‘කම්කරු ගොවිපොළ’ සහ පෞද්ගලික අංශයේ වැටුප්

challengeජුනි 08 වැනිදා ජිනීවාහි පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සැසිවාරයේදී ලංකා සේව්‍ය සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ රවී පීරිස් ප‍්‍රකාශයක් කළේය. ඔහු පැවසුවේ, ව්‍යවස්ථාපිත නෛතික ප‍්‍රතිපාදන හරහා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අනිවාර්ය වැටුප් වැඩි කිරීම නිදහස් වෙළෙඳ ආර්ථිකයේ මූලිකාංගවලට පටහැණි වන බවයි. ඔහුට අනුව හාම්පුතුන්ගේ ධාරිතා එකිනෙකාට වෙනස්ය. එවැනි අසමානතා සහිත හාම්පුතුන්ට එක හා සමාන ලෙස සේවකයන්ගේ වැටුප් වැඩි කළ නොහැකිය. එසේ කරන්නට ගියහොත් අනිසි ඵල විපාකවලට මුහුණ දීමට සිදු වනවා පමණක් නොව ඇතැම් ආයතන වැසී යාමටද හේතු වේ. මේ නිසා සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ මූලික පදනම හාම්පුතුන්ගේ හැකියාව සහ වෙළෙඳපොළ බලවේග විය යුතු යැයි රවී පීරිස් පැවසුවේය.

මේ සංවාදය පැන නැඟ තිබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන විසින් සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට ප‍්‍රකාශ කිරීමත් ඉන් පසුව මුදල් ඇමැති රවි කරුණානායක විසින් අතුරු අයවැය ඉදිරිපත් කරමින් කළ කතාව අතරතුර රුපියල් 2500කින් වැටුප් වැඩි කරන ලෙස පෞද්ගලික අංශයට ආයාචනා කිරීමත් එයට නෛතික හැඩයක් ලබා දෙමින් පනතක් ලෙස සම්මත කිරීමට පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙතින් බලපෑම් එල්ල වෙමින් තිබීමත් පදනම් කර ගෙනය.

ලංකාවේ මීට දශක කිහිපයකට පෙර පඩිපාලක සභා නමින් ව්‍යුහයක් සක‍්‍රීයව ක‍්‍රියාත්මක විය. එමඟින් එක් එක් ශ්‍රේණිවල අවම වැටුප් මට්ටම් තීරණය කරනු ලැබීය. 70 දශකය පමණ දක්වා අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් අවම වැටුප් මට්ටම් ගැන අදහසක් කියාපාන ලද අතර එවකට පැවැති කුඩා ප‍්‍රමාණයක් වූ පෞද්ගලික ව්‍යවසායකයෝ ඊට අනුගත වූහ. එහෙත් ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව මේ තත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. දැන් පඩි පාලක සභා සක‍්‍රීය නැත. ඊටත් වඩා පෞද්ගලික අංශය වේගයෙන් ප‍්‍රසාරණය වීමට සාපේක්ෂව පඩිපාලක සභා යාන්ත‍්‍රණය පුළුල් වූයේ නැත. එය හැකිළිණි. පඩිපාලක සභා වැනි ආකෘතියකට හෝ වෙනත් කිසිදු නෛතික රාමුවකට, යාන්ත‍්‍රණයකට යටත් නොවන විශාල ක්ෂේත‍්‍රයක පෞද්ගලික අංශය විහිදී තිබේ. මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් හෝ ජීවන මට්ටම පිළිබඳව වගකියන්නකු නැත. ලංකාවේ කම්කරු නීිති විශාල ප‍්‍රමාණයක් සම්මත කර ගෙන තිබුණත් ඒ සියල්ල නොතකා හැර අත්තනෝමතික ලෙස සේවකයන් තළා, පෙළා, සූරාකෑමට හාම්පුතුන්ට අවස්ථාව සැලසී තිබෙන්නේ ඒ නිසාය.

රවී පීරිස්ගේ ප‍්‍රකාශයේ සරල අර්ථය කුමක්ද? නවලිබරල් ධනවාදයේ අරමුණ ධනපතියාගේ ලාබ රේට්ටුව ඉහළ නැංවීම හා එය ආරක්ෂා කිරීමයි. ආණ්ඩුව විවිධ අණ පනත් සම්මත කරමින් ඊට බාධා නොකළ යුතුය. සූරාකෑමේ නිදහස ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. ඔහු වෘත්තිය සමිතිවලට කියන්නේ, වෘත්තිය සමිතිවල වගකීම රැුකී රක්ෂා ලෝකයේ ප‍්‍රායෝගික යථාර්ථයන් අවබෝධ කරගෙන ව්‍යාපාර ප‍්‍රවර්ධනය සුරක්ෂිත කරමින් වැඩ කරන ජනතාවගේ උවමනාවන් නියෝජනය කරන ලෙසයි. මේ සුන්දර සහ සත්‍යය යැයි පෙනෙන වචනවල පසුපස සැඟවී තිබෙන්නේද ධනපතියාගේ ලාභයට අත නොතබා, ඊනියා සාමය’ ආරක්ෂා කර ගැනීමට වෘත්තීය සමිති කටයුතු කළ යුතු බවයි.

කෙනෙක්ට තවත් තර්කයක් ඉදිරිපත් කළ හැකිය. ලංකාවේ සේව්‍යයන් ලෙස ලියාපදිංචි වී ඇති ආයතන 75,543න් සේවකයන් සියයකට වඩා සේවය කරන ආයතන ඇත්තේ 3611ක් පමණි. සමස්ත ආයතනවලින් සියයට 75කම සේවය කරන්නේ සේවකයන් දස දෙනකුට වඩා අඩු ප‍්‍රමාණයකි. ලක්ෂ 33ක් වන පෞද්ගලික අංශයේ සේවකයන් සේවයේ නිරත වී සිටින්නේ මෙම ආයතනවලය. ඒවා මහා පරිමාණ ලාභ ලබන ආයතන නොවන බවත් සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමෙන් ඒවා බංකොලොත් විය හැකි බවත් කෙනකුට තර්ක කළ හැකිය. රවී පීරිස් ඉදිරිපත් කරන පැනයද එයයි. එහෙත්, දිනපතා අමුද්‍රව්‍ය මිල ඉහළ යමින් තිබේ. නිෂ්පාදන සඳහා යොදා ගන්නා යන්ත‍්‍ර සූත‍්‍රවල මිල ඉහළ යමින් තිබේ. භූමියේ (ඉඩම්වල* මිල ඉහළ යමින් තිබේ. අනෙකුත් යෙදවුම්වල මිල ඉහළ යමින් තිබේ. ඒ සියල්ල කණිපින්දම් කියමින් හෝ බාර ගැනීමට සැදී පැහැදී සිටින හාම්පුතුන් පරල වන්නේ ශ‍්‍රමයට ගෙවන මිල ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විටයි. අන් සියලූ යෙදවුම්වල මිල ඉහළ යන්නේ නම් ශ‍්‍රමයේ මිලට පමණක් එය වලංගු නොවිය හැකිද?

මහ බැංකු වාර්තාවලට අනුව සිව් දෙනකුගෙන් යුතු පවුලක මාසික වියදම රුපියල් 52,134කි. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 6700ක් පමණ වේ. එක් අයකුට දිනකට අවශ්‍ය ශක්තිය වන කිලෝකැලරි 2030ට වඩා අඩුවෙන් ආහාර ගන්නා ප‍්‍රමාණය ජනගහනයෙන් අඩක් පමණ වේ. ඒ අනුව ජාතික ධනය උපදවන ජනගහනයෙන් බහුතරයකට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැත. 2009-2010 ජනලේඛන හා සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව ලංකාවේ දරිද්‍රතාව 8.9%කි. සමෘද්ධි සහනාධාර වැනි සමාජ ආරක්ෂණ ක‍්‍රම ක‍්‍රියාත්මක නොවුණා නම් මේ ප‍්‍රමාණය 11.2%ක් දක්වා ඉහළ යනු ඇත. දුප්පත් ජනතාවගේ ඒක පුද්ගල වියදම රුපියල් 2466ක් වන විට දුප්පත් නොවන කොටසේ ඒක පුද්ගල වියදම රුපියල් 8347ක් තරම් ඉහළ අගයක් ගනී. ස්ථිර බිත්ති නැති නිවාස ප‍්‍රමාණය සමස්ත නිවාසවලින් 18.5%කි. ගෙබිම ස්ථිර නැති නිවාස ගණන 27.7%කි. වහල ස්ථිර නැති නිවාස ගණන 28.7%කි. 1978 දී අධ්‍යාපනය වෙනුවෙන් දැරීමට සිදු වූ ආදායමෙන් 1.6%ක පංගුව 2010 වන විට 3.2% දක්වා දෙගුණ වී තිබේ. සෞඛ්‍ය වෙනුවෙන් දැරීමට සිදුව තිබෙන වියදම 1.7% සිට 4.6% දක්වා වැඩි වී තිබේ. ලංකාවේ ජනගහනයෙන් දුප්පත්ම 20% 1953 දී දළ දේශීය නිෂ්පදිතයෙන් 5.1%ක කොටසක් භුක්ති විඳි අතර 2012 වන විට එය 4.4% දක්වා පහත වැටී තිබේ.

මින් පෙනෙන්නේ අන් කිසිවක් නොව ශ‍්‍රමිකයාගේ ජීවන තත්වය එන්න එන්නම පහළ වැටෙමින් තිබෙන බවයි. ජීවත්වීම සඳහා ආහාර ගැනීම හැර අන් කිසිවක් කළ නොහැකි තත්වයට ඔහු පත්ව තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව දුප්පත් ජනයා සිය මාසික ආදායමෙන් 68.2%ක්ම වැය කරන්නේ ආහාර ගැනීම සඳහාය. නිවාස, ප‍්‍රවාහන, දුරකථන හා වෙනත් සේවා මිලදී ගැනීම් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ප‍්‍රමාණය ඉවත් කළ විට ‘ජීවත්වීම’ සඳහා සතයක් හෝ වියදම් කළ නොහැකි තත්වයකය, ඔහු සිටින්නේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටින්නේ මේ පීඩිත කම්කරුවාය. රවී පීරිස්ලා කියන්නේ මේ පීඩිත කම්කරුවාගේ ජීවිතය ගැන නොසිතා, ඔවුන් නූගතුන් වීම, ලෙඩ රෝගවලින් මිය යාම, නිසි පෝෂණයක් නොලැබීම හා කොටින්ම මිනිසුන් ලෙස ජීවත්වීමට ඔවුන්ට ඇති අයිතිය ගැන නොසිතා ව්‍යාපාරයේ ලාභය ගැන පමණක් සිතන ලෙසයි. ඔවුන් සිතන්නේ කුකුළු ගොවිපොළේ මසට ඇති කරන කුකුළන්ට අයිතිවාසිකම් කියා දෙයක් අදාළ නොවනවා සේම කම්කරුවා ඉපදී සිටින්නේ ධනපතියාගේ ලාභ ඉහළ දැමීමට නිසා ඔහුට ජීවිතයක් කියා දෙයක් අදාළ නොවන බවයි. අප සටන් කළ යුත්තේ ඊට එරෙහිවයි.