හැරෙන්නේ කොහේටද? බල පොරය එළියට

Cartoon 01මැතිවරණයක් පැවැත්වීම සඳහා හැම පැත්තකින්ම සූදානම් වෙමින් සිටින බව පෙනේ. එක්සත් ජාතික පක්ෂය  ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන ලෙස උද්ඝෝෂණය කරමින් සිටී. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ පොරොන්දු වූ දින 100 ඉක්ම ගොස් ඇති බැවින් වහාම අලූත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. පැරණි ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි. ජනතා විමුක්ති පෙරමුණද එම සටන් පාඨයම උච්චාරණය කරමින් සිටින අතර ජුනි 18 සිට ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමට සැරසෙන බවද පැවසේ. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්නේ මහින්ද-මෛත‍්‍රී සම්මුතියක් ඇති කිරීමට උත්සාහ කිරීම හරහාය. ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමට හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කිරීමට සය පුද්ගල කමිටුවක් පත් කිරීමට ජුනි 16 වැනිදා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ රැුස්වූ ශ‍්‍රීලනිප මහජන නියෝජිතයන්ගේ හමුවේදී තීරණය කර ඇත. මෛත‍්‍රී තවදුරටත් පොදු අපේක්ෂකයා ලෙස නොව ශ‍්‍රීලනිප නායකයා ලෙස ඉදිරි මැතිවරණයේදී පක්ෂය දිනවීමට කටයුතු කරන බවට ඉඟි පළවී ඇත්තේ මේ තීරණය ඔහුගේ අනුමැතියෙන් යුතුව ගත් නිසාය. පසුගිය දා මාතර පැවැති මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කරවීමේ රැුලියට සන්ධානයේ මහජන නියෝජිතයන් 71ක් සහභාගි වීමත් සමඟ ශ‍්‍රීලනිපය තුළ මහින්ද සතු බලයද ප‍්‍රදර්ශනය වී ඇති නිසා ශ‍්‍රීලනිපය තුළ සිය නායකත්වය රැුක ගැනීම සඳහා යම් එකඟතාවකට යාමට මෛත‍්‍රීට බල කෙරී ඇතිවා වන්නටද ඉඩ ඇත. එකඟතාවකට කැමැත්ත දීම හුදු උපක‍්‍රමයක් පමණක්ද යන්නද ඉදිරියේදී හෙළිදරව් වනු ඇත.

මෛත‍්‍රී හා මහින්ද දෙදෙනාම එකතු කර ගෙන ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමට සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම හා ටී.බී. ඒකනායක සහිත කමිටුවක් නම් කළ දිනම අතුරලියේ රතන හිමි තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ජුනි 16 වැනිදා කොළඹ පදනම් ආයතනයේදීම මාධ්‍ය හමුවක් පවත්වමින් අතුරලියේ රතන හිමි ප‍්‍රකාශ කළේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය කඩිනමින් කටයුතු නොකරන්නේ නම් වහාම නව ආණ්ඩුවක් පත් කර එය සම්මත කළ යුතු බවය. රතන හිමි පවසන්නේ වහා මැතිවරණයක් කැඳවිය යුතු බව නොවේ. මේ පාර්ලිමේන්තුව මෙලෙසම පවතින අතර රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය දරන ආණ්ඩුව විසුරුවා හැර නිමල් සිරිපාල ද සිල්වා හෝ වෙනත් එවැනි අයකු අගමැති කර ආණ්ඩුවක් පිහිටුවන ලෙසය. මෙය එක්තරා ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයට කෙරෙන තර්ජනයකි. අතුරලියේ රතන හිමි හා චම්පික රණවක මේ වන විට ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයන් වී ඇති නිසා මේ අදහස ජනාධිපතිවරයාගෙන්ම එන අදහසක් බවද එජාපයට තේරුම් ගැනීමට අපහසු නැත.

  • රනිල් – චන්ද්‍රිකා පරදී?

