ගල්ලෙන අරිනු! – ලෙන් දොර බිඳිනු!

REBELමාස ගණනාවක් තිස්සේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ Prison Break රූපවාහිනී කතා මාලාව පසුගිය සතියේ අවසන් විය. එය දැවැන්ත කලා නිර්මාණයක් නොවූවත් ලංකාවේ පේ‍්‍රක්ෂකයන්ද ආශාවෙන් නැරඹූ ටෙලි කතා මාලාවකි. මේ කාලයේ අපට දකින්නට ලැබෙන නිර්මාණ කලා කෘති යැයි නම් කිරීමට වඩා ඒවා විනෝද කර්මාන්තයේ වාණිජමය නිෂ්පාදන ලෙස තේරුම් ගැනීම වඩාත් නිවැරදිය. ඒවා වැඩි ලාභ අපේක්ෂාවෙන් නිපදවනු ලබන වෙළෙඳ භාණ්ඩය. ජාතික රූපවාහිනිය සිංහල භාෂාවෙන් උප සිරැුස යොදා එය ලංකාවේ විකාශනය කරන්නේද අනෙකුත් නාළිකාවලින් එන තරගයට මුහුණ දීම සඳහාය. එහෙත් කවර අරමුණකින් කළද ඒවායේ කලාත්මක අංග අංශු මාත‍්‍රයක් හෝ අඩංගු වීම අනිවාර්යයකි. බොහෝ දෙනාට Prison Break චමත්කාරයක් හා ආශ්වාදයක් ගෙන ආවේ ඒ නිසාය.

2005ත් 2009ත් අතර කොටස් තුනකින් විකාශනය වූ අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන Prison Break කතා පුවත දිවයන්නේ සිය සොහොයුරා නිදහස් කර ගැනීමට සැරසෙන තරුණයකු වටාය. මයිකල් ස්කෝෆීල්ඞ් නම් තරුණයාට කුඩා කළ සිටම මව්පියන් නොමැති අතර ඔහුට ඉංජිනේරුවෙක් වීම දක්වා අධ්‍යාපනය ලබාදී ඔහු හදාවඩාගෙන ඇත්තේ ඔහුගේ අයියා වන ලින්කන් බරෝස් විසිනි. එහෙත් නොකළ වරදකට බරෝස් සිරගත වන අතර ඔහු නිදහස් කර ගැනීමේ අරමුණෙන් ස්කෝෆීල්ඞ් සන්නද්ධ මංකොල්ලයකට දායක වී සිරගෙදරට යයි. අතිවිශිෂ්ට බුද්ධි ජීවියකු වන ස්කෝෆීල්ඞ් සිය සොහොයුරා නිදහස් කර ගැනීමේ සැලැස්ම ක‍්‍රියාවට නංවන අතරම ඔහුගේ දියවැඩියාවට ප‍්‍රතිකාර කරන බන්ධනාගාර වෛද්‍යවරිය වන සාරා සමඟ පෙමින් වෙළෙයි. ඔවුන්ගේ ජීවිතවලට සම්බන්ධ ‘සමාගම’ ගැනද එම සමාගම සතු දත්ත පද්ධතියක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර පවතින තරගයද අපට දැනගන්නට ලැබෙන්නේ ඉන් අනතුරුවය. කතා පුවත අවසන් වන්නේ සාරාගේ නිදහස වෙනුවෙන් ස්කෝෆීල්ඞ්ට මිය යාමට සිදු වීමත් සියලූ දෙනා නිදහස් වීමත් මෘදුකාංගය එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදීමත් සමඟය.

Prison Breakහි අන්තර්ගත වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වැනි කේන්ද්‍රයේ රාජ්‍යයක මිනිස් ජීවිතයේ ස්වභාවයයි. එය කෙතරම් අවදානම් සහගතද සියලූ දෙනාම කෙතරම් මුදල් හඹා යන තරගයක හා බල ක‍්‍රීඩාවක ගිලී සිටීද යන්න එහි එක් පැත්තකි. එමෙන්ම කෙතරම් මුදල් බලවත් වූ සමාජයක වුව අනෙකා වෙනුවෙන් කැපවීම හා පරිත්‍යාගය නොනැසී පවතින ආකාරයද මානව සබඳතා සහ ආදරය ක‍්‍රියාත්මක වන ආකාරයද එහි තවත් පැත්තකි. මුදල්ම පමණක් සිය ජීවිතයේ ඉලක්කය බවට පත් කරගෙන එයම හඹා යන ලෝකයක වුව අනාගත සමාජය උදෙසා අවශ්‍ය ඇතැම් මානුෂීය ගුණාංග ඉතිරිව පවතී. ලෝකය සුරපුරයක් හෝ අපායක් නොවේ. එය ධනවාදයේ විනාශකාරීත්වය මෙන්ම ඒ විනාශකාරීත්වයෙන් මිදීමේ විකල්ප මිනිස් භාවිතාවද සහිත ලෝකයකි. මේ ටෙලි සිනමා නිතරම නරඹන විට අපට හැඟී යන්නේ එයයි.

