රිසානා මෙන්ම නසුරාද වැලිකතරේ සැඟව ගියාය

nasura”කසාද බැඳපු දවසෙ ඉඳලා එක දවසක්වත් අපි දෙන්නා දෙතැනක ඉඳලා නෑ. අපි දරුවෝ පස් දෙනෙක් හැදුවා. ලොකු පුතාලා දෙන්නා බැඳලා වෙන්වෙලා හිටියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් තනිවම එක රැුයක් ඉඳලා නෑ. නසුරා ගුවන්තොටුපළෙන් ඇතුළට යනකොට මට දරාගන්න බැරි වුණා. චූටි කෙල්ලව බදාගෙන මම කෑ ගහලා ඇඬුවා. නසුරාත් ඔය ගමන යන්න හිත හදාගත්තේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා” පුත්තලමේ වැසියකු වන අබුතාහිර් මොහොමඞ් නිස්තාර් දිවයින පුවත්පතට එසේ පවසා තිබිණි. ඔහුගේ බිරිය වන වාහිද් ඉබතුල් නසුරා දුප්පත්කම පරදවන්නට හිතා සිය පවුල අතැර වැලිකතරට ගියාය. මැදපෙරදිග ගෘහසේවයට ගියාය. දැන් නසුරා වැලිකතර තුළ සැඟව ගොස් අවසන්ය. ඇගේ මරණය අදටත් අබිරහසකි. අද අප මේ සටහන තබන්නේ ලංකාවේ විදේශ විනිමය උල්පත් අතර අංක එකේ සිටින විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයන්ගේ ඛේදවාචකය ගැන යළිත් වරක් සිහිපත් කර ගැනුමටය.

නිස්තාර් සහ නසුරා පුත්තලමේ පදිංචි දිළිඳු පවුලක මව්පියන් දෙදෙනාය. ඔවුන්ට දරුවන් පස් දෙනකු විය. ඔවුන් ජීවත් වූයේ ඉතා අසීරුවෙනි. එදිනෙදා ජීවිතය ගෙනයාමට පවා මුදල් හදල් නැතිකමින් ඔවුන් විඳි පීඩාව අපමණය. නිස්තාර්ට හරිහැටි

රැුකියාවක් නොතිබිණි. ඔහු දවස් කුලියට මොනවා හරි කරමින් දරුවන්ගේ කුස් පිරවීමට වෙහෙසෙ විය. එදිනෙදා කටයුතු සඳහා පවා මුදල් ණයට ගැනීමට සිදු වූ නිසා මේ පවුලේ ණය බර දිනෙන් දින ගොඩගැසිණි. නිස්තාර් කියන ආකාරයට ඔවුන් දෙදෙනා කවදාවත් වෙන්ව ජීවත්ව නැත. එකිනෙකාට අනෙකා නැතිව බැරිතරම් බැඳීමක්ද තිබිණි. එහෙත් ඒ බැඳීම පරදවා දුප්පත්කමත් ණය හිමියන්ගේ හිරිහැරත් දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවත් පෙරට පැමිණියේය. නසුරා මැදපෙරදිග ගෘහසේවයට ගොස් ණය ගෙවීමට මුදල් සෙවීම හැර අන් විකල්පයක් නොවිණි. අවසානයේදී ඇය 2014 සැප්තැම්බර් 22 වැනි දින අංක භ4003075 දරන ගමන් බලපත‍්‍රයද අතැතිව සෞදි අරාබිය කරා ගියාය. නසුරාට වයස අවුරුදු 40ට වැඩි නිසා ඇයට රැුකියාවක් සොයාගැනීම පහසු නොවේ. නමුත් විදේශ

රැුකියා එජන්සිය ඇයගේ වයස අඩුවෙන් සඳහන් වන ගමන් බලපත‍්‍රයක් සකස් කර දුන්නේය. දැන් නසුරාද අයත් වන්නේ ආගමන විගමන නීති කැඩූ හා ව්‍යාජ ලේඛන සකස් කළ අපරාකරුවන්ගේ වර්ගයටය. නීතියේ ආධිපත්‍යය ගැන වහසි බස් දොඩන්නන් කියන්නේ ඔවුන්ට ව්‍යාජ ලේඛන සැකසීමට හා නීති කැඞීමට සිදු වූ හේතුව අදාළ නැති බවය. එය ජීවිතය බේරා ගැනීමට අදාළ දේශපාලන හේතුවක්ද ජීවන සුරක්ෂිතතාව රැුකගැනීමට අදාළ ආර්ථික හේතුවක්ද යන්න ඔවුන්ට අදාළ නැත. ඒ ‘නීතියේ ආධිපත්‍යය’ට ඔබ එකඟද?

කෙසේ වෙතත් නසුරා සෞදි අරාබියේ දමාම් නුවර ධනවත් නිවසක ගෘහසේවයට යොමු කෙරිණි. මුල්කාලයේ ඇගෙන් නිරන්තර දුරකථන ඇමතුම් ලැබිණි. නිරන්තරව ඇගේ දුරකථන ඇමතