රුසියානු දේශසීමාවට අධිරාජ්‍යවාදී හමුදා!

us armed forcesධනේශ්වර සමාජය, එක්කෝ සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය යන මාවත් දෙකෙන් එකක් තෝරා ගත  යුතු මංසන්ධියකට පැමිණ සිටින බව රෝසා ලක්සම්බර්ග් අදින් හරියටම වසර සියයකට පෙරදී තම ප‍්‍රකට ලේඛනයක් වන ‘ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය’ (Crisis of German Social Democracy) නැතහොත් ‘ජුනියස් පත‍්‍රිකාව‘‘ (The Junius Papers) තුළ ලියා තැබුවාය. එකී පෙර දැක්ම ලිවීම සඳහා ඇය පදනම් කරගත්තේ 19 වැනි ශත වර්ෂය අවසානයේ ධනපති ක‍්‍රමය තුළම මතු වූ සමහන් නොවන පරස්පරතාවන්ය. ඒ වන විටත් පළමුවැනි ලෝක යුද්ධය යුරෝපය පුරා ඇවිළයමින් පැවතිණි. ලක්සම්බර්ග් එහි දෘඩතර විරුද්ධවාදිනියක වූ අතර, කෘතිය ලියන විට,  ජර්මනියේ බාර්නිම් වීදිය නම් කාන්තා සිර ගෙය තුළ වසරක සිරදඩුවමක් විඳිමින් සිටියාය.

අද දන්නා පරිදි, පළමු ලෝක යුද්ධය අවසන් වූයේ මිනිස් ජීවිත මිලියන 17ක් පමණ බිලි ගනිමිනි. මද විරාමයකින් අනතුරුව දෙවැනි ලෝක යුද්ධයද පැන නැඟිනි. එය බිලිගත් ජීවිත සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි. සමස්තයක් ලෙස 20ශත වර්ෂය පුරා මෙබඳු යුද ගැටුම් හේතුවෙන් මිලියන 150කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් වනසනු ලැබ ඇති බව දළ ලෙස ගණනය කර තිබේ. විනාශ වූ දේපළ පිළිබඳ සංඛ්‍යාලේඛනද මීට එක් කළ හොත් චිත‍්‍රය තවත් අඳුරු වන බව නොකිවමනාය. ඉදිරි වසර තුළදී, ලෝක ජනගහනයෙන් ධනවත්ම 1% ඉතිරි 99%ට හිමි ධන ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් අත්පත් කරගැනීමට නියමිතය. එය ලෝක ධනයෙන් 50% ඉක්මවන ප‍්‍රමාණයකි.

සැබැවින්ම සිදු වෙමින් පවතින්නේ කුමක්ද? රෝසා ලක්සම්බර්ග් වසර 100කට පෙරදී දුටු ‘එළඹීමට නියමිත ම්ලේච්ඡුත්වය‘ අද අපි අපේ ජීවිතවලින්ම අත් විඳිමින් සිටිමු. ඒ අතරම ධනේශ්වර ක‍්‍රමයෙහි අර්බුදය හා සබැදි උක්ත සමාජ ඛේදවාචකය පිටුපසින් තුන් වැනි ලෝක යුද්ධයකට අදාළ පෙරනිමිති රැුසක්ද නැෙඟමින් පවතී. නැෙඟනහිර යුක්රේනය සහ බෝල්ටික් කලාපය එහි තීීරණාත්මක ලීවරයන් ලෙස හැඳින්විය හැකිය. අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ යුද හවුල  තම ආධිපත්‍යය අදාළ කලාපයන් තුළ ස්ථාපනය කිරීම සඳහා කුමන්ත‍්‍රණ, කුපිත කරවීම් ඇතුළු සියලූම ක‍්‍රියාමාර්ග ගැනීමට යොමුව සිටියි. යුක්රේනයෙහි රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකිරීමේ දක්ෂිණාංශික-ෆැසිස්ට් කුමන්ත‍්‍රණය එක් නිදසුනකි. අනතුරුව බලයට පැමිණි පොරොෂෙන්කෝ තන්ත‍්‍රය නේටෝවෙහි පැහැදිලි අතකොළුවකි. එය නැෙඟනහිර යුක්රේනයෙහි රුසියානු හිතවාදී කැරලිකරුවන්ට මෙන්ම කොමියුනිස්ට්වාදීන්ට සහ සාමාන්‍ය ජනයාට එරෙහි බිහිසුණු මර්දනයක් දියත් කරනු ලැබීය. එහි දීර්ඝ ඉලක්කය වූයේ විනාශකාරී යුද්ධයකින් රුසියාව දණගස්වා, බලවතකු ලෙස තවදුරටත් එහි පැවැත්ම බිඳ දැමීමය. ක්‍රෙම්ලිනයේ ආරක්ෂක ප‍්‍රධානීන් තත්වය විශ්ලේෂණය කරමින් කියා සිටියේ නේටෝව යුක්රේන අර්බුදය මඟින් රුසියාවේ ආණ්ඩු පෙරළියකට කුමන්ත‍්‍රණය කරමින් සිටින බවයි. රුසියාව කැබලි කර දැමීම එහි තවත් අරමුණකි. ඒ අනුව තම ප‍්‍රතිචාරය දක්වනු පිණිස පුටින් තන්ත‍්‍රය පළමු වටයේදී තෝරා ගත්තේ ක‍්‍රිමියාවයි.  එය කැරලිකාරී ලෙස මෙන්ම ජනමත විචාරණයක අනුමැතියක්ද සහිතව යුක්රේනයෙන් වෙන්ව රුසියාවට එක් විය.

