මහින්දට නාමයෝජනා ලැබුණු හැටි

mahinda maithreeපසුගිය සිකුරාදා උදෑසන වන විට ‘ජනරළ’ පුවත්පත කියවූ පාඨකයන් කිහිපදෙනකුම ප‍්‍රතිචාර දැක්වූයේ ‘අපේ ලීඞ් නිව්ස් එක වැරදියි නේද?’ කියමිනි.

පසුගිය ජනරළ මුල් පිටුවේ ප‍්‍රධාන පුවතින් කියැවුණේ ‘මහින්ද වෙනම පක්ෂයකින්’ මහ මැතිවරණයට තරග කරන බවයි. ඒ ප‍්‍රවෘත්තිය සඳහා පදනමක් ලෙස ගෙන තිබුණේ බ‍්‍රහස්පතින්දා සවස් කාලය දක්වා මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ විශ්වසනීය මූලාශ‍්‍ර හරහා සංසරණය වෙමින් පැවැති තොරතුරු ප‍්‍රමාණයකි. එසේ වුවත් තත්වය වෙනස් වෙමින් තිබිණි. මහින්දට නාමයෝජනා දෙන්නට හෝ කණ්ඩායම් නායකකමක් දෙන්නට හෝ අදහසක් නැති බව කියූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින්ම මහින්දට නාමයෝජනා දෙන්නට එකඟ වී තිබිණි. මෙම සම්පූර්ණ කණපිට ගැසීම පුවත්පතක සිරස්තලයක ප‍්‍රශ්නයට වඩා ගැඹුරුය. ඒ පිළිබඳ කතාව ඔබ හමුවේ තබන්නට අපි කල්පනා කළෙමු.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන ස්ථාවරයන් ගැන විශ්වාස කළ හැකියැයි අප කිසිදිනක පවසා නැත. එහෙත් ඔහු විශ්වාස කළ ජනතා බලවේගයක් සිටි බව ප‍්‍රතික්ෂේප කරන්නට අපට නොහැකිය. පසුගිය වසරේ දෙසැම්බර් මස මුලදී එක්සත් ජාතික පක්ෂයේ ඇරයුම භාරගෙන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මෙබඳු වෙනසකට ලක්වෙතියි එක්සත් ජාතික පක්ෂ නායකයන් සිතන්නට නැත. ඒ අවස්ථාවේ මහින්දගේ අත්තනෝමතික පාලනයට අභියෝග කරන්නට මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක් වූ රාජිත සේනාරත්න ඇතුළු සගයන්ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා වැනි පාර්ශ්වද කලබල වී ඇත. මහින්දට බුලත් කොළය යටතේ නාමයෝජනා දෙනවා නම් තමන්ද මහ මැතිවරණයට එන බවක් හිටපු ජනාධිපතිනිය පවසා තිබිණි.

දින සීයේ වැඩසටහනක් ගැන කියමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුව මත වඩා හිඳුවන්නට ඔවුන් සමඟ එක් වූ විපක්ෂයේ සෙසු පක්ෂ පවා ජනාධිපති සිරිසේන මෙවැනි පාවාදීමක් සිදුවේයැයි සිතන්නට නැත. මහින්ද රාජපක්ෂට බලයට එන්නට අවස්ථාවක් ලබාදී තමන්ට ද්‍රෝහීකමක් කරතියි රාජපක්ෂ පාලනය පරාජය කරවන්නට මෛත‍්‍රීපාලට ඡුන්දය දුන් ජනතාවද නොසිතු බව මඟතොටේ ඇසෙන කතාවලින් පැහැදිලිය. එසේ නම් මේ වෙන්නේ කුමක්ද?

