පරණගම සහ අලූත්ගම

අලූත්ගම ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වයක් දියත් වෙලා ජුනි 15 වැනිදාට වසරක් සම්පූර්ණ වුණා. 2014 ජුනි 15 වැනිදා අලූත්ගම ඇවිළුණු ජාතිවාදී හා ආගම්වාදී ගින්නෙන් දේපළ විනාශ වුණා වගේම ජීවිත ගණනාවක් අහිමි වුණා. දැන් අපි අවුරුද්දකට පස්සේ ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නේ මේ වගේ විනාශකාරීත්වයන් වසරෙන් වසර සමරන්න  ඕන නිසා නෙවෙයි. නැවත මෙවැනි දේ සිදු වීම වළක්වන්න වගේම ඒ විනාශයෙන් හානියට පත් වූවන්ට යුක්තිය ඉටු කරන්නත් ඒ ගැන සමාජ සංවාදයක් ඇති වීම වැදගත් නිසා. සිදුවීමෙන් අනතුරුව ගෙවී ගියේ වසරක් පමණක් වුණාට සිදුවීම වෙද්දී තිබුණු ආණ්ඩුව නෙවෙයි දැන් තිබෙන්නේ. එදා මේ විනාශය රජයේ සංවිධානාත්මක මෙහෙයුමක් බව කීව, කවදා හරි ඒ බව හෙළිදරව් කරන බව කීව, වරදකරුවන්ට තමන්ගේ පාලනයක් යටතේ දඬුවම් දෙන බව කීව එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩුවේ ඉදිරිපෙළ සිටියදී අපි මේ සටහන ලියනවා. තවමත් ඒ සිදුවීමට අදාළව කිසිවක් සිදුවී නෑ.

2014 ජුනි 22 වැනිදා ජනරළ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය තිබුණේ ”වෙඩි තිබ්බෙ ීඔත්‍ එකෙන්; අලූත්ගම ජනතාව කියයි” යන ආකාරයට. එම කලාපයේම තුන්වැනි පිටුවේ ”අන්ධකාරයේ නීතිය මැදින් අලූත්ගම පැය කිහිපයක්” යන තේමාව යටතේ තිබුණු විශේෂාංග ලිපියෙත් අලූත්ගම ජනතාව ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා මේ සිදුවීම රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් බවට අපට නම් සැකයක් තිබුණේ නෑ. බොදු බල සේනා සංවිධානය සිදුවීම ආරම්භ කළාට වෙඩි තබන්න රජයේ ආරක්ෂක අංශ මැදිහත් වී තිබුණා. පොලිසිය ප‍්‍රචණ්ඩකාරීන්ට තමන් කැමති දෙයක් කරගන්න ඉඩ ඇරලා බලාගෙන සිටි බව එදා අලූත්ගම ගිය අපේ ලේඛකයා සජීවීව දැක්කා. මේ සිදුවීමේ රාජ්‍ය මැදිහත් වීම වසන් කරන්නත් පසුකාලීනව විවිධ උත්සාහයන් දැරුනා. 2014 ජූලි 6 ජනරළ පුවත්පතේ සිරස්තලය කීවේ ‘හමුදාව යන්නේ සාක්ෂි මකන්න’ කියලා. හානියට පත් නිවෙස් අලූත්වැඩියා කරන මුවාවෙන් මේ අපරාධයට අදාළ සාක්ෂි සියල්ල විනාශ කෙරෙන බව ඒ පුවතේ සඳහන් වුණා. හමුදාව ගොස් නිවාස ගොඩනැඟීම ආරම්භ කළේ පොලිස් පරීක්ෂණ ආරම්භ කරන්නත්, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශන ආරම්භ කරන්නත් කලින්. මේ හැම සිදුවීමක් පසුපසම කුමන්ත‍්‍රණකාරී දේශපාලන සැලැස්මක් තිබූ බව ඉතාම පැහැදිලියි.

එදා මේ විනාශයට එරෙහිව වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා විද්වතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරීන් අත්සන් කර පුවත්පත් නිවේදනයක් නිකුත් කළා. එයට අත්සන් කළ අයගෙන් අති බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පරදවන්න හා මෛත‍්‍රී දිනවන්න වැඩ කළා. ඒ දේශපාලන ස්ථාවරය ගන්න ඔවුන්ට තවත් විවිධ දේශපාලන හේතු තිබෙන්න ඇති. ඒත් අලූත්ගමදී පිපිරුණු ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි අභිලාෂයන් ඒ අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගත් බව පැහැදිලියි. ඔවුන් බලාපොරොත්තු වුණේ මෛත‍්‍රී-රනිල් පාලනයක් මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා වෙනස් ප‍්‍රවේශයක් ගනී කියලා. නමුත් අලූත් ආණ්ඩුවට දින 160කටත් වඩා කල් ඉකුත් වී ඇති මේ මොහොතේදී ඒ අපේක්ෂා සියල්ල කඩවී තිබෙන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ.

අලූත් ආණ්ඩුව හොරකම් ගැන හොයනවා කියලා මහා ජනප‍්‍රියවාදී සන්දර්ශන කිහිපයක් පැවැත් වූවාට ජාතිවාදී ගැටුම් ඇවිළ වූ අය ගැන, අතුරුදන් කිරීම් – පැහැර ගැනීම් – දේශපාලන ඝාතන ගැන, මාධ්‍ය ආයතන ගිනිතැබීම් ගැන පරීක්ෂණ සිදු කෙරුණේ නෑ. අලූත්ගම සිදුවීමත් ඒ වගේම කාලයේ වැලි තලාවෙන් වසා දමමින් තිබෙනවා. මේ වගේ සිදුවීම්වල වගකිව යුත්තන් ආරක්ෂා කිරීම, රජය මේවායේ වගකීමෙන් ඉවත් කිරීම මහින්දගේ ප‍්‍රතිපත්තියක් විතරක් නෙවෙයි, ඒක රනිල්ගේත් මෛත‍්‍රීගේත් ප‍්‍රතිපත්තිය. සමාජය තුළ තිබෙන ජාතිවාදී මත සමඟ සම්මුති ගැසීම මිස ඒවා සමඟ ගැටී ඒවා වෙනස් කරන දේශපාලනයක් මේ දක්ෂිණාංශික දේශපාලන නායකයන්ට නෑ. ලංකාවේ දේශපාලන සිරකරුවෝ නෑ කියලා මෛත‍්‍රී කියන්නේත් උතුරේ එක හමුදා කඳවුරක්වත් ඉවත් කරලාත් නෑ – කරන්නේත් නෑ කියලා රනිල් කියන්නේත් ඒ නිසා.

වසරක් ගෙවී ගිය අලූත්ගම සිදුවීම අපේ සමාජයට උගන්වන සිය දහසක් පාඩම් අතර ජාතිවාදයට හා ආගම්වාදයට ඇත්තටම එරෙහි අයට උගන්වන පාඩමක් තිබෙනවා. ඒ මේ අගතීන්ට එරෙහිව දක්ෂිණාංශික ලිබරල් දේශපාලනයේ මිරිඟුව පසුපස ගිහින් වැඩක් නෑ, කළ යුත්තේ පීඩිත පන්ති ජනතාව ඒ අගතීන්ගෙන් මුදාගන්නා වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට එකතු වීම විතරයි කියන පාඩම.