දෙවැනි වටයේදී නැෙඟනහිර යුක්රේන කැරලිකරුවන් යුක්රේන ආණ්ඩුවට එරෙහිව බල ගැන්විණි. එය කිසියම් ආකාරයකින් නේටෝවෙහි බල ව්‍යාපෘතිය අඩපණ කරනු ලැබීය. නමුත් නේටෝව ඉන් අනතුරුව වඩාත් බරපතළ ප‍්‍රකෝපකරණයකට අවතීර්ණ විය. රුසියාවට එරෙහිව ආර්ථික සහ රාජ්‍ය තාන්ත‍්‍රික සම්බාධක පැනවීම එක් පියවරකි. නේටෝවෙහි අනෙක් ක‍්‍රියාමාර්ගය වනුයේ ‘යුක්රේනය සහ බෝල්කන් කලාපය කේන්ද්‍ර කරගත් රුසියානු ආක‍්‍රමණයක්’ පිළිබඳ ‘භීතිකාවක්’ වර්ධනය කරලීමයි. පසුගිය වසරෙහි පෝලන්තයේ කළ සංචාරයේදී ජනා‍ධිපති ඔබාමා වඩාත්ම දැඩි ලෙස අවධාරණය කළ කාරණය වූයේ ‘රුසියානු ආක‍්‍රමණකාරී හැසිරීම’ පිළිබඳවයි. නැගෙනහිර යුරෝපය තුළ සිටින අමෙරිකානු යුද බලඇණි ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ආරක්ෂක සැලැසුමක් පිළිබඳව ඔහු එහිදී හෙළිදරව් කර සිටියේය. ඒ අතරම පසුගිය සැප්තැම්බරයේ තම එස්තෝනියානු චාරිකාවේදීද ඔබාමා එබඳුම ප‍්‍රකෝපකරණයක යෙදිණි. රුසියාව එස්තෝනියාවට, ලිතුවේනියාවට සහ ලැට්වියාවට ප‍්‍රහාර එල්ල කළහොත් නේටෝව තම සාමාජික රාජ්‍යයන්හි ආරක්ෂාව වෙනුවෙන් සටන් වදිනු ඇති බව ඔහු කියා සිටියේය.

