කවිය අඩුවෙන්ම කුණු වූ කලා මාධ්‍ය වෙන්නෙ ප‍්‍රාග්ධන උවමනාවට තවමත් යටත් නැති නිසා

 

Lakshan Maduranga Sri Lankan Poet 1ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න නැෙඟනහිර වාසී ප‍්‍රත්‍යන්ත තරුණ කවියෙකි, එහෙත් ජාතික තලයේ කවියක සිය අනන්‍යතාව මුසු කරන්නෙකි. ‘දියබරියා චප්ප විය’ නම් සාමූහික කවි කෘතියෙන් කවි මුද්‍රණයට බට ඔහු 2010 ‘සඳත් නැති වෙන්න ඉඩ ඇත. කවි කෘතිය රචනා කරමින් ගොඩගේ සාහිත්‍ය උළෙලේ ප‍්‍රශස්තම කවියකු බවට පත් විය. ඔහුගේ අභිනව කවි කෘතිය ‘වැඩියෙන්ම වැරදුනේ කවීන්ට’ නමින් එළි දැක්වුණි.  ඇත. ජනරළ විසින් ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න සමඟ කළ සංවාද සටහනයි මේ…

  • කවිය පිළිබඳ අධිපති නිර්වචනයන්ගෙන් ඔබගේ කවිය මිදෙන්නේ ඇයි?

මම දන්නෙ නෑ මගෙ කවිය එහෙම මිදිල තියෙනවද කියලා. හැබැයි මම කවිය පිළිබඳ බිහිවෙලා තියෙන අධිපති නිර්වචන පිළිගන්න සූදානම් නෑ. කවිය පිළිබඳ අධිනිශ්චය වෙලා තියෙන බොහෝ අර්ථකථන, ඒ ඒ යුගයන්ගේ පාලක පන්ති අවශ්‍යතා තෘප්ත කිරීමක් විදිහටයි මම දකින්නෙ. උදාහරණයක් විදිහට කලාස්වාදය පිළිබඳ රසවාදී ප‍්‍රවේශය ගන්න. මේ ප‍්‍රවේශයෙන් මිනිසා සිය පැවැත්ම සඳහා පරිසරය සමඟද තමන්ගේ ගති පැවතුම් සමඟද ගෙන යන අරගලයේ හරය අහු වෙන්නෙ නෑ. ‘ලෝකවෘත්තානුකරණං නාට්‍ය මෙතන්මයා කෘතම්’ කියල භරතමුනි කියනකොට ඇතිවෙන ප‍්‍රධාන ප‍්‍රශ්නෙ තමයි කලාකරුවා ලෝක ස්වාභාවය අනුකරණය කරන්න එච්චර මහන්සි වෙන්නෙ ඇයි කියන එක. හැබැයි යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් ලෙස කලාව විග‍්‍රහ කරගන්න කොට ඒ ප‍්‍රශ්නෙට උත්තරේ හම්බවෙනවා. ඒ වගේම තමයි කවි සිළුමිණිකරුවා ගොඩනඟන ‘පෙදෙහි සෙනව් විදිනා දෙනෙතා ඉතා දුලභෝ’ යන ප‍්‍රවාදය. සාහිත්‍ය කලා රසාස්වාදය සුළුතරයකට පමණක් හිමි වූ වරමක් ලෙස ඒත්තු ගැන්වීමේ උත්සාහයක් එතන තියෙනවා.

  •  ඇතැමකුගේ අදහස ඔබේ කවිය අමුයි කියන එක. ඒ පිළිබඳ ඔබගේ අදහස?

මම ලියන්නෙ මගේ විදිහට. ඒක අමුද, ඉදිලද කියල කියන එක විචාරකයාගේ කටයුත්තක්. විචාරකයාගේ වැඬේ මම කරලා හරියන්නෙ නෑ. හැබැයි මම එක දෙයක් දන්නවා. ලෝකෙ තියෙන සමහර පලතුරු රස අමුවෙන් කනකොට, සමහර ඒවා රස ඉදිලා කනකොට. ඒ නිසා කවුරු හරි අමුවට ලියන කෙනෙකුත් ඉන්න  ඕනනේ.

  •  ඔබගේ කවියේ මුල් යුගයේ නිර්මාණවලට වඩා නව කවි මඟ සුනිශිත වීමක් පෙනෙන්න තියෙනවා. මේ විපර්යාසය සිදුවුණේ කොහොමද?

