චම්පික රණවක – තිස් වසරක රූප පෙළහර

Champika 1දිනය 1987 ජූලි 28 වැනිදාය. ඉන්දු ලංකා ගිිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ඊට පසුදිනය. ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් ‘මවුබිම සුරැුකීමේ ව්‍යාපාරය’ විසින් කොළඹ කොටුවේ බෝ ගස අබියස සංවිධානය කොට තිබුණි. පෙ.ව. 8.30 ට මාදුළුවාවේ සෝභිත හිමි සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බෝගහ අසලට පැමිණි අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක සිය පුත‍්‍ර අනුර බණ්ඩාරනායක සමඟ පෙ.ව. 9.00ට සත්‍යග‍්‍රහයට වාඩි වූවාය. මෙම අවස්ථාවට ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කළ විශාල පිරිසක් එක්වී සිටියහ. මේ විරෝධතාකරුවන් අතර ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරීහුද ඒකරාශී වී සිටියහ.

එදින දහවල් වන විට කලබල පටන් ගත්තේය. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් පුපුරා ගිය අතර විරෝධතාකරුවෝ ප‍්‍රචණ්ඩ ලෙස පොලිසියට ප‍්‍රතික‍්‍රියා දැක්වූහ. පොලිස් වෙඩි පහර විරෝධතාකරුවන් වෙත එල්ල විය. විරෝධතාකරුවෝ බස් සහ ගොඩනැඟිලි ගිනි තබන්නට වූහ. ලේක්හවුස් ගොඩනැඟිල්ලට පහර දෙන ලදී. විරෝධතාකරුවන් මෙලෙස වීදි කැරලි ඇති කරද්දී ඒ විරෝධතාව මධ්‍යයේ සිටි එක් අප‍්‍රකට තරුණයෙක් තමා සමඟ සිටි සගයාට මෙසේ පැවසීය.

”මේ තමයි පූර්ව විප්ලවීය ප‍්‍රචණ්ඩ ක‍්‍රියා”

එම තරුණයා එවකට මොරටුව විශ්වවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකි. ඔහු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක‍්‍රියාකාරිකයෙක් ලෙස එවකට කටයුතු කරමින් සිටියේය.

ඉන්දු – ලංකා ගිවිසුම අවස්ථාවේ ඇති වූ වීදි කැරලි ‘පූර්ව විප්ලවීය ප‍්‍රචණ්ඩ ක‍්‍රියා’ ලෙස ආශ්වාදයෙන් හැඳින්වූ මෙම තරුණයා පසුගිය ජූලි 12 වැනි දා ‘යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ’ ස්ථාපිත කිරීමේ ගිවිසුම මත සිය අත්සන තැබුවේය. ඔහුට යාබදව සිට එම ගිවිසුමට අත්සන් තැබුවේ එම තරුණයා ඇතුළු බොහෝ පිරිස් 1987 දී ‘පූර්ව විප්ලවීය ප‍්‍රචණ්ඩ ක‍්‍රියා’ වලින් අභියෝගයට ලක්කිරීමට උත්සාහ කළ එක්සත් ජාතික පක්ෂ රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙක්ව සිටි, වත්මන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහය. මෙම අවස්ථාවේ පිරිත් සජ්ජායනය කළ අතුරලියේ රතන හිමි වික‍්‍රමසිංහගේ අතේ සහ අපගේ කථානායකගේ අතේ පිරිත් නූල් බැන්දේය. ඒ අනුව පාඨලී චම්පික රණවක සහ රනිල් වික‍්‍රමසිංහ නිල වශයෙන් සන්ධානයකට ඇතුළු වූහ.