දැනට හෙළිව ඇති පරිදි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා හමු වූ ප‍්‍රසිද්ධ අවස්ථා දෙකකි. අවසන් අවස්ථාව වූයේ ජූනි 25වැනිදාය. එදායින් පසුව මහින්ද පාර්ශ්වය හා මෛත‍්‍රී පාර්ශ්වය ඒකාබද්ධ කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රමුඛ පෙළේ මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත සය සාමාජික කමිටුවක් පත් කෙරිණි. එහෙත් එම ප‍්‍රයත්නය ව්‍යර්ථ විය. ඉන්පසුව දිගින් දිගටම ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පවා කීවේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා දෙන්නට හෝ නොදෙන්නට ජනාධිපතිවරයා තීරණය කර නැති බවයි. ඒ සම්බන්ධ එකඟතාව පළකරන්නට කෙසේවෙතත් ජනවාරි 9 වැනිදා සිදුවූ ‘විප්ලවය’ ආපස්සට හරවන්නට කිසිවකුට ඉඩ නොදෙන බව නම් ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේ පවසා තිබිණි.

මේ වන විට මහින්ද පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, හිටපු ඇමැති වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන, ජාතික හෙළ උරුමයෙන් වෙන්ව ගිය උදය ගම්මන්පිල වැනිවුන්ය. රට පුරා විවිධ රැුලි සංවිධානය කරමින් ‘මහින්ද සමඟ නැගිටිමු’ යන තේමාවෙන් ජනතාව ඒකරාශි කරමින් සිටියහ. ඒ පෙළගැසීම්වලට විපක්ෂයේ වෙනත් පක්ෂවල හෝ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ සහයෝගයක් පෙනෙන්නට නොතිබිණි.

කෙසේවෙතත්, පසුගිය සතිය ආරම්භයේ සිටම තත්වයන් වෙනස් වන්නට හේතුවන කාරණා සිදුවෙමින් තිබිණි. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් සහ ශ‍්‍රීලනිප මහලේකම්කම මෛත‍්‍රීගෙන් උදුරා ගෙන ඊට පත් කළ අනුර ප‍්‍රියදර්ශන යාපා යන තිදෙනාම ජනාධිපතිවරයා හමු වී රාජපක්ෂට නාමයෝජනා දෙන ලෙස ඉල්ලා සිටියහ. පසුගිය 6වැනිදා රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රීපාලගේ විජේරාම නිවසේදී ඔහු  හමු වූ ඔවුහු සිය ඉල්ලීම දැඩිලෙස ඉදිරිපත් කළහ. ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිප බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්නට නම් මහින්ද රාජපක්ෂගේ දායකත්වය අවශ්‍ය බව ඔවුන්ගේ තර්කය විය. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල කියා සිටියේ තමන් මහින්ද පාලනයට එරෙහිව වෙනත් පාර්ශ්වයකින් තරගකර ජනතාව විසින් තෝරාගත් ජනාධිපතිවරයකු බව අමතක නොකළ යුතු බවයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙවැනි කරුණු ගැන වුවමනාවට වඩා කරදර වන්නට තමන් බලාපොරොත්තු නොවන නමුත් පසුව ශ‍්‍රීලනිප හා සන්ධානයේ සභාපති තනතුරුවලට පත්වීමෙන් ලැබුණු  වගකීමක් ලෙස තමන්ට ඔවුන්ගේ අදහස් සලකා බලන්නට අවශ්‍යව ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

