(යෝජිත) ගංගා ද්‍රෝනි අධිකාරිය ජලය විකිණීමටද?

doc1නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන අමාත්‍යාංශය මඟින් කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කරමින් ගංගා ද්‍රෝනි අධිකාරියක් පිහිටුවීමටත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටු වීමටත් යෝජනා කර ඇත. අංක 09/2015 දරන කැබිනට් පත‍්‍රිකාව පදනම් කරගෙන ඒ පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩල කාර්යාලය මඟින් වාරිමාර්ග අමාත්‍යාංශයටත් එමඟින් අදාළ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ටත් දැනුම් දී ඇත. ඒ අනුව මෙම යෝජනාව, ඇතමුන් රට අරාජික යැයි පැවැසුවද ඉතා කඩිනමින් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යයි.

බැලූ බැල්මට ගංගා ද්‍රෝනි පිළිබඳ සිය උපරිම අවධානය යොමු විය යුතු අමාත්‍යාංශ වන්නේ වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදියයි. නමුත් අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන විෂය භාර ඇමැතිවරයා විසිනි. නමුත් මේ සඳහා යම් සාධාරණිකකරණය කළ හැකි කරුණක්ද අදාළ කැබිනට් පත‍්‍රිකාව ගෙන ඒමේදී සඳහන් කර ඇත. එනම් ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය විසින් පාරිභෝජනය සඳහා සපයන ජලයෙන් 85%ක්ම එහි මූලාශ‍්‍ර බවට පත්වී ඇත්තේ ගංගා ද්‍රෝනි ආශ‍්‍රිත වාරි ජලයයි. ඒවා බොහොමයක් බරපතළ ලෙස දූෂණය වී තිබීම යෝජිත ගංගා ද්‍රෝනි කළමනාකරණ අධිකාරිය පිහිටුවීමේ යෝජනාවේ පදනම බවට පත් කොට ගෙන ඇත. මෙම කැබිනට් පත‍්‍රිකාව මඟින් අවධාරණය කර නැති අනෙක් ප‍්‍රධානතම කරුණ වන්නේ ගංගා ද්‍රෝනිවල දිය බෙත්මයන් සහ ජලපෝෂක ප‍්‍රදේශවලට අයත් ඉඩම් විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මඟින් පාලනය වන නිසා ඒ ආශ‍්‍රිතව සිදු වන ජල දූෂණයන් වැළැක්වීමට අසීරු වී ඇති බවයි. ඒ නිසා ගංගා ද්‍රෝනි කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මෙන්ම ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක මැදිහත් වීමද අපේක්ෂා කරයි. මෙම තර්කය කිසිවකුටත් බැහැර කළ නොහැකිය. කෙසේ වෙතත් ඒ සඳහා පූර්වාදර්ශ ලබාගෙන ඇත්තේ අමෙරිකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවෙන් බවද අදාළ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන්ය. නමුත් අමෙරිකාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ජලය සඳහා විශාල මිලක් නියම වී ඇති බවද අපට බැහැර කළ නොහැකිය.

doc2කැබිනට් පත‍්‍රිකාව අධික ජල දූෂණයට තුඩු දෙන ප‍්‍රධාන කරුණු 6 ක් දක්වා ඇත. පහතින් දැක්වෙන්නේ ඒ මඟින් කරන ලද උපුටා ගැනීමකි.

  1. කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් නීතියේ විශේෂිතව දක්වා ඇති ප‍්‍රමිතීන්ට අනුගත නොවන ආකාරයෙන් කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම.
  2. ජලය උරා ගැනීම/ රඳවා ගැනීමේ ස්ථානයන් ආශ‍්‍රිතව වැලිගොඩ දැමීම.
  3. අපද්‍රව්‍ය හා අපජලය ජල ප‍්‍රභවයන් වෙත මුදාහැරීම.
  4. කෘෂිකාර්මික ක‍්‍රියාකාරකම් හේතු කොටගෙන අධික ලෙස සිදු වන පාංශුඛාදනය.
  5. නාගරික/ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිදු වන සංවර්ධන ක‍්‍රියාකාරකම්
  6. ජලය හා පස මුහුදට ගලා යාමට ඉඩ සලස්වමින් පසට වැසි ජලය කාන්දු වීම, උරා ගැනීම දුර්වල වීම හේතු කොට ගෙන ගංවතුර සහ නියඟයන් ඇති වීම.