රූප මාරුවේ අසිරිය

චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ කොටස් එජාපය සමඟ මැතිවරණ සන්ධානයකට එළඹීම මේ දිනවල රට තුළ මාතෘකාවක් වී තිබේ. හෙළ උරුමය මහින්ද රාජපක්ෂ කඳවුර සමඟ භේද වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේදීය. හෙළ උරුමය පසුගිය දශකයක පමණ කාලය තුළ එජාපය වෙත බරපතළ විවේචන එල්ල කළේය. ‘රට කොටියාට පාවා දුන්’ දේශද්‍රෝහී පක්ෂයක් ලෙසය එජාපය ඔවුන් විසින් හංවඩු ගසනු ලැබුවේ. සාමාන්‍යයෙන් සිංහල ජාතිකවාදී කතිකාව තුළ එජාපය ස්ථානගත වී තිබෙන්නේ ‘දෙමළ බෙදුම්වාදයට ලැදි පක්ෂයක්’ ලෙසය. එහෙව් එජාපය සමඟ සිංහල ජාති හිතෛශී චම්පික ප‍්‍රමුඛ හෙළ උරුමය සන්ධානගත වීම මේ අනුව බොහෝ අයට විමතියට කරුණක් වී තිබේ.

කෙසේවුවද චම්පික රණවකගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට මෙබඳු ‘පොලාපැනීම්’ එම අතීතයට ආගන්තුක වූවක් නොවේ. චම්පිකගේ වර්තමාන වෙස් පෙරළි හඳුනාගැනීමට නම් ඔහුගේ අතීත වෙස් පෙරළි ගැන අදහසක් ඇතිකරගැනීම වැදගත් වන්නේ ඒ නිසාය.

කැරලිකරුවන්ගේ ගමන් සගයා

1965දී උපත ලබන චම්පික රණවක ‘80 දශකය මුල් භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ අනුසාරයෙන් සිය දේශපාලන මුල්පොත කියවූයේය. හෙතෙම 1984දී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වේ. එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සාපේක්ෂ බහුවිධතාවක් සහිත ව්‍යාපාරයක් විය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ තුළ බලවත් භූමිකාවක් ඉටු කරන ලද අතර වෙනත් පක්ෂවලට හා කණ්ඩායම්වලට අයත් ක‍්‍රියාකාරීන්ද ඒ තුළ සැලකිය යුතු ක‍්‍රියාකාරීත්වයක සිටියේය. ශිෂ්‍ය දේශපාලනය තුළ සක‍්‍රීය වන චම්පික රණවක 1986 පමණ වන විට තමා ‘මාක්ස්වාදය තවදුරටත් පිළිනොගන්නා බව’ ප‍්‍රකාශ කරයි. ඒ අනුව ඔහු ජවිපෙ සහ තමා අතර න්‍යායික පරතරය සලකුණු කරගනී.

කෙසේවෙතත් 87-89 ජවිපෙ දෙවැනි සන්නද්ධ අරගලයේ මුල් වකවානුව තුළ චම්පික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සක‍්‍රීය චරිතයක් ලෙස ක‍්‍රියා කරයි. 1988 ජනාධිපතිවරණය සඳහා ‘දේශපේ‍්‍රමී සන්ධානයක්’ ඇති කිරීම සඳහා ශ‍්‍රීලනිපය හා ජවිපෙ අතර යම් සාකච්ඡා ක‍්‍රියාවලියක් දියත්ව තිබූ අතර මේ සාකච්ඡා සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය සක‍්‍රීයව සම්බන්ධ විය. ‘ඉන්දීය ආක‍්‍රමණයට විරුද්ධව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණක්’ යන්න මෙම සාකච්ඡාවල ගැබ්ව තිබූ පරමාර්ථයයි. ජවිපෙ සාමාජිකයෙක් නොවූවත් එතෙක් චම්පික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ජවිපෙට සමගාමී, හිතවත් භූමිකාවක පසුවිය. ඒ වන විට දකුණු ලංකාවේ ඇති වී තිබූ ‘දේශපේ‍්‍රමී අරගලය’ තුළ ජවිපෙ නායකත්ව භූමිකාව ඉෂ්ට කළ අතර චම්පිකගේ සිංහල ජාතිකවාදී නැඹුරුව තුළ ඔහු ජවිපෙට එරෙහි මර්දනය උග‍්‍ර වන තෙක් ජවිපෙ සමඟ සමාන්තරව හිටගෙන සිටියේය.

