20 හීන් නූලෙන් බෙල්ල කැපීම

Hole_in_Paper_by_Loulou_Stockලංකාවේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතය. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යුහයේ කැපී පෙනෙන වෙනසක් සිදුකරනු ලැබේ. ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වන විට ගැසට්

මාර්ගයෙන් ප‍්‍රසිද්ධ කොට ඇත. පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය ජනතාවට අයත් වන අතර ජනතාව එකී බලය ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන ආයතන ත‍්‍රිත්වය මඟින් අභ්‍යාස කරනු ලබයි. ව්‍යවස්ථාදායකය සමන්විත වන්නේ ඡුන්දයෙන් තෝරාපත් කරගන්නා මන්ත‍්‍රීවරුන්ගෙන්ය. මැතිවරණ ක‍්‍රමයේ සිදු වන වෙනසක් ව්‍යවස්ථාදායකයේ සංයුතිය කෙරෙහි බලපානු ඇත. මැතිවරණ ක‍්‍රමයේ සිදු වන තීරණාත්මක වෙනසක් මඟින් ව්‍යවස්ථාදායකයේ කටයුතු සිදු වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පවා පුළුවන.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැකගත හැකි වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අවම මහජන සංවාදයක් මේ සම්බන්ධයෙන් පැවැතීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම ගැන විශාල සංවාදයක් වූයේය. එය කාලාන්තරයක් තිස්සේ සමාජය තුළ වර්ධනය වූ සංවාදයක් ලෙසද හැඳින්විය හැක. මැතිවරණ කාලය තුළ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන විවිධ මට්ටමේ වාද විවාද උද්ගත විය. එහෙත් මැතිවරණයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙක් ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමක් ගැන කැපී පෙනෙන ලෙස කතා කළේ නැත. ඒ අනුව ජනවාරි 08 වැනිදා වනතුරු, මැතිවරණ ක‍්‍රම සංශෝධනය යන්න රට තුළ එතරම් ‘මාතෘකාවක් ’ වී තිබුණේ නැත.

එහෙත් පසුව මෙම මාතෘකාව ‘ජාතික මාතෘකාවක’ තත්වයට එසැවී ගත්තේ හදිසියේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය ආදී පාර්ශ්ව මෙම සංශෝධනය සම්මත කරගැනීම සඳහා දැඩි උද්ඝෝෂණයක් සිදු කළ අතර විශේෂයෙන් 19 වැනි සංශෝධනය සම්මත කළාට පසු 20 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා විශාල කලබලයක් දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයේ ඉහළ මාලය තුළ දැකගත හැකි විය. දැන් මැතිවරණ සංශෝධනයක් යෝජනා කරන ගැසට් පත‍්‍රයක් අප ඉදිරියේ තිබෙන්නේ මෙම කලබලයේ ප‍්‍රතිඵලයක් ලෙසය. 19 වැනි සංශෝධනය අනුව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් අවම වශයෙන් එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට දවස් දාහතරකට පෙර එය ගැසට් පත‍්‍රයක් මාර්ගයෙන් ජනතාවට දැනගන්නට සැලැස්විය යුතුය. මෙම ගැසට් පත‍්‍රයේ දිනය සටහන් වී ඇත්තේ ජුනි 12 වැනි දාය. එය ‘නිකුත් කොට තිබෙන්නේ ’ ජූනි 15 වැනි දාය. මෙය සැබැවින්ම සමාජයේ සංසරණයට පැමිණියේ ඊටත් පසුවය. මේ අනුව මෙවැනි පනතක් සංවාදය සඳහා ව්‍යවස්ථාවෙන් නියම කෙරී තිබෙන සති දෙක නම් වූ කෙටි කාලයවත් සාධාරණ ලෙස මෙම පනත සංවාද කිරීම සඳහා පුරවැසියන් වෙත හිමිවූයේ නැත.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 6 වැනි වගන්තිය මඟින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 98 වැනි වගන්තිය වෙනස් කරන අතර ඒ අනුව මන්ත‍්‍රී කොට්ඨාස ඍජුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 145 දෙනෙක් සිටිය යුතු බව එමඟින් ප‍්‍රකාශ වේ. එහෙත් යෝජිත 98.5 වගන්තිය එක් එක් මැතිවරණ කොට්ඨාසයකට අයත් විය යුතු ඡුන්දදායකයන් සංඛ්‍යාව නිර්ණය කළ යුත්තේ මැතිවරණ නාම ලේඛනවල සිටින මුළු ඡුන්දදායකයන් සංඛ්‍යාව 160න් බෙදා බව දක්වයි. පනත අනුව තිබෙන්නේ ආසන 145 කි. එසේ නම් ඒ ඒ ආසනවලට අයත් විය යුතු ඡුන්දදායකයන් නිර්ණය කිරීමේදී මුළු ඡුන්දදායක සංඛ්‍යාව 145න් නොබෙදා 160න් බෙදන්නේ ඇයි? දැනට ලංකාවේ ආසන 160ක් පවතී. ආසනයකට අදාළ ඡුන්දදායක ප‍්‍රමාණය තීරණය කිරීම සඳහා දැනට තිබෙන ආසන ප‍්‍රමාණය යොදාගෙන, ආසන සංඛ්‍යාව 145 බවට පත්කිරීම කෙටුම්පත තුළ දක්නට ලැබෙන තාක්ෂණික ගැටලූවකි.

