හිත හොඳ චණ්ඩියා සහ දුෂ්ටයා සමඟ ජීවිතය

msx8baYනැවත වරක් මහ මැතිවරණයක් අප ඉදිරියට ඇවිත්. ඒ නිසා කවුරුත් දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලනය කියන්නේ මොකක්ද කියන ප‍්‍රශ්නෙ නම් කවුරුත් කතා කරන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා දේශපාලනය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන දේශපාලනයට ප‍්‍රවේශ වෙන්න. දේශපාලනය ගැන එක එක ආකාරයේ නිර්වචන තිබෙනවා. නමුත් ඒ අතරින් වඩා කෙටි හා සිත්ගන්නාසුලූ අදහසක් හමුවුණා ලෙනින්ගේ පොතකින්. ලෙනින් ඒ පොතේ කියන්නේ ”දේශපාලනය යනු සංයුක්තකරණය වූ ආර්ථිකය” කියලා. ”කෙටියි තමයි, ඒත් තේරෙන්නෙ නෑනෙ” කියලා පාඨකයා මැසිවිලි කියන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ටිකක් ඒ ගැන කතා කරමු. ඒ කතාව අපට අපේ ජීවිතවලින්ම පටන් ගන්න පුළුවන්.

අපේ ජීවිතවල අපි මුහුණ පාන විවිධ ප‍්‍රශ්න තිබෙනවා. පවුල් ප‍්‍රශ්න, සංස්කෘතික ප‍්‍රශ්න, දේශපාලන ප‍්‍රශ්න, සමාජමය ප‍්‍රශ්න වගේ විවිධ ප‍්‍රශ්න තිබෙනවා. අපි ඒ ප‍්‍රශ්න තේරුම් ගන්නේ කොහොමද? උදාහරණයක් විදියට අපි ආර්ථික ප‍්‍රශ්න අරන් බලමු. අපට එදිනෙදා ජීවිතය ගෙන යන්න තරම් ආදායමක් නෑ. නැතිනම් අපේ අවශ්‍යතා සපුරන ආදායම හොයාගන්න බෙල්ල කඩාගෙන දවසම වැඩ කරන්න වෙලා. අපි ඒ ප‍්‍රශ්නය තේරුම් ගන්නේ කොහොමද? සමහරු කියනවා ”අපි පොඩි කාලේ ඉගෙන ගත්තෙ නැති නිසා තමයි මේ ප‍්‍රශ්න” කියලා. ඉතින් ඒ අය දරුවන්ට තමන්ගේ ඇරියසුත් එක්ක උගන්වන්න හදනවා. ”වැඩිපුර වැඩ කළොත් ගොඩ යන්න පුළුවන්” කියලා සමහරු වේගෙන් දුවනවා. සමහරු හිතන්නේ මේ ප‍්‍රශ්නවලට හේතුව තමන්ගේ අපල සහ ග‍්‍රහ තාරකාවල චලනය කියලා. ඉතින් ඒ ගොල්ලෝ එක එක සෙත් ශාන්ති කරනවා. තවත් සමහරු ආගමේ පිහිට හොයනවා. සමහරු රට යන්න හදනවා. මේ හොයන පිළිතුරු බැලූවම පේනවා මේ අය ප‍්‍රශ්නය තේරුම් අරන් ඉන්න හැටි. ඒ අය හිතාගෙන ඉන්නේ ප‍්‍රශ්නය තමන්ගේ ප‍්‍රශ්නයක්, මේ අර්බුදය තමන්ට විතරක් වෙන දෙයක් කියලා. ඒ කියන්නේ ආර්ථික ප‍්‍රශ්නය දකින්නේ හුදෙකලා, වියුක්ත ප‍්‍රශ්නයක් විදියට.

ඒත් මේ ප‍්‍රශ්නය අපට විතරක් ආපු ප‍්‍රශ්නයක් නෙවෙයි, අනෙක් අයටත් මේ ප‍්‍රශ්නය තිබෙනවා කියලා දැක්කම ප‍්‍රශ්නයට පිළිතුරක් තනිවම හොයන්න බෑ කියලා හිතෙනවා. ‘රැුකියා දියව්’ ‘වැටුප් වැඩි කරව්’ ‘අස්වැන්නට සහතික මිලක් දෙනු’ වගේ සටන් පාඨ සහිතව තවත් මිනිස්සුත් එක්ක එකතු වෙලා උත්තර හොයන්න යන්නේ ප‍්‍රශ්නය සංයුක්ත කර ගත්තම. මේ ප‍්‍රශ්නය වගේම පිළිතුරත් පෞද්ගලික නෑ. ඒක සමාජයීයයි කියලා තේරුම් ගත්තම, මේ විදියට ආර්ථික ප‍්‍රශ්නය සමාජමයයි, උත්තරය සමාජමයයි කියලා තේරුම් ගත්තම අපි කරන්නේ දේශපාලනය. එතකොට අපි තනිවම පාඩම් කිරීම, තනිවම රස්සා සෙවීම, තනිවම ආදායම වැඩි කර ගන්නා හැටි සෙවීම වෙනුවට සාමූහික හා සමාජමය ක‍්‍රියාකාරීත්වයන්ට යනවා. එක එක පක්ෂ ඉදිරිපත් කරන සමාජමය උත්තර ගණනාවක් තුළ නිවැරදි එක හොයනවා.

