තහනම් වචනය නැතිව ‘පැයක් පමණයි’

press_nationජූලි 14 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවතින දේශපාලන තත්වය පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් සිදු කළේය. ඒ ප‍්‍රකාශයත් සමඟ තත්වය යළිත් වෙනස් වී ඇත. මහින්දට මෛත‍්‍රී නාමයෝජනා ලබා දීමෙන් පසුවත් මෛත‍්‍රී පාවා දෙන්නකු යැයි කීමට ඉක්මන් නොවන ලෙස පැවසූ අය ‘ ඕක තමයි අපි කිව්වේ’ කියා සතුටු වෙමින් සිටී.

‘මෛත‍්‍රී පාවා දුන්නා’ කියා ජනවාරි 8 වැනිදා වන විට මෛත‍්‍රී වටා රොක් වී සිටි බලවේගයෙන් කෑල්ලක් කඩා ගැනීමට සිටි ජනතා විමුක්ති පෙරමුණ වැනි කොටස් වික්ෂිප්ත වී ඇත. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිකර නිසා වහාම මධ්‍යම කාරක සභාව කැඳවන්නැයි ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩිලාන් පෙරේරා වැනි පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ප‍්‍රකාශ නිකුත් කරති. මෛත‍්‍රීපාල මහින්දට නාමයෝජනා ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුව ආරක්ෂා කරන ස්ථාවරයකට පැමිණි අතර ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දුන් ඇතැමුන් ිමෛත‍්‍රී ගැන හදිසි නිගමන නොදී කල් බලන ස්ථාවරයකට පැමිණියේය. එහෙත් පුරවැසි බලයද ඇතුළු ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීට සහය දුන් සංවිධාන හා පුද්ගලයන්ගෙන් බහුතරය මෛත‍්‍රීට ද්‍රෝහී චෝදනාවෙන් හා පාවාදීමේ චෝදනාවෙන් පහරදීම ඇරඹුවේය. ඒ බලවේග අමනාප කරගැනීම තමන්ගේ දේශපාලන අනාගතය මුළුමනින්ම විනාශ කර ගැනීමක් බව මෛත‍්‍රී දැන සිටියේය. මේ විශේෂ ප‍්‍රකාශය සිදු කෙරෙන්නේ එවන් වටපිටාවක් තුළය. ප‍්‍රකාශයත් සමඟ මෛත‍්‍රී යළිත් ද්‍රෝහියාගේ භූමිකාවේ සිට වීරයාගේ භූමිකාවට පිම්මක් පැන තිබේ.

  •  මෛත‍්‍රීගේ දේශපාලන ගැට

බොහෝ දෙනා හිතාගෙන සිටින්නේ දේශපාලනයේ ඉදිරි ගමන හා ආපසු හැරීම් තීරණය වන්නේ තනි තනි මිනිසුන්ගේ හොඳ – නරක මත කියාය. ඔවුන්ට අනුව ‘හොඳ සිතිවිලි හා හොඳ අරමුණු’ සහිත මිනිසුන් පාලන බලයට ඔසවා තැබීමෙන් නරක හා නපුර පරාජය කළ හැක. එහෙත් ඉතිහාසය නිර්මාණය වන්නේ පුද්ගලයන්ගේ හොඳ නරක මත නොවන බව මාක්ස්වාදය කියයි. ඉතිහාසයේ ගමන තීරණය වන්නේ දැවැන්ත ඓතිහාසීය භෞතික බලවේග මතය. පුද්ගලයන්් ඒවායේ හුදු නූල් රූකඩ නොවන බව හැබෑය.

එහෙත් තනි තනි පුද්ගලයන්ට ඉතිහාසය තමන්ගේ අභිමතය මත හැසිරවිය නොහැක. දේශපාලනයද එසේය. මෛත‍්‍රීපාලගේ අත්දැකීම යළිත් වරක් තහවුරු කරමින් පවතින්නේ ඒ කරුණයි. මේ මොහොතේ මෛත‍්‍රීපාලගේ ක‍්‍රියාකාරීත්වයන් දර්ශනයේ භාෂාවෙන් කියන්නේ නම් නිරූපණය කරන්නේ ‘සිය කැමැත්තෙන් පරිබාහිරව පවතින බලවේග හා මිනිස් විෂය අතර පවතින සම්බන්ධයේ සංකීර්ණත්වයයි’.

