පර්චස් 20 ඉල්ලන්නේ ඇයි?

m24-sri1-480මීරියබැද්ද ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතා ප‍්‍රශ්නයට අනුව බලන විට පර්චස් 7ක ඉඩම් කොටසක් සඳහා රට පුරා දුන් ඔප්පු ප‍්‍රදානයද වංචාකාරී කි‍්‍රයාදාමයකි. ඔවුනට අසාධාරණයක් සිදු වී ඇති බව මේ වන විට තහවුරු වී ඇත. ඔවුනට දී ඇත්තේ තාවකාලික ලියවිල්ලකි. මීරියබැද්ද ව්‍යසනයට ඍජුවම මුහුණ පෑ පවුල් සංඛ්‍යාව 75කි. ඉහත තාවකාලික ලියවිල්ලද ලබාදී ඇත්තේ පවුල් 59කට පමණි. ඉතිරි පවුල් 16ට එය අහිමි වී ඇත්තේ කුමක් නිසාද? ඒ පිටුපස ඇත්තේ වතු සුභසාධන අංශයයි. අදාළ පරිපාලන අංශ විසින් තොරතුරු නිරවුල්ව වාර්තා නොකිරීමද තවත් ගැටලූවකි. දේශපාලන වුවමනාව මත වෙනත් අයට එම නිවෙස් ලබා දීමට කළ උත්සාහයක් මේ තුළ ඇත. එපමණක් නොව මෙම ඔප්පු ප‍්‍රදානයේදී පසුගිය මැතිවරණයේදී පාලකයන් ජනතාවට ලබා දෙනවා යැයි කී පොරොන්දු වූ  ‘පර්චස් 10’ ඉඩම් කොටසත් ලබාදී නැත. එය පර්චස් 7ක් දක්වා පල්ලම් බැස ඇත. පසුගිය කාලයක් පුරා බොහෝ අරගල ඔස්සේ ඉල්ලා සිටියේ වතු කම්කරුවන්ට පර්චස් 20ක ඉඩම් කැබැල්ලක්වත් ලබා දෙන ලෙසයි. එහෙත් ඒ සියල්ල මේ වන විට නොසලකා යෑම සාමාන්‍ය ක‍්‍රියාවලියක් වී ඇත.

අප සමඟ කතා කළ 29 හැවිරිදි කන්දයියා කුමරේෂන්ගේ අදහස තුළින් එය වඩාත් තහවුරු වේ.
”ඇත්තටම මේ ඔප්පු දීපු විදිය සාධාරණ නෑ. මීරියබැද්ද ලැයිමට උඩින් වත්තේ ඉඩම් කෑල්ලක් අපිටත් ලැබුණා. ඒ ඉඩම්වල ගෙවල් හදලා දෙන්නේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වලින් කියලා අපිට කීවා. ඒ හදන ගෙට හිලව් වෙන්න අම්මාගේ පඩියෙන් හැම මාසයකම රු.2100/- ක් ගානේ කපනවා. එයාලා කීවේ ගේ ඔක්කොම හදලා දෙනවා කියලා. ඒකත් හරියට හදලා දුන්නේ නෑ. අඩුපාඩු ගොඩයි. ඒ ඉඩම්වල ටොයිලට් නෑ. වතුර පහසුකම් නෑ. ගෙවල් හදලා තියෙන්නේ භාගෙට. දොර ජනෙල් දාලා නෑ.  ඒ නිසා ඒකට යන්න බෑ. ඒත් 2010 ඉඳලා අද වෙනකම්ම මුදල් කපා ගන්නවා. වත්තෙන් තාම මේ ගෙවල්වල වැඩ ඉවර කරලා දුන්න නෑ. ඉතින් 2014 – 10 වැනි මාසයේ 29 වැනිදා උදේ 7.35 ට අපේ ලැයිමේ ගෙවල් යට වුණා. අපිට අපේ කියලා තිබුණ ඔක්කොම දේවල් නැතිවුණා. ඉතිරි වුණේ ජීවිතය විතරයි. දැන් අපි මේ කඳවුරේ මාස 8ක් තිස්සේ ඉන්නවා. අපේ අම්මා කඳවුරේ ඉන්න ගමන් වත්තේ වැඩට යනවා. අදටත් එයාගේ පඩියෙන් 2100/- අඩු කර ගන්නවා. ඒත් අපි තාමත් කඳවුරේ. ඒ භාගෙට හදපු ගෙට අපි ගියෙත් නෑ. අපි යන්න කලින් තමා ලැයිම නාය ගියේ. ඇයි දැන් අපිට ගෙයක් දෙන්න බැරි. එයාලා හරියට මේ ගෙවල් නොලැබුණු අයගේ විස්තර ටිකවත් තාම ගත්තේ නෑ. හරියට ගත්තා නම් ඇයි මේවා දෙන්නැත්තේ? වතු බලධාරීන්ගේ සහ දේශපාලන බලධාරීන්ගේ වාසියට තමා මෙහෙම කළේ. එදා පවුල් 59කට ඔප්පු දුන්නා. පවුල් 16කට දුන්නේ නෑ. ඇයි අපට දුන්නේ නැත්තේ? අපි වත්තේ නෙවෙයිද? වත්තේ ලැයිම් පේළියේ නැති පවුල් 9කටත් ගෙවල් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ අවදානම් නිසා. ඉතින් අපි මඟහැරුනේ කොහොමද?”