ජවිපෙ සහ ශ‍්‍රීලනිපය අතර 1988 ජනාධිපතිවරණය සඳහා නිසි එකඟත්වයක් ඇති නොවීම මත ‘ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ’ සඳහා වූ සාකච්ඡා බිඳ වැටුණි. මෙහිදී ජවිපෙ සමඟ සිටි ජවිපෙ නොවන සිංහල ජාතිකවාදීන් බොහෝ දෙනා කියන්නේ ජවිපෙ ශ‍්‍රීලනිපයට එම මැතිවරණය තුළ සහයෝගය දිය යුතුව තිබූ බවයි. චම්පික ජවිපෙන් තීරණාත්මකව බෙදී වෙන් වන අවස්ථාව මෙයයි. ඉක්බිති එළඹෙන භීම සමය තුළ ජවිපෙ සන්නද්ධ අරගලයේ විවේචකයෙක් බවට ඔහු පරිවර්තනය වී සිටියේය.

රතු කොඩියෙන් සිංහ කොඩියට

Champika 21989 භීම සමය අවසාන වූ පසු චම්පික කරළියට එන්නේ ‘ජනතා මිතුරෝ’ සංවිධානය සමඟය. මේ වූ කලී නලින් ද සිල්වා ඇතුළු ජාතික චින්තන ගුරුකුලය ‘සමාජවාදය වෙත මාක්ස්වාදී නොවන අර්ථකථන’ ලබාදීමට උත්සාහ කරමින් සිටි යුගයයි. ‘හෙටවත් රතු මල් පිපේවිදැයි බලමු ’ හිසින් ලියන පොත් පිංචකින් ජවිපෙ අරගලයෙන් සිය බෙදීම සටහන් කරන චම්පික ඉක්බිති ‘හරිත සමාජවාදය’ සිය දර්ශනය ලෙස ඉදිරිපත් කරන්නේය. ඒ අනුව ‘70-‘80 දශකවලදී යුරෝපීය වාම දේශපාලනය තුළ ජනප‍්‍රිය වූ වාම පරිසරවාදය ලංකාව තුළ විධිමත්ව කතාකරන පුරෝගාමියා ලෙස හෙතෙම ඉස්මතු විය. අලූත් තේමාවක් ඉදිරිපත් කළත් ‘ජනතා මිතුරෝ’ සංවිධානය එතරම් ප‍්‍රබල ලෙස සමාජය තුළ තහවුරු වන්නේ නැත. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වෙද්දී ජනතා මිතුරෝ ඇයට බලයට පත්වීම සඳහා ආධාර කරයි. 1994දී ජවිපෙ නැවත ප‍්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන විට ඒ වන විටත් ඊට එරෙහිව කටයුතු කරමින් සිටි ‘ජනතා මිතුරෝ’ ක‍්‍රමානුකූලව පසෙකට තල්ලූ වී යයි.

හරිත සමාජවාදය සමඟ වේදිකාවෙන් බැස යන චම්පික ඉක්බිති වේදිකාවට නගින්නේ හාත්පසින්ම වෙනස් රූපයක් සමඟය. 1990 දශකය අගභාගය වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ජාතික ප‍්‍රශ්නයට බලය බෙදීමේ විසඳුමක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටි අතර මෙයට එරෙහිව සිංහල සමාජයේ ජාතිවාදී පිරිස් වෙතින් විරෝධතා ගොනු වෙමින් පැවැතිණ. හරිත සමාජවාදයේ සිට උග‍්‍ර සිංහල ස්වෝත්තමවාදය වෙත චම්පික පිම්මක් ගසන්නේ ඊට සමගාමීවය. ඒ අනුව චම්පික ‘ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ පිහිටුවීමෙහිලා මූලික වේ. ‘සිංහල වීරවිදහන’ බඳු සංවිධාන, සිංහල ව්‍යාපාරිකයන්, සිංහල වෘත්තිකයන් ආදීන්ගෙන් යුක්ත සිංහල ව්‍යාපාරයක් ඇති කිරීම ඒ අනුව චම්පිකගේ ඊළඟ ව්‍යාපෘතිය වන්නේය. සිහල උරුමය යනු මෙම ව්‍යාපෘතියේ තාර්කික ප‍්‍රතිඵලයයි. ‘සිහල අභියෝගය’ නමින් පොතක් ලියන චම්පික ජනගහනයෙන් සුළුතරයක් වන ජාතික කොටස්වලට එරෙහිව සිංහල සමාජ මනෝභාවය සංවිධානය කිරීම සඳහා සක‍්‍රීයව මැදිහත් වන්නේය. බලය බෙදීමේ යෝජනාවලට දැඩි ලෙස විරුද්ධ වන ඔහු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් සමූල ඝාතනය කිරීම වෙනුවෙන් ප‍්‍රකටව අදහස් දක්වයි.

