සමාජ ජාල අවකාශය, කවිය හා කලාව

Our-dreams-of-lifeඅතීත පරම්පරාවල කවියො තමන් පත්තරවල කවි පිටුවලට කවි ලියල ඒව පළවෙනකන් බලන් හිටපු හැටි, එහෙම පළ උනහම සතුටු උන හැටි කියනව අහල තියෙනවා. ඒත් වර්තමාන පරම්පරාවට එද්දි අද දවසෙ තරුණ කවියො සම්පූර්ණයෙන්ම නැතත් බොහෝ දුරට පුවත්පතක තම කවිය පළ කරගන්න ඉස්සර තරම් උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. හේතුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එදා නවක කවීන්ට තම නිර්මාණ සමාජයට ගෙනියන්න තිබ්බෙ මාධ්‍ය දෙකයි. එකක් පොතක් විදිහට මුද්‍රණය කරන එක, අනික පුවත්පතක, සඟරාවක පළ කරන එක. ඒත් අද දවසෙ කවීන්ට හරි ඒ ධාරාවේ නිර්මාණකරුවන්ට හරි තමන්ගෙ නිර්මාණ සමාජය සමඟ බෙදා ගන්න විවිධ ක‍්‍රමවේදයන් විවර වෙලා තියෙනව. මූලිකවම ඒ සමාජ ජාල මාධ්‍ය හරහායි. වෙහෙස මහන්සි වෙලා ප‍්‍රකාශකයො හොයාගෙන පොත් ප‍්‍රකාශ කරන්නත් ඔවුන් අතර එතරම් උනන්දුවක් නෑ. මොකද නිර්මාණකරුවෙක් විදිහට ඔවුන් තම නිර්මාණ ඊට වඩා පහසුවට රසිකයන් අතරට ගෙනියනව මෙම සමාජ ජාල මාධ්‍ය හරහා. පත්තරයක කවියක් පළ උනත් ඊට වඩා තෘප්තියක් එම පත්තර පිටුව තමන්ගේ සමාජ ජාල අවකාශයන් තුළ පළ කිරීමෙන් ඔවුන් ලබනවා. මෙතනදි පුවත්පත් ලෙස සතුටු වෙන්නත් කාරණයක් නැතුවම නොවෙයි, ඔවුන් එම පුවත්පත් පිටු ෆේස් බුක් වැනි අවකාශයන් තුළ පළකිරීමෙන් සතුටුවෙන්නෙ මගෙ කවි පත්තරවලත් යනවා යන්න සමාජයට ප‍්‍රකාශ කිරීම හරහායි. ඒ අනුව පුවත්පත් කවි පිටුවලට තවමත් සමාජයේ වටිනාකමක් පවතිනව කියන කාරණයත් ඔප්පු වෙනවා.

සමාජ ජාල මාධ්‍ය අවකාශය කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ සුවිශේෂීයි. මේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට අසීමිත නිදහසක් ලබා දෙනවා. ව්‍යාකරණ සීමා, සංස්කෘතික සීමා, ඉඩකඩ සීමා මේ ආදී සියල්ල අබිබවමින් තමන්ට රිසි පරිදි තම හැඟීම් වචන, රූප කරන්නට ඔවුන්ට ඉඩකඩ විවර වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එම තාක්ෂණය සුලභවීමත් එක්කම මේ සමාජ ජාල අවකාශය භාවිත කරන පිරිසත් පුළුල් වෙන්න ගත්තා. ඊට සාපේක්ෂ මේ අවකාශයෙ නිර්මාණකරුවන් ප‍්‍රමාණයත් වේගයෙන් ඉහළ ගියා. ඒ තුළ සයිබර් අවකාශයේ කවීන්ගේ සංගම් වැනි දේවල් ඇති වුණා. සමාජ ජාල වෙබ් අඩවි හරහා හඳුනාගත් ඔවුන් පසුව සුහද හමු වැනි දේ සංවිධානය කරමින් එකතු වුණා. කවි සංවාද වැඩසටහන්, කාව්‍ය සංග‍්‍රයන් එළිදැක්වීම් වැනි විවිධ කටයුතු මේ සාමූහිකයන් හරහා සිදු වුණා. සාමාන්‍ය කවි පොතක්, පත්තර කවි පිටුවක් වගේ නෙමෙයි මෙහිදී කවියට ඍජුවම තම රසිකයන්ගෙ ප‍්‍රතිචාර ලැබෙනව වගේම ඔවුන් සමඟ සංවාදගත වෙන්නත් අවකාශය උදා වෙනවා.