මෙය දර්ශනය පිළිබඳ පාඩමක් නොවන නිසා අපි මෛත‍්‍රීපාලගේ හැසිරීම පිළිබඳ මඳක් ආපසු හැරී බලමු. පසුව ඒ අත්දැකීමට දර්ශනය එකතු කරගත හැක. මෛත‍්‍රීපාලත් මහින්දත් රනිලූත් අතර ප‍්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනස්කම් නැත. ඇත්තේ පුද්ගල පෞරුෂයන්ගේ වෙනස්කමුත් පන්ති පදනම්වල හා පවුල් පදනම්වල ඇති වෙනස්කමුත් නිසා නිර්මාණය වූ සරල විවිධත්වයකි. ඒවා අතර ඕනෑම මොහොතක එකඟතාවක් ඇති විය හැක. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ මහින්ද සියලූ බලය තමන් අතට මධ්‍යගත කරගෙන ඇමැතිවරුන්ගේ සරල රුචිකත්වයන්ට පවා ඉඩ නොදී පවත්වාගෙන යන සිය ආඥාදායකත්වය නිසා මහින්දත් මෛත‍්‍රීත් අතර ප‍්‍රතිවිරෝධයක් විය.

තමන් ජනාධිපතිවරණයට තරග කරන බව පැවැසීමට මෛත‍්‍රී කළ මාධ්‍ය හමුවේදී මෙය ප‍්‍රකාශයට පත්වූයේ ඔහුගේ මහවැලි ඇමැතිකම උදුරාගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙසය. එහෙත් සංස්කෘතිකව ගත් කළ මෛත‍්‍රීට වඩා සමීප වන්නේ මැදමුලනේ මහින්ද මිස ඉංගී‍්‍රසි මව්බස ලෙස භාවිත කරන කුරුඳුවත්තේ රනිල්ලා චන්ද්‍රිකාලා නොවේ. ඒ නිසා මෛත‍්‍රී සහ රනිල් අතරද ප‍්‍රතිවිරෝධයක් තිබේ. පසුගිය මාස කිහිපය තුළ මෛත‍්‍රීගේ විපරීත හැසිරීම මේ ප‍්‍රතිවිරෝධයන්ගේ ප‍්‍රතිඵලයකි. නමුත් ඒ ප‍්‍රතිවිරෝධයන් හමුවේ ඔහුගේ හැසිරීම තීරණය කෙරෙන්නේ දේශපාලන ප‍්‍රතිපත්ති හෝ සමාජ යහපැවැත්ම මත නොව ඔහුගේම බල උවමනාවන් මතය.

මහින්ද එළවීමේ සටන් පාඨයේ නායකයා බවට පත්වූ මෛත‍්‍රී මුලින් රනිල් අගමැති කර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේය. ජූලි 14 කතාවේදී ඔහු මහින්ද පරාජිතයකු බවත් මහින්දට යළි බලයට ඒමට ඉඩ දිය යුතු නැති බවත් පවසන්නේ ඒ මනෝභාවයන් හා ඒවා සමඟ බැඳුණු බලවේග සන්තර්පණය කිරීම සඳහාය. සන්ධානයට මහ මැතිවරණයෙන් ජයගත නොහැකි බවත් ජය ගත්තද මහින්දට අගමැති වීමට ඉඩ නොදෙන බවත් ඔහු කියන්නේ ඒ අනුවය. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතරද එක්සත් ජාතික පක්ෂය අතරද ප‍්‍රතිවිරෝධයක් තිබේ. මෛත‍්‍රී හා රනිල් අතරද පරස්පරයක් තිබේ. මෛත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිය නායකත්වය හා එහි ඒකමිතිය ගැනද සිතන අතර මහින්දට නාමයෝජනා ලබාදීමට තීරණය කරන්නේ ඒ නිසාය. එම තීරණය ඔහුගේ කැමැත්තෙන් පරිබාහිරය. ඒවා තීරණය වන්නේ දේශපාලන බලවේගවල හැසිරීම අනුවය.