එම සාකච්ඡුාව අතරතුර ජනාධිපතිවරයා කෙටි වෙලාවකට ඔවුන්ගෙන් සමුගෙන ගියේ ඉක්මනින් නැවත සාකච්ඡුාවට එන සූදානමිනි. ඔහු එසේ ගියේ අරලියගහ මන්දිරයට බව පසුව දැනගන්නට ලැබිණි.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඇරයුමෙන්  අරලියගහ මන්දිරයේ පැවැති ‘ඉෆ්තාර්’ නමැති ඉස්ලාම් ආගමික උත්සව අවස්ථාවකට සහභාගි වූ ජනාධිපතිවරයා නැවත සිය නිවසට පැමිණි පසු සිය පැරණි සගයන්ගේ ස්ථාවරය වඩාත් අනම්‍ය බව දැකගන්නට ලැබිණි. ශ‍්‍රීලනිප මහලේකම් අනුර යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස සුසිල් පේ‍්‍රම්ජයන්ත් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ එසේ රාජපක්ෂ සිටින ලැයිස්තුවකින් මහ මැතිවරණයට යාමට නොහැකි තත්වයක් තුළ තමන්ගේ ඉදිරි දේශපාලනය තීරණය විය හැකි බවට කරුණු දක්වමිනි. කෙසේවෙතත් ඔවුන් කීවේ මහින්දට අගමැති අපේක්ෂකත්වය ලබා දෙමින් කැමති දිස්ත‍්‍රික්කයකින් නාමයෝජනා ඉදිරිපත් කරන්නට අවස්ථාව දිය යුතු බවයි.

එහෙත් ශ‍්‍රීලනිප හා එජනිස නායකයා ලෙස පැවරුණු බලතල යටතේ එම සංවිධාන දෙකේම ලේකම් ධුර දරන දෙදෙනා ඉවත්කර සිතැඟි ලෙස කටයුතු කරන්නට මෛත‍්‍රීපාල සිරිසේනට අවස්ථාව තිබිණි. එහෙත් එවැනි තත්වයකදී සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිපයට පාක්ෂික ජන පදනමෙන් දුරස්වීමේ අවදානමකට ඔහු මුහුණ දිය යුතු වේ. එපමණක් නොව, නිලයෙන් පහකළ පසුබිමකදී එය අභියෝගයකට ලක්කරමින් ඔවුන් දෙදෙනා අධිකරණයට යාමේ අවදානමකදී මෛත‍්‍රී හුදෙකලා වීම නොවැළැක්විය හැකිය. කෙසේවෙතත් ජනාධිපතිවරයා තරමක් ලිහිල්භාවයක් දක්වමින් සාකච්ඡුා අවසාන කළේ මහින්ද රාජපක්ෂ හා සන්ධානයේ සෙසු පාර්ශ්වවලින් මේ ගැන කරුණු විමසීම සුසිල්, නිමල් හා අනුර ප‍්‍රියදර්ශන තුන්කට්ටුවටම පවරමිනි.

එම අනුබලය ඇතිව ඔවුහු මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡුා කිරීමට සූදානම් වූහ. මහින්ද ඒ වන විට සිටියේ මහනුවර බව ඔවුන් දැන සිටියහ. ලොහාන් රත්වත්තේගේ නිවසට ගොස් සිටි මහින්ද හමුවීමට තුන්කට්ටුව සඳුදා සවස් වරුවේම මහනුවර බලා ගියහ. මහින්ද අපේක්ෂාවෙන් සිටි පුවත ලැබුණු පසු ඔහු සිය සහචරයන්ට දුරකථනයෙන් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාලගේ එකඟතාව ගැන  දැනුම්දීමක් කළේය. මේ පුවත දැනගත් විමල් වීරවංශ ඒ ගැන ප‍්‍රසාදය පළ කළේය. හිටපු ජනාධිපතිවරයා මෙන්ම නව ජනාධිපතිවරයා සමඟ රට ඉදිරියට ගෙනයාමක් ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. පසුගිය දෙසැම්බර් මාසය පුරාම ජනාධිපතිවරණ සටනේදී ‘අයියෝ සිරිසේන’ වැනි උපහාසාත්මක ආමන්ත‍්‍රණයෙන් කතා කළ පුද්ගලයා සමඟ තමන්ද එක්වන බව ‘රට ඉදිරියට ගෙනයාම’ ගැන කියන්නට ඔහු දෙවරක් සිතුවේ නැත. එසේම දිනේෂ්, වාසුදේව වැනිවුන්ට මහින්ද විසින් මේ පුවත දැනුම් දෙන ලදී. වාසුදේව කීවේ යම් කිසි ගිවිසුමකින් මේ එකඟතා විධිමත් ලෙස තහවුරු කරගන්නට උත්සාහ කළ යුතු බවයි.

