ජනවාරි 08 ව්‍යාපාරය කෑලිවලට කැඩිලා! – මහාචාර්ය සුමනසිරි ලියනගේ

sumaneමහ මැතිවරණයක් කැඳවා ඇති පරිසරයක ලංකාවේ දේශපාලනයේ විවිධ පසුවිපරම්, ස්වයංවිවේචන, නිදහසට කාරණා මෙන්ම අනාගත වාක්‍ය කියනු අසන්නට ලැබේ. දින නියම කිරීමේ අවස්ථාවේ සිටම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලීන් ආරම්භ වූ මේ සාකච්ඡුාව තුළ මඟ පාදා ගත යුත්තේ මහ මැතිවරණයේදී මතුවන දේශපාලන ඉඩකඩ පිළිබඳ කියවාගැනීමටය. එහි ආරම්භයක් ලෙස මෙවර අප ආචාර්ය සුමනසිරි ලියනගේ සමඟ කළ සංවාදයේ සටහනකි මේ.

  •  ජනවාරි 8 වැනිදා රාජපක්ෂ පාලනය අවසන් වෙනවා. ඒත් බලාපොරොත්තු වුණු වෙනස ඒ විදිහට වෙන්නෙ නෑ. ඒකට හේතුව විදිහට මොකක්ද හිතන්නෙ?

මෙහෙමයි, දැන් ජනවාරි 8 වැනිදා ඇත්තටම ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. හැබැයි එක් එක් ජනකොටස් එක් එක් වෙනස්කම් බලාපොරොත්තු වුණේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ සහ කොළඹ අවට නාගරික සමාජය බොහෝ විට බලාපොරොත්ත ුවුණේ ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ව්‍යවස්ථාමය වශයෙන් තිබෙන අධිකාරවාදයට එරෙහිව ගමන් ගැනීමක්. නමුත් උතුරේ ජනයා බලාපොරොත්තු වුණේ හමුදාව අල්ලාගත් ඉඩම් ආපසු ලබා ගැනීම වගේ දේවල්. ඊළඟට ග‍්‍රාමීය පළාත්වල ධීවර පළාත්වල ජනයා බලාපොරොත්තු වුණේ තමන්ගෙ ජීවන තත්වයේ යම් ආකාරයක වෙනසක්.

ඉතින් මේ වෙනස එකම වෙනසක් නෙමෙයි. මේ එක් එක් කොටස් එක් එක් වෙනස්කම් බලාපොරොත්තු වුණේ. ඉතිං මේ සියලූ වෙනස්කම් කරන්න ජනවාරි 8 ව්‍යාපාරයට එක පැත්තකින් ශක්තියක් නෑ, අනිත් පැත්තෙන් එම බලවේගයන් අතර එවැන්නක් කි‍්‍රයාත්මක කරන්න අවශ්‍ය පොදු එකඟතාවක් ඇතිකරගන්න හැකියාවක් නෑ. ජනවාරි 8 වැනිදා ජනතාව යම් කිසි වෙනසක් බලාපොරොත්තු වුණා. යම් වෙනසක් සිදුවුණා. නමුත් ඒ වෙනස සියලූම ජනකොටස්වල අදහස් සම්පූර්ණ කිරීමේ වෙනසක් බවට පත්වුණේ නෑ. ප‍්‍රධාන වශයෙන්ම එම බලවේග අතර තිබුණු පරස්පර ස්වාභාවයන් සහ එකට නොයන ස්වභාවයන් නිසා.

දෙවැනි කරුණ ඒ බලයට පත් වුණ පිරිස් විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කිසිසේත්ම පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කරන්නවත් ජනතාවට සාධාරණයක් ඉටු කරන්නවත් පුළුවන් ප‍්‍රතිපත්ති තියෙන පක්ෂයක් නෙමෙයි. ඉතිං එම පක්ෂය මෙම ආණ්ඩුවෙ ප‍්‍රධාන කොටසක් ඉටු කිරීමම මෙම වෑයම අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුවක්. මෙය කදිම ලෙස පේනව මහ බැංකුවේ බැඳුම්කර සිදුවීමේදි එක්සත් ජාතික පක්ෂයෙ ප‍්‍රධානීන් ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාකළ ආකාරය සම්බන්ධයෙන්.