මෙසේ ජනාධිපතිවරයාගේ සමීපතමයන් අලූත් ආණ්ඩුවක් පිහිටුවීම හා ඉක්මන් මැතිවරණයක් කැඳවීමේ එජාප යෝජනාව නොතකා හරින අතරම රනිල් වික‍්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයද ඉක්මන් කරන ලකුණු පෙනේ. මුලින් පෙනී ගියේ බලය පෙන්වීම සඳහා විශ්වාසභංග අත්සන් කළද ඒවා විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි. ජෝන් අමරතුංග  හා රවි කරුණානායක යන ඇමැතිවරුන්ටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාටත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාටත් එරෙහිව විශ්වාසභංග අත්සන් කළ මුත් ඒවා ඉක්මනින් කැඳවීමේ උවමනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණේ නැත. නමුත් එකවරම එම ක‍්‍රියාවලිය වේගවත් වී ඇත. ජුනි 16 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක හමුවේදී රවි කරුණානායකට එරෙහි විශ්වාසභංගය ජූලි 6 වැනිදාත් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජූලි මස තුන්වන සතියේදීත් විවාදයට ගැනීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එකඟ වී ඇත. ජූලි මස තුන්වන සතිය දක්වාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැද්ද යන ප‍්‍රශ්නය ඒ සමඟ මතු වේ. පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ ප‍්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ එය තීරණය කරන්නේ ජනාධිපතිවරයා බවය. පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හරින්නේ නම් අලූත් ඇමැතිවරුන් පත් කරන්නේ ඇයිදැයි ඔහු ප‍්‍රශ්න කළේය. රාජිතගේ කතාව ඉඟි කළේ එම විසුරුවා හැරීම කල් යනු ඇති බවටය.

මෙසේ රනිල් දේශපාලන වශයෙන් දුර්වල කෙරෙන මෙහෙයුම ජනාධිපතිවරයාගේ පැත්තෙන් ක‍්‍රියාත්මක වන අතරම චන්ද්‍රිකා සම්බන්ධයෙන්ද එවැන්නක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මුලින් මෙය පටන් ගත්තේ චන්ද්‍රිකා යන රැුස්වීම්වලදී ශ‍්‍රීලනිපය පාවා දුන්නා යැයි ශ‍්‍රීලනිප පාක්ෂිකයන් ඇයට හූ කීමෙනි. (මෙම පාක්ෂිකයන් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී ජනාධිපතිවරයා වූ මෛත‍්‍රීට හූ කීවේ නැත* ඉන් අනතුරුව පසුගිය ජුනි 15 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූ ඩලස් අලහප්පෙරුම තම පක්ෂය භේද කිරීමෙන් හා එය කැඞීමෙන් වළකින්නැයි චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටියේය. ”ගරු චන්ද්‍රිකා මැතිනියනි” ආදී වශයෙන් ඉතාම ආචාරශීලි ලෙස ආමන්ත‍්‍රණය කරමින් ඩලස් ඇයට උපරිම දේශපාලන ප‍්‍රහාරයක් එල්ල කළ බව එය දකින්නකුට පැහැදිලි වේ. විශ‍්‍රාමලත් ජනාධිපතිවරුන් හැසිරිය යුතු ආකාරය ගැන ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉගෙන ගන්නා ලෙසද ඩලස් චන්ද්‍රිකාට පැවසුවේය. (ඩලස් මෙය තවත් විශ‍්‍රාමලත් ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂට කියන්නේ නැත.) කෙසේ වෙතත් චන්ද්‍රිකා දේශපාලන වශයෙන් අවලංගු කිරීමේ මෙහෙයුමක් දියත් වන අතර එය යම් ආකාරයකින් සාර්ථක වී ඇති බවද පෙනේ.

  • ආයෙත් පරණ කතාව

දේශපාලනයේදී අපට පෙනෙන්නට සිටින්නේ රනිල්, චන්ද්‍රිකා, මෛත‍්‍රීපාල, මහින්ද ආදී පුද්ගල චරිත වුවත් මේවායෙන් නියෝජනය කරන්නේ හුදු පුද්ගලයන් නොවේ. මේ පුද්ගලයන් විවිධ පන්ති ස්තර හා බලවේගයන්හි නියෝජිතයන්ය. එජාපයේ ප‍්‍රකාශකයන්ට චන්ද්‍රිකා රනිල් පවුල් පසුබිමෙන් ගත්තද දේශපාලන හැසිරීමෙන් ගත්තද ලංකාවේ චිරාගත ධනේශ්වර ප‍්‍රභූන් නියෝජනය කරති. ඔවුන් ප‍්‍රකාශයට පත් කරන්නේ ධනපති පන්තියේ එම ස්තරයේ උවමනාවන් හා දේශපාලන අභිලාෂයන්ය. ජනවාරි 08 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තුළ ජයග‍්‍රහණය කළේ රනිල්-චන්ද්‍රිකා ව්‍යාපෘතියයි. නමුත් ඒ සඳහා මෛතී‍්‍රව ඉදිරියට යොදා ගැනීමට ඔවුන්ට සිදු වූයේ සමාජමය වශයෙන් රනිල්ලා චන්ද්‍රිකාලා අවලංගු වී සිටින නිසාය. රනිල්ලාගේ දේශපාලනයට ජනතා ආකර්ෂණය අඩු වූයේ අනෙක් අයගේ ප‍්‍රචාරක කටයුතු නිසා පමණක් නොවේ. ඔවුන් නෙළා ගනිමින් සිටිනුයේ ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි. එමෙන්ම චිරාගත ධනපති දේශපාලනයේ පොදු අසාර්ථකත්වයයි. ඔවුන්ට ලංකාවේ සමාජය සම්බන්ධයෙන් ඉදිරි දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් නොමැති අතර ඇත්තේ බලය පිළිබඳව ඇති ප‍්‍රභූ ආකල්ප පමණි.