කෙසේවෙතත් මේ එකඟතාව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකරන්නට මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ මෙන්ම ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ පාර්ශ්ව වෙතින් වගබලාගෙන තිබිණි. එහෙත් මහින්දගේ සහචරයන් විසින් සිය ජයග‍්‍රාහී තත්වය විවිධාකාරයෙන් සමාජය හමුවේ ඉදිරිපත් කරන්නට විය. ඒ නිසා කිසිවක් නොකියා ඉන්නටද බැරි එහෙත් සියල්ල එක්වර කියන්නටද බැරි අසීරුතාවකට මෛත‍්‍රීපාල සිරිසේන සමඟ වැඩ කළ ශ‍්‍රීලනිපයේ නායකයන් පත් වූ බව පෙනේනට තිබිණි. මේ බව වඩාත් නිරුවත් වූයේ සුසිල් වැනි ජනමාධ්‍යකරුවන් අතර සුහද සබඳතා පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා සිය පීඩනය මතින් ජනමාධ්‍ය වෙත බුරා පනින්නට තරම් සීමාව ඉක්මවන විටයි. පසුගිය කාලසීමාවේ විවිධ නගරවලට ජනතාව රැුස්කරමින් විහාරස්ථානවල බෝධිපූජා වේශයෙන් දේශපාලන රැුලි පවත්වමින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉහළට එසැවීමේ ක‍්‍රියාන්විතය තුළ දක්නට ලැබුණේ විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල වැනිවුන්ගේ ප‍්‍රසිද්ධ ක‍්‍රියාකාරිත්වයයි. එහෙත් එම වැඩපිළිවෙළ තුළ ඉන්නා බවක් නොඅඟවා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ සෙවණේ සැඟවී සිටිමින්ම ඊට දායකත්වය දෙමින් සිටි පිරිසක් මේ ආකාරයට අනාවරණය විය.

එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පසුගිය බ‍්‍රහස්පතින්දා සවස ජනාධිපති ලේකම් කාර්යාලයට රැුස් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ නාමයෝජනා ලබාදීම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡුා කිරීමටය.

ඒ වන විටත් රාජිත සේනාරත්න, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක වැනි ඇමැතිවරු හිටපු ජනාධිපති රාජපක්ෂට නාමයෝජනා දිය යුතු නැති බවට සිය ස්ථාවරය පළ කර තිබිණි. රාජපක්ෂ පාලනය විවේචනය කරමින් විශාල අවදානමක් භාරගෙන මහින්දගේ ආණ්ඩුවෙන් එළියට බැස්ස රාජිතට යළිත් මහින්ද වඩා හිඳුවන්නට අවශ්‍ය වේ නම් එය ඔහුගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්නයක් වනු ඇත. කෙසේවෙතත් මහින්දට නාමයෝජනා දෙන්නට අදහසක් නැති බව ජනාධිපතිවරයා වරක් තමන්ට පැවසූ බව රාජිත සේනාරත්න ජනමාධ්‍ය හමුවකදී පවසා තිබිණි. පසුව එවැන්නක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර නැති බවක් කියැවුණද රාජිත සිය විරෝධය පළ කරන්නට එවැනි ප‍්‍රකාශයක් ඈඳාගත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්ව වන්නට බැරිය.