සිහල උරුමයද කෙසේවූවද සිතූ තරම් සාර්ථක වන්නේ නැත. 2001 මහ මැතිවරණයේ දී සියලූ ජාතිවාදී සටන් පාඨ ඇද බෑමෙන් පසු වුව එම පක්ෂයට ලැබෙන්නේ එක් මන්ත‍්‍රී ධුරයකි. මෙය බෙදාගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති වන අතර චම්පික රණවකටද අවසානයේ පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේය. 2001දී ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම සඳහා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ වේලේ එයට විරුද්ධ වූ එකම මන්ත‍්‍රීවරයා චම්පික රණවකය. විධායක බලතල ශක්තිමත්ව තිබීම රාජ්‍යයේ ‘ඒකීයභාවය’ සඳහා වැදගත්ය යන්න එවකට ඔහුගේ තර්කය විය.

සිහල උරුමය තුළ එක තැන පල්වෙමින් තිබූ චම්පිකගේ ව්‍යාපෘතිය අලූත් පිම්මක් ගන්නේ 2003 වර්ෂයේදී ගංගොඩවිල සෝම හිමි අභාවයට පත් වීමත් සමඟය. එම හදිසි මරණය ගැන සිංහල සමාජය තුළ ඇති වූ කම්පනය රැල්ලක් බවට පත් වන අතර භික්ෂූන් ඍජුව පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණිය යුතුය යන සමාජ මතය ඒ අනුව ඇති විය. වහා ක‍්‍රියාත්මක වන චම්පික සිහල උරුමය ‘සඟසතු කොට මහා සංඝ රත්නයට පූජා කරන බව’ ප‍්‍රකාශ කරයි. ඒ අනුව සිහල උරුමය ‘ජාතික හෙළ උරුමය’ බවට පත්වේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට භික්ෂූන්ගෙන් පමණක් යුක්ත පාර්ලිමේන්තු කණ්ඩායමක් ඇති වේ.

අල් ජිහාද් – අල් කයිදා

කෙසේ වුවද ‘ස`ග සතු කතාව’ පවතින්නේ වසර කිහිපයකි. 2007දී ඕමල්පේ සෝභිත හිමි සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වන අතර චම්පික රණවක පාර්ලිමේන්තුවට ඇතුළු වී පරිසර ඇමැති ලෙස දිවුරුම් දෙයි. මේ කාලයේ චම්පික එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ ප‍්‍රබලතම ප‍්‍රකාශකයෙක් වන්නේය. මේ කාලය වන විට සිංහල ස්වෝත්තමවාදය දකුණ තුළ එහි උච්චතම අවධිය වෙත ළඟාවන අතර දෙමළ විරෝධී ස්වෝත්තමවාදයේ එක් පොල්මඃකරුවෙක් වන්නේ චම්පික රණවකයි.