සංශෝධනය ප‍්‍රකාරව සරල බහුතර ක‍්‍රමය යටතේ තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් 145 දෙනාට අමතරව සමානුපාතික ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීවරුන් 55 දෙනෙක් තෝරාගනු ලැබේ. ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරුන් 37 දෙනෙක්ද තේරී පත් වන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත‍්‍රී සංඛ්‍යාව 237කි. මේ අනුව නව මැතිවරණ ක‍්‍රමය කොට්ඨාස ක‍්‍රමයට බර තැබුණු ක‍්‍රමයකි. එහි මූලික සැකැස්ම කොට්ඨාස ක‍්‍රමයට අනුව සැකසී ඇත. ඊට ඌනපූරකයක් ලෙස සමානුපාතික ක‍්‍රමය එකතු කොට තිබේ.

මෙලෙස එක්වරම, සැලකිය යුතු සමාජ සංවාදයකින්ද තොරව, කඩිමුඩියේ සමානුපාතික ක‍්‍රමය වෙනස් කිරීමට ප‍්‍රධාන පක්ෂවල නායකයෝ පොර කන්නේ ඇයි? මූලික වශයෙන් කොට්ඨාස ක‍්‍රමයකට නැවත ගිය විට එය බලවත් පක්ෂවලට වාසිදායක තත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරයි. තනි ආසනයක් ජයග‍්‍රහණය කිරීමට තරම් බලයක් නැති එහෙත් විසිරී ගිය ඡුන්ද පදනම් තිබෙන සුළුතර පක්ෂවලට සමානුපාතික ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු නියෝජනයක් හිමි විය. නිදර්ශනයක් ලෙස මනෝ ගනේෂන්ගේ බස්නාහිර ජනතා පෙරමුණ වැනි පක්ෂයක් ගනිමු. එය කොළඹ ප‍්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනතාව අතර, විශේෂයෙන් පහළ පාන්තික දෙමළ ජනතාව අතර පදනමක් තිබෙන පක්ෂයකි. එක් එක් ආසනය වෙනම ගත් විට මනෝ ගනේෂන්ගේ පක්ෂයට ශ‍්‍රීලනිපය හෝ එජාපය පරදවා එම ආසන

දිනාගැනීමට තරම් ශක්තියක් නැත. ඔහුගේ ඡුන්ද පදනම විසිරී ගිය එකකි. එහෙත් සමානුපාතික ක‍්‍රමය යටතේ සලකා බලන්නේ දිස්ත‍්‍රික්කය තුළ ඒ ඒ පක්ෂවලට වැටුණු ඡුන්දය. එතැනදී සැලකිය යුතු ඡුන්ද ප‍්‍රමාණයක් මෙබඳු පක්ෂයකට වැටී තිබුණේ නම් ඊට අනුපාතික පාර්ලිමේන්තු නියෝජනයක් එම පක්ෂයට හිමි වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරවාදය නොවේ. එනම් සංඛ්‍යාත්මක බහුතරයට සංඛ්‍යාත්මක සුළුතරය යට කිරීම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අති මූලික ලක්ෂණයක් වන්නේ බහුවිධතාව පිළිගැනීමයි. සමාජයේ බහුවිධතාව මහජන නියෝජිත ආයතනවල හැකි තාක් නියෝජනය වීමට සැලැස්වීම උසස් ප‍්‍රජාතාන්ත‍්‍රීය ලක්ෂණයකි. කේවල ආසන ක‍්‍රමය මත පදනම් වූ නව මැතිවරණ ක‍්‍රමයකට ගිය විට සුළුතරයන් නියෝජනය කරන කුඩා පක්ෂවලට ඉතාම අවාසිදායක තත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. මෙය බස්නාහිර ජනතා පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආදී ජාතික සුළුතරයන් මත පදනම් වූ පක්ෂවලට වාගේම ජනතා විමුක්ති පෙරමුණ ආදී මතවාදීමය සුළුතරයන් නියෝජනය කරන පක්ෂවලටද නිශේධනාත්මක ලෙස බලපායි.