මෙහිදී කවියට අමතරව විවිධ නිර්මාණාත්මක අදහස් දැක්වීම්, සරල කෙටි චිත‍්‍රපට වැනි විවිධ කලාත්මක අත්හදා බැලීම් මෙම අවකාශය තුළ දැකගත හැකියි. ‘ගප්පියා’ වැනි ප‍්‍රධාන මාධ්‍යවලින් බැහැරව මෙම සමාජ ජාල අවකාශය හරහාම තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගනිමින් ජනපි‍්‍රය වූ නිර්මාණකරුවන් අපට හමුවන්නේ මෙම අත්හදා බැලීම් තුළින්. මෙම නිර්මාණකරුවන් අතර එම සමාජ ජාල අවකාශයටම අනන්‍ය විවිධ වදන්, රූප, කාටූන් චරිත ආදිය පවතින අතර නිර්මාණකරුවන් මේවාද තම නිර්මාණයන් සඳහා දායක කරගනී. මීළඟ නිර්මාණය පළවෙනතුරු බලා සිටින රසික ප‍්‍රජාවන්ද ඇතැම් නිර්මාණකරුවන් වටා එක් වී සිටී.

මෙම සමාජ ජාල අවකාශය දෙස බලන කල සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදයද මැනවින් පැහැදිලි වේ. බොහෝ දෙනකු (හැමෝම අඩු වැඩි වශයෙන්* කවි හා වෙනත් නිර්මාණ මෙහි පළ කරන්නේ අන් කිසිවකට නොව තමන් කියා කෙනකු සිටින බවට බාහිර සමාජයට අඟවන්නටය. සරලව පොරක් වීමටය. මෙහිදී තම නිර්මාණ තුළ විප්ලවීයත්වය, රැුඩිකල්කම, රස්තියාදු උපසංස්කෘතික ලක්ෂණ, මත්ද්‍රව්‍ය භාවිතය පෙන්වීමට මෙම බොහෝ දෙනෙක් උත්සුක වෙයි. එය අසාර්ථක නැත. එම වෙනස් බවට බොහෝ දෙනකු නිතැතින්ම ආකර්ෂණය වෙයි. නමුත් මේ බොහෝ දෙනකු සංවාද තුළ අදහස් දක්වද්දී වගේම පෞද්ගලික ජීවිතවලට එබී බලන විට පැහැදිලි වන කාරණය නම් ඔවුන් බොහෝ විට අතිශය ගතානුගතික බවයි. තවද ඒ විකල්ප භාවිතයන් අප සමඟ එක්ව කි‍්‍රයාකාරීත්වයට නඟන්නට අප යෝජනා කරන විට ඒ බොහෝ දෙනෙක් විවිධ තර්ක, හේතු දක්වමින් අපව මඟ හරී. යථාර්ථය නම් එම බොහෝ නිර්මාණකරුවන් පිටුපස එම නිර්මාණ හරහා ආකර්ෂණයක් ලබා ගැනීමෙන් ඔබ්බට අන් යමක් නොමැති බවයි.

කෙසේ නමුදු මෙම අවකාශයේ කලාකරුවන් විකල්ප අදහස් සමාජගත කිරීමේදී සාධනීය කාර්යභාරයක් ඉටු කරයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ආශ‍්‍රයෙන් ගොඩනැෙඟන සංවාදයන්ද බැහැර කළ නොහැක. එසේම දේශපාලනිකව මෙම අවකාශය භාවිත කිරීම පිළිබඳව විකල්ප ධාරාවේ දේශපාලනය තුළ සිටින පක්ෂ හා සංවිධාන විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ එම මාධ්‍ය අවකාශය දිනෙන් දින දියුණු වෙමින් අද වන විට එදිනෙදා ජීවිතයේ අංගයක් බවට එය පත්වෙමින් ඇති බැවිනි. මිනිසුන් තොරතුරු ලබා ගැනීමට මෙන්ම තම සමාජ සම්බන්ධතා පවාත්වාගෙන යාම සඳහාත් මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිත කිරීම තුළ එදිනෙදා ජීවිතයේ ඔවුන්ට සමීපතම මාධ්‍යය බවට එය පත්ව ඇත. එබැවින් කවිය මෙන්ම අනෙකුත් කලා මාධ්‍යයන් වෙතද එය දැඩිව බලපානු ඇත.

රිවිහාර පින්නදූව