පද්මනාදන් පිටියත් ක‍්‍රීඩාවත් ජීවිතයත් හැර ගියේය

 

jafn4ක‍්‍රීඩාව අතරතුර ක‍්‍රීඩකයකු මිය යෑම අතිශය කම්පනයක් ඇති කරනු ලබන සිද්ධියකි. පසුගිය දා එම කම්පනය බොහෝ දෙනාගේ හදවත්වලට දැනුණේ තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ක‍්‍රීඩාව අතර මිය යෑමත් සමඟය. ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වූ බාවලන් පද්මනාදන් මෙසේ මිය ගොස් ඇත්තේ බි‍්‍රතාන්‍යයේ පැවැති ක‍්‍රිකට් ක‍්‍රීඩා තරගයක් අතරතුර බව මාධ්‍ය වාර්තා කළේ දින කිහිපයකට කලිනි. මේ ප‍්‍රවෘත්තියත් සමඟ බොහෝ දෙනාගේ හදවත් සසල වී ගොස් තිබිණි.

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයකු වූ පිලිප් හියුස් මෙයට වසරකට පමණ පෙර ක‍්‍රීඩාව අතරතුර මිය යෑම ලෝකවාසී ක‍්‍රීඩා ලෝලීන් කම්පනයට පත් කළ සිද්ධිය විය. ක‍්‍රීඩා කරමින් සිටි හියුස්ගේ බෙල්ලේ ඉහළ ප‍්‍රදේශයේ පන්දුව වැදී තිබුණේ තමන්ගේ හිස් ආවරණයද පැලඳ සිටින අවස්ථාවකය. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස දින දෙකක් ඇවෑමෙන් මෙලොව හැර ගියේ ක‍්‍රීඩාවද තමන්ගේ පේ‍්‍රක්ෂකයන්ද හැර දමමිනි.

බාවලන් පද්මනාදන්ද ක‍්‍රීඩා පිටියත් හිතවතුන් සහ පේ‍්‍රක්ෂකයන්, ක‍්‍රීඩාව ආදී සියලූ දේ හැර ගොස් ඇත. යාපනය ප‍්‍රදේශයේ ඉපදී ඇති පද්මනාදන් එංගලන්තයේදී ක‍්‍රිකට් තරගයන්ට සහභාගී වී තිබේ. යාපනය පොයින්පේදුරු හාට්ලි විදුහලේ ආදි සිසුවකු වූ ඔහු ජූලි 5 වැනි දින තරගයක් අතරතුර මෙසේ අනතුරට ලක් වන විට වයස අවුරුදු 23 පසු කර තිබිණි. මිය යන විට ඔහු මනිපෙ පැරිස් ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ක‍්‍රීඩාවේ නිරතව තිබේ. හෘදයාංගම ක‍්‍රීඩකයකු වූ බාවලන්ගේ මරණයත් සමඟ මනිපෙ පැරිස් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයන් සහ සාමාජිකයන් දැඩි කම්පනයකට පත්ව ඇති බව ඔවුන් විසින් මාධ්‍ය වෙත කියා ඇති කාරණාවලින් පෙනී යයි. බි‍්‍රතාන්‍ය මනිපෙ පැරිස් ක‍්‍රීඩා සමාජයේ තෙවැනි කාණ්ඩයේ බි‍්‍රතාන්‍ය ටැමිල් ලීගය ඔහු විසින් නියෝජනය කර තිබේ. මනිපෙ පැරිස් ක‍්‍රීඩා සමාජ මුහුණු පොත් පිටුවේ ඔවුන් තමන්ගේ සගයා පිළිබඳ කියා තිබේ. කෙටි කලක් තමන් සමඟ ක‍්‍රීඩාවේ එක්ව සිටි හිතවතාගේ නික්ම යෑම තමන්ට මහත් කම්පනයක් බව ඔවුන් සඳහන් කර තිබේ. නව යොවුන් වියේදීම මෙසේ ක‍්‍රීඩාවත් ජීවිතයත් හැරයෑමට සිදු වීම තමන්ගේ ක‍්‍රීඩා සමාජයට දැඩි කම්පනයක් සහිත සිද්ධියක් බව ප‍්‍රකාශ කර ඇත. සරේ ක‍්‍රීඩා සමාජ විධායක නිලධාරී රිචර්ඞ් ගෝඞ් පද්මනාදන්ගේ මරණයෙන් තම ක‍්‍රීඩා සමාජයේ සියලූදෙනා බොහෝ සේ දුක් වන බවත් ඔහුගේ පවුලේ සැමට සහ හිතවතුන්ට ශෝකය ප‍්‍රකාශ කරන බවත් දන්වා තිබේ. බාවලන්ගේ මරණය සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් පාලක මණ්ඩලය තම ශෝකය ප‍්‍රකාශ කර නිවේදනයක් නිකුක් කර තිබේ. පසුගිය මාසයේ අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය ක‍්‍රීඩකයන්ට සිදු විය හැකි අනතුරු පිළිබඳ දැනුම් දී ඇති බව මාධ්‍ය පෙන්වා දී තිබේ.