මහින්දට අකමැති කෙනෙක් ජනාධිපති වූවාට මහින්ද පරාජය නොවන බව අප හැමදාමත් කිව්වේ ඒ නිසාය. ජූලි 14 ප‍්‍රකාශයේදී රනිල් අවංක නම් මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කළ යුතු යැයි කියමින්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පනත, ජාතික විගණන පනත හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට එජාපය කටයුතු කළා යැයි නහයෙන් අඬමින්ද ඔහු පෙන්වන්නේ ඒ ප‍්‍රතිවිරෝධයයි. ඒ සියල්ල මැද ජනවාරි 8 වැනිදා වන විට තමන් වටා සිටි බලවේග රැුකගැනීමටද මෛත‍්‍රීට අවශ්‍ය වී තිබේ. ඒ මහින්ද අගමැති වුවහොත් අදාළ නොවන චරිතයක් වීමට හෝ බලය අහිමි වීමට ඉඩ ඇති නිසාය. ඔහුගේ විශේෂ ප‍්‍රකාශය එන්නේ ඒ අනුවය. සන්ධානය දිනුවොත් මහින්ද හැර අගමැති වීමට වෙනත් ජ්‍යෙෂ්ඨයන් ඇතැයි කියන්නේ කෙසේ හෝ ශ‍්‍රීලනිපයේ ඉහළ තට්ටුවේ කෑල්ලක් තමන්ට දිනා ගැනීමටය.

බැලූ බැල්මට පෙනෙන්නේ මෛත‍්‍රී තමන්ට අකමැති දේ කරමින් ඒ අකමැති දේ කිරීම ගැන සමාජය ඉදිරියේ පශ්චාත්තාප වෙමින් සිටින බවය. එහෙත් ඔහු අකමැති දේ කිරීම මෙන්ම පශ්චාත්තාප වීමද තමන්ට දේශපාලන වටිනාකම් උරාගැනීම සඳහා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ය. මේ සියල්ල බල අරගලයේ ප‍්‍රතිඵලයක් මිස ප‍්‍රතිපත්තිමය ගැටුමක ප‍්‍රතිඵල නොවේ. මේ ඉතිහාසය ගලා යන ආකාරයයි. දේශපාලනය පුද්ගලයන්ගේ හොඳ – නරක මත හෝ පුද්ගල රුචි – අරුචිකම් මත තීරණය වන්නේ යැයි සිතූ අයට ඉගෙන ගැනීමට මීට වඩා හොඳ පාඩමක් තවත් නැත.

  •  තහනම් වචනය හා මාතෘකාව

සිය කතාවේ 46 වැනි මිනිත්තුවේදී ජනාධිපතිවරයා මෙවැනි අදහසක් ප‍්‍රකාශ කළේය. ‘‘අද මේ දේශපාලන අර්බුදය… මේ පුද්ගලයෙක් ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ගැන කතා කරනවා. නැහැ මේ අර්බුදය මහින්ද රාජපක්ෂ නෙවෙයි. මේ සමස්ත අර්බුදය ගන්න. මේ පුද්ගලයා නෙවෙයි. මේ සමස්ත අර්බුදය අරගෙන විග‍්‍රහයකට යන්න.” ‘මෛත‍්‍රී කියන්නේ අර්බුදය මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාගේ අර්බුදයක් නොව සමස්තයම’ අර්බුදයක පවතින බවය. මේ සමස්තය කුමක්ද? මෛත‍්‍රී ඔහුගේ කතාවේදී සමස්තය ගැන කතා කරන්නේ නැත. ඔහු කියන්නේ මේ සියල්ලට හේතුව දේශපාලනය ධනෝපායන මාර්ගයක් බවට පත්වූ මනාප පොරය සහිත වත්මන් දේශපාලන ක‍්‍රමය බවය. දැන් මන්ත‍්‍රී ධුරය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇති නිසා රට විනාශ වන බව ඊට දින දෙකකට පෙර ලක්ෂ්මන් කිරි ඇල්ලද මහනුවර රැුස්වීමකදී පවසා තිබිණි. ලක්ෂ්මන් කිරිඇල්ල නොකියන කරුණක් ඇත. ඒ අධ්‍යාපනය – සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවාවන්ද ස්වාභාවික පරිසරයද මිනිස් ශරීරයද මානව සංස්කෘතියද ඇතුළු සියල්ල වෙළෙඳ භාණ්ඩ වන ලෝකයක මන්තී‍්‍ර ධුරය පමණක් වෙළෙඳ භාණ්ඩයක් නොවී රැුකෙන්නේ නැත. යකඩ පිලිස්සුණු ගෙදර පුළුන් ඉතිරි වන්නේ නැත. ‘සමස්තය’ යනු දේශපාලන ක‍්‍රමය පමණක් නොව සමාජ – ආර්ථික ක‍්‍රමයයි. කිරිඇල්ල මෙන්ම මෛත‍්‍රීපාලද සඟවන්නේ එයයි.