එහෙම විශේෂ විපර්යාසයක් කරන්න මම උත්සාහ කළේ නෑ. ඒ වුණත් කවිය සම්බන්ධයෙන් පළමු කවි පොත කරන කොට මට තිබුණු සැකය, මේ දෙවෙනි පොත වෙනකොට තිබ්බෙ නෑ. පළමු කවි පොතේ පෙරවදනෙන් මං කියල තියෙනවා මගේ කවි, කවිද, නොකවිද කියලා මම දන්නෙ නෑ කියලා. එහෙම හිතෙන එකම, කවිය සම්බන්ධයෙන් වන අධිපති කථිකාවන්ට අහුවුණාම වෙන දෙයක් කියල දැන් මං දන්නවා. ඒ නිසා දැන් මම, මං ලියන්නෙ කවිද, නොකවිද කියල හිතන්න උත්සාහ කරන්නෙ නෑ. වැදගත් වෙන්නෙ ශානරය මොකක්ද කියන එක නෙමේ. කියන්නෙ මොකක්ද කියන එක.

  •  ඔබ නැෙඟනහිර වෙසෙන්නෙක්. උතුරු-නැෙඟනහිර ද්‍රවිඩ ජාතියේ අරගලය ඔබ ඔබගේ කවියට අවශෝෂණය කර ගැනීම පිළිබඳ තෘප්තිමත් වෙනවද?

මගේ පළමු කවි පොත සම්බන්ධයෙන් ප‍්‍රසන්න අබේවික‍්‍රම, විරාජ් ලියනාරච්චි, මහේෂ් කුමාර වගේ  මගේ මිතුරු විවේචකයන් ඔය විදිහෙම ප‍්‍රශ්නයක් ඇහුවා. ඔවුන්ගෙ අදහස වුණේ මම ද්‍රවිඩ අරගලය සම්බන්ධයෙන් සංවේදී වෙලා නෑ කියන එක. ඒ විවේචනය මං භාර ගත්තා. ඒ දවස්වල අපි පය ගහල හිටපු දේශපාලන ස්ථාවරයත් ඒ සඳහා හේතු වෙන්න ඇති. නැෙඟනහිර ජීවත් වෙන්නෙක් විදිහට දෙමළ ජනයා මඟහැරී යාම එහෙම සමාව දෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපේ දේශපාලන ස්ථාවර ගැන ආපහු හැරිල බලන්න මට බල කළේ මේ වගේ සිදුවීම්. ඉතිං මං උත්සාහ කළා මෙතෙක් කල් මට මඟහැරුණු ජීවිත පිළිබඳ සොයා බලන්න. ඒ ගැන සම්පූර්ණයෙන්ම  තෘප්තිමත් කියලා කියන්න බෑ.

  •  ඔබ දෘෂ්ටි කේන්ද්‍රීය කවියකු ලෙස කෙනකු චෝදනා කළහොත් ඊට දක්වන ප‍්‍රතිචාරය මොකක්ද?

ඒ චෝදනාව මං ගෞරවයක් විදිහට භාර ගන්නව. අනෙක එක, දෘෂ්ටියක් නැතුව ලියවෙච්ච කිසිම කවියක් හරි, නිර්මාණයක් හරි මේ ලෝකෙ තියෙනවද කියල ප‍්‍රශ්නයක් තියෙනවා. සෑම නිර්මාණකරුවකුටම මනුෂ්‍යත්වය, ජීවිතය හා සමාජය පිළිබඳ දැක්මක් තියෙනවා. එහෙම දැක්මක් තියෙන නිසාම තමයි එයා නිර්මාණකරණයට එළඹෙන්නෙ. අවුල තියෙන්නෙ ඒ දෘෂ්ටිය මානව සමාජයේ ප‍්‍රගමනයට හේතුවන්නක්ද නැද්ද කියන එකේ. ජාතිවාදී, ෆැසිස්ට්වාදී දෘෂ්ටියකින් වුණත් කවි ලියවෙන්න පුළුවන්. මහ රජවරුන්ට ආවඩා ආයුබෝ වේවා කියල අද දවසෙත් නිර්මාණ බිහිවෙන්නෙ ඒකයි. ඒවා මොබයිල් ෆෝන්වල රසබටසබට එදබැ දාගෙන ඉන්න ගමන් සමහර මහත්තුරු අපේ පරපුර දෘෂ්ටි කේන්ද්‍රීයයි කියලා බැහැර කරන්නෙ කොහොමද?

  • ඔබගේ කවි ඇතැම් විටෙක සමාජවාදී සාන්දෘෂ්ටිකවාදයක හැඩතලයන්ගෙන් යුක්තයි. ඒ සඳහා බල පෑ සාධක විස්තර කරන්නෙ කොහොමද?

ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය ඉදිරියේ මිනිසා ගමන් කළ එක් ස්ථාවරයක් තමයි  සාන්දෘෂ්ටිකවාදයෙන් ප‍්‍රකාශයට පත්වුණේ. ඇල්බෙයා කැමූ, ෂාන් පෝල් සාත්‍රෙ, ෂාන් ජෙනේ, අර්නස්ට් හෙමිංවේ, ඊයියා නුසුකේ අකුතගාවා, නන්සුමේ සො සෙකේ, ජුනිවීරෝ නනිසාකි, යුකිධ මිෂීමා වගේ ලේඛකයන්ගෙන් ප‍්‍රකාශයට පත් වුණෙත් මිනිස් පැවැත්මේ බලාපොරොත්තු බිඳ වැටීම, ක්ෂණ භංගූරත්වය, පරාරෝපිත බව හා පිටස්තර බව.

