රජ කුමරියගේත් ගොපල්ලාගේත් කතාව සහ යහපාලනයේ රැවටිලි

Awantha Cartoon-of-the-Day-24_03_2015-150-90එක්තරා විදේශ ජන කතාවක රාජ කුමාරියක් සහ ගොපල්ලෙක් සිටියේය. රාජ කුමාරිය ගැන හිත ගිය ගොපල්ලා ඇය වසඟයට ගැනීමට උපායක් යෙදීය. ඔහුට ඉතා මනරම් හඬක් දෙන බෙර නිපදවිය හැකිය. ඔහු එවැනි බෙරයක් හදා කුමාරියට ඇසෙන්නට වාදනය කළේය. කුමාරියගේ සේවිකාවන් ලවා බෙරයේ ගුණ වැයීය. කුමාරියට බෙරය ගැනීමට ආශාවක් ඇති විය. ඊට හිලව්වට තමන්ට කුමාරියගෙන් හාදු දහයක් උවමනා බව ගොපල්ලා කීය. අන්තිමට කුමාරිය එකඟ වූවාය. ගොපල්ලා බෙර කඳේ සිදුරක් විද බෙරය දුන්නේය. කුමරිය බෙරය ගෙන ගොස් වාදනය කළත් මනරම් හඬක් ඇසුණේ නැත. ගොපල්ලා තවත් බෙරයක් හැදුවේය. කුමරිය තුළ ඒ කෙරෙහිද ආශාවක් ඇති කළේය. ඒ බෙරය දීමට නම් තමන්ට හාදු සියයක් අවශ්‍ය යැයි ඔහු කීය. ”දැන් ඉතිං හාදු දහයක් දීල තියෙනවනේ. සීයක් දුන්නම මොනව වෙනවද?”යි සිතූ කුමරිය කලින් තරම් විරෝධය පෑමකින් තොරව එකඟ විය. ගොපල්ලා එහිද සිදුරක් විද දුන්නේය. ඔහු තවත් බෙරයක් හැදීමට පටන් ගත්තේය.

ලංකාවේ ඡන්ද දායකයන්ද රජ කුමාරියට වඩා වෙනස් නැත. මෛත‍්‍රීපාලලා, රනිල්ලා, චම්පිකලා, අනුරලා පසුගිය දෙසැම්බර් මාසයේදී යහපාලන බෙරය වාදනය කළේය. ඒ බෙරයට වශී වූ ජනතාව හාදු සියයක් ද දුන්නේය. දැන් බෙරය ලැබී තිබේ. ඒත් එහි හිල්ය.
ජනවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ මාස ගණනකට පසුවය. එහෙත් ජේ.ආර්. ඇති කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නැත. මහින්ද සම්මත කළ 18 සංශෝධනය අහෝසි කිරීමට අමතරව බලපෑම් සහගත කිසිවක් සිදු කර නැත. සර්ව පාක්ෂික කමිටුවක් හරහා නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ යෝජනාවක් සකස් කරන බව පැවසුවත් දැන් අවිචාරවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පොදියක්ම ඉදිරිපත් කර තිබේ. පුළුල් සංවාදයක් එහි නැත. පෙබරවාරි 2 වැනිදා ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් සම්මත කරන බව පැවසුවත් සිදු කර තිබෙන්නේ ජාතික ඖෂධ අධිකාරිය නමින් ප්‍රෝඩාවකි. එය සේනක බිබිලේ නාමයටත් කළ නිග‍්‍රහයකි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර පෙබරවාරි 18 වන විට පත් කිරීම් සිදු කරන බවට පොරොන්දු වුවත් තවමත් එය සිදුවී නැත. පෙබරවාරි 20 ඉදිරිපත් කොට මාර්තු 20 සම්මත කරන බව කී තොරතුරු දැන ගැනීමේ පනත ගැන දැන් වගේ වගක් නැත. සමෘද්ධි සහනාධාරය 200%කින් ඉහළ දමන බව කිව්වත් සැබැවින්ම සිදු කළේ එය 17%කින් පමණ ඉහළ දැමීමයි. වී මිල ඉහළ දැමුවේ නැත. අමු තේ දළු කිලෝවක මිල රුපියල් 80ක් කරන බව කීවත් සිදු කළේ තිබුණාටත් වඩා පහළ දැමීමයි. රබර්වලට 350ක මිලක් ලැබුණේ නැත.