නේටෝවෙහි හිටපු මහ ලේකම් රස්මුසෙන්ද තම ස්වාමියා අනුව යමින් පසුගිය පෙබරවාරියේදී ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත්පතට කියා සිටියේ පුටින්ට නැවතත් පැරණි සෝවියට් බලය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍යව ඇති බවයි. ඒ යටතේ බෝල්ටික් රටවලට එරෙහි රුසියානු ආක‍්‍රමණයකට විශාල විභවයක් පවතින බවට ඔහු පුරෝකථනය කළේය.  නමුත් පසුගිය දශක දෙක තුළ රුසියාව බෝල්ටික් කලාපයේ කිසිදු රටක් සම්බන්ධව ආක‍්‍රමණකාරී ප‍්‍රකාශයක් හෝ කර නොමැති බව පැහැදිලි කරුණකි. එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන බෝල්ටික් රාජ්‍ය  ත‍්‍රිත්වය ගත් විට ඒවා කුඩා දුර්වල රාජ්‍යයන් වන අතර ඒකාබද්ධ ජනගහනය මිලියන 6.6 නොඉක්මවයි. නමුත් ඔබාමා සහ ඔහුගේ සගයන්ට අවශ්‍ය වනුයේ ‘රුසියානු ආක‍්‍රමණයක්’ පිළිබඳ බෝල්ටිකයන් බියපත් කොට යුද ආතතිය දැල්වීම බව අමුතුවෙන් කිව යුතු නැත. බටහිර අධිපති මාධ්‍යයන්ද ‘රුසියානු භීතිය’ මහජන විඥානය තුළට එන්නත් කිරීම තම ප‍්‍රමුඛ කාර්යයක්  ලෙස මේ වන විට භාරගෙන තිබේ. ඔවුන් අඟවනුයේ පුටින් තම බලය ව්‍යාප්ත කර ගැනීම සදහා න්‍යෂ්ටික ප‍්‍රහාරයකට පවා යොමු විය හැකි බවයි. ඇතැම් ශාස්ත‍්‍රාලීය බුද්ධිමතුන් පවා ‘එය විය හැකි දෙයක්’ ලෙසට ගණන් බලමින් සිටිති.

අද වන විට,  නේටෝව තම කුපිත කරවන ප‍්‍රකාශයන්ගෙන් ඔබ්බට ගොස් යුරෝපයෙහි රුසියානු දේශ සීමා ඇසුරෙහි බරපතළ යුද සූදානමක්ද වර්ධනය කරමින් සිටියි. පසුගිය මැයි 25දින සිට ජුනි 4 දක්වා කාලය තුළ ආක්ටික් සාගරයට ඉහළින් ඔවුන් පැවැත්වූ විශේෂ ගුවන් ආරක්ෂක අභ්‍යාසය දිය හැකි එක් නිදසුනකි. ඊට ගුවන් යානා 100ක් සහ සෙබළුන් 4000ක් ඇතුළත් විණි. ඉන් නොනැවතුන ඔවුහු පසුදින සිට දින 10ක තවත් යුද අභ්‍යාසයක් බෝල්ටික් මුහුදේදී පැවැත්වූහ. ඊට එක්වූ සෙබළුන් සංඛ්‍යාව 5600කි. නේටෝ යුද සූදානම ඉන් ඔබ්බටද ගමන් කරනු දැකිය හැකිය. හමුදා සෙබළුන් 5000ක් ඉදිරියේදි ස්ථාවර ලෙස බෝල්ටික් රාජ්‍යයන් තුළ රැුඳවීමටද ඔවුන් සැලසුම් කර තිබේ. පෝලන්තය තුළ සැලකිය යුතු බර අවි ප‍්‍රමාණයක් ස්ථාපනය කිරීමේ සැලසුමක්ද මීට සමාන්තරව ක‍්‍රියාත්මකය. ඔවුන්ගේ යුද අභ්‍යාස බෝල්ටික් කලාපයට පමණක් සීමා වී නොමැති බවද සඳහන් කළ යුතුය. මැයි මස මුලදී, කොකේසස් රාජ්‍යයක් වන ජොර්ජියාව සමඟද අමෙරිකා එක්සත් ජනපද සහ නේටෝ බලකායන් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීය. නේටෝව ඉහත යුද ප‍්‍රයාමයන් සියල්ල සමඟ අඛණ්ඩ ලෙස යුක්රේන ආණ්ඩුව සහ එහි අතවැසි අන්ත දක්ෂිණාංශික මිලිෂියාවන්ද බල ගන්වමින් සිටින බව අතිරේකව සඳහන් කළ යුතුය.

ඉහත  ප‍්‍රකෝපකරණයන්ට එරෙහි රුසියානු ප‍්‍රතිචාරය වූයේ යූරල් සහ බටහිර සයිබීරියාව කේන්ද්‍ර කරගත් සති දෙකක් දිගැති මහා පරිමාණ ගුවන් අභ්‍යාසයකි. ඊට ඇතුළත් වූ ගුවන් යානා සංඛ්‍යාව 250ක් වන අතර භට සංඛ්‍යයාව 12,000කි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තම මෙහෙයුම ‘ආරක්ෂක ශක්‍යතා විමසා බැලෙන හදිසි පරීක්ෂණයක් ලෙස අර්ථ ගැන්වීය. ඒ අතරම මෙම වසර තුළදී තම බලකායන්ට නව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල 40ක් එක්කරන බව රුසියානු ජනාධිපති ව්ලැඟිමීර් පුටින් කියා සිටියේය. එමඟින් පැහැදිලි වනුයේ රුසියාවද නේටෝ තර්ජන හමුවෙහි තම පංගුව අත හැරීමට සූදානම් නොමැති බවයි.

ඒ අතරම ඉහත කී අන්තර් අධිරාජ්‍ය කා කොටාගැනීම් නැෙඟනහිර යුරෝපයට පමණක් සීමා වී නොමැති බවද සඳහන් කළ යුතුය. සිරියාව, ඉරාකය හා යේමනය ඇතුළු‍ මැද පෙරදිග සිසාරා යන ලේ වැකි සිවිල් යුද්ධයන්ද ඊට ඍජුවම සම්බන්ධිතය. අනෙක් පසින් ගත් විට දකුණු චීන මුහුදේ ආධිපත්‍යය සම්බන්ධව එක්සත් ජනපදය සහ චීනය අතර ඇවිළෙමින් පවතින බල අරගලයද එකී චිත‍්‍රයෙහි තවත් පාර්ශ්වයකි.
නේටෝව සසල කරවන තවත් කාරණයක් තිබේ. රුසියාව තම යුද බලය නංවන අතරම ඉරානය මෙන්ම මධ්‍යම ආසියානු සහ චීනය ප‍්‍රමුඛ බි‍්‍රක් :ඊඍෂක්‍* රාජ්‍යයන් සම්බන්ධ කරගත් ආර්ථික සන්ධානයක්ද
ගොඩනඟමින් සිටියි. එහි අරමුණ බටහිර බලවතුන්ගේ ආර්ථික බලය මෙන්ම සම්බාධක හැකියාවන් හීන කරවීමට බව නිසැකය. අනෙක් පසින් අදාළ රාජ්‍ය අතරම කිසියම් ආකාරයක යුද සන්ධානයක් හෝ එවැන්නකට මඟ පාදන පොදු අවබෝධයක් නිර්මාණය කරගැනීම සඳහාද රුසියාව උනන්දුව දක්වයි. ඉහත කී සාධක ද්විත්වය නේටෝ රාජ්‍යයන්හි ආධිපත්‍යධාරී අරමුණු වි‍ෂයෙහි  බලවත් තර්ජනයක් බව නොකිවමනාය. ඒ අනුව ඔවුන් රුසියාව පසු බැස්සවීම සඳහා පළමු වටය තුළදී ඉහත කී ලෙස සම්බාධක පැනවීම සහ තම යුද බලය ප‍්‍රදර්ශනය කිරීම තෝරා ගෙන තිබේ. එය වසර කිහිපයක් පුරා දිග්ගැස්සෙන ක‍්‍රියාවලියකි. නමුත් අවසානයේදී  අදාළ උපායමාර්ගය අසාර්ථක වුවහොත් කිසියම් ආකාරයක ප‍්‍රහාරාත්මක විකල්පයක් තෝරා ගැනීමට නේටෝවට සිදු වනු ඇත. වර්තමාන සිදුවීම්වල පෙළගැස්ම දිශාගතව ඇත්තේ එවැන්නකටය.

සැබැවින්ම සිදු වෙමින් පවතිනුයේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධවලට තුඩු දුන් සමාජ ආර්ථික සාධකයන්ම  වෙනස් රූපාකාරයකින් නැවත ඉස්මතු වීමකි. ඊට සමාජවාදය හෝ අධිරාජ්‍ය විරෝධය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. ඇත්තේ අර්බුදයෙහි ගිලී සිටින ධනේශ්වර පාලකයන් ලෝකය නැවත බෙදාගැනීමට දරන වියරු ප‍්‍රයත්නයක් පමණි. පීඩිත පන්තීන්ට නායකත්වය දිය හැකි බලගතු සමාජ ව්‍යාපාරයන් න්‍යාය පත‍්‍රයට මැදිහත් නොවුණහොත් තුන්වැනි ලෝක යුද්ධය අප අත්විඳින ඊළඟ බිහිසුණු යථාර්ථය වනු ඇත.

ගාමිණි හෙට්ටිපතිරණ