ඔහු විසින් පාවිච්චි කරන ස්වෝත්තමවාදය දෙමළ විරෝධයෙන් ඔබ්බට ගොස් මුස්ලිම් විරෝධය දක්වාද දීර්ඝ වේ. 2008දී මුස්ලිම්වරුන් රටට ‘පිටස්තරයන් පිරිසක්’ ලෙස ඔහු ප‍්‍රකාශයක් කරන අතර රජයේ ඇමැතිවරයෙක් විසින් කළ මෙම ප‍්‍රකාශය මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධයට හේතු විය. යුද්ධය අවසාන වීමෙන් පසු රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනයාට එරෙහි ද්වේශ සහගත ව්‍යාපාරයක් ආරම්භ කළ විට චම්පික මුස්ලිම්වරුන්ට එරෙහි තමාගේම ප‍්‍රචාරක සටන් පෙරමුණක් ආරම්භ කළේය. ‘බොදු බල සේනා’ සංවිධානයේ වියරු මුස්ලිම් විරෝධී ප‍්‍රචාරයට සමගාමීව ‘අල් ජිහාද් – අල් කයිදා’ නමින් පොතක් ලියන චම්පික 2014දී අලූත්ගමදී ඇති වූ කුප‍්‍රකට මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහලයේදීද සිංහල මහජාතිවාදය ආරක්ෂා කරමින් අදහස් දැක්වීමට තරම් නිර්ලජ්ජිත විය.

මෙලෙස සිංහල ස්වෝත්තමවාදයේ හිණිපෙත්තෙහි පසු වූ චම්පිකට එකපාරටම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘යහපාලනය’ මතක් වන්නේ රාජපක්ෂ ජනාධිපති තෙවැනි වරට ජනාධිපති වීම සඳහා මැතිවරණයක් කැඳවීමට සූදානම් වීමත් සමඟය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එතෙක් චම්පිකගේ ශබ්දකෝෂය තුළ තිබූ වචනයක් නොවේ. 17 වැනි සංශෝධනයට පවා විරුද්ධව ඡුන්දය දුන් චම්පික එක්

රැයෙන් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෙක්’ ලෙස පොලා පනින්නේ බලා සිටියදීය. රාජපක්ෂ රජය යටතේ කේවල් කිරීම් බලයක් නොමැති වීම ආදී විවිධ කරුණු මෙම ක්ෂණික වෙස් මාරුවට බලපාන්නට ඇත. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පරාජය කිරීම සඳහා මෛත‍්‍රීපාල සමග එක්වූ චම්පික දැන් එතැනින් අඩියක් පෙරට තබා කලක් තමා විසින්ම විජාතික පක්ෂයක් ලෙස හංවඩු ගැසූ එජාපය සමඟ මැතිවරණ හවුලක් වෙත ගමන් කොට ඇත. (චම්පිකලාගේ භාෂාවෙන් කියනවා නම්) ‘රට කොටියට පාවා දුන් රනිල්’ සමඟ ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පටන්ගත් චම්පික එකට පිරිත් නූල් ගැට ගසා ගැනීමේ උත්ප‍්‍රාසවත් මොහොත උදාවන්නේ ඒ අනුවය.

නලින් ද සිල්වාට සිංහල ජාතිවාදය ‘සීරියස්’ දෙයක් වුවත් චම්පික රණවකට එය එසේ නොවන බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි. චම්පික රණවක යනු අධික උන්නතිකාමයක් සහිත දේශපාලඥයෙකි. මෙම උන්නතිකාමයට අමතරව සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයන් වෙත දක්නට නොලැබෙන වර්ගයේ බුද්ධියක්ද ඔහු සතුව පවතී. දැන් දැන් වර්ගවාදී හඩු ස්වෝත්තමවාදියාගේ සිට රාජ්‍ය තාන්ත‍්‍රික, මෘදු ජාතිකවාදියාගේ භූමිකාවට චම්පික මාරු වන සෙයක් පෙනී යමින් තිබේ. දෙමළ – මුස්ලිම් විරෝධයේ සිට වංචා දූෂණවලට එරෙහි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා නූතන දැනුම් ආර්ථිකයට ලැදි ‘බුද්ධිමත් සිංහල දේශපාලකයාගේ’ චරිතයට චම්පික ක‍්‍රමානුකූලව එළඹෙමින් සිටී.

ඉතිහාසය විචිත‍්‍ර රංගයන් සඳහා පසුතලය සපයන වේදිකාවකි. චම්පික ඒ මත හෙට රඟන්නට යන නැටුම බලා සිටීම සිත්ගන්නාසුලූ අත්දැකීමක් වනු ඇත්තේය.

විශේෂ ලියුම්කරුවකු විසිනි