාත්මය තුළින් පැමිණිය යුත්තක්. මුල් කාලයේ එහෙම පදනමක් සහිතව නිර්මාණකරුවන් නිර්මාණය වුණා. නමුත් අද එහෙම නැහැ. ගැටලූව ඒකයි.

  • නූතනයේ නම් කලාව වෙළෙඳපොළ වෙනුවෙන් වූ භාණ්ඩයක්, හතු පිපෙන්නාක් මෙන් ගීත බිහිවෙන කාලයක ඔබ ලියූ ගීත වැනි ගීත නොලිය වෙන සමාජ සන්දර්භය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම මම ගීත ලිවීම පිළිබඳවත් පොඩි අමුත්තක් තියෙනවා. ඒ කාලේ රැුකියා අතහැරල වෙන වෙන දේවල් කරමින් ඉන්න කාලයේ දුෂ්කර කාලයක්. මේ කාලයේ මම ඇඞ්වර්ටයිසිං කම්පැනියකට බැඳිලා වැඩ කළා. ඒ කාලේ සමහර දේවල් ලිව්වේ ඒ වැඩසටහන්වලට. නමුත් ඒ වැඩසටහන් කළේ ඉහළම තලයේ හැකියාවන්වලින් යුක්ත වූවන්. පේ‍්‍රමසිරි කේමදාසයන්, අමරදේව වගේ අය, මේ වැඩසටහන් වෙළෙඳ වැඩසටහන් වුණාට ඒ ජිනසේන, බවර් වෙළෙඳ සමාගම් ඔවුන්ගේ භාණ්ඩ විකුණා ගැනීමට ඒ නිර්මාණ යොදා ගත්තට අපි බඩු විකුණන ගීත ලිව්වෙ නැහැ. ඒ නිසා වෙළෙඳ වැඩසටහන්වලට පවා ගුණයක් තිබ්බා. මේ තමයි යුගයේ වෙනස. අපි හැම වෙලේම අතීතය හොඳයි කියනව නොවෙයි. නමුත් මේකයි වෙනස. කලාව මනුෂ්‍යයෝ සඳහා තමයි පුළුල් අර්ථයෙන්. නමුත් කලාව කලාව සඳහා කියන දේ තුළ තියෙන්නේ හොඳ කලාව කියන දේ. ඒ දේ පුළුල් අර්ථයෙන් මනුෂ්‍යයෝ සඳහා තමයි. ලෙනින් වුණත් කීවේ කලාව අයිති ජනතාවට කියලනේ. විශිෂ්ට කලාව ජනතාවට කියලයි ඔහු කිව්වෙ. විශිෂ්ට කලාව තිබුණෙ පන්ති අතර ධනේශ්වර පන්තියට. ඒකයි ලෙනින් ඒ විදිහට කීවේ. ඒ නිසා අපි විශිෂ්ට කලාව ජනතාවට උරුම කරන්න ඕන. කලාව ජනතාවට කියන එකෙන් කලාව බාල කරනව කියන අදහසක් නෑ.

  •  ලංකාවේ සිවිල් යුද්ධයක් පැවතුණා. එහිදී කලාකරුවා හෝ නිර්මාණකරුවා, ලේඛකයා, සතු වගකීම ඉටු වුණාද? නිර්මාණකරුවාට ජාතිය ආගම වැනි සීමාවන්්වල සිට නිර්මාණකරණයේ යෙදීම විසින් සමාජයට ප‍්‍රතිලාභයක් ලැබෙයිද?