  •   ජනවාරි 8 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළාට ඉතා ඉක්මනින් රාජපක්ෂ සාධකය ලංකාවේ දේශපාලනය තුළ නැවත මතු වුණා. දැන් නැවතත් ඒ සාධකය ප‍්‍රබල වෙමින් පවතිනවා. කොහොමද එහෙම වෙන්නේ ?

මං හිතන්නෙ ඒකට හේතුව තමයි, ජනතාව බලාපොරොත්තු වුණු වෙනස ජනවාරි 8 වැනිදා බලයට පත් වුණු ආණ්ඩුව මඟින් කෙරෙන්නෙ නැති වුණාම සාමාන්‍ය ස්වභාවයක් තමයි මිනිස්සු අනිත් පැත්තට ගමන් ගන්න එක. එතකොට ඒකෙ වගකීම තියෙන්නෙ මේ රටේ ජනයා මත නෙවෙයි, බලයට පත්වුණු ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වය මත.

උදාහණයක් විදිහට ගත්තොතින් ජනයා බලාපොරොත්තු වෙනවා සහන ලබාගන්න. නමුත් අපි දන්නව තෙල් මිල ලෝක වෙළඳපළේ ඉහළ යාම නිසා ඒකෙන් ලැබුණු සහනය ඇරුණහම වෙන විශාල සහනයක් ලැබුණෙ නෑ විතරක් නෙමෙයි පරණ ආණ්ඩුව විසින් ඇති කළ ව්‍යාපෘති නැවැත්වීමත් එක්ක රටේ සේවා වියුක්තිය වැඩි වෙනව. ඒ නිසාම මිනිස්සුන්ට ජීවත් වීම අමාරු වෙනවා. ඒ වගේම සමහර දෙන ලද පොරොන්දු විශේෂයෙන් තේවල සහතික මිල, රබර්වල සහතික මිල කි‍්‍රයාත්මක වෙන්නෙ නෑ. එතකොට මේ වගේ තත්වයක් තුළ ඉතා පැහැදිලි ලෙස මිනිස්සු නැවත ආපස්සට තිබුණ තත්වය වඩා හොඳයි කියන තරමට යන්න ඉඩ තියෙනවා.

  •  යහපාලන ආණ්ඩුව ලෙස හඳුන්වන මෛත‍්‍රී – රනිල් පාලනය එයින් පමණක් කියවාගන්න පුළුවන්ද? තවත් හේතු තිබෙනවා නේද?

ඔව්, ඊළඟ කරුණ තමයි බලයට පත්වුණු ආණ්ඩුවෙ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම පැහැදිලි බටහිර ගැති විදේශ ප‍්‍රතිපත්තියක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව, යුරෝපීය සංගමය වැනි ඒවා පැත්තට තමයි නැඹුරුව ඇති වෙන්නෙ. ලංකාවෙ මෙතෙක් අනුගමනය කළ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තිය වෙතින් බටහිරට නැඹුරු වුණු විදේශ ප‍්‍රතිපත්තියට නැඹුරු වීමත් සමඟ කිසියම් ප‍්‍රමාණයක ජාතිකවාදය නැඟීමටත් ඉඩක් තියෙනවා.

ඊට අතිරේකව රාජපක්ෂ මහතා වටා සිටින විවිධ පිරිස් දන්නව බලය ලබා ගැනීමට කිිසියම් ප‍්‍රමාණයකට ජාතිකවාදය යොදාගන්න පුළුවන් කියල. ඒ නිසා තමයි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුකරද්දි කිසියම් ප‍්‍රමාණයක ජන කොටසක් ඒ පැත්තට ඇදී යන්නට පුළුවන්. ආණ්ඩුවේ අසාර්ථකත්වය ආණ්ඩුවට නිසි ආර්ථික ප‍්‍රතිපත්තියක් නොතිබීම ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය, ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කියන ඒ හැම එකකින්ම ආණ්ඩුව අසාර්ථක වෙන තත්වයක් තුළ තමයි මං හිතන්නෙ රාජපක්ෂ ප‍්‍රපංචය ඉදිරියට යෑමට හේතු වෙන්නෙ.