මෛත‍්‍රීගේ සමස්ත ප‍්‍රකාශය ගත් කළ එහි හැමතැනම ඇත්තේ ධනවාදය මුහුණ දී ඇති අර්බුදයයි. ධනේශ්වර ආර්ථිකය, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ධනේශ්වර පාලන ආධිපත්‍යය දක්ෂිණාංශික දේශපාලන පක්ෂ මුහුණ දී ඇති අර්බුදයයි. එම අර්බුදය කෙතරම් බරපතළද යත් සියලූ පුද්ගල හොඳ-නරක, පුද්ගල රුචි-අරුචිකම් තළා පොඩිකර ගෙන අර්බුදය ඉදිරියට ඇදෙන ආකාරය තේරුම් ගැනීමට මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ඉතා වැදගත්ය. දක්ෂිණාංශික දේශපාලකයන්ට තවදුරටත් ප‍්‍රතිපත්ති අදාළ නොවන බවත් ඔවුන්ගේ ඇසිපිය පවා සැලෙන්නේ බල උවමනාවන්ට අනුව බවත් තේරුම් ගැනීමට ඒ ප‍්‍රකාශය තවත් වැදගත්ය. මෛත‍්‍රීගේ පැයක කතාවේ තහනම් වචනය ‘ධනවාදය’යි. ඔහු ‘ධනවාදය’ නමැති වචනය එක්වරක්වත් භාවිත නොකර ධනවාදයේ අර්බුදයත් එහි අසමත්කමත් ගැන කතා කරන්නට උත්සාහ කරයි. කලකට පෙර ගුවන් විදුලියේ තහනම් වචනය නොකියා විනාඩියක් කතා කළ යුතු ‘විනාඩියක් පමණයි’ නමින් වැඩසටහනක් තිබිණි. මෛත‍්‍රී එක විනාඩියක් නොව පැයක්ම දක්ෂ ලෙස කතා කළේය. විවෘතව කියන්නේ නම් එය උගුරට හොරා බෙහෙත් කැමකි. ඇත්ත ප‍්‍රශ්නය ඇත්තේ ධනවාදී ක‍්‍රමයේ බව මෛත‍්‍රී – රනිල් පවා දනී. එහෙත් ඔවුන් ‘ධනවාදය’ යන වචනය භාවිත නොකර එයට කියන්නේ ‘මහින්ද’ කියාය. මේ සැරසෙන්නේ යළිත් වරක් ‘රාජපක්ෂ විරෝධය’ නමැති කනෙන් රිංගා තමන්ගේ බලය චිරස්ථායි කර ගැනීමටටය. ඊට පසුව මහින්ද විරෝධය යල් පැනගිය

පසු ක‍්‍රමය තිරිහන් කිරීමට මෛත‍්‍රී විරෝධය, රනිල් විරෝධය භාවිත කළ හැක. මේ උගුලෙන් ගැලවෙන්නේ කෙසේද? පාර සොයාගත යුත්තේ රාජපක්ෂ පාලනයක්, මෛත‍්‍රිපාලනයක්, එජාප පාලනයක් තුළ නොව පොදු ජනතාවගේ බලයක් තුළය. වමේ බලයක් තුළය. එය ආරම්භ කළ හැක්කේ මෛත‍්‍රීගේ කතාවේ ‘තහනම් වචනය’ අපේ කතාවල මාතෘකාව බවට පත් කිරීමෙනි.