මීට අමතරව රාජපක්ෂ පාලනය යටතේ කැපී ගිය බර්ටි පේ‍්‍රමලාල්ගේ පුත‍්‍ර දුමින්ද, රාජපක්ෂ පුනරාගමනයකට ඉඩ දිය යුතු නැති බව කීය. එම්.කේ.ඞී.එස්. යනු රාජපක්ෂ පාලනයට අභියෝග කරමින් මෛත‍්‍රී සහ රාජිත සමඟ එළියට බැස්ස අයෙකි. ඔහු වැන්නකු රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් නැවත දේශපාලන බලය තහවුරු කරගැනීමේ උත්සාහයකට පක්ෂ වේ යැයි සිතිය නොහැකිය. මෛත‍්‍රීපාල ජනාධිපති විසින් වරාය ඇමැති වශයෙන් පත් කළ අර්ජුන රණතුංග විසින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත බලය තහවුරු කරගැනීමේ ප‍්‍රයත්නයක යෙදීම ගැන අප‍්‍රසාදය පළ කර තිබිණි. එවැනි තත්වයකදී තමන්ට තදබල තීරණයක් ගන්නට සිදු වනු ඇති බව අර්ජුන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබිණි.

මේ පසුබිම තුළ පසුගිය බ‍්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයට රැුස්වූ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර හටගත්තේ උණුසුම් විවාදාත්මක තත්වයකි. අර්ජුන රණතුංග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අමතමින් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සහචර කණ්ඩායම් බුලත් කොළය යටතේ එක්ව තරග කරන තත්වයක් තුළ තමන් මැතිවරණයට එක් නොවන බවයි.

රාජිත සේනාරත්න හා රෙජිනෝල්ඞ් කුරේ මෙම රැුස්වීමේදී තියුණු විවාදයක පැටලූනහ. රාජිත දිගින් දිගටම කීවේ ශ‍්‍රීලනිප නායකත්වයත් සන්ධාන සභාපතීත්වයත් භාරදුන් පසු මහින්ද මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ කාර්ය-යන්ට බාධා නොකර විවේකීව සිටිය යුතු බවයි. එහෙත් රෙජිනෝල්ඞ්ගේ තර්කය වූයේ මහින්දගේ දායකත්වය නොමැතිව ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩු බලයක් ස්ථාපිත කරන්නට සන්ධානයට නොහැකි බවයි.

මෙවැනි තර්ක විතර්ක හමුවේ එම්. කේ. ඞී. එස්. ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රැුස්වීමෙන් ඉවත්ව යන්නට පවා සූදානම් විය. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කීවේ මහින්ද සමඟ දේශපාලන ගමනක් යා හැකිදැයි සොයා බලන්නට තමන් විසින් පත් කළ කමිටුවේ සාමාජිකයන්  හතරදෙනකුගේම නිර්දේශය අනුව තමන් කටයුතු කරන බවයි. එනම්, මහින්දට නාමයෝජනා දෙන්නට සිදු වන බවයි. කෙසේ වෙතත් මහින්ද පාර්ශ්වය සමඟ යම් එකඟතා ඇතිකරගන්නට සෙසු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවක් තිබිණි. එවැනි තීන්දුවකින් මිස ශ‍්‍රීලනිපය බෙදීමකට යාම වැළැක්විය නොහැකි වනු ඇති බවද බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව මහින්දට නාමයෝජනා ලබාදීමේ තීරණයට එකඟවන්නට සන්ධාන මන්ත‍්‍රී හමුවේදී සිදුවූයේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පැමිණීමට නියමිත බවට කෙරුණු පුරෝකථනයන්ය.

ඒ සමඟම සාකච්ඡුාවට ආවේ මහින්දට නාමයෝජනා දෙනවා නම් කුමන දිස්ත‍්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස යොදවන්නේද යන්නයි. මහින්ද අගමැති අපේක්ෂකයකු ලෙස මහ මැතිවරණයට පැමිණෙන බවට ඔහුගේ අන්තේවාසිකයන් බොහෝ අවස්ථාවල පවසද්දී ඔවුන් කීවේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පැමිණෙන බවක් නොවේ. ඔවුන් කීවේ මහින්ද රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් එන්නට නියමිත බවකි. එසේ කියන්නට පදනම වූයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ මහින්දට පක්ෂපාති දේශපාලන නායකත්වයක් පවතින නිසා විය යුතුය.

කෙසේවෙතත් මහින්දගේ නාමයෝජනා භාරගැනීමට තීරණය කළ බව ප‍්‍රකාශ වූ පසුගිය සතියේ ටී. බී. ඒකනායක විසින් විශේෂ ඉල්ලීමක් කර තිබුණේ  මහින්දට කුරුණෑගලින් තරග කරනා ලෙසයි. කෙසේවෙතත් තවමත් ඒ ගැන කිසිදු තීරණයක් හිටපු ජනාධිපතිවරයා විසින් ලබා දී නැත. මෙවැනි අවිනිශ්චිතතාවක් සියලූ පාර්ශ්වවල ජනයාට ගැටලූවක් වුවද නාමයෝජනා ලබාදෙන මොහොත දක්වා තමන් ඉල්ලා සිටින රැුල්ලක් පෙන්වීමට මහින්ද කැමතිය.

නමුත් තවමත් අවිනිශ්චිතතාවක් පවතී. මහින්දට සන්ධානයේ නාමයෝජනා දෙනවාද නැත්නම් ඔහුට වෙනම කණ්ඩායමකින් නාමයෝජනා දෙනවාද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නැත. ජනාධිපතිවරයා විසින් මහින්දට අවස්ථාව දෙන්නට ගත් තීරණය මහ මැතිවරණයේදී ජයග‍්‍රාහී ඡුන්ද ප‍්‍රතිඵල පෙන්වීමකට කරන ගණන් බැලීමක් පමණක් බවට සමහරු සැක සංකා පළ කරති. ඔවුන්ට අනුව, මහ මැතිවරණයෙන් පසුව මහින්දට අවස්ථා නිර්මාණය කිරීමේ තීරණය වෙනස් වනු ඇති බවයි. ඉන් කියැවෙන්නේ, මහින්දගේ පාර්ශ්වයෙන් පෙන්වන ‘ජනතා රැුල්ල’ ඡුන්ද ප‍්‍රකාශ කිරීම දක්වා ගෙනගොස් ආණ්ඩු බලයක් ස්ථාපිත වූ පසුව මහින්දලා ඉවතට වීසි කෙරෙන බවයි.

එවැන්නක් දේශපාලන බලය පිළිබඳ කාරණයේදී ප‍්‍රායෝගික නැත. ජනවාරි 9 වැනිදා සිදුවූ පරාජයෙන් නැවත ගොඩ ඇදගන්නට මහින්දටත් ඔහු සමඟ සිටින පාර්ශ්වයන්ටත් මහ මැතිවරණයේදී ලැබෙන අවස්ථාව මෙරට දේශපාලනයේ ඛේදවාචකයක පූර්ව අවස්ථාවකි. දේශපාලනයේ දුෂ්ට බලවේග ඉදිරියට පැමිණීම හා පොදු ජන වුවමනාවන් පසුපසට යාම නිසා සිදු වන වෙනසක් ආපස්සට හැරවීම දුෂ්කරය. පසුගිය ජනාධිපතිවරණයේදී පවා ජනතාවගේ වුවමනාවන් වෙනුවට වෙනත් පාර්ශ්වවල අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි තත්වයකදී අවසානයේ ඇතිවූයේ පුස්ස බින්දාක් වැනි අපේක්ෂා භංගත්වයකි. දාම්පෙතක ඉත්තන් වෙනස් කිරීමක ආකාරයෙන් දේශපාලන චරිත එහෙ මෙහා කරමින් එම දේශපාලන චරිත බලයට එන තත්වයන් වෙනස් කළ හැකි යැයි සිතීම වැරදි ගණන් බැලීමකි.

චන්දන සිරිමල්වත්ත