ඉහත සඳහන් කැබිනට් පත‍්‍රිකාවේ පෙන්වා දී ඇති ප‍්‍රධාන ජල දූෂක මාර්ග 6 වැළැක්වීමේ නීති ප‍්‍රමාණවත් අයුරින් දැනටමත් සම්පාදනය වී ඇත. ඒවා බලාත්මක කිරීම සඳහා ආයතන ව්‍යුහයක්ද විධිමත් ලෙස ස්ථාපිත වී ඇත. ඒවා පිළිවෙළින් පරිසර අමාත්‍යාංශය මෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය දිසාපති කාර්යාලයද වේ. නමුත් එසේ තිබියදී මහා පරිමාණයෙන් ජලය දූෂණය වේ. එය වාරි ජලය පමණක් නොවේ. ජලය පවා මේ වන විට දූෂණය වීමේ අවධානමට ලක් වී ඇත. රතුපස්වල, තුන්නාන ආශ‍්‍රිත ප‍්‍රදේශවල පසුගිය දිනවල කරළියට පැමිණි පානීය ජල ළිං දූෂණය වී තිබීම ඊට උදාහරණයකි. ඒවා එසේ දූෂණයට ලක්වූයේ ඒ ප‍්‍රදේශවල පිහිටි කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය ප‍්‍රමිතියකින් තොරව බැහැර කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. තත්වය එසේ තිබියදී අදාළ කැබිනට් පත‍්‍රිකාව පහත නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.

  • ,. සියලූම ගංගා ද්‍රෝනි ආරක්ෂා කිරීමේ, සංරක්ෂණය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්වීම ස්වාභාවික තුරුලතා ප‍්‍රතිජනනය කිරීම සහ ජල මූලාශ‍්‍ර දූෂණය වීම සම්බන්ධව නීතිය බලාත්මක කිරීම ආදියේ වගකීම පැවැරීම පිණිස ගංගා දෝනි කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීම.
  • ,,. සිය දිය බෙත්මයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ප‍්‍රතිපත්ති, මාර්ගෝපදේශයන්

සහ විධානයන් සැපයීම, ඉහළ මට්ටමින් සම්බන්ධීකරණයන් සිදුකිරීම යන සම්පත් ප‍්‍රතිපාදනය යන කාර්යන් සිදු කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම.

අදාළ නිර්දේශයන්ගේ මුඛ්‍ය අරමුණ එහි ප‍්‍රකාශිත අරමුණම දැයි සැකයක් පවතී. දැනටමත් පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා භාරයේ පවතී. ඉදිරි වසර 5ක් දක්වාම එහි වෙනසක් නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජල දූෂණය වැළැක්වීමේ නීති බලාත්මක කිරීමේ වගකීම දැනටමත් ප‍්‍රධාන වශයෙන් දැරිය යුත්තේ පරිසර අමාත්‍යාංශයයි. ඒ සඳහා රට පුරා ක‍්‍රියාත්මක වන ආයතන ව්‍යුහයක් සහ නිල මඬුල්ලක් ඊට නැත. එසේ තිබියදී ඒ සඳහා ගංගා ද්‍රෝනි කළමනාකරණ අධිකාරියක් අලූතින් ස්ථාපිත කරන්නේ ඇයිද යන්න සැකයට තුඩු දෙන ප‍්‍රධාන කරුණක් වේ. අනෙක් අතින් යෝජිත නව අධිකාරියේ සෙසු වගකීම් බොහොමයක් කෘෂිකර්මය හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරිසර අමාත්‍යාංශය විසින්ද දැරිය යුතුය.

වර්තමාන ධනවාදය මිනිසාගේ පමණක් නොව සතා සිව්පාවුන්ගේ පවා පැවැත්ම අභියෝගයට ලක්වන තරමට පරිසරය වනසමින් සිටී. ඒ වෙන අන් යමක් සඳහා නොව ධනපතියන්ගේ අධික ලාභ ඉපයීමේ නොනිමි ආශාවන් සන්තර්පණය සඳහා සැලසුම් වූ නිෂ්පාදන රටාවක ප‍්‍රතිඵලයක් ලෙසයි. එය ඊනියා පරිසර නීතියට ඉහළින් සැමවිටම බලස්ථාපන ලෙස ක‍්‍රියාත්මක වේ. ඒ නිසා යෝජිත අධිකාරියේ අරමුණ පරිසර නීති ක‍්‍රියාත්මක කර ජල දූෂණය වැළැක්වීම විය නොහැකිය. ඊට ප‍්‍රතිපක්ෂව දැන් සිදුවෙමින් පවතින්නේ ස්වාභාවික සම්පත් පවා මිල කරමින් ඒවා වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමයි. ඒ අනුව යෝජිත ගංගා ද්‍රෝනි කළමනාකරණ අධිකාරිය වාරි ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ මූලාරම්භය විය නොහැකි ද?

චන්ද්‍රසිරි ලන්දගේ