මේ අනුව නව මැතිවරණ ක‍්‍රමයේ තර්කණය වන්නේ බහුවිධතාව ‘ඇතුළත් කරගැනීම’ වෙනුවට බහුවිධතාව ‘බැහැර කිරීමයි’. නව මැතිවරණ ක‍්‍රමයේ යෝජකයෝ වෙනත් තර්ක අතර ඉදිරිපත් කරන මූලික තර්කයක් වන්නේ ශක්තිමත් ආණ්ඩු සෑදීමට එය රුකුලක් වේය යන්නයි. මෙය ඇත්තකි. සමානුපාතික ක‍්‍රමය යටතේ තිබුණු මැතිවරණවලින් පොදුවේ තුනෙන් දෙකක හෝ හයෙන් පහක ආදී අසාමාන්‍ය බහුතරයක් සහිත ආණ්ඩු පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වූයේ නැත. එසේ නිර්මාණය නොවූයේ එබඳු බලයක් කිසිදු දේශපාලන පක්ෂයකට සමාජයේ නොතිබූ නිසාය. සමානුපාතික ක‍්‍රමය තුළ සැලකිය යුතු ප‍්‍රමාණයකින් මහජන නියෝජිත ආයතන තුළ නියෝජනය වූයේ සමාජයේ තිබුණු දේශපාලන සහයෝගයේ යථාර්ථයයි.

දැන් කරන්නට යන්නේ එම යථාර්ථවාදී නිරූපණය වෙනුවට ‘ස්ථාවරභාවයේ’ නාමයෙන් බලවත් පක්ෂවල ආධිපත්‍යය තහවුරු වන ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. මෙය දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අතිශය පටු කියැවීමකි. සංඛ්‍යාත්මකව සුළුතර සමාජ තීරු හා කුලකයන්ට තමන්ගේ හඬ ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නෛසර්ගික කොටසකි. මෙබඳු සුළුතර පිරිස්වල හඬ බැහැර කොට බලවත් පක්ෂවල ආධිපත්‍යය තහවුරු කරගැනීම ’ප‍්‍රජාතාන්ත‍්‍රීය ස්ථාවරභාවයක්’ නොවේ. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අත්තනෝමතිකත්වයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ක‍්‍රමයක තිබිය යුතු බහුත්වවාදයට ගරු කිරීමේ ලක්ෂණය මෙම මැතිවරණ යෝජනාව තුළ දැකගත නොහැක.

මේ අනුව 20 වැනි සංශෝධනය බහුතරවාදී පාලන සැකැස්මක් වෙත තැබෙන තීරණාත්මක පියවරක් වන්නේය. එක් අතකින් ජනාධිපතිවරණයේ දී ප‍්‍රතිඥා දුන් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වී නැත. 19 වැනි සංශෝධනය මඟින් එහි යම් යම් බලතල අඩු වූවත් මූලික වශයෙන් රට තුළ තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ රාමුවයි. එනම් බලසම්පන්න විධායකයක් රට තුළ ඇත. දැන් මෙම මැතිවරණ සංශෝධනයත් සමඟ අත්තනෝමතික ලෙස මහ පක්ෂ කීපයක පාලනයට යටත් වූ ව්‍යවස්ථාදායකයක්ද බිහි වනු ඇත. සිවිල් සමාජය සහ පුරවැසියන් ශක්තිමත් වනු වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ රාජ්‍යයේ විවිධ ආයතන බලවත් වීමය. අවාසනාවකට මෙන් මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රවණතාව තවමත් අප සමාජය තුළ ගැඹුරු සාකච්ඡුාවකට මඟ පාදා නැත. දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයේ නායකත්වය රිසි ලෙස පිනුම් ගසමින් සිටින්නේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රවණතාව ගැන තිබෙන මහජන නොදැනුවත්කම විසින් ඇති කොට තිබෙන රික්තකයේය.

රමිඳු පෙරේරා