හොරු නිදැල්ලේ – කමිටු මර නින්දේ

කෝපා ගැන කෝප නොවී කොහොමද?

මේ ආණ්ඩුව කට ඇරියොත් කතා කරන්නේ හොරු ඇල්ලීම ගැනය. හොරු ඇල්ලීම සහ හොරකම් ගැන පරීක්ෂණ කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු දෙකක් තිබේ. එකක් කෝප් (COPE)ය. අනෙක කෝපා (COPA)ය. කෝප් යනු පොදු ව්‍යාපාර කාරක සභාවයි. කෝපා යනු පොදු ගිණුම් කාරක සභාවයි. (Committee of Public Accounts) එහි කාර්යභාරය වනුයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මුදල් ඇස්තමේන්තු පිළිබඳ විගණකාධිපති වාර්තා ඇසුරින් පරීක්ෂා කර, පසුවිපරම් කර, අදාළ නිලධාරීන් ගෙන්වා අක‍්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමය. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හොරුන්ට අදාළව මොකුත් නොකළත් අඩුම ගානේ අවුරුද්දකට වරක් වංචා හා caretoon පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි. එහෙත් කෝපා සිටින්නේ මර නින්දේය. එය තමන්ගේ අතට ලැබෙන තොරතුරු ගැන පවා පරීක්ෂණ පවත්වන්නේ නැත. මේ ආශ්චර්යජනක කමිටුව අවසන් වරට පරීක්ෂණයක් කර ඇත්තේ 2010 දෙසැම්බර් 8 වැනිදාය. ඒ කම්කරු දෙපාර්තමේන්තුව පිළිබඳ පරීක්ෂණයකි. ඉන් අනතුරුව වසර 5ක් කෝපා කමිටුව මර නින්දේය. ඒ අතර කෝපා සාමාජිකයෝ වේදිකා මත වංචා දූෂණ ගැන කෝපය ප‍්‍රකාශ කරති.

කෝපා විසින් අතහැර දැමූ වංචා දූෂණ දහසක් අතර අපි එක් උදාහරණයක් පමණක් ගනිමු. රේගු දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව කරන ජාවාරමක් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත් ඒ පිළිබඳ අවම විමසීමක් හෝ සිදු කිරීමට කෝපා කටයුතු කර නැත. රජයට බිලියන ගණනින් මුදල් හොයා දෙන මේ ආයතන දෙකේ වංචා ගැන කෝපා නිහඬය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන අයවැය ලේඛනයේ සඳහන් අපේක්ෂිත ආදායම් මේ ආයතන විසින් ලබා නොදෙන විටත් මේ නිහඬතාව එලෙසම පවතී. (අපේක්ෂිත බදු ආදායම් සැපයීමට මෙම ආයතන අසමත්ව සිටින ආකාරය වගුවේ සඳහන් වේ.) විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම වංචා පිළිබඳ වාර්තාව පසුගිය ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යාංශයට යැවූ පසු මුදල් අමාත්‍යාංශය කර ඇත්තේ අදාළ වංචා පිළිබඳ පියවර ගැනීම නොව රේගුවේ හා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් මාරුකර යැවීමයි. අද පසුගිය ආණ්ඩුවේ දූෂණ ගැන කෑ ගසන බොහෝ දෙනා සිටින කෝපා කමිටුව ඒ පිළිබඳව කිසිවක් කර නැත. කෝපා කමිටුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන වසර 6කින්ද රේගු දෙපාර්තමේන්තුව ගැන වසර 5කින්ද කිසිදු පරීක්ෂණයක් හෝ ප‍්‍රශ්න කිරීමක් සිදුකර නැත. මෙම විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් යහපාලන මූලධර්මය රකින්නේ යැයි කියන වත්මන් ආණ්ඩුවද කිසිවක් කර නැත.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව කියන ආකාරයට මේ වංචාව සිදු වන්නේ ආනයනික වාහන ලියාපදිංචියේදීය. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වර්ග තුනක වාහන ලියාපදිංචි කරයි.

  1. විදේශවලින් ආනයනය කරන ලද වාහන
  2. මෙරට නිෂ්පාදනය කරන ලද වාහන
  3. මෙරට වෙන්දේසිවල අලෙවි කරනු ලබන වාහන

සාමාන්‍යයෙන් ලියාපදිංචි කෙරෙන වාහනවලින් 98%ක්ම අයත් වන්නේ පළමු වර්ගයට හෙවත් විදේශවලින් ආනයනය කරනු ලබන වර්ගයට අයත් වාහනය. මෙම ආනයනික වාහන ලියාපදිංචිය සඳහා රේගුවද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවද යන ආයතන දෙකම මැදිහත් වෙයි. මේ ආයතන දෙකටම පොදු පරිගණක දත්ත පද්ධතියක් තිබෙන අතර ලංකාවට ගෙන්වන සෑම වාහනයකම විස්තර රේගුව විසින් මෙම පරිගණක ජාලයට ඇතුළු කරනු ලබයි. වාහනයක් ලියාපදිංචි කිරීමට යම් කෙනකු අයැදුම්පතක් භාරදුන් පසුව එහි තොරතුරු රේගුව විසින් ඇතුළු කර ඇති තොරතුරුවලට සමාන දැයි පරිගණකයෙන් පරීක්ෂා කෙරේ. දැන් සිදුවන්නේ ආයතන දෙකේම නිලධාරීන් එක්වී චැසි අංක ආදිය වෙනස් කර පරිගණකයේ තොරතුරු විකෘති කර ව්‍යාජ ලේඛන සැකසීමයි. නීති විරෝධී ලෙස ආනයනය කරන වාහනවලටද මෙම ව්‍යාජ ලේඛන හරහා ලියාපදිංචිය ලැබෙන බව විගණන වාර්තාවේ සඳහන්ය. දෙපාර්තමේන්තු දෙකේම ආරංචි මාර්ග පවසන්නේ මේ ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට දේශපාලන රැුකවරණ ඇති බවය. එනම් ජාවාරම පිටුපස ඇමැතිවරුන්ද සිටින බවය. එය පසුගිය ආණ්ඩුවේදීත් මේ ආණ්ඩුවේදීත් එක ලෙසය. වෙනසක් නැත.