ක‍්‍රීඩාවට අවතීර්ණ වී කෙටි කාලයක් තුළ පපුවේ වැදුණු පන්දුවක් නිසා බාවලන් පද්මනාදන්ට මෙසේ මරණය අත් වී ඇති බව පෙනී යයි. අනතුරට ලක්වීමෙන් කෙටි කාලයක් තුළ ලන්ඩන් ඇම්බියුලන්ස් සේවාවට අයත් ගුවන් ඇම්බියුලන්ස් යානයකින් ඔහු කින්ස්ටන් රෝහල වෙත රැුගෙන විත් තිබුණත් ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වූ බව  පසුව දැනුම් දෙනු ලැබිණි.

ක‍්‍රීඩාව අතරතුර සිදු වන මරණ පිළිබඳ ලෝකයේ අසන්නට ලැබේ. අනතුරුදායක ක‍්‍රීඩා බොහොමයක් තිබුණත් ක‍්‍රිකට් වැනි ක‍්‍රීඩා දැඩි අනතුරු සහිත නොවූවත් ක‍්‍රීඩාවේදී ආරක්ෂාව අතිශයින් වැදගත් වේ. ක‍්‍රීඩාව අතරතුර සිදු වන මරණ 0 දක්වා අඩු කර ගැනීමට ක‍්‍රමවේද සකස් කළ යුතුය. නැවතත් අපට බාවලන්ගේ මරණය විසින් කියා දෙන සත්‍ය එයයි. ක‍්‍රීඩාව අතර තුර ආරක්ෂාකාරී ඇඳුම් සහ ශාරීරික ආරක්ෂක උපකරණ භාවිත කළ යුතු බව අප තේරුම් ගත යුතුය. පද්මනාදන් අනතුරට ලක්වන්නේ ඉතා ඉහළ මට්ටමේ වෛi සේවාවන් පවතින රටකදී වුවත් ඔහුගේ අනතුර විසින් ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දී නොතිබිණි. අප වැනි රටවල් මේ සියලූ දේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

තවත් එක් කරුණක් සටහන් කළ යුතුව තිබේ. බාවලන් පද්මනාදන්ගේ මරණය ශ‍්‍රී ලංකාවේ සිංහල මාධ්‍යවල කුඩා ප‍්‍රවෘත්තියක් පමණක් වී තිබුණි. හියුස්ගේ මරණය වෙනුවෙන් හඬා වැටුණු දකුණේ සිංහල පත්තරකාරයන් බොහොමයකට පද්මනාදන්ගේ මරණය කුඩා ප‍්‍රවෘත්තියක් බවට පත් වන්නේ ඇයිද යන කාරණාව ගැඹුරින් විමසා බැලිය යුතුය. මාධ්‍ය වෙළෙඳපොළ තුළ හොටු කඳුළු පෙරමින් මෙවන් අවස්ථාවල වැලපෙන මාධ්‍ය වෙළෙඳපොළ බොහෝ සේල්ස් රෙප්ලා  මේ තරුණ ක‍්‍රීඩකයාගේ මරණය එතරම් වැදගත් කොට සලකා නැත. ඊට ලංකාව තුළ හේතු දෙකක් සොයා ගත හැකිය. පළමු වැන්න බාවලන් පද්මනාදන් යාපනය උපන් දමිළ ජාතික තරුණයකු වීම මෙසේ මඟ හැරීමට එක් හේතුවක් විය හැකි අතර අනෙක ඔහු තරග කර ඇති තරගය එතරම් වැදගැම්මකට ඇති තරගයක් නොවන බවට ඇති තක්සේරුව අනෙක විය හැකිය. මේ කාරණා දෙකම ක‍්‍රීඩාවට අදාළ නොවන කාරණා වන අතර ක‍්‍රීඩකයකු සමස්ත සමාජයටම අයිති බව තේරුම් ගත යුතුය. ක‍්‍රීඩාව විසින් සියලූ වර්ගයේ බෙදීම්ද පීඩනයන්ද ඉවත් කරමින් ලෝක මිනිස් වර්ගයාගේ ආශ්වාදය මෙන්ම එකමුතුවත් සහජීවනයත් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන තත්වයන් නිර්මාණය කළ යුතුය. ක‍්‍රීඩා වෙළෙඳපොළ ඊට පටහැණිව යමින් ලාභ උපයයි. ක‍්‍රීඩකයකු වූ බාවලන්ගේ වියෝව අප වෙත රැුගෙන එන තිගැස්ම ගැඹුරින්ම හදවතට දැනී තිබේ.

මහේන්ද්‍ර කුමාර