මගේ අදහස් ප‍්‍රකාශනය මගේ නාට්‍යයයි… මහාචාර්ය එස්. මෞනගුරු

dsc_0927ගමේ පාසල් ශිෂ්‍යයකු ලෙස ඔහු ෆෙඩරල් පක්ෂයේ ක‍්‍රියාකාරිකයකු විය. දෙමළ ජාතිකවාදී දැක්මකින් කටයුතු කළ හෙතෙම සරසවි ශිෂ්‍යයකු ලෙස පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහිදී සමාජවාදය මාක්ස්වාදය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් ඔහුගේ ලෝක දෘෂ්ටිය වෙනස් විය. ඒ වන විට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පේරාදෙනියේ ආචාර්යවරයකු ලෙස විශේෂ කලා සංස්කෘතික ක‍්‍රියාදාමයක නිරත වෙමින් සිටියේය. ඊට සමාන්තරව දෙමළ අංශයේ මහාචාර්ය විද්‍යානන්දන් විසින් දෙමළ නාට්‍ය භාවිතයක යෙදුණි. එස්. මෞනගුරුගේ කලා සංස්කෘතික ගමන්මඟ ආරම්භ වන්නේ සහ ආභාසය ලබන්නේ මෙම ශාස්ත‍්‍රීය පර්යේෂණ හා රංග කලා භාවිතයන් පසුබිමේය. මහාචාර්ය එස්. මෞනගුරු සමඟ අප කළ සංවාදයෙන් තෝරාගත් කොටස් මෙහි පළ කරමු.

  • ඔබේ ජීවිතයෙ මුල්කාලීන පසුබිම ගැන කියන්න පුළුවන්ද?

මඩකලපුවේ සාමාන්‍ය පවුලක උපන් මගේ අම්මා අකුරු නොදත් ගැමි කාන්තාවක්. පියා යම්තාක් දුරට ඉගෙන ගත් දෛවඥයෙක්. පස්වැනි පන්තියේ ශිෂ්‍යත්වය සමත්ව වන්දාරුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණ උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණීම මගේ ජීවිත ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.

පේරාදෙණි සරසවියේ හිටපු මහාචාර්ය විද්‍යානන්දන් මගේ කලා ජීවිතයට විශාල මගපෙන්වීමක් කළා. ෆෙඩරල් පක්ෂයේ හිතවතකු නිසා ගුරුවරයකු ලෙස මට සමීප වුවත් ඔහුගේ පරමාදර්ශ වෙනස්. ඔහු වගේම දෙමළ නාට්‍ය කලාවේ සහ සාහිත්‍යයේ ප‍්‍රබෝධයක් ඇති කරන්නට මැදිහත් වූ මහාචාර්ය කෛලාසපති සහ මහාචාර්ය සිවතම්බි කොමියුනිස්ට් පක්ෂයේ හිතවතුන්. ඔවුන් එක්කත් මම වැඩ කළා. ඒ වගේම කොළඹ ජීවත්වන කාලයේ මට සිංහල ජනතාව සහ කලාකරුවන් සමඟ ඇසුරු කරන්නට හැකි වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුව ගුරුවරයෙක් ලෙස ජීවිත ගමන පටන්ගත් මගේ මුල්ම පත්වීම මුස්ලිම් ප‍්‍රජාව වැඩි වශයෙන් ජීවත්වන කල්මුනේට ලැබුණේ. ඒ සහිරා විද්‍යාලයේ ගුරුවරයකු ලෙසයි. මේ ආකාරයට මම ලංකාවෙ හැම ජන ප‍්‍රජාවක්ම සමීප ලෙස ඇසුරු කරලා තියෙනවා.

1971 ජවිපෙ අරගලය ඇති වුණු කාලෙ. බෞද්ධාලෝක මාවතේ විෂයමාලා සංවර්ධන ඒකකයේ මම වැඩ කළේ. අපරාධ යුක්ති කොමිසම පිහිටා තිබුණේ ඒ ආසන්නයේ. සැකකරුවන් අරගෙන යද්දි ඔවුන් අපට අතවනනවා මට මතකයි. 70 දශකයේ යම් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් සිදු වුණා කියලා මම හිතනවා. ඒ කාලෙ තමයි ලංකාවෙ දෙමළ නාට්‍ය කලාව හා සාහිත්‍ය කලාවේ පිබිදීමක් ඇති වුණේ. ලංකාව කියන වචනයට දෙමළ බසින් ඊළම් කියලා දැම්මෙ දෙමළ නාට්‍යවල. ඒක බෙදුම්වාදී දේශපාලනය ස්ථාපිත වෙන්න කලින් සිදුවෙච්ච දෙයක්. සමස්ත ලංකාවම තමයි දෙමළ බසින් එසේ හැඳින්වූයේ වෙනම රාජ්‍යයක් ලෙස නෙවෙයි.