අනෙක් පැත්තෙන් මෛත‍්‍රීලා, මහින්දලා, චම්පිකලා, වීරවංශලා, දිනේෂ්ලා, ඩලස්ලා ඇතුළු මේ හැම දෙනාම ග‍්‍රාමීය පසුබිමක් සහිත සුළු දේපළ සහිත පසුබිමකින් පැන නැඟුණු අයය. මේ අය නියෝජනය කරන්නේ ධනවාදයේ පරිභෝජන කෑදරකමද ජාතිකවාදයද සකලවිධ පසුගාමීත්වයද මුසු කරගත් අච්චාරු මතවාදයකි. ජනවාරි 08 වැනිදා මහින්ද පරාජය වන විට බොහෝ දෙනා සිතුවේ මේ ග‍්‍රාමීය-පාදඩ-පසුගාමී දේශපාලනය වෙනුවට බටහිර ආභාසය සහිත-සම්භාව්‍ය – ධනපති දේශපාලනයක් ඉදිරියට එනු ඇත කියාය. මෛත‍්‍රී ජයග‍්‍රහණය කළේ එජාපයේ කරපිට නැඟ පැමිණි නිසා බැවින් රනිල්ට මෛත‍්‍රී හැසිරවිය හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් විය. නමුත් ක‍්‍රමයෙන් චම්පික රණවකලා, රාජිත සේනාරත්නලා, අශෝක අබේගුණවර්ධනලා මෛත‍්‍රීගේ අභ්‍යන්තර කවය බවට පත් වූ අතර දැන් මෛත‍්‍රී රනිල්ගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී තමන්ගේම කක්ෂකයකට ගමන් කරමින් සිටී. එම කක්ෂයේ දේශපාලනය වනු ඇත්තේ ජනාධිපතිවරණයේදී පරාජය කළා යැයි සිතූ දේශපාලනයමය. ඒ අතර සාම්ප‍්‍රදායික-ලිබරල්-ධනේශ්වර දේශපාලනය අසාර්ථක වී ඇත. එයට ජනතා පදනම් අහිමි වී ඇත. එමෙන්ම එය මහින්ද විසින් සංකේතවත් කළ ග‍්‍රාමීය පසුගාමී-පාදඩ දේශපාලනයට ඉඩ සලසමින් වේදිකාවෙන් බිමට බසිමින් සිටී.

පසුගාමීත්වයට එරෙහිව නූතනවාදී දේශපාලන ව්‍යාපෘතිවල සිටි අයද ලිබරල් දේශපාලන අදහස් දරන අයද ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී වටා රොද බැඳ ගත් අතර දැන් ඔවුන් වේගයෙන් රනිල් වෙත ගමන් කරමින් සිටී. මහ මැතිවරණයේදී ඔවුන් අත්වැල් බැඳ ගනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟය. එහෙත් එජාපයට නූතනවාදී ව්‍යාපෘතියක් හෝ ලිබරල් ඉදිරි දර්ශනයක් නැති බවත් එය අලූත් පාරකින් ගොස් පාදඩ දේශපාලනයට සම්බන්ධ වීමක් පමණක් වන බවත් අපට දැනට ඒ අය වෙනුවෙන් ලියා තැබිය හැක. නවලිබරල් ධනවාදයේත් පසුගාමීත්වයේත් ඒකාධිපතීත්වයේත් දුෂ්ට හවුල පරාජය කිරීම සඳහා එක් හෝ තවත් දක්ෂිණාංශික කණ්ඩායමක් සමඟ එක්වී කළ හැකි අවම දෙයක්වත් නැත. ඉදිරි මංසන්ධියේදී හැරිය යුත්තේ වමටය.