ඇත්තටම ඉතාම හොඳ ප‍්‍රශ්නයක්. අපේ රටේ සිවිල් යුද්ධයක් තිබුණා. ඇත්තටම හරි හෝ වැරදි විදිහට යුද්ධය ඉවර වුණානෙ. ඊට පසු සාමයනෙ එන්න ඕන. නමුත් අපේ රටේ නිර්මාණකරුවන් හෝ ලේඛකයන් මේ කාරණය පිළිබඳ සංවේදීව කටයුතු කළ බවක් පේන්නේ නැහැ. සුළු පිරිසක් හිටිය තමයි, ඒ ඉතාම සුළුතරයක්. ඒ සුළුතරය වැඬේ හොඳටත් කළා. නමුත් බහුතරය පිළිබඳ මම කියන්නේ, බහුතරය විදිහට ගත්තහම යුද්ධයත් ඒ ගොල්ලො විකුණගෙන කෑවා. ඊට වඩා හොඳට සාමය විකුණගෙන කනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය කාලයේ ආපු සිනමා රැුල්ල බලන්න. සිනමාවේ ආවේ රජ කතානෙ. ඒකෙ යට තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ මහ ජාතික මහන්තත්තකමනෙ. ඒ දේ දේශපාලනික මතවාදයක් කරගත්තා. ඒක වැරදියි කියල කවුරුත් කිව්වෙ නැහැනේ. කොටින්ම කියනවා නම් හාමුදුරුවො කළෙත් ඒක. බුදුහාමුදුරුවන්ගේ ධර්මය පටන් ගන්නේ පානාතිපාතාවලින්නේ. එතකොට මරන්න යන්න පිරිත් නූල් ගැට ගහන්න පුළුවන්ද හාමුදුරුවන්ට. එතකොට බෞද්ධකම තියෙන්නේ කොහෙද? අන්තිමට ධර්මය පවා විකෘති කළානෙ. ලංකාවේ ලේඛකයෝ, කලාකාරයෝ, හාමුදුරුවරු, මේ හැමෝම දේශපාලන කල්ලි නොමඟ යැවුවා. යුතුකම ඉෂ්ට කළේ නැහැ. දැනුත් කරන බවක් පේන්නේ නැහැ. සුළු පිරිසක් යමක් කළා. අදත් ඔවුන් ඒ දේ කරනවා. මම කියන්නේ බහුතරය පිළිබඳව. අන්තිමට සමස්ත සමාජයම පසුගාමී වුණා. නැවත වැඩවසම් චින්තනයකට ගියා. අන්තිමට අපිට රටේ ඕන අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් නෙමෙයි රජ කෙනෙක් කියන තැනට ගියානේ. රජ සංකල්පය අපේ හාමුදුරුවරු මතු කරද්දි අපේ සිනමාකාරයෝ ඒක සිනමාවේ කළා. අන්තිමට සමාජ මතවාදය අපිට ඕන රජෙක්ය කියන තැනට සකස් කළානෙ. මේක අතිශයින්ම සමාජයේ පසුගාමී චින්තනයක්.

  •  ලංකාවේ සමාජයේ සමාජයීය නිර්මාණකරුවන් වෙනුවට වෙළෙඳපොළ නිර්මාණකරුවන් බිහිවන්නේ ඇයි?

මොන වර්ගයේ නිර්මාණකරණයේ නියැළෙන්නෙක් වුණත් ඔහුට සමාජමය කාර්ය භාරයක් තියෙනවා. ලේඛකයෙක් වුණාමත් එහෙමයි. මොන වර්ගයේ නිර්මාණ කළත් ඔහු සමාජයේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමට වගකීමක් තිබෙනවා. හැබැයි ඒක ප‍්‍රචාරණ ප්‍රොපගැන්ඩා වර්ගයේ එකක් කියන අදහස ඉන් ගම්‍ය වන්නේ නැහැ. සමාජයේ එක් එක් පුද්ගලයා පරිවර්තනයට ලක් කිරීම, දැනුවත් කිරීම, ඥානනය කිරීම, සූක්ෂ්ම ආකාරයෙන් නිර්මාණකරුවාට කළ හැකියි. ප‍්‍රචාරකවාදියෙක් නොවීමත් විඥානවාදියෙක් නොවීමත් නිර්මාණකරුවකුට පැවරෙන වගකීමක්. මේ වගේ පරිවර්තනයන් පොදුවේ සමාජය පරිවර්තනය කිරීමට යොදා ගත හැකියි. එයයි නිර්මාණකරුවා තුළින් ඉටුවිය යුත්තේ. අපි හැමෝම ගෝලීයකරණයට අහුවෙලා, ගොදුරු වෙලා, වෘකයෙක් වගේ හප කරන්න බලන් ඉන්නව වගේ. අද තියෙන විiාව තාක්ෂණය දැනීම සේරම පාවිච්චි වෙන්නේ වෙළෙඳපොළ වෙනුවෙන් මිනිසාගේ යහපතට වඩා අයහපතට. කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ කියන්නේ මෙවැනි සමාජයක විiාඥයා, කලාකාරයා, වෛiවරයා හැමෝම වහල්ලූ බවට පත් වෙනව කියලා. ඒ දේ දැන් වෙලා. මේ පිළිබඳ අපි සවිඥානික විය යුතුයි. නිර්මාණකරුවාට ඒ නිසා කාර්ය භාරයක් පැවරෙනවා.

සංවාදය – දිලිප් කුමාර ලියනගේ / සම්පත් බාලසූරිය / මහේන්ද්‍ර කුමාර