කොළඹ සිට මම මුලින්ම යාපනේ ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස පත් වුණා. එයින් පස්සෙ මම යාපනේ විශ්වවිද්‍යාලයට ගියා. මහාචාර්ය කෛලාසපති මණ්ඩපාධිපති වශයෙන් තරුණ ආචාර්යවරුන්ගේ සේවය අපේක්ෂා කළා. ඒ කාලෙ මම අධ්‍යාපන කාර්යයන්ට මිස පක්ෂ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. සමකාලීන දෙමළ තරුණයන් ජාතිය ගැන හැඟීම මිස පන්තිය පදනම් කරගෙන කටයුතු කළේ නැහැ. නමුත් පේරාදෙණි ආභාසය මා තුළ දිගටම තිබුණා. පේරාදෙණියෙදි මම නාට්‍ය පිටපත් ලිව්වෙ අවුරුදු 21දි. ඒ නාට්‍ය තුළින් මගේ අදහස් කලාත්මකව ඉදිරිපත් කළා. ඒ කාලෙ යාපනේ විශ්වවිද්‍යාලෙ සිංහල අංශයක් තිබුණා. ධර්මසේන පතිරාජ, සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න වැනි තරුණ කථිකාචාර්යවරුන් සමඟ වැඩ කළා. සුනිලා අබේසේකර වගේ අයත් ආවා. ගාමිණී හත්තොටුවේගම වැනි සිංහල කලාකරුවන් යාපනේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට හඳුන්වා දුන්නා. වාම අදහස් ඇති කලාකරුවන් සහ විද්වතුන් සමඟ එකට වැඩ කරමින් මම මේ දක්වා යම් තෘප්තිමත් ගමනක් පැමිණ තිබෙනවා.

  • ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

චිත‍්‍රලේඛා, මගේ බිරිඳ මට හමු වුණේ යාපනේදි, උසස් පෙළ ශිෂ්‍යාවක සිටියදී. උසස් යැයි සම්මත පවුලක දියණියක් වූ ඇයට මම ඉගැන්වීම කළා. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. මහාචාර්ය කෛලාසපති ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ. ඇයට ඒ ආභාසයත් ලැබුණා. මාක්ස්වාදයේ ඇසුර නිසා මම ඇයත් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ඇය රැුඩිකල් ලෙස හිතන තරුණියක්ව සිටියා. වෙනස්කම් නොතකා අපි එකිනෙකා වටහාගෙන විවාහ වුණා.

මගේ පුතාට අපි නම දැම්මෙ සිද්ධාර්ථ කියලා. ඒ සිදුහත් කුමාරයාගෙ නම නෙවෙයි. හර්මන් හෙස කියන ජර්මානු ලේඛකයගෙ සිද්ධාර්ථ කියන චරිතය ඇසුරෙන් සත්‍ය සොයා යන්නා කියන තේරුමෙන් ඒ නම ඔහුට දැම්මෙ. මම නැෙඟනහිර විශ්වවිද්‍යාලයේ සේවය කරද්දි බිරිඳ චිත‍්‍රාට අමෙරිකානු විශ්වවිද්‍යාලයක ආචාර්ය පදවියක් ලැබිලා ගියා.

චිත‍්‍රා ලංකාවට ආවම යාපනේ විශ්වවිද්‍යාලයේ සේවය කරන්න පටන් ගත්තා. රාජිණි තිරානගම වැනි කාන්තා ක‍්‍රියාකාරිනියන් සමඟ එක්ව වැඩ කළා. යාපනයේ ස්ත‍්‍රීවාදී දේශපාලන ක‍්‍රියාකාරීත්වය ආරම්භ කළේ ඔවුන් විසින්. පසුව ඇය ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳ අධ්‍යයනයට නෙදර්ලන්තයේ ශිෂ්‍යත්වයක් ලැබ ගියා. ඇගේ සහයෝගය මගේ කලා ශාස්ත‍්‍රීය කටයුතුවලට ඉතාම වැදගත් වුණා. මගේ නාට්‍යවල පළමුවැනි හා උග‍්‍රතම විවේචනය එන්නෙ ඇයගෙන්. ඒ නිසාම ඒ නාට්‍යවල ලක්ෂණ වඩා තියුණු කරගන්න ඇගේ විෙවිචනය පාදක වුණා. මගේ නාට්‍ය තුළ ස්ත‍්‍රීවාදී අංග ලක්ෂණ ලැබෙනවා නම් ඒකට හේතුව ඇයයි. මහභාරතයේ කර්නන් කියන චරිතය උපද්‍රවවලින් ආරක්ෂා වෙන්නෙ පලිහක් පැලඳගෙන ඉන්න නිසා. චිත‍්‍රා මට එවැනි පලිහක් වෙනවා. වෙලාවකට එය ආරක්ෂාවක් වුණත් ඒක මාව හිරකරන අවස්ථා නැතිවා නොවෙයි. ඒත් එහෙම වෙන්නෙ මගේ ආරක්ෂාවටයි. ඇය ලැබීම මගේ ජීවිතයේ මහත් භාග්‍යයක්.

  • ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළ ආකාරය අපට කියන්න.

මම යාපනේ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ නැගෙනහිර විශ්වවිද්‍යාලය ආරම්භ වුණා. ඉතින් මට ආරාධනා ලැබුණා එහි යන්න. ඒ නිසා මම නැගෙනහිර විශ්වවිද්‍යාලයට ආවා. නැගෙනහිරදි මට විවිධ දුෂ්කරතා ඇති වුණා. දේශපාලන පරිසරය නිසා ඒ දවස්වල හැමෝටම වගේ ජීවිත අවදානමක් ඇතිව ජීවත් වෙන්න වෙලා තිබුණේ.

  • නැගෙනහිර විශ්වවිද්‍යාලෙ ජීවිතය කොහොමද?

ඒ වෙනකොට මඩකලපුවට දරුණු තත්වයක් උදාවෙලා තිබුණෙ. ඒ නිසා මම මඩකලපුවේ ඉන්න අකමැත්තෙන් හිටියෙ. සමහරු වෙනත් ප‍්‍රදේශවලට ගියා. තවත් සමහරු විදේශ රටවලට ගියා. මම චිත‍්‍රාට ලිව්වා යාපනේට යන්නද මෙහෙම ඉන්නද කියලා. එයා කිව්වා ළඟදිම එයා ලංකාවට එන නිසා හදිසි තීරණයක් නො‍ෙඟන ඉවසලා ඉන්න කියලා.

ඒ වෙනකොට මට නැඟනහිර විශ්වවිද්‍යාලෙ උසස්වීම් ලැබිලා යම් වැඩ කොටසක් කරන්න අවස්ථා හිමිවෙමින් තිබුණෙ. ඒත් ඒ අතර තනතුරු නිසා අපි වැරදි වැඩවලට යන්න සිදු වෙයිද කියන බයෙන් අවදානමෙන් හිටියෙ. ඒ නිසාම නැෙඟනහිර විශ්වවිද්‍යාල වගකීම් දරන්න කැමති වුණේ නෑ. නමුත් වෙලාවක වැඩබලන උපකුලපති වැනි වගකීම් දරන්න වුණා.

ඒ වකවානුවේ තමයි මගේ නිර්මාණ ජීවිතයට පදනම වැටුණේ. ඒ කාලෙ අපි ශිෂ්‍යයන් හතළිස් දෙනෙක් සමඟ මහාචාර්ය සරච්චන්ද්‍ර හමු වෙන්න ගියා. 1996දි ධර්මසිරි බණ්ඩාරනායකට අපේ විශ්වවිද්‍යාලෙට එන්න ආරාධනා කළා. මේ කාලෙ සිංහලයන්ට තර්ජන ගර්ජන තිබියදී මඩකලපුවට ඇවිත් ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය රඟදැක්වුවා. ඒ කාලෙ නැෙඟනහිර තර්ජන තිබියදී ඔවුන් මඩකලපුවට ආවා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ නාට්‍ය බලලා සතුටු වුණා.

  • අපි ඔබේ නාට්‍ය කෘති ගැනත් කතා කරමු?

