මහ මැතිවරණය හමුවේ සිවිල් සංවිධානවල වගකීම?

art_communityලංකාවේ දේශපාලන පක්ෂවල විපරීත ස්වභාවය සහ මැතිවරණ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ගියවර ජනරළ කලාපයේ මාගේ ලිපියෙන් අවධාරණය කර තිබුණි. ඒ සමඟම ඊට සමගාමීව සාකච්ඡුා කළ යුතු ප‍්‍රශ්නයක් තිබේ. ඍජුවම පක්ෂ දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට සම්බන්ධ නැතත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීම වැදගත්ය. විශේෂයෙන්ම මැතිවරණ සමයකදී මෙම සංවිධාන ප‍්‍රධාන දේශපාලන ධාරාවේ සිටින පක්ෂ සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවත් පෙනේ. නමුත් එම ක‍්‍රියාකාරීත්වයන් පෙරළා ප‍්‍රශ්න කිරීමකට ලක්වන්නේ හෝ මැතිවරණයෙන් පසුව එම සංවිධාන තම මැතිවරණ ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳ සමාජයට වගකියන බවක් හෝ පෙනෙන්නට නැත. මෙම කරුණු දැක්වීම ඒ පිළිබඳවය.

ගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී ඊට සම්බන්ධ දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට පැමිණි පුරවැසි බලය, අලූත් පරපුර, සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව වැනි සිවිල් සංවිධාන කිහිපයක් විය. එම මැතිවරණයේදී මහින්දවාදී සහ මහින්ද විරෝධී ලෙස සමාජය දෙකට බෙදීමට ඉතා තීරණාත්මක වැඩ කොටසක් කරනු ලැබූයේ මෙම සිවිල් සංවිධාන විසිනි. මෙම සංවිධාන සියල්ලම පාහේ මහින්ද විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කළ අතර මෛත‍්‍රී – රනිල් ජයග‍්‍රහණයට එහි ඍජු බලපෑමක් තිබුණි. මහින්දවාදී කඳවුරු වෙනුවෙන්ද ක‍්‍රියාත්මක වූ මෙවැනිම සිවිල් සංවිධාන තිබූ නමුත් ඒවා අලූත් ඒවා නොවීය. ඒවායේ ක‍්‍රියාකාරීත්වයද එවකට පැවැති ආණ්ඩුව සමඟ සමගාමී වූ නිසා ජනතාවට එහි දේශපාලන විශේෂත්වයක්ද නොවීය.

ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය දේශපාලනික වශයෙන් ඉතාමත් දුර්වල මට්ටමක පවතී. එනිසා ගිය ජනාධිපති මැතිවරණයේදී පැවැති සියලූම වෘත්තීය සමිති පාහේ මෛත‍්‍රී – මහින්ද වටා ඒකරාශී වී කටයුතු කරන බවක් දක්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ රාජ්‍ය අංශයේ සේවක වැටුප් රුපියල් 5,000කින් වැඩි කිරීමටත් මෛතී‍්‍රපාල සිරිසේන රුපියල් 10,000කින් එම වැටුප් වැඩි කිරීමටත් එහිදී පොරොන්දු විය. මෙහිදී වෘත්තීය සමිති පැත්තෙන් අවධාරණය කළ යුතු මූලික ප‍්‍රශ්නයක් වූයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකර ගැනීමයි. නමුත් වෘත්තීය සමිති පැත්තෙන් ප‍්‍රමාණවත් ලෙස එම අවධාරණය කිරීම සිදු වූයේ නැත. ඒ වෙනුවට වෘත්තීය සමිති තමා සහය දෙන අපේක්ෂකයා කෙසේ හෝ දිනවන ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරන බවක් දක්නට ලැබුණි. මේ නිසා මේ වන තෙක් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් වැඩි වී නැත. එනිසා ගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී වැඩ කරන ජනතාව රැුවටීමට එම වෘත්තීය සමිති නායකත්වයද කටයුතු කර ඇත.

