මහින්දගේ සගයා කෝටිපතියෙක් වුණේ කොහොමද?

Gamini Senarath 2හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් හිටි හැටියේම කෝටිපතියකු බවට පත්වී ඇත්තේ විනිමය වංචා නිසාත් ඔහුට එරෙහිව නඩු පැවරීමට යන බවත් පසුගිය ඉරිදා සති අන්ත ඉංගී‍්‍රසි පුවත්පතක් වාර්තා කර තිබුණි. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බී වාර්තාවක සේයාරුවක් සන්ඬේ ලීඩර් පුවත්පත ප‍්‍රසිද්ධ කර තිබුණා. ඒ වාර්තාව අනුව ගාමිණී සෙනරත්ට නඩු පවරන්නේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනතේ රෙගුලාසිවලට අනුව. එම බී වාර්තාවේ අංකය වන්නේ ඊ/25389/1/15/2/ඊ්‍ය. එම බී වාර්තාව අනුව ගාමිණී සෙනරත් ඉතා කෙටිකාලයක් ඇතුළත ඇදහිය නොහැකි තරම් විශාල ධනයක් රැුස්කරගෙන තිබෙනවා. රාජ්‍ය පරිපාලන සේවයට අයත් සාමාන්‍ය නිලධාරියකු වන ගාමිණී සේදර සෙනරත්ගේ නමටත් ඔහුගේ බිරිඳ වන තෙන්නකෝන් මුදියන්සේලාගේ කුමාරි ගීතා ගුණරත්නගේ නමටත් ඔහුගේ පුතාගේ නමටත් මේ වන විට ඇති සමස්ත චංචල හා නිශ්චල  දේපළවල වටිනාකම රුපියල් කෝටි 70 ඉක්මවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ ඔහුගේ හා පවුලේ අයගේ නමින් තිබෙන නිවාස හා දේපළවල වටිනාකමත් බැංකු ගිණුම් වල මුදලූත් පමණයි. ඔහුගේ ඇත්ත වත්කම මීට වඩා බෙහෙවින් ඉහළ අගයක් වෙන්න ඉඩ තිබෙනවා.

ගාමිණී සෙනරත්, ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ සාමාන්‍ය පරිපාලන නිලධාරියෙක්. ඔහු කලින් විවිධ දෙපාර්තමේන්තු හා ආයතන රැුසක ප‍්‍රධානියා ලෙසත් වෙනත් වගකීම්වලත් කටයුතු කර තිබෙනවා. ඔහු මුලින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සම්බන්ධ වෙන්නේ 2009 වසරේදී. ඔහු හිටපු ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබෙනවා. පසුව ඔහු මහින්දගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා බවට පත්වුණා. මේ අතර ඔහු 2013 පෙබරවාරි 14 වැනිදා සිට මහජන බැංකුවේ සභාපති ධුරයට පත්වුණා. ඊට පෙර ඔහුව ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති තනතුරට පත් කළේත් හිටපු ජනාධිපතිවරයාමයි. 2010 මැයි මාසයේ සිට බැංකුවල හා රක්ෂණ සමාගම්වල සභාපති ධුරයට පත් කළාට ඔහුට ආර්ථිකය හෝ මූල්‍ය කටයුතු ගැන විශේෂඥ දැනුමක් නෑ. ඔහුගේ පශ්චාත් උපාධිය තිබෙන්නේ පරිඝනක විද්‍යාවට අදාළව.

කොහොම උනත් 2015 මාර්තු 26 වැනිදා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ගාමිණී සෙනරත්ට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේත් ගොනු කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාමිණී සෙනරත්ගේ අසාමාන්‍ය වත්කම් සොයාගත් අතරම ඔහු ආදායම් බදු ගෙවා නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හොයා ගත්තා. ඒ අනුව ගාමිණී සෙනරත් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතත් උල්ලංඝනය කර තිබෙනවා.

හෙළ උරුමය ගොනු කළ පැමිණිල්ලක් සමඟ 2013 සැත්තැම්බර් 25 සිට 2014 දෙසැම්බර් 19 දක්වා විවිධ අවස්ථාවලදී ඔහු තැනින් තැනට විශාල මුදල් තොග ප‍්‍රවාහනය කළ ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කළා. චීන ජාතිකයන්, කැසිනෝ හිමිකරුවන් ආදීන් සමඟ තිබූ ඔහුගේ ගනුදෙනු ඉතාම සැක සහිතයි. (එම මුදල් ගනුදෙනු මෙම ලිපියේ පසෙක වෙනම දක්වා තිබෙනවා)

මීට අමතරව ගාමිණී සෙනරත්ට අයත් දේපළ නවයක වටිනාකම රුපියල් මිලියන 352ක් බව හොයාගෙන තිබෙනවා. ඔහු ඒවා මිලදී ගත් ආකාරය කිසි ලෙසකින් පැහැදිලි කරන්න බෑ. මීට අමතරව ගාමිණී සෙනරත්ගේ පවුලට සමාගම් 4ක් අයිතියි. ඒ පි‍්‍රන්ට් එක්සෙල් පෞද්ගලික සමාගම, රත්න මුද්‍රණකරුවෝ සහ ප‍්‍රකාශකයෝ, රත්න ප‍්‍රකාශකයෝ පෞද්ගලික සමාගම, රත්න මෙටල් පෞද්ගලික සමාගම යන සමාගම් හතර. මේවායේ ලියාපදිංචි අංක පිළිවෙළින් PV65356, PV1899ල PV76309 සහ PV550272ග මේ සමාගම් පාලනය කර ඇත්තේ ඔහුගේ බිරිඳ, නැන්දණිය සහ පුතා විසින්. ඒ වගේම ඔහුගේ, ඔහුගේ බිරිඳගේ හා පුතාගේ නමින් ඇති බැංකු ගිණුම්වල පමණක් තිබූ ශේෂය රුපියල් මිලියන 33.9 ක්. මේ ගිණුම් පරීක්ෂා කරන්න අධිකරණය පොලීසියට අවසර ලබා දුන්නේ අපේ‍්‍රල් 21 වැනිදා. දැනට තිබෙන තොරතුරුවලට අනුව ගාමිණී සෙනරත්ගේ නමින් පමණක් බැංකු ගිණුම් 81ක් තිබී තිබෙනවා.

ගාමිණී සෙනරත් පසුගිය කාලයේ මහජන මුදල් ගසාකෑම පිළිබඳ එක උදාහරණයක් විතරයි. කුමන හෝ හේතුවක් මත ඔහුට එරෙහිව පැමිණිලි විභාග වෙද්දී, පරීක්ෂණ දියත් වෙද්දී ඔහුට මේ සඳහා අත දුන් ලොකුම ලොකු කම්බා හොරුන් නිදැල්ලේ සිටිනවා. ඒ හොරුන් අල්ලනවා යැයි කියූ අයගේ හොරකමුත් එළියට එමින් තිබෙනවා. ලංකාව හොරුන්ගේ පාරාදීසයක් බව අමුතුවෙන් කිව යුතු නැති නිසා ඉතිරි හරිය ඔබට තීරණය කරන්න ඉඩ හැර අපි මේ ලිපිය නතර කරනවා.

සුධීර ප‍්‍රභාෂ්වර