මේ කාලෙ තමයි රාවනේසන් නාට්‍ය මා විසින් අලූතෙන් නිෂ්පාදනය කළේ. ‘රාවනේසන්’ කියන්නෙ වර්ධනය වෙමින් තියෙන නාට්‍යයක්. එහි නිෂ්පාදන හතරක් මා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. 1962-65 යුගයේදි මහාචාර්ය විද්‍යානන්දන් රාවණ චරිතය නිර්මාණය කළේ සාමාන්‍ය රාමායනය ඇසුරෙන්. අවුරුදු 40කට පස්සෙ ශෝකාන්තයක් ලෙස මම රාවනේසන් නාට්‍ය යළි නිෂ්පාදනය කළා. 2010 මම රාවනේසන් නැවත නිෂ්පාදනය කරන කොට රාවණ දේවිය, ‘මණ්ඩෝදරී’ චරිතය මුල්කරගෙන ශෝකාන්තයක් ලෙස නිෂ්පාදනය කළා. යුද්ධයේ විනාශකාරීත්වය ඉස්මතු කරන ආකාරයෙන් එය නිෂ්පාදනය කෙරුණා. යුද්ධයෙන් පසුව රාවණා රජු වැටී සිටින අවස්ථාවේ මන්ඩෝදරී ශෝක වන අවස්ථාවේ යුද්ධයේ ජයග‍්‍රාහී සහ පරාජිත දෙපාර්ශ්වයම අඬා වැලපෙන තත්වයක් ඇති වෙනවා.

2014දි මම නැවත වරක් රාවනේසන් නිෂ්පාදනය කරද්දි රාවණ පුත් ඉන්ද්‍රජිත් චරිතයට ප‍්‍රමුඛස්ථානය දුන්නා. අකමැත්තෙන් යුද්ධයට ගිය, යුද්ධයට බලහත්කාරයෙන් තල්ලූ කළ තරුණයෙක් මේ නාට්‍යයේ ඉන්ද්‍රජිත් චරිතයෙන් මතු කරනු ලැබුවා. එය ලංකාවේදී යුද්ධයට බලහත්කාරයෙන් ගෙන ගිය තරුණයන්ගෙ කතාවට සමානව නිෂ්පාදනය කළා. මා ජීවතුන් අතර හිටියොත් මා කරන මීළඟ රාවනේසන් නිර්මාණය වෙනත් ස්වරූපයක් සහිත වනවා ඇති.

මා කළ තවත් නිර්මාණයක් වුණේ ‘ලයම්’. රුහුණ විශ්වවිද්‍යාලයේ එය රඟ දක්වනු ලැබුවා. දෙමළ ජනනාට්‍ය සියල්ලමත් උඩරට, පහතරට සහ භරත වැනි නාට්‍ය ක‍්‍රම එහිදී උපයෝගි කරගනු ලැබුවා. ලයම් කියන්නෙ රිද්මය. ඒකට ආගම්, ජාති හෝ වෙනත් බෙදීමක් අදාළ නෑ. හැමදෙනාගෙම හදවත්වල රිද්මය තිබෙන බව එයින් කියැවුණා. ඊළඟට මම දේදුන්නෙ වර්ණ තේමාව කරගෙන නාට්‍යයක් නිර්මාණය කළා. ඒකත් ලංකාවේ ජන ප‍්‍රජාවන් අතර වෙනස්කම්වල වටිනාකම ගැන කියන්න කළ නිර්මාණයක්. මේ රටේ ජීවත් වන ජනතාව අතර කොතරම් වෙනස්කම් තිබුණත් සමානකම් හා පොදුකමක් ඇති බව කියන්නයි මේ නිර්මාණය බිහි වුණේ. මේ විවිධත්වය ලංකාවට වර්ණවත් බවක් ඇතිකරනවා කියන අදහසයි මම ගෙනාවෙ.

ඉන්පස්සෙ මහා භාරතයෙ සිදුවීමක් මුල්කරගෙන නාට්‍යයක් නිෂ්පාදනය කළා. එහි නම ‘තාණ්ඩව දහනම්’. ඒ කියන්නෙ තාණ්ඩව වනය පිළිිස්සීම ගැනයි. ඓතිහාසික කතාවක් ලෙස මහා භාරතයෙදි කියනු ලබන්නෙ අර්ජුන් ඇතුළු පාණ්ඩවයන් විසින් තාණ්ඩව වනය විනාශ කරලා මහා මන්දිරයක් හැදූ බවයි. දුර්යෝදනයන් කියන්නෙ ඔවුන්ගෙ විරුද්ධවාදීන්. ඒ අය පාණ්ඩවයන්ගෙ සශ‍්‍රීකත්වය දැකලා යුද්ධයෙන් පරදවන්න බැරි නිසා සූදුවෙන් පරදවන්න කටයුතු කරනවා. සූදුවෙන් පැරදුනාම ඔට්ටුව තමයි පාණ්ඩවයන්ගෙ බිරිය වූ ද්‍රෞපදී නිරුවත් කිරීම. ඉන්පසු පාණ්ඩවයන් වනවාසයට යවනවා. ඒ හේතු මත තමයි මහාභාරත යුද්ධය ඇති වෙන්නෙ. යුද්ධය නිසා ඇති වන මහා විනාශය පදනම් කරගෙන යුද්ධයේ විනාශකාරීත්ය හා පරිසරය විනාශ කිරීම ගැන තේමාකරගෙන තමයි නාට්‍ය නිර්මාණය කළේ.