පසුගිය දා එක් එක් රටවල මානව හිමිකම් තත්වය පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් අමෙරිකාව විසින් එළිදක්වා තිබුණි. එම වාර්තාව පිටුපස අමෙරිකාවට දේශපාලන අරමුණු ඇති බවට විවාදයක් නැත. නමුත් එහි ලංකාව පිළිබඳව අවධාරණය කර ඇති එක් කරුණක් වූයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප ප‍්‍රමාණවත් නොවීමත් එහි එය තීරණය කරන සාධාරණ ක‍්‍රමවේදයක් සකස් වී නොතිබීමත්ය. එමඟින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව එම වාර්තාව මඟින්ද පෙන්වා දී තිබුණි. 2006 සිට අවුරුදු 9ක් යන තෙක් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික අවම වැටුප වැඩි වී නැත. එනිසා දැනටමත් එය රුපියල් 12,000 නොඉක්මවයි. පෞද්ගලික අංශයේ එය රුපියල් 8,000ක් පමණ වේ. මෛත‍්‍රී – රනිල් ආණ්ඩුවද ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු පරිදි තම අතුරු අයවැය තුළින් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළේ නැත. විශේෂයෙන්ම අවම මූලික වැටුප සතපහකින්වත් වැඩි කළේ නැත. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 2,500ද මේ වන තුරුත් ලබාදී නැත. වතු කම්කරුවන්ගේද වැටුප්වල කිසිම වෙනසක් මේ වන තෙක් සිදු කර නැත. මෙහිදී පැන නඟින තවත් ගැටලූවක් වන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකතුවත් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් අන්තර්සමාගම් සේවක සංගමයත් එය ඉටුකර ගැනීම වෙනුවෙන් මැතිවරණයෙන් පසු ගෙවුණු හය මාසයක පමණ කාලයක් තුළ ආණ්ඩුවට සැලකිය යුතු දේශපාලන බලපෑමක් සිදු නොකිරීමයි. ජනතා විමුක්ති පෙරමුණත් සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රියත් ආණ්ඩුව මෙහෙය වන විධායක සභාව තුළ නියෝජනය කළ තත්වයක් තුළ කම්කරුවන්ට ලබා දුන් මැතිවරණ පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට සමත් වී නැත.

කෙසේ වෙතත් මූලික වැටුප් වැඩි නොවීම කම්කරුවන්ගේ දැවෙන ප‍්‍රශ්නයකි. කෙතරම් දීමනා ලැබුණත් ඔවුන්ගේ අතිකාල ගෙවීමේදී හෝ අර්ථසාධක හා පාරිතෝෂිත දීමනා ගෙවීමේදී හෝ විශ‍්‍රාම වැටුප් ලබාදීමේදී එම දීමනා නොසලකා හැරේ. ඒවා සඳහා පදනම් කර ගන්නේ මූලික වැටුපයි. එනිසා මූලික වැටුප් වැඩි නොවීම නිසා බලවත් අසාධාරණයක් එමඟින් කම්කරුවන්ට සිදු වේ. කම්කරුවන්ගේ ජීවන තත්වය පහත වැටීමට එය බලපායි.

මූලික වැටුප් වැඩි නොවීම පිළිබඳ ගැටලූව මෙන්ම රැුකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳවද වර්තමානයේ බරපතළ ගැටලූ රැුසක් ඇත. අනියම්, ආදේශක සහ කොන්ත‍්‍රාත් පදනමේ බඳවාගත් කම්කරුවන් ස්ථීර නොකිරීම ඒ අතරින් ප‍්‍රධාන වේ. එය රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් පොදුවේ මේ වන විට දකින්නට පුළුවන් තත්වයකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෑන්පවර් ටෙලිකොම් සේවකයන් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක එහි මූලස්ථානයේ ඉදිරිපිට නිරත විය. ඔවුන්ගේ සත්‍යග‍්‍රහය නිමා කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වුව හොත් ඔවුන්ට ස්ථිර රැුකියා ලබාදෙන බවට වූ පොරොන්දුවක් නිසාය. මෙම පොරොන්දුව ලබාගැනීමට විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. නමුත් එම පොරොන්දුවද තවම ඉටු වී නැත. දැනට විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සහ කොන්ත‍්‍රාත් සේවකයන් එවැනිම උද්ඝෝෂණයක නිරතව සිටී. එනිසා ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන බොහෝ සේවකයන්ට අද රැුකියාවේ ස්ථිරභාවයක් නැත.