නමුත් දේශපාලනය තුළත් මේ පුද්ගලවාදී ප‍්‍රවේශය තිබෙනවා. ප‍්‍රශ්නය පෞද්ගලිකව විසඳන්න පුළුවන් කියලා හිතන අය ඉන්නේ නිර්දේශපාලනිකකරණය වූ කොටස ඇතුළේ පමණක් නෙවෙයි. දේශපාලනය කරන අය තුළත් එහෙම අදහස් ඕන තරම් තිබෙනවා. නිදසුනක් විදියට අපේ රටේ පහළ පාන්තික ජනතාව එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවලට වැඩ කරන විට බොහෝ අය එය කරන්නේ පෞද්ගලිකව මොනවා හරි ගන්න. ඒ නිසා දේශපාලකයොත් එක එක දේවල් දෙනවා. මහන මැෂින්, වඩු උපකරණ කට්ටල, සෙවිලි තහඩු, වැසිකිළි පෝච්චි, පොත් පාර්සල්, සිල් රෙදි, සාරි, ජංගම දුරකථන…. මේ වගේ ලොකු ලැයිස්තුවක් කියන්න පුළුවන්. ඒක තමයි අපේ රටේ දේශපාලනය තුළ නිර්දේශපාලනිකකරණය ක‍්‍රියාත්මක වෙන විදිය. මේ අදහස සියුම් ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ පෞද්ගලිකව මොනවා හරි ගන්න හිතන අය තුළ පමණක් නෙවෙයි. සමහර අය දේශපාලනයට එන්නේ ගමට ප‍්‍රජාශාලාවක් හදාගන්න, පාර හදාගන්න, බෝක්කු අලූත්වැඩියා කර ගන්න, පෙර පාසල් හදාගන්න වගේ දේවලට. සමාජමය උවමනා සැපිරීම වගේ පෙනුනට ඒකත් දේශපාලනය තුළ නිර්දේශපාලනිකකරණය ක‍්‍රියාත්මක වෙන විදියක්. මේ හැම එකෙන්ම කෙරෙන්නේ පෞද්ගලික උත්තරයක් හොයා ගන්න හදන එක. ඒක දේශපාලනය නෙවෙයි.

පෞද්ගලික අරමුණු නැතිව අධිරාජ්‍යවාදය පරදවන්න, රට සංවර්ධනය කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න, යහපත් දේශපාලන සංස්කෘතියක් හදන්න, වංචා දූෂණ නවත්වන්න වගේ අරමුණු ප‍්‍රකාශ කරමින් එන අය තුළත් මේ නිර්දේශපාලනිකකරණය ක‍්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලොත් ලොකුවට ප‍්‍රතිපත්ති ගැන කතා කළාට ප‍්‍රශ්නය තේරුම් අරන් තිබෙන්නේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක් විදියට නෙවෙයි. පාලන බලයේ ඉන්න මිනිස්සුන්ගේ ප‍්‍රශ්නයක් විදියට. ඒ නිසා ඒ ලෝකයේ ඉන්නේ සිනමා ලෝකයේ වගේ හිත හොඳ චණ්ඩි සහ දුෂ්ටයෝ විතරයි. දුෂ්ටයා පරදවලා චණ්ඩියා ජය ගත්තම හැම දේම හරියනවා කියලයි බලාගෙන ඉන්නේ. ඉස්සර 2002 – 2004 කාලෙදි රනිල් දුෂ්ටයා පරදවන්න මහින්ද වීරයා ගේන්න හිතුවා. පස්සෙ ඒ වීරයා දුෂ්ටයා වුණා. මහින්ද දුෂ්ටයා පරදවන්න මෛතී‍්‍ර වීරයා ගේන්න ගොඩක් අය දැඟලූවේ ඒ නිසා. මෛත‍්‍රී වීරයාගේ භූමිකාවෙන් දුෂ්ටයාගෙ, ද්‍රෝහියාගේ භූමිකාවට මාරු වෙන්න ගියේ මාස 6ක් විතරයි. දැන් කලින් දුෂ්ටයා වුණු රනිල්වත් මහින්දවත් වීරයාගේ භූමිකාවට වේෂ නිරූපණය කරන්න උත්සාහ කරනවා. මේක දේශපාලනයද?

මහින්දලා, රනිල්ලා, මෛතී‍්‍රලා මේ පවතින සමාජ – ආර්ථික – දේශපාලන කොන්දේසිවල ප‍්‍රකාශනයන් තමයි. ඒත් ප‍්‍රතිපත්ති පැත්තකින්ම තියලා දේශපාලනය මහින්දවාදය හා මහින්ද විරෝධය කියලා දෙකට කැඩුවාම තවදුරටත් ඒක දේශපාලනයම නෙවෙයි. ඒ විකෘති, විපරීත දේශපාලනයට කියන නම ‘දක්ෂිණාංශික දේශපාලනය’. අපේ ප‍්‍රශ්නය සමාජමයයි. පිළිතුරත් සමාජමයයි. ඒ නිසා සමාජමය ප‍්‍රතිපත්ති තුළ, නිවැරදි එල්ලයකට යාම තුළ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන ‘වාමාංශික දේශපාලනය’ තමයි ඇත්ත දේශපාලනය. ඒක සමාජයේ දේශපාලන චින්තනයේ ප‍්‍රමිතිය බාල වර්ගයේ බොළඳ චිත‍්‍රපටයක මට්ටමින් ඉහළට නංවනවා. අපි තෝරා ගන්නේ අන්න ඒ දේශපාලනය.