රැවටිල්ලේ දේශපාලනය එයාලගේ කතාවලින්ම කියවමු!

 

King is Nakedදේශපාලකයන් සිතන්නේ ජනතාවට කිසිවක් මතක නැත කියාය. ඊයේ කියූ දෙය අද වෙනස් කරන්නේත් අද කියන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් හෙට කියන්නේත් ඒ නිසාය. ජනතාව කටයුතු කරන්නේත් කිසිවක්ම මතක නැති වූවන් ලෙසිනි. අනෙක්  ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තමන්ගේ මතකයෙන් හා තර්ක ඥානයෙන් වැඩක් ගැනීමට සිතන ජනතාව දේශපාලනයේදී එසේ නොසිතන්නේ මන්ද යන්න නම් විමතියට කරුණකි.

සෑම දේශපාලන පක්ෂයක්ම කියන්නේ තමන් දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන් කියාය. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන් නම් ඔවුන් කරන, කියන සියලූ දේ ජනතාවට නිරාවරණය විය යුතුය. සැබෑව වන්නේ ඒවා ජනතාවට තබා තීරණ ගන්නා නායකයන්ගේ සමීපතමයන්ට පවා රහසින් සිදු වන බවය. මෙවර මැතිවරණය කැඳවීම ඊට හොඳම උදාහරණයකි. ජනවාරි 12 වැනිදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ දින සියයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවයි. පුවත්පත්වල පළ වූ ඔහුගේ වචනයෙන්ම ඔහුගේ ප‍්‍රකාශය මෙසේය.

”මෙහිදී අප අදිටන් කර ගත යුතු කාර්ය වන්නේ තව දින සියයකින් මැතිවරණයකට යන බව සිත්හි තබාගෙන වැඩ කළ යුතු බවයි.”

දින සියය අවසන් වූයේ අපේ‍්‍රල් 23 වැනිදාය. ජනතාවට දුන් පොරොන්දුව අනුව නම් එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. එය සිදු නොවීය. ඒ වෙනුවට ජෝන් කෙරීට දුන් පොරොන්දුවට අනුව සැප්තැම්බර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර නව ආණ්ඩුව දිවුරුම් දිය යුතු නිසා හදිසියේ නින්දෙන් ඇහැරුනා සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

මහින්ද රාජපක්ෂ මේ දිනවල වැඩි හරියක් සිටින්නේ මැදමූකලාන වලව්වේ නොවේ. පන්සල්වලය. පසුගිය කාලයේ කළ පවු නිසා සිතට සහනයක් අපේක්ෂාවෙන් ජීවිතයේ සැඳෑ සමය ආගමික වතාවත් සමඟ කල් ගෙවන මහල්ලෝ  ඕනෑ තරම් සිටිති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මහින්දද එසේ කරන්නේ නම් ඔහුටද අනුකම්පා කළ හැකිය. එහෙත් ඔහු මේ සැරසෙන්නේ තවත් පවු කිරීමටය. ‘මුසාවාදා වේරමණී’ සිල් පදය කියා එහි හඬ වියැකෙන්නටත් පෙර බෝ මළුවේ සිට තඩි කෙප්ප ඇදබායි. තමන්ගේ පාලන කාලයේ කොමිස් ගැසුවේ නැති බවත් ගසා කෑවේ නැති බවත් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබූ බවත් කියයි. පසුගිය

30 වැනිදා පූජාපිටිය, දොලපිහිල්ල විහාරයේදී ඔහු පැවසුවේ ”මේ ආණ්ඩුව හිරේ දාලයි නඩු අහන්නෙ. අපි නඩු අහලයි හිරේ දාන්නෙ” කියාය. මහින්ද රාජපක්ෂගේ නඩු ඇහිල්ල ගැන  ඕනෑ තරම් උදාහරණ දැන් වුවත් සිහිපත් කළ හැකිය. ප‍්‍රගීත් එක්නැළිගොඩට

සිදු වූයේ කුමක්ද? ලලිත්ට-කුගන්ට සිදු වූයේ කුමක්ද? මාධ්‍යවේදීන්ට පහර දුන්නේ අඩුම තරමේ ඔවුන්ට වචනයක්වත් කතා කිරීමට ඉඩ තබාද? මහින්දලාගේ රහස් දන්නා පාතාල සාමාජිකයන් ආයුධ පෙන්වීමට ගෙන ගියේ ඔවුන්ගෙන්

කටඋත්තරයක්වත් ගැනීමෙන් පසුවද? උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝග ගෙනාවේය. වසර 10-15 සිය ජීවිතයේ වටිනාම කාලය හිර ගෙවල් තුළ ගෙවන දේශපාලන රැුඳවියන්ගේ වැරදි ගැන එකම එක පරීක්ෂණයක්වත් පවත්වා තිබේද? මොහාන් පීරිස් අගවිනිසුරුවරයා බවට පත් කොට නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට ගත්තේ නඩු තීන්දු තමන්ට උවමනා ලෙස දීමට නොවේද? ලිබරල් චින්තකයන් අපේක්ෂා කරන අධිකරණයේ ස්වාධීනත්වයට රාජපක්ෂ පාලන සමයේ සිදුව තිබුණේ කුමක්ද? ඒවා අමතක කිරීමට තරම් කාලයක් තවමත් ගත වී නැත. ගෙවී ඇත්තේ යාන්තම් මාස හතක් පමණි.

ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ තුළ සිදු වූ ලොකුම වංචාව ලෙස සනිටුහන් වූයේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු වූ වංචාවයි. ඒ සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර ප‍්‍රමුඛ කෝප් කමිටුව විසින් පරීක්ෂණයක්ද පවත්වන ලදී. එහි වාර්තාව සකස් කර අවසන්ය. ඩිව් ගුණසේකර කියන පරිදි වංචාවක් සිදුව තිබෙන බව අනාවරණය වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ්ලා ඩිව්ට බැන බැන රට වටේ යන්නේ ඒ නිසාය. කෝප් කමිටු වාර්තාවෙන් මහ බැංකු අධිපතිවරයා වැරදිකරු වීමද පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට එක් හේතුවක් වී යැයි සැකයක් තිබේ. ඒ වංචාව ගැන තවමත් සාකච්ඡුා වෙමින් තිබියදී ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් දූෂිතයන්ට, වංචාකරුවන්ට කිසිදු ඉඩක් නැති බවයි. දූෂිතයන්ම එය පවසන විට එය කෙතරම් අරුමද?

වේදිකා මතදී සිවුරු පොට අතට ගෙන මහින්ද පැරදවිය යුතු යැයි දේශනා කළ රතන හිමිලා දැන් කියන්නේ තමන්ට මහින්ද පැරදවීමේ උවමනාවක් නොතිබූ බවයි. මහින්දට සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බවට පුවතක් පළ වීමත් සමඟම, තමන්ට තිබුණේ ප‍්‍රතිපත්තියක් ජයග‍්‍රහණය කිරීම බවත් මහින්ද පැරදවීම නොවන බවත් උන්වහන්සේලා දෙසති.

”ඡුන්දය දා රාත‍්‍රිය සඳහා ඔපරේෂන් කමාන්ඞ් එක හැදු හැටි, ඒ සඳහා වූ නාම ලේඛන, නියෝගය ඇතුළු සියලූ ලියකියවිලි අප සතුව තිබෙනවා” යැයි චම්පික රණවක ජනවාරි 11 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය. තවමත් ඒ ලියකියවිලි චම්පිකගේ මෙට්ටය යටද? ඒවා හෙළිදරව් කොට කුමන්ත‍්‍රණය හෙළිදරව් නොකළේ ඇයි? කුමන්ත‍්‍රණකරුවන් හෙළිදරව් කිරීමේ සිට ඔවුන් ආරක්ෂා කිරීම දක්වා මාරු වීමට චම්පිකට දින කීයක් උවමනා වීද?

මේ වංචාවේ ලොකුම රංගනය ජනතා විමුක්ති පෙරමුණෙන්ය. පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ සිටියේ ‘අපට මොටද අපි දසසිල් උපාසක – ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට’ න්‍යායේය. පව් පුරවා ගත්තොත් ඒ ජනතාවයි. තමන් නොවේ. ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රී දිනූ වහාම අපි තමයි ඉබ්බගෙ පුච්චන්න  ඕන පැත්ත මොකක්ද කියලා කිව්වේ යැයි වහ වහා කීවේය. ගිය සතියේ මාධ්‍ය හමුවකදී විජිත හේරත් කීවේ යහපාලන ආණ්ඩුව ජනතා අපේක්ෂා බිඳ දමා ඇති බවයි. ජවිපෙ වමේ පක්ෂයක් නම්,  ඕනෑම ප‍්‍රශ්නයක් වෙත විෂය මූලිකවත් සංයුක්තවත් ඓතිහාසිකවත් ප‍්‍රවේශ වන්නේ නම් මෛත‍්‍රීලා, රනිල්ලා පොරොන්දු කඩ කරන බව කලින්ම තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගත්තේ නම් මෛත‍්‍රීලා-රනිල්ලා කෙරෙහි ජනතා අපේක්ෂා ගොඩගැසුවේ ඇයි? ටිල්වින් සිල්වා 5 වැනිදා මාධ්‍ය හමුවකදී පැවසුවේ මෛත‍්‍රීපාල පාවාදීමක් කර ඇති බවයි. 1994 විධායක ජනාධිපති ධුරයට ගිවිසුම් ගසන විට මෛත‍්‍රීපාලත් ටිල්වින් සිල්වාත් පක්ෂ දෙකේ සිටියේය. 2004 සන්ධානයට ගිවිසුම් අත්සන් කළේ ඔවුන් දෙදෙනාය. 2005 ජවිපෙ මහින්දට සහාය පළ කරන විට ඔවුන් දෙදෙනා දෙපැත්තේ ලේකම්වරුන්ය. දශක දෙකක දේශපාලනය තුළ ටිල්වින් සිල්වා රවටන හැටි මෛත‍්‍රී ඉගෙන ගෙන තිබේ. මෛත‍්‍රී තමන්ව රවටන බව ටිල්වින් සිල්වා ඉගෙන ගෙන නැත.

ජේ. ටී. ගමගේ