  • නමුත් ඔබ මේ නාට්‍ය නිෂ්පාදනය කළේ මහාභාරතයෙ මුල් පිටපත ඉක්මවා යමින් නේද?

ඔව්. මගේ නිර්මාණයක් ලෙස මේ නාට්‍යයට තවත් කොටසක් එකතු වෙනවා. ලංකාව වගේ රටවලට බහුජාතික සමාගම් ඇවිත් ලාභය පිණිස විවිධ විනාශයන් කරනවා. අපේ රට සංවර්ධනය කරනවා කියලා විශාල පාරිසරික විනාශයන් ඇතිකරලා කොන්ක‍්‍රීට් නගර ඉදි කරනවා. වාණිජ කටයුතු දියුණු වුණාට තරගය නිසා යම් දවසක විශාල යුද විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. යුද්ධය හා වන විනාශය ගැන මහාභාරතයෙ චරිතය ලෙස අර්ජුන් විශාල කම්පාවකට පත් වෙනවා. මේ පවතින යුද්ධ නිසා ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන් පවා අද ජිවතුන් අතර සිටියා නම් කම්පාවට පත් වෙනවා. තමන් බිහි කළ දැනුම හා නිපැයුම් විනාශය සඳහා යෙදවීම ගැන ඔවුන් කම්පා වන බවයි මෙයින් කියැවෙන්නෙ. තමන් විසින් කළ විනාශය ගැන අර්ජුන් කම්පා වෙනවා. නමුත් අපේ මිනිස් සමාජය තුළ යුද්ධය හා විනාශය දිගින් දිගටම පවතිනවා. මිනිස්සු දිගින් දිගට දුකට පත් වෙනවා. මේ මගේ අවසන් නාට්‍ය 2015 නිෂ්පාදනය කෙරුණෙ. අවුරුදු 10 කුඩා දරුවකු ලෙස ඇරඹූ මගේ නාට්‍ය කලා ජීවිතය දැන් වයස අවුරුදු 73ක් වන කාලෙත් තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා. මේ විදියට මම රංග කලාව පවත්වාගෙන යනවා. මගේ ප‍්‍රකාශනය වෙන්නෙ මගේ කලාවයි.

  • ඔබේ ඉදිරි කටයුතු ගැනත් අපට කියන්න…

මගේ ජීවිත කාලය තුළ තවත් නාට්‍ය තුනක් පමණ කරන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා. එහෙම වැඩ කළොත් විතරයි මට විවේකයක් ලැබෙන්නෙ. මම විශ‍්‍රාම ගත්තම මොකද කරන්නෙ කියලා කල්පනා කළා. මගේ ළඟ විශාල පොත් ප‍්‍රමාණයක් හා කැසට් ප‍්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. ඉතින් මම කල්පනා කළා කොහොමද මේ සම්පත්වලින් ප‍්‍රයෝජනවත් යමක් කරන්නෙ කියලා. ඉතින් මම නාට්‍යාගාරයක් ආරම්භ කළා. බාල පරම්පරාවට මුදලක් අය නොකර කරන දැනුම බෙදීමක් පුහුණුුවක් එහිදී සිදු වෙනවා. සමහරු අහනවා ඔයාට පිස්සුද නොමිලේ මේව කරන්න කියලා. නමුත් මගේ තෘප්තිය තමයි මේ නාට්‍ය කලාගාරයේ මා ලබන එකම ලාභය.

වෙනත් අධ්‍යාපන ආයතනවලින් බිහිකරන්නෙ විවිධ මිනිස් යන්ත‍්‍ර. ඒ අය විෂය දැනුම ලැබුවට හෘදසාක්ෂිය නැති මිනිසුන් සමාජයට දෙන්නෙ. මම කල්පනා කළා සෞන්දර්ය අධ්‍යාපනයෙන් රංග කලා පුහුණුවෙන්, නාට්‍ය පර්යේෂණයෙන් දෙන්න පුළුවන් දේ තමයි හදවතක් ඇති පෞරුෂයන් බිහි කරන එක. ඒක දැන් අපි කරනවා.

(විශේෂ ස්තුතිය – භාෂා පරිවර්තනයෙන් සහාය වූ එස්. සිවගුරුනාදන් සහෝදරයාට)

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත