ලෙඩා මළත් බඩ සුද්දයි

2015 ජනවාරියේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමේ පෙරහැරේ කසකාරයාගේ සිට අලි ඇතුන් දක්වාද ඉන් පසුවද එජාපය විසින් සැලකිය යුතු රංගනයන් රැුසක් ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පැරදවීමේ පිටුපස එජාපයටම පමණක් ලකුණු රැුස් නොවන්නේ ශ‍්‍රීලනිපයද ඊටම අලගු තැබීම නිසාය. චන්ද්‍රිකාගේ නායකත්වය තුළ ශ‍්‍රීලනිපයත් රනිල් වික‍්‍රමසිංහ පසුපස එජාපයත් උක්ත පෙරහැරේ පෙළහර පාන්නට පටන් ගත්හ.

සටන සඳහා පෙරමුණු දෙකකට කඳවුරු බඳිද්දී මෛත‍්‍රීපාල, රනිල්, චන්ද්‍රිකා හා මහින්ද හිතවාදීන් තමන් කුමන පෙරමුණේ ලැගුම් ගනිමිදෝයි සිතමින් වික්ෂිප්ත භාවයකට පැමිණියහ. එහි මූලිකත්වය ගත් අයෙක් වූයේ තිස්ස අත්තනායකය. ඔහු ජනාධිපතිවරණය ආසන්නය තෙක්ම මහින්ද රාජපක්ෂට දෙස් දෙවොල් තබමින් හැසිරී අවසානයේ මහින්දගේ පෙරමුණේ සිට රනිල්ටත් – මෛත‍්‍රීපාලටත් කුමන්ත‍්‍රණකරුවන් ලෙස චෝදනා කරන්නට විය.

මෙලෙස බොහෝ මන්ත‍්‍රීවරු – ඇමැතිවරු රනිල්ගේ, මෛත‍්‍රීගේ, මහින්දගේ පහසට ලොල්ව දෙපසට පිල්මාරු කරගනිමින් ගෙඹි ලීලා පාන්නට විය. මෙය මෛත‍්‍රීපාලගේ ජයග‍්‍රහණයෙන් පසුවද සිදු විය. මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට දිවුරූ දරදිය ඇද්ද පවිත‍්‍රා, මහින්ද යාපා, සුසිල්, ඩිලාන් පළමුව මෛත‍්‍රීපාල සමඟ හාද වී උප ඇමැතිකම් ලබාගෙන පසුව නැවත මහින්ද සමඟ නැවත පරණ පදයම තරමක් සැර බාල කර වයන්නට විය. මේ පිල්මාරුව දෙස බලා සිටි පේ‍්‍රක්ෂක පාක්ෂිකයන්ට ඒ පස – මේ පස බලාම බෙලි රුදාව හැදෙන්නට විය. තමා ඉන්නේ පක්ෂයේද විපක්ෂයේද කියා හිතාගන්න බැරි බව එස්.බී. දිසානායක පැවසීම මඟින්ම ඉහත තත්වය සනාථ වේ.

මීට සමාන්තරව රනිල් – මෛත‍්‍රී දීගයේ දෑවැද්ද වූයේ යහපාලන සංකල්පයයි. ඊට අනුව මහින්ද රාජපක්ෂ රජය යටතේ රාජ්‍ය දේපළ, ජනතා මුදල් කොල්ලකෑ හොරු ඇල්ලීම ක‍්‍රියාත්මක විය. මහින්දද තමා පැරදුණේ තමාගේ සෙවණේ උන් හොරු නිසා බව ප‍්‍රකාශ කරමින් මෛත‍්‍රීගේ හොරා – පොලිස් සෙල්ලමට ලකුණු දැමීය. ජනතා විමුක්ති පෙරමුණද යහපාලනයට තමන් නැති බව පවසා අත සෝදාගත්තද හොර ලිපි ගොනු එහා මෙහා ගෙන යමින් යහපාලනයේ හොරු ඇල්ලීමට මනා සහායක් සැපයීය.

මේ අතර රනිල් වික‍්‍රමසිංහ විසින් ආනයනය කළ මහ බැංකු අධිපතිවරයාගේ මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව හෝ මගඩිය හෙළිදරව් විය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා කෙනකු සතු සමාගමක් වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට රුපියල් බිලියන 100ක භාණ්ඩාගාර බැඳුම්කර ලබාදී තිබිණි. රනිල් වික‍්‍රමසිංහ විසින් වහාම ත‍්‍රි පුද්ගල කමිටුවක්ද මේ සඳහා පත් කර කරුණු විමසා සිටියේය. මේ ගනුදෙනුව ‘යම් අක‍්‍රමිකතා සහිත බව පෙනේ’ යැයි කියා, මීට පෙර ගනුදෙනු ගැනද සොයා බැලීම යෙහෙකි බව පවසා හීන් නූලෙන් ඇඟබේරාගෙන තිබිණි. කෝප් කමිටුවටද මේ පිළිබඳව පැමිණිලි කරන ලදුව එහි වාර්තාව එළි දැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

ආණ්ඩු පාර්ශ්වයේම ‘හොඳ කකුළක්’ වූ චම්පික රණවක පසුදිනෙක ජාතික පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණේ ඉහත කෝප් වාර්තාව මඟින් අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රමුඛ මහ බැංකුව කළ ඉහත බැඳුම්කර ගනුදෙනුව සැක කටයුතු බව හෙළි කර ඇති නිසා ඊට බිය වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර සියලූ පව් හෝදාගත හැකිද යන ප‍්‍රශ්නය මතුව තිබේ. නැවත නව රජයක් යටතේද අර්ජුන් මහේන්ද්‍රන්ම මහ බැංකු අධිපති විය හැකිය. නැතහොත් වීරවංශ ඇමැතිකමක් දැරිය හැකිය. එවිට ඔහුගේ ආදරණීය බිරිඳට වන චෝදනාවලට කුමක් සිදු වනු ඇත්ද? බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය හෝ මහින්ද හෝ ජොන්ස්ටන් ගැනද එසේම සිතිය හැකිය.

මෛත‍්‍රීපාල ජනාධිපති වීමේ සටනේ මුල් කාර්තුවටම නැවත වතාවක් දැන් පැමිණ තිබේ. දාම් පෙතේ ඉත්තන් සේ සියලූ දෙනා පිල් බෙදී අවසානයේ දාම් පෙතම අවුල් ජාලාවක් වී නැවත ආණ්ඩුවක් පිහිටවනු ඇත. එවිටද සමහරුන්ට තමන් සිටින්නේ පක්ෂයේද විපක්ෂයේද යන්න හඳුනා ගැනීම සංකීර්ණ ප‍්‍රශ්නයක් වනු ඇත. පරණ හොරා පොලිස් සෙල්ලමට අලූත් පොලිස් කණ්ඩායමකුත් අලූත් හොරු කණ්ඩායමකුත් ආදේශ වනු ඇත. එවිට අනුර කුමාරලාට, හඳුන්නෙත්තිලාට අලූත් හොර ෆයිල් ප‍්‍රමාණයක්ද මතු කරගත හැකිවනු ඇත. සිය පියා මැරූ පළිය ගන්නෙමැයි ජනතාව ඉදිරියේ දිවුරුම් දී පීතෘ ඝාතකයන්ගේ පක්ෂයේම මන්ත‍්‍රීකමක් උසුලන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ සටන මාධ්‍යයට හොරෙන් විවාහ ගිවිස ගැනීම දක්වා විතැන් වූවා සේ බොහෝ සටන් සහ සටන්කරුවන් ජනතාවට කොකා වෙනුවට කතිරය පෙන්වනු ඇත.

දින සියයේ සෙල්ලම අවසාන බව පසුගිය දිනෙක මැදියම් රාත‍්‍රියේ දැනුම් දී අලූත් ක‍්‍රීඩා සැණකෙළියකට කවුළු පියන්පත් හැර තිබේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් පැරණි කියමනක් වී ඊට වඩා හොඳ සෙල්ලම් මහා දවාලේද බලාගත හැකිවනු ඇත. අවදියෙන් සිටින්න තීරණය කිරීමේ බලය යම් මොහොතක ඔබ අතටද එනු ඇත.

ප‍්‍රියන්ත වර්ණකුලසූරිය