වතු කම්කරුවෝ 1000ක් ඉල්ලති

SAM_1070දේශපාලකයෝ ඡන්ද නෙළති —–

පසුගිය ජූලි මස 10 වැනිදායින් පසු අද දක්වා කි‍්‍රයාත්මක වන වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා වතු කම්කරුවන් දැඩි අපහසුතාවට පත්වී ඇත. තොරතුරු ලබාගත හැකි ජාතික පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ මෙය ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්ව ඇත. මේ පිළිබඳව අප හට තොරතුරු ලබාදුන් බොහෝ සංවිධානවල අදහස වන්නේ දේශපාලන උවමනාවක් මේ පිටුපස ඇති බවයි. එළඹෙන මහ මැතිවරණය මීට පාදක වී ඇත. සැබැවින්ම වසර දෙකකට වරක් සංශෝධනය කළ යුතු වතු කම්කරු ගිවිසුම මේ වන විටත් දින නියමයක් නොමැති සාකච්ඡාවලට පමණක් සීමා වී ඇත. පසුගිය මාර්තු 31න් අවසන් වී යළි අපේ‍්‍රල් 1 වැනිදා සිට වසර දෙකක් ඉදිරියට සංශෝධනය වීමට නියමිතව තිබූ වතු කම්කරු ගිවිසුම පිළිබඳ කතාව මේ වන විටත් පුස්සක් වී ඇත. ඊයේ වෙන තෙක්ම එම සාකච්ඡා නිශ්චිත තීන්දුවකින් තොරව සිදුවී ඇත. සමාජ සාධාරණත්වය උදෙසා සංවිධානයේ කැඳවුම්කරු මාක්ස් ප‍්‍රභාගර් ගේ අදහස වන්නේ,

‘‘දැන් මේ ගොල්ලන්ට, මාර්තු 31 නම් ගිවිසුම ඉවර වෙන්නෙ එතනින් එහාට අඛණ්ඩ විධිමත් සාකච්ඡාවකට උවමනා සැලසුමක් නෑ. ලංකා කම්කරු කොංග‍්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ප‍්‍රමුඛ ප‍්‍රධාන වෘත්තීය සමිති තුළවත් මූලික එකඟතාවක් නෑ. ලංකා වතු කම්කරු කොංග‍්‍රසය මූලික වෙලා මේ වැඩ වර්ජනය කරනවා. ඇත්තටම වැඩ කරන කම්කරුවන්ට ස්ථිර මාසික වැටුපක් මෙයින් ලැබෙනව නම් කමක් නෑ. ඒත් මාර්තු 31ට ගිවිසුම අවලංගුයි. උවමනා සාකච්ඡා නියමිත පරිදි කළේ නෑ. ඒවා ප‍්‍රමාද කළා. අඩු ගානෙ මාර්තු අපේ‍්‍රල්වලවත් ගේන්න ඕන සාකච්ඡුාව ගෙනාවෙ මැයි මාසෙ. මේක තාමත් ඇදෙනවා. ගිවිසුම කතා කරල වැටුප් ගැන සැලකිල්ලට ලක් කළාද? මේ ගැටුම් මැද දැන් මෙයාලා මැතිවරණයකට බහිනවා. කම්කරුවන්ගෙ ප‍්‍රශ්නයට උත්තරයක් නෑ. ඇත්තටම ලංකා කම්කරු කොංග‍්‍රසයට මේ සම්බන්ධයෙන් වැඩි බලයක් තියෙනවා. ඒත් මේ සාකච්ඡාව යන වෙලාවෙ ඒ සාකච්ඡාව නිශ්චිත තැනකට එනකන් අරගල නොකර එළියට බැස්සෙ ඇයි? එහෙම නම් මෙයාල තමන්ගෙ වෘත්තීය සමිතිවලට කම්කරුවන් බඳව ගන්නෙ ඇයි?”

එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධව ලංකා කම්කරු කොංග‍්‍රසයට අයත් වෘත්තීය සමිතිවලින් ප‍්‍රකාශ කර ඇත්තේ අද සිට සුපුරුදු ලෙස නැවත වැඩ සඳහා සියලූ කම්කරුවන් වැඩ බිම්වලට පැමිණිය යුතු බවයි. එමෙන්ම සාකච්ඡුා තුළින් යම් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවද කම්කරුවන්ට පවසා ඇත. ”අපි අද ඉඳන් වැඩ පටන් ගත්තා. පඩි විස්තර තාම කීවෙ නෑ. ඡන්දෙන් පස්සෙ තමා නැවත සාකච්ඡුා කරන්නෙ කීවා. අපි දවස් දෙකක් අකුරට වැඩ කළා. තව දවස් 10ක් වැඩට ගියෙ නෑ. ආගරතැන්නෙ වත්තෙ අපි 150ක් විතර වැඩ කළා. පහුගිය දවස් ටිකේ අපිට පඩි නෑ. අරහෙන් මෙහෙන් ණය වෙලා තමයි ජීවත් වුණේ. ඡුන්දෙන් පස්සෙත් විසඳුමක් නැත්තන් අපි වැඩ වර්ජනයක් කරනවා” යැයි අප සමඟ කීවේ යූරි වත්ත වතුයායේ වැඩ කරන රාසලිංගම් විසිනි. එමෙන්ම බදුල්ල දිස්ති‍්‍රක්කයට අයත් පස්සර, හපුතලේ වැනි වතු කම්කරුවන් සම්බන්ධ නගරවල ව්‍යාපාරිකයන්ගේ අදහසද එය තහවුරු කරන්නකි. ඔවුන්ගේ දෛනික වෙළෙඳ කටයුතු සඳහා මෙය ඍජුව බලපා තිබේ. සෙමින් වැඩ කළ හා අකුරට වැඩ කළ දින සඳහා කිසිදු ගෙවීමක් කරන්නේද යන්න පිළිබද ඇත්තේද බරපතළ අර්බුදයකි.

මෙහිදී සමාජ නීතිය උදෙසා වූ කඳුකර බහුජන ව්‍යාපාරයේ’ සාමාජිකයකු වන මහේන්ද්‍රන් අප හා මෙසේ කියා සිටියේය. ‘‘අපි කියන්නේ කම්කරු ජනතාවට මේ අද තියෙන ආර්ථික තත්වයට ගැළපෙන පඩි වැඩි වීමක් වෙන්න ඕනෙ. ඇත්තටම කම්කරුවන්ට රුපියල් 1000ක් ගෙවීමට තරම් ආර්ථික හැකියාවක් වතු හාම්පුතුන්ට තියෙනවා. 2014 අගෝස්තු මාසය වන විට මෙයාල කෝටි 120ක ලාභයක් ගත්තා. මේ රුපියල් 1000 දෙන්න බැරි කමක් නෑ. ඒත් වතු හාම්පුතාල කියන්නෙ තේවල තත්වය පහළ බැහැල කියල. ඒකට ඉතිං වගකියන්න ඕනෙ වතු සමාගම් තමයි. ඇයි මෙයාලට රුපියල් 1000 ගෙවන්න බැරි? අනිත් එක ගිවිසුම කියන්නෙ තනිකර බොරුවක්. 1994 ඉඳල අද වන තෙක් කරන්නෙ කම්කරු ජනයා රවට්ටන එක තමයි. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ට තියෙන අවම අයිතියවත් වතු කම්කරුවන්ට නෑ. වතු කම්කරුවා ඒකට අදාළ කරගෙන නෑ. රජයට අපි කියන්නෙ පොදු සේවා පද්ධතියට වතු කම්කරුවා ඇතුළත් කළ යුතුයි කියලා. වතු කම්කරුවා රජයට තමයි හම්බ කරන්නෙ. මේ කම්කරුවන්ටත් වැටුප් කොමිෂන් සභාවක් හරහා නිසි සැලසුම් සහගත කාලීන වෙනස්කම්වලට ගැළපෙන වැටුප් වැඩිවීමක් කළ යුතුයි.’’

එමෙන්ම පස්සර නගරයේ ව්‍යාපාරිකයකු වන සැමී ද සිල්වා අප සමඟ කීවේ ‘‘වත්තේ පඩි නොලැබුණොත් අපි හිර වෙනවා. ඕඩියක්වත් පියව ගන්න බැරි වෙනවා’’ යනුවෙනි.