අනෙක් අතට පෞද්ගලික අංශයේ සේවකයන්ට තම විශ‍්‍රාම ජීවිතය ගෙවීම සඳහා වූ සුරක්ෂිත වැඩපිළිවෙළක් සකස් වී නැත. ඒ සඳහා සාධාරණ විශ‍්‍රාම වැටුපක් ඔවුන්ට ලබාදිය යුතුය. වතු කම්කරුවන්ගේ තත්වය මීටත් වඩා ඛේදජනකය. ඔවුන්ට තවමත් ස්ථිර මාසික වැටුපක්වත් ලැබෙන්නේ නැත. බොහෝ උපාධිධාරීන් පවා රැුකියාවක් සොයා ගැනීමේ ගැටලූවට මුහුණ දී සිටී. එනිසා රැුකියා වියුක්තිය මෙන්ම ඌන රැුකියාද කම්කරු ක්ෂේත‍්‍රයේ බරපතළ ප‍්‍රශ්න වේ. මේවා පිළිබඳව නිසි අවධානයක් නැති වෘත්තීය සමිති සෑම මැතිවරණයකදීම මේ අන්දමින් ප‍්‍රධාන ධාරාවේ සිටින දේශපාලන පක්ෂවල සිල්ලර පොරොන්දුවලට කම්කරුවන් පාවා දීමට කටයුතු කරමින් සිටී.

අවසාන වශයෙන් පුරවැසි බලය සහ අලූත් පරපුර නමින් වූ කලාකරුවන්ගේ එකතුව පිළිබඳවද වචනයක් සඳහන් කළ යුතුය. සමාජයේ එදා පැවැති මහින්ද පාලනයට එරෙහි විරෝධයේ ප‍්‍රකාශකයකු බවට පත් වීමට එම සංවිධානවලට හැකි වුවත් පවතින සමාජය දේශපාලන අර්බුදය හමුවේ ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර සෙවීමට හෝ ඒ සඳහා වූ දේශපාලන මඟපෙන්වීමක් ජනතාවට සිදු කිරීමට එම සංවිධාන සමත් වී නැත. ආණ්ඩුවේ ගෙවුණු කෙටි කාලය තුළ වුවද කැබිනට් මණ්ඩලය පත්කිරීම රජයේ ආයතනවල ඉහළ නිලධාරීන් පත්කිරීම මෙන්ම සිදුවූවා යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන්ද ජනතාවගේ පැත්තෙන් එල්ල වන චෝදනාවලට අවම සාධාරණයක් හෝ ඉටුකර දීමට වර්තමාන ආණ්ඩුව පිහිටු වීමට උරදුන් එම සංවිධාන සමත් වූයේ නැත. මෙමඟින් පෙනී යන්නේ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න හමුවේ ඔවුන් තුළ ඇති විරෝධය සංවිධානය කිරීමට තරම් ඔවුන්ගේ විමුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය සරල නැති බවයි. එනිසා පත්වන ආණ්ඩු ගෙදර යැවිය හැකි නමුත් පත්කර ගත යුත්තේ කවර පාලනයක්ද යන්න පිළිබඳ ප‍්‍රශ්නය සිවිල් සංවිධාන විසින් අවිඥානිකව හෝ හිතාමතා හෝ මඟහැර යන බව පෙනී යයි. ඉදිරි මහ මැතිවරණයේදීද උත්තර සෙවිය යුතු දේශපාලන ප‍්‍රශ්නය වන්නේ එයයි. එනිසා මහින්ද විරෝධය හෝ රනිල් විරෝධය මත හෝ එසේත් නැතිනම් එම දෙදෙනා විවේචනය කරමින්  ඕනෑම මොහොතක ඔවුන් සමඟ සන්ධානගත වීමට බලා සිටින සුළු පක්ෂ මත විශ්වාසය තබා කටයුතු කිරීම ජනතාවගේ පැත්තෙන් ප‍්‍රඥාවන්ත නැත.

චන්ද්‍රසිරි ලන්දගේ