හැබැයි මාක්ස්වාදය මේ සමස්තය ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයන් සමඟ සම්බන්ධ කරන්න සමත් වෙනවා. ලෝකය තේරුම් ගැනීමට පමණක් නොව වෙනස් කිරීමටත් අවශ්‍ය දර්ශනය සපයමින් මාක්ස්වාදය මිනිස් පැවැත්ම ශූන්‍ය තත්වයකින් කෙළවර වීමට විරුද්ධ වෙනවා. ඒ වුණාට ඒ මාක්ස්වාදය තමන්ගේ න්‍යාය කියල කියාගත්තු දේශපාලන ව්‍යාපාර අවසානයේ නතරවෙලා තියෙන්නෙ කොහේද? ඒවා නතරවෙලා තියෙන්නෙ බරපතළ ශූන්‍යතාමය ආප්තයකට ඇද වැටිලා. ඒ කියන්නෙ අපි දැන් ලියමින් ඉන්න මහ අනෙකා බිඳ වැටුණු සමාජයක සැමුවෙල් බෙකට් තමන්ගෙ අභූතරූපී නාටන කලාව හැඳින්වූයේ ‘පරමාණු යුගයේ මිනිස් පරපුරේ බලාපොරොත්තුවල ශූන්‍යතාවේ ප‍්‍රකාශනය’ කියලා. අපිට කියාගන්න වෙන්නෙ ‘මහ අනෙකා බිඳ වැටුණු පරපුරක බලාපොරොත්තුවල ශූන්‍යතාවයේ ප‍්‍රකාශනය’ කියලා.

  • කවිය කැප නොවුණු සාහිත්‍යාංගයක් වන බවට ඇතමුන් නඟන අ`ඩහැරයට ඔබ එකඟද?

කවිය නූතනයේ ලියවෙමින් තිබෙන ආකාරය ගත්තම ඒ විවේචනයේ ඇත්තක් තියෙනවා. කවීන් අතරින් බහුතරයක් කවිය විෂයෙහි පූර්ණකාලීනව කැපවෙලා ඇති බවක් පේන්න නෑ. ඒ නිසාම කවිය බොහෝ දුරට ප‍්‍රාග්ධන උවමනාවන්ගෙන් මෙහෙයවන්නක් වෙලා නෑ. කවිය අඩුවෙන්ම කුණු වෙච්ච කලා මාධ්‍යය බවට පත්වෙලා තියෙන්නෙ මේ නිසා.

හැබැයි කවියන් කුණුව යෑමේ අනතුරකින් යුක්ත බව පේන්න තියෙනවා. විශේෂයෙන්ම වෙළෙඳ දැන්වීම් ආයතන හා දේශපාලන බල ව්‍යාපෘතීන් කවිය දිහා අවධානය යොමු කරන්න පටන් අරන් තියෙනවා. භාණ්ඩ වගේම දේශපාලකයෝ විකුණන්න මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතින වෙළඳ දැන්වීම් දිහා බැලූවොත් මේ තත්වය තේරුම් ගන්න පුළුවන්.

  • නූතනයේ සියලූ දෙනාටම වැරදිලා තියෙද්දි ඔබ කවියන්ට විතරක් වැරදුණු බව පවසන්නේ ඇයි?

ඔබ කියන කාරණයට මං එකඟයි. ඒ වුණාට මට මෙතනදි අවශ්‍ය වුණේ කවිය සහ ප‍්‍රාග්ධන කි‍්‍රයාවලිය අතර පවතින අර මුලින් කියපු දුරස්ථ සම්බන්ධය සංකේතවත් කරන්න, මේ සමාජ ක‍්‍රමය තුළ සිටිනවා දෙවර්ගයක මිනිසුන්. ඒ තමයි හරි ගිය මිනිසුන් සහ වැරදුණු මිනිසුන්. හැබැයි වැඬේ තියෙන්නේ මේ සමාජ ක‍්‍රමයට අනුව හරි ගියපු මිනිස්සු කියල කියන්නේ වැඩිම ලාභ කොටසක් අත්පත් කරගන්න සමත් මිනිසුන්ට. ඒ අනුව කවීන් බහුතරයක් අයත් වෙන්නේ අර වැරදිච්ච ගනයට, හැබැයි කවිය යම් තාක් දුරකට තාම ආරක්ෂා වෙලා තියෙන්නේ එහෙම වැරදිච්ච නිසා.

සංවාද සටහන – දිලිප් කුමාර ලියනගේ