අප මේ සූදානම් වන්නේ Prison Break පිළිබඳ කලා විචාරයක් සිදු කිරීමට නොවේ. ඒ සඳහා මේ පියාපත් කලා අතිරේකයද නොවේ. මේ රිබෙල් පිටුවයි. මෙය වෙන් වී ඇත්තේ වාමාංශික දේශපාලනය සංවාදයට බඳුන් කිරීම සඳහාය. එසේ නම් ටෙලි කතා මාලාවක් පිළිබඳ මෙතරම් කතා කිරීමට හේතුව කුමක් විය හැකිද? අපේ සාකච්ඡුාවේ මාතෘකාව මේ නිර්මාණය නොව එහි පේ‍්‍රක්ෂකයාය. විශේෂයෙන් සිංහල උපසිරැුසි සහිතව පසුගිය කාලයේ එය නැරඹූ ලාංකික පේ‍්‍රක්ෂකයාය. ඒ ටෙලි කතා මාලාව රසවිඳිද්දී පේ‍්‍රක්ෂකයා දෙයාකාරයක සිරකරුවන්ය. පළමුවැන්න පේ‍්‍රක්ෂකයා සිතින් තමන්ද සිරකරුවකු වී සිරගෙය බිඳීමේ ආශ්වාදය විඳියි. ඒ ගැන සාකච්ඡුාව කලාව පිළිබඳ සාකච්ඡුාවකි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ කල්පනාලෝකවාදයේ සිට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථිකරණ රීතිය දක්වා බොහෝ දේ එහිදී කතා කළ හැක. එහෙත් අපේ මාතෘකාව වෙනත් එකකි. සිරගත වීමේ දෙවැනි ආකාරය සම්බන්ධ වන්නේ අපේ ඒ මාතෘකාවටය.

ස්කෝෆීල්ඞ් සිරගෙය බිඳීම සඳහා නොපසුබස්නා වීර්යයෙන් යුතුව සටන් කරන ආකාරයද සිරගෙය බිඳීමේ සැලැස්ම සිය උඩුකයේ පච්චයක් ලෙස කොටාගෙන ඔහු කරන කැපවීමද සිය සමීපතමයා වෙනුවෙන් ඔහු සිය ජීවිතය අවදානමට හෙළන ආකාරයද අප දකින්නේ අපද සිරගතව සිටිමිනි. ඒ සිරගෙය වනාහී ටෙලි කතා මාලාවේ ඇති සිරගෙය නොවේ. අප ප‍්‍රාග්ධනයේ යාන්ත‍්‍රණයේද රාජ්‍යයේද පසුගාමීත්වයේද අපගේම පටු දැක්මේද සිරකරුවන්ය. ස්කෝෆීල්ඞ් සිරගෙය බිඳීම අපට ආශ්වාදනීය වන්නේ අප සිරගත වී සිටින බව අපද අවිඥානිකව හෝ දන්නා නිසාය. ඩෙස්මන්ඞ් මොරිස් නම් සුප‍්‍රකට සත්ව විද්‍යාඥයා සිය ‘මනුසත් උයන’ (Human Garden) කෘතියේ පවසන ආකාරයට මිනිසුන්ගේ චර්යාවන් වඩාත් සමීප වන්නේ නිදහසේ වනාන්තරයේ සිටින සතුන්ගේ චර්යාවට නොව සත්වෝද්‍යානයේ කූඩු කළ සතුන්ගේ චර්යාවටය. දිගුකලක් මුළුල්ලේ වානර විශේෂවල ලිංගික චර්යා අධ්‍යනය කළ ඔහු මෙවැනි නිගමනයකට එළඹෙයි.

”සිය ස්වාභාවික පරිසරයේදී සත්තු ස්වයං වින්දනය නොකරති. සමලිංගික හැසිරීම් නොපෙන්වති. ගැහැනු සතුන් ලිංගික හිසනයට පත් නොකරති. පරිණත නොවූ පැටවුන් අපචාරයට ලක් නොකරති. එහෙත් සත්වෝද්‍යානවල කූඩු කළ සතුන් තුළ ඒ සියලූ චර්යාවන් දැකිය හැක. මිනිසා පෙන්වන්නේ කූඩු කළ සතුන්ගේ චර්යාවන්ය. එනිසා මිනිසුන් යම්කිසි අදිසි සිරමැදිරියක සිරගත කර සිටිනවා විය යුතුය.”

ඩෙස්මන්ඞ් මොරිස් පවසන බොහෝ දේ පිළිබඳව අපට එකඟ විය නොහැකි වුවත් ඔහු කිසියම් ජීවවිද්‍යා ඌනිතවාදයක ගිලී සිටින බව පෙනී ගියත් වත්මන් මිනිසා සිරගතව සිටිතියි යන ඔහුගේ නිගමනය ගැන එකඟ විය හැකි තැන් තිබේ. මිනිසා එසේ සිරගත කර ඇත්නම් ඒ සිරමැදිරිය කුමක්ද? එය මුලින් සඳහන් කළ ආකාරයටම ප‍්‍රාග්ධනයේද පෞද්ගලික දේපළ ක‍්‍රමයේද රජයේද සිරගෙයයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අපගේ සිත් සතන් තුළම ඇති වහල් මානසිකත්වයේ සිරගෙයයි. ස්කෝෆීල්ඞ් සිරගෙය බිඳින විට අප සතුටු වන්නේ අපද ඒ සිරගෙයි සිරගතව සිටින්නන් බැවිනි. කළ යුත්තේ රූපවාහිනී තිරයේ නළුවකු සිරගෙය බිඳින ආකාරය දැක චමත්කාරයට පත් වීම නොව සිරගෙය බිඳීමේ කටයුත්තේ පෙරමුණු සටන්කරුවකු වීමයි. එය බිඳිය යුතුමය. මන්දයත් කෙතරම් දුෂ්කර වුවද ජීවිතය, නිදහස පිළිබඳ අපේක්ෂාවන් කිසිදා මිය නොයන බැවිනි. සාරා නිදහස ලබනුයේ ස්කෝෆීල්ඞ්ගේ ජීවිත පරිත්‍යාගය මතිනි. ඒ නිසා අප සිටින සිරගෙය බිඳීමද සිදු කිරීමට වන්නේ මහා පරිත්‍යාගයකිනි. ඇතැම් විට ඒ ස්කෝෆීල්ඞ් මෙන් මරණය තෝරාගැනීමෙන් නොවිය හැකිය. එහෙත් ජීවිතයේ වෙනත් නොයෙක් තැන්වලදී කරන ඊට වඩා දුෂ්කර අත්හැරීම් හරහා විය හැකිය. එහෙත් ඒ සඳහා පළමුව අවශ්‍ය වන්නේ ධෛර්යයි.

ස්කෝෆීල්ඞ්ට සිරගෙය බිඳීම තාක්ෂණික ප‍්‍රශ්නයකි. අප සිර කර සිටින අදිසි සිරමැදිරිය බිඳීම අපට දාර්ශනික ප‍්‍රශ්නයකි. විප්ලවීය ව්‍යවහාරය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ ගැන තවදුරටත් සිතීම සඳහා විරාමයක් ගැනීමට මේ සටහන මෙතැනින් නතර කරන අතර දාර්ශනික ගැටලූ පිළිබඳ ප‍්‍රකට දාර්ශනික ලූද්විග් විට්ගන්ස්ටයින් පැවසූ මේ අදහසට සිත යොමු කරමු.

”දාර්ශනික අවුලක පැටලී සිටින තැනැත්තා වනාහී කාමරයක සිරවී සිටින, එයින් පිට වන්නට මාන බලන, නමුත් කෙසේ පිටවිය යුතු දැයි නොදන්නා කෙනකු බඳුය. ඔහු ජනේලයෙන් පනින්නට බලයි. එය උස වැඩිය. ඔහු දුම් කවුළුවෙන් රිංගන්නට සැරසේ. එය කුඩා වැඩිය. එහෙත් වටපිට බැලූවහොත් දිගටම දොර විවෘතව තිබූ බව ඔහුට පෙනෙනු ඇත.”

හොඳින් වටපිට බලන්න. අවධානයෙන්, සවිඥානිකව බලන්න. ඇතැම් විට දොර විවෘතව තිබෙනවා විය හැක. දොර වසා තිබුණද සිරගෙය බිඳ දැමිය යුතුමය.