රජයේ රෝහල්වල සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින සියලූ රෝගීන්ගේ සැත්කම් කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව කී නමුත් එවැනි වැඩපිළිවෙළක් ක‍්‍රියත්මක වූ කරාපිටිය රෝහලේ උද්ගත වූ ගැටලූවට තවම විසඳුම් දී නැත. අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කර දෙමාපියන් මත පටවා ඇති බර හෑල්ලූ කරන බව කීවත් සිදු කළේ චක‍්‍රලේඛයක් මඟින් පාසල්වල මුදල් අය කිරීම නීත්‍යනුකූල කිරීමයි. මේ ලැයිස්තුව මීට වඩා බෙහෙවින් දිගුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන බව කීවත් පොලිසිය යොදා සිසුන් පැහැර ගැනීමේ සිට යාපනය චුන්නාකම්හි ජනතාව තමන්ගේ ජලයට වස මුසු නොකරන්නැයි ඉල්ලා කළ උද්ඝෝෂණවලට වාරණ නියෝග ගැනීම දක්වා පසුගිය ආණ්ඩුව කළ මර්දන ක‍්‍රියාවලිය එලෙසම දියත් වෙමින් තිබේ.

පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් යහපාලන ආණ්ඩුවේ දින සියයක මර්දනය ගැන වාර්තාවක් එළි දැක්වීය. එහි දැක්වෙන ආකාරයට ආණ්ඩුව මැදිහත් වී උද්ඝෝෂණවලට පහරදීම් තුනක්, සිසුන්ට එරෙහිව නඩු පැවරීම් පහක්, උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග ගැනීම් දෙකක්, රහස් පොලිස් නිලධාරීන් ලවා තර්ජනය කිරීම් හා බියවැද්දීම් 23ක්, අත්අඩංගුවට ගැනීම් 4ක් සිදු කර තිබේ. මේ ප‍්‍රමාණය රාජපක්ෂ පාලනය සමඟ සැසඳීමේදී පෙනී යන්නේ මර්දනයේ ප‍්‍රමාණයේ හෝ ගුණයේ අඩුවක් යහපාලනය තුළද නැති බවයි.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ජනතා අපේක්ෂාවක් විය. ඒ ගැන වාදයක් නැත. ඔහු රට ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ සමාජයීය යන සෑම අංශයකින්ම ආපස්සට රැුගෙන යමින් සිටියේය. එහෙත්, ඒ සමාජ අවශ්‍යතාව තම පටු බලකාමී අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීම කොතරම් සදාචාරාත්මකද? මේ ප‍්‍රශ්නය අප අසන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්, මෛත‍්‍රීපාල සිරිසේනගෙන් හා ඒ නඩය වටා කල්ලි ගැසුණ වුන්ගෙන් නොව ජනතාවගෙන්ය. පවතින ආර්ථික ක‍්‍රමය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ නොහැකි බව දැන දැනම එය අහෝසි කරන බවට පොරොන්දු වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර මර්දනය අහෝසි නොකරන බව දැන දැනම එසේ කරන බවට පොරොන්දු දීම ආදී වශයෙන් ‘යහපාලකයන්’ කළේ තමන් විසින් නොකරනු ලබන බව සක්සුදක් සේ පැහැදිලි දේ කරන බවට පොරොන්දු දී ජනතාව ගොනාට ඇන්දවීමයි.

මීළඟ මහ මැතිවරණයට දැන් මේ සියලූ දෙනාම අලූත් බෙරයක් බඳිමින් සිටිති. මෛත‍්‍රීපාලලා හා රනිල්ලා එක් පැත්තකින් අලූත් බෙර බඳින විට මහින්දලා තවත් පැත්තකින් බෙර බඳිමින් සිටිති. එය කලින්ට වඩා උස් හඬිනුත් මිහිරි ලෙසත් වාදනය කරනු ඇත. එය ලබා ගැනීමට නම් තමන් සමඟ රමණය කරන ලෙස මේ ගොපල්ලන් ඉල්ලා සිටිනු ඇත. හාදු සියයක් දුන් පසුව ඇඳිවත උනා දමා ගොපල්ලා සමඟ රමණය කිරීමේ අරුමයක් ඇත්දැයි රජ කුමරියටද සිතෙනු ඇත. ඉන් පසුව සිදු වන්නේ දැන් මෙන්ම බෙරය සද්ද නැතැයි කියමින් කන්කෙඳිරි ගෑමටය. ආඩපාලි කීමටය. එසේ නොවීමට නම් කළ යුතු එකම දෙය ජනතාව සිය බලය සහ ශක්තිය සැබැවින්ම අභ්‍යාස කිරීමයි.

ජනක තුෂාර