  •   ආයෙමත් මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම දේශපාලන කරළියේ අලූත් තත්වයක් ඇතිවෙලා. ඔබ මේ වාතාවරණය කියව ගන්නෙ කොහොමද?

ජනවාරි 8 වැනිදා එක්ව තිබුණු ව්‍යාපාරයෙ අඩංගුව මම මෙහි කියපු ආකාරයටම එකිනෙකට පෑහීමක් නොමැති වීම මීට බලපානවා. එහෙම එකට ඉන්න නොහැකි නිසා එම බලවේගය ප‍්‍රධාන කොටස් ගණනාවකට කැඩිලයි පවතින්නෙ. විශාලම කොටස තමයි රනිල් වික‍්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය වටා එක්වූ පිරිස. දෙවැනි කොටස තමයි ජනතා විමුක්ති පෙරමුණ. මෙයාලත් ජනවාරි 8 වැනිද ව්‍යාපාරය තුළ සිටිය කොටසක්. එයාල කිව්වට අපි විවේචනාත්මකවයි සහාය දෙන්නෙ කියල එයාල ඒක ඇතුළෙයි හිටියෙ. ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ඒකත් වෙන් වෙනවා. ඒ එක්කම දෙමළ ජාතික සන්ධානය ඒකත් උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවල වෙනම තරග කරනවා.

ඒ එක්කම මේ ව්‍යාපාරය ඇතුළෙ හිටපු සමහර කොටසක් අද එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළෙත් ඉන්නව. එතකොට ජනවාරි 8 වැනිද තිබුණු ව්‍යාපාරය කොටස් පහකට අවම වශයෙන් බිඳිල තියෙන බවක් පේනවා. මොකද ඒ කොටස්වලට එකට ඉන්න අමාරුයි. මොකද ඒ අය නියෝජනය කරන දේශපාලන ප‍්‍රතිපත්ති අනුව ඒ අය නියෝජනය කරන ජනකොටස් අනුව එහෙම ඉන්න අමාරුවක් තියෙනවා. ඒ නිසා අද වන විට ජනවාරි 8 වැනිදා ව්‍යාපාරය කෑලි කිහිපයකට කැඩුණු ව්‍යාපාරයක් බවට පත්වෙලා. මේ තත්වයත් සමඟ නිශ්චිත ප‍්‍රතිඵලයක් නොමැති මහ මැතිවරණයක් බවට පත්වෙන්න නියමිතයි.

  •   මේ සියලූ තත්වයන් තුළ‘වාම විකල්පය’ කියන අදහස මිනිස්සු තුළ තහවුරු කරන්න ලංකාවෙ වමේ ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා. ඒකට හේතු මොන විදිහටද දකින්නෙ ?

ලෝක පරිමාණව ගත්තොත් මීට අවුරුදු දහයකට පෙර තත්වය ගත්තොත් 1990 විතර ඉඳන් 2005 විතර වෙනකන් මුළු ලෝකයේම වමේ ව්‍යාපාරයට යළි නැඟී සිටීමට අසීරු තත්වයක් තිබුණෙ. විශේෂයෙන් සෝවියට් දේශය ඇතුළු ඒ කලාපයෙ බිඳවැටීම, ඒ එක්කම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය බිඳවැටීම, නවලිබරල්වාදයේ නැඟීම. ඔය තත්වය තමයි තිබුණෙ. නමුත් 2005න් පස්සෙ 2008න් පස්සෙ විශේෂයෙන් ජාත්‍යන්තර වාමගාමී ව්‍යාපාර නැවත ශක්තිමත් වෙන්න ගන්නවා. මුලින්ම මේක ඇතිවෙන්නෙ දකුණු ඇමරිකාවෙ. වෙනිසියුලාව, ඉක්වදෝර්, බොලීවියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, චිලී වගේ රටවල්වල. අද මේක මාරුවෙලා තියෙනවා දකුණු යුරෝපයට. විශේෂයෙන් ගී‍්‍රසියට හා ස්පාඤ්ඤයට යම් ප‍්‍රමාණයකට පෘතුගාලයට, ඉතාලියට, අයර්ලන්තයටත් මේක යන්න ඉඩ තියෙනවා.