මෙතෙක් පැවැති සාකච්ඡුා පවතින ආරංචි මාර්ගවලට අනුව තහවුරු වී ඇත්තේ වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 620කට ආසන්න මුදලකට සීමා වන බවයි. එය තවත් රුපියල් 80කින් ඉහළ දැමීමට එකඟතාවයක් පැවතුන නමුත් එම සාකච්ඡුා බිඳ වැටී ඇති අතර නැවත ඡන්දයෙන් පසුව එම සාකච්ඡුා ඇරඹෙන බව පැවසෙයි. මීට පෙර ලබාදුන් රුපියල් 450ක වැටුප දැන් වන විට 500ක් වී ඇත. වෘත්තීය සමිති නිසා කම්කරුවන්ට සිදුවෙන්නේ බරපතළ අසාධාරණයකි. එහි පංගුකාරයන් වන ලංකා කම්කරු කොංග‍්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ප‍්‍රමුඛ වෘත්තීය සමිති මෙය විහිළුවකට ලක්කරමින් සිටී. වෘත්තීය සමිති ආරම්භ වූ දා සිට 2002 වන තෙක්ම වැටුප් වැඩි වී ඇත්තේ රුපියල් 200ක් තරම් අඩු ප‍්‍රමාණයකිනි. එමෙන්ම ජනතා කම්කරු සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයකු වන විජයකුමාර් අප සමඟ කීවේ ව්‍යාපාරික වතු සමාගම්වලට විශාල ලාභයක් ලැබෙන බවයි.

එහෙත් ඒ සඳහා වූ නැවත වගා කිරීම මේ වන විට 0.6% දක්වා පහත වැටී ඇති බවයි. ධනවාදී ක‍්‍රමයට සරිලන පරිදි ශ‍්‍රමිකයන්ගෙන් දෛනික ශ‍්‍රමය උපරිම අන්දමින් ලබා ගත් නමුදු තේ වගාවට අදාළ නිෂ්පාදන යෙදවුම් නොකරන බවයි. මේ නිසා තව වසර 25ක් පමණ වන විට තේ වගාවේ අස්වනු හීන වන බවයි. ඒ අනුව සිදුවන්නේ අදාළ නිෂ්පාදන යෙදවුම් නොකිරීම නිසා තේ වගාව නොදුරු අනාගතයේදී මෙරටින් කඩා වැටෙන නිෂ්පාදනයක් වෙන බවයි. ඔහුවැඩි දුරටත් පවසන්නේ ‘‘මේකට මූණ දෙනවනම් වෘත්තීය සමිති වතු හාම් පුතුන් හා රටේ සියලූම ප‍්‍රජාවන් සමඟ මේ ප‍්‍රශ්නය සාකච්ඡුා කළ යුතුයි. 1994 කම්කරුවො හාරලක්ෂ පනස් දහසක් වැඩ කරල තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 165ක් නිෂ්පාදනය කළා. 2013 වන විට කම්කරුවන් එක්ලක්ෂ අනූදහසක් වැඩ කරල තේ කිලෝ මිලියන 120-130ක තරම් ප‍්‍රමාණයක් අරගෙන තියෙනවා. මේ තරම් ආදායමක් ලබද්දිත් කම්කරුවන්ගෙ ශ‍්‍රමය විශාල වශයෙන් ලාබ විදිහට ලබා ගත්තත් ඊට සරිලන නිෂ්පාදන යෙදවුම් නොකරන්නේ ඇයි? තේ කියල කියන්නේ මේ රටට විශාල ආදායමක් දෙන නිෂ්පාදනයක්. අද ඒක ටික දෙනකුගේ ලාභ ගරන ව්‍යාපාරයක් විතරයි. මුළු රට පුරා ඉන්න කම්කරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. එම නිසා මෙම ප‍්‍රශ්නය තුළ ඇති දේශපාලන මඟහැර යාම පිළිබඳ ප‍්‍රමාණවත් හෙළිදරව්වක් සිදු කළ යුතුය. ඒ වෙනුවෙන් කම්කරුවා සමඟ පුළුල් කතා බහකට යා යුතුයි.”

ඉන්දමතී විද්‍යාරත්න