කෙසේ වුවද මේ වන විට පවුල් 16කටම ලබා දුන් තාවකාලික ලියවිල්ලවත් ලැබී නැත. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ නොසැලකිලිමත්භාවයයි. එමෙන්ම ඔවුන් මෙවරද වතු ජනතාව නොමඟ යවා යවා ඇති බවයි. තවද, මීරියබැද්ද නාය යෑමට ලක් වූ නිවෙස්වලට ඉහළ කොටසේ ගොඩනඟා ඇති නිවෙස් සඳහාද අවදානමක් නොමැති බව නිවැරදිව තහවුරු වී නොමැත. සිය ඥාති හිතමිතුරු, ¥ දරුවන් මියගිය බිමේ යළි ජීවත් වීමද ඔවුනට බරපතළ කම්පනයක් සහිත කි‍්‍රයාදාමයකි. එය ඔවුන්ගේ සිතුම් පැතුම් මෙන්ම සංස්කෘතික ජීවිතයේ බැදීම් කෙබඳු දැයි සිතන සමාජයක්ද අද ඔවුනට නැත.

වතු කම්කරුවාට සිදු වන අසාධාරණය, නොසලකා හැරීම පිළිබඳ අප හා කතා කළේ ‘සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරයේ’ කැඳවුම්කරු මාක්ස් ප‍්‍රභාගර්ය. ඔවුන් වතු කම්කරුවන්ට පර්චස් 20ක බිම් කොටසක් ඉල්ලා අරගල කරන ව්‍යාපාරයයි.

”වතු කම්කරුවා අවුරුදු 200ක් තිස්සේ කිසිම ඉඩම් කෑල්ලක් නැතුව තමා වැඩ කරන්නේ. ලැයිම දීලා තියෙන්නේ නවාතැනක් විදියට. මෙයාලාට දැන් යන්න කියාපු ගමන්ම මේ ගෙදර ඉන්න බැහැ. ගෙදර භාරදීලා යන්න කිව්වම යන්න  ඕනි. රටේ වෙන ගෙවල්වල දෙමව්පියන් නැතත් දරුවෝ ඉන්නවා. වත්තේ එහෙම බැහැ. වත්තේ වැඩ නම් පමණයි ගෙදර ඉන්න දෙන්නේ. තාවකාලික ගෙයක් විදියට දෙන්නේ. අම්මා තාත්තා වැඩ කරලා දරුවොත් එක්ක ඒ ගෙදර ඉන්න පුළුවන්. අම්මා හෝ තාත්තා නැත්නම් එයාලා වත්තේ වැඩ කරන්නේ නැත්නම් ඒ කට්ටිය ගෙයින් එළියට දාන්න වතු බලධාරීන්ට අයිතියක් තියෙනවා. අපි කියන්නේ දැන් ඉඩම් බෙදන්නේ තමන්ට ආදායමක් හොයා ගන්න. රටේ සමහර අවස්ථාවල කට්ටියට ඉඩම් බෙදනවා. ඉඩම් බෙදන්නේ සිංහල අයට පමණයි. වත්තේ මිනිසුන්ට කවදාවත් සින්නක්කර ඉඩම් බෙදලා නෑ. ඒ නිසා වත්තේ වැඩ කරන අයට වත්තේ ලැයිම දෙන්නෙත් නෑ. නමුත් අවුරුදු 200ක්ම මෙයාලා වත්තට වැඩ කරලා තියෙනවා. කිසිම අනන්‍යතාවක් නැතිව මැරිලා යනවා. සිංහල ජනතාවට ගොඩ ඉඩම් දුන්නා, කුඹුරු දුන්නා. ඒ සහල් අපනයන කරන්න නෙවෙයි. ඔවුන්ගේ පෞද්ගලික පරිභෝජනයට තමා දුන්නේ. ඒ නිසා ගොවි ජනපද ව්‍යාපාරවලින් රජයට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. ඒ ඉඩම් දුන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න. එහෙත් වතු කම්කරුවන්ට එහෙමද? තේ වතු කියන්නේ විදේශ විනිමය උපයන මාර්ගයක්. වතු කම්කරුවාට ගෙයක් හදා ගන්න ඉඩමක් දෙන්න බැරි ඇයි? අපි කියන්නේ එයාලට ඉඩමක් දෙන්න  ඕනි. සතියේ දවස් පහේම වත්තේ වැඩ. සෙනසුරාදා, ඉරිදත් වැඩ. ඒ නිසා මෙයාලට වෙන ආදායමක් උපයන්න වෙලාවක් නැහැ. වෙන වත්කම් නැහැ. මේ තරම් විශාල ආදායමක් දෙන ජන ප‍්‍රජාවකට දුන්නේ බොරු ඔප්පු විතරයි. ඒකත් පර්චස් 7යි. අපි ඉල්ලන්නේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට නිවසට, වගාවට ඉඩම් දෙන්න පුළුවන් නම් රටට ආදායම් උපයන අයට ඇයි පර්චස් 20ක් දෙන්න බැරි? රජයට විශාල වගකීමක් තියෙනවා.