විශේෂයෙන් ලංකාවේ වමට තිබුණු අවාසි සහගත තත්වය ලෝක පරිමාණයෙන් පහවෙමින් තිබුණත් ලංකාව තුළ එය එලෙස සිදුවෙන්නෙ නෑ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි 1964න් පස්සෙ ඇතිවුණු සභාගවාදය. ධනේශ්වර පන්තිය සභාගගත වීමේ දේශපාලනය 1975 වෙනකොට පක්ෂ ඒකෙන් කැඩුණත් ඒ දේශපාලනය මැරෙන්නෙ නෑ. සෑම වමේ පක්ෂයක්ම අඩු වැඩි විදිහට බැඳී ඉන්නව ධනේශ්වරය සමඟ ගනුදෙනු කරපු දේශපාලන ගමනකට යන්න. දැන් ඒක අපිට පෙනුණ පරණ සමසමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් මෙයින් මිදුණෙ නෑ. ඔවුන් 1975දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් සමඟ තිබෙන සන්ධානය කඩාබිඳ දැමුවා.

  •  අනෙකුත් වාමාංශික බලවේග මොකද කරන්නෙ?

අලූත් වම විශේෂයෙන් නව සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අපිට පේනවා ඒ දේශපාලනයටම ඇදී යනවා. ඒක පැහැදිලි වුණා. 2004දි ජනතා විමුක්ති පෙරමුණ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් සමඟ සන්ධානගත වීමත් එක්ක. එයින් පසුව ඔවුන් කෙළින්ම සම්බන්ධ නොවුණත් ෆොන්සේකා සමඟ මෛතී‍්‍රපාල සිරිසේන සමඟ මේ සෑම අවස්ථාවකම කිසියම් ආකාරයක සන්ධානගත දේශපාලනයකට ගමන් කළා. වමේ ස්වාධීන දේශපාලනය පාවාදීම වමේ ව්‍යාපාරය දුර්වල වීමට එක හේතුවක් වශයෙන් පෙන්නුම් කරන්න අවශ්‍යයි.

දෙවැනි කරුණ, වම කෙරෙහි කෙනෙක් බලන්නෙ ඒක දේශපාලනික බලයක් වශයෙන් යම්කිසි ප‍්‍රතිපත්ති මාලාවක් කි‍්‍රයාත්මක කරවිය හැකි ධාරාවක් වශයෙන්. එක්දහස් නමසිය හැට ගණන්වල වමට අපි කොහොමද අධ්‍යාපනය සංවිධානය කරන්නෙ, අපි කොහොමද සෞඛ්‍ය සංවිධානය කරන්නෙ යනාදි විදිහට මතුවෙන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න වැඩපිළිවෙළක් සකස් කරගෙන තිබුණා. නමුත් බලය ලබා ගත්තම මොකක්ද ඇත්තටම කරන්නෙ කියන ප‍්‍රශ්නය ලංකාව වගේම වෙනත් රටවලටත් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් මං ඔවුන්ගෙ මහරගම රැුස්වීමෙ අනුර කුමාර කතා කරන විදිහ නිරීක්ෂණය කළා. ධනේශ්වර පක්ෂෙක නායකයෙක් කතා කරන විදිහට වඩා ලොකු වෙනසක් ඒකෙ නෑ. ඔහුගෙ කතාවයි ලාල් කාන්තගෙ කතාවයි අතර තිබුණ වෙනසෙනුත් ඒක පැහැදිලියි. එතකොට අපට පේනවා මේ නව වම කියල උන්නු සංවිධානයත් අවුල් සහගත තත්වයක ඉන්නෙ. මොනවද කරන්නෙ, මොකක්ද දේශපාලන ව්‍යාපෘතිය, මොකක්ද දේශපාලන වැඩපිළිවෙළ කියල අවුල් සහගත තත්වයක සිටීමත් මං හිතන්නෙ වමට යළි ගොඩ ඒමට තිබෙන බරපතළ වූ ප‍්‍රශ්නයක්. මේ තත්වය තුළ කෙසේද ගොඩ එන්නෙ කියල පැහැදිලි අදහසක් අපට වම තුළ තවම දකින්න නෑ.

සංවාද සටහන – රිවිහාර පින්නදූව