විගණකාධිපති වාර්තාවට අනුව ලොකුම වංචාව සිදුවන්නේ ආගමික ස්ථානවලට පරිත්‍යාග කිරීම සඳහා ගෙන්වන වාහනවලට බදු සහන ලබාදීමේ ක‍්‍රමය හරහාය. යම් අයකු පැරණි වාහනයක් ගෙන්වා එය ආගමික ස්ථානයකට පරිත්‍යාග කරන බව පැවසුවහොත් එම වාහනය බද්දෙන් නිදහස් කෙරේ. එහිදී නිකුත් කරන බලපත‍්‍රයට අනුව බදු රහිතව පැරණි වාහනයක් ගෙන්විය හැක. සාමාන්‍ය තත්වය යටතේ නිෂ්පාදන දිනයේ සිට වසර දෙකක් ඉක්ම ගිය කාර් හා වසර පහක් ඉක්ම ගිය වෑන්, ජීප්, බස් හා ලොරි ගෙන්විය නොහැක. නමුත් ආගමික ස්ථාන සඳහා ඒවා මෙරටට ගෙන්විය හැක. අදාළ නීතියට අනුව මෙම වාහන පෞද්ගලික නමකින් නොව අදාළ ආගමික ස්ථානයේ නමින් ලියාපදිංචි කළ යුතු අතර වසර 5ක් යනතුරු වෙනත් අයකුට එම වාහනය පැවරිය නොහැක.

ජාවාරම වන්නේ මේ නීතිය භාවිත කර අක‍්‍රමිකතා සිදු කිරීමයි. දැනට විගණකාධිපති දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති තොරතුරුවලට අනුව වාහන 158ක් ආගමික ස්ථානවලට ලබාදෙන මුවාවෙන් පෞද්ගලික පරිහරණයට ගෙන්වා ඇත. ඒ සඳහා භාවිත කළ බලපත‍්‍ර ව්‍යාජ ඒවාය. නිවැරදි බලපත‍්‍ර යටතේ ගෙන්වා ඇති වාහන 240න් 92ක්ම ගෙන්වා ඇත්තේ කොන්දේසි උල්ලංඝනය කරමිනි. වාහන 73ක නිෂ්පාදිත වර්ෂය වෙනස් කර ඇත. 83ක් ගෙන්වා ඇත්තේ වෙනත් නම්වලිනි. වාහන 29ක් ගෙන්වා වසර 5ක් ඉක්මයාමට පෙර වෙනත් පුද්ගලයන්ට පවරා ඇත. තවත් වාහන 34ක් ව්‍යාජ ලියවිලි සකස්කර අවසන් වනතුරු රේගුවෙන් රැුගෙන ගොස් නැත. මේ කිසිදු සිදුවීමකට අදාළව පියවර ගෙන නැතිවා පමණක් නොව ඊට අදාළ පරිගණක දත්ත ජාලයේ තොරතුරුද වෙනස් කර ඇත. මේ පිළිබඳව දිගින් දිගටම කෝපා කමිටුව දැනුවත් කළද තවමත් අවම වශයෙන් චූදිත නිලධාරීන්ට පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇති බලය පවා ඉවත් කර නැත.

වේදිකා මත හා මාධ්‍යවල හොරු ඇල්ලීම ගැන මහා හයියෙන් බෙරිහන් දෙන විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, අනුර දිසානායක ඇතුළු බොහෝ දෙනා කෝපා සාමාජිකයන්ය. අපට පෙනෙන්නට ප‍්‍රදර්ශනය කරන හොරු ඇල්ලීමේ උනන්දුව මේ අයට කෝපා කමිටුව තුළ නැත. හොරු අල්ලන්නට තමන්ට ඇති නීතිමය බලය මේ කෝපා සාමාජිකයන් භාවිත කරන්නේද නැත. එපමණක් නොව ඊනියා යහපාලනය යටතේ හොරු නිරුපද්‍රිතව ආරක්ෂා කර තිබේ. හොරු ඇල්ලීම සැබෑ සටන් පාඨයක් නොව දේශපාලන වාසි වෙනුවෙන් කරන ඇන්දිල්ලක් බව වටහා ගැනීමට කෝපා කමිටුව තරම් හොඳ තවත් උදාහරණයක් නැත. කෝපා ගැන අපට ඇති කෝපය එයයි.