රටට ආදායම් ලබා දෙන මොවුන්ගේ ඉඩම් ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්න. අනිත් එක සතිය පුරාමත් එයාලා වැඩ කරනවා. ඒ රට වෙනුවෙන්. තමන්ට කියලා කීයක් හරි හොයා ගන්න පරිසරයක් නැහැ. පොඩි වගා කොටසක්වත් පොඩි ඉඩමක්වත් පර්චස් 20ක ඉඩමක්වත් මෙයාලාට දෙන්න  ඕන. එහෙම නැත්නම් වතු ව්‍යාපාරය රජයට පවර ගන්න  ඕන. තේ ඉඩම් අක්කර දෙක ගානේ කම්කරු පවුල්වලට දෙන්න  ඕන. වගාවට අවශ්‍ය දේවල් දෙන්න  ඕන. ඊට පස්සේ ඒ නිෂ්පාදන සාධාරණ මිලකට රජයට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම එහෙම කරනවා නම් ෑඡුත්‍ල ෑඔත්‍  ඕන නෑ. දැන් එයාලට කිසිම ආරක්ෂාවක් නැහැ. හැම තිස්සේම ජීවත් වෙන්නේ ලොකු අවදානමක් එක්ක”

සැබැවින්ම පර්චස් 7ක් නොව 20ක් ඉල්ලීමට අදාළ හේතු ගණනාවක්ම ඒ හා බැඳී පවතී. ”පර්චස් 7ක කාමර තුනක් හදන්න පුළුවන්. දැන් දික් අතට තියෙන ලැයිම අනික් අතට හදනවා. එහෙත් තනි තනි කාමර බෙදන්න බැහැ. ආහාර ගැනීම, නිදා ගැනීම, පවුලේ අය හමුවීම, ආගන්තුකයන් පිළිගැනීම, දෙවියන් වන්දනා කිරීම සහ නිවැසියන්ගේ සාමාන්‍ය කටයුතු සඳහා කාමර පහසුකම් සාමාන්‍ය නිවසක තිබිය යුතුයි. ලෝකයේ ජීවත් වන සාමාන්‍ය ජනතාවට වගේම වතු කම්කරුවාට හිමි සංස්කෘතික ජීවිතයක් තියනවා. නමුත් පර්චස් 7ක් දීම තුළ මේ කරන්නේ පරණ ලැයිම් ක‍්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑම විතරයි. මේ පර්චස් 7 ලබා දීම තව අවුරුදු  5 කින් 10කින් වෙනස් වෙන්නෙත් නැහැ. මේ පවුල්වල සාමාජික සංඛ්‍යාව වැඩි වන විට, අනු පවුල් එකතු වන විට ඉඩම වැඩි වෙන්නෙත් නැහැ. එයාලට ඒක කරදරයක්. එයාලගේ දූපුතුන්ට, අනු පවුල්වලට එකම මිදුල, එකම සාලයක් තිබෙන අඩුම තරමින් නිදන කාමරයක්වත් වෙනම හදා ගන්න කරන අවම ඉල්ලීම තමයි කරන්නේ. රජයට සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් නම් මේකට සාධාරණයක් කළ යුතුයි”

ඒ නිසා අපි කියන්නේ පර්චස් 7ක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි. සමාජ සාධාරණත්වය උදෙසා සංවිධානය මේ සටනේ දිගටම ඉන්නවා. ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම මෙරට ජීවත් වන සාමාන්‍ය ජනයාට හිමි සිවිල් ජන ජීවිතය වතු කම්කරුවාට හිමිවිය යුතුය. ඔවුන් ගත කළ වසර 200ක ජීවිතයෙන් තහවුරු වන්නේ ඔවුනට බොහෝ දෑ අහිමි වී ඇති බවයි. ඔවුනගේ හෙට දවසේ අත්දැකීම වෙනස් කළ යුතුය. එමෙන්ම වතුකම්කරු ප‍්‍රජාව පිළිබඳ වත්මන් කියවා ගැනීම වෙනස් විය යුතුය. ඔවුන් වෙනුවෙන් අරගල කිරීම සම්බන්ධ පුළුල් අභ්‍යාසයක් හෙට දවස තුළ ගෙන ආ යුතුය.

ඉන්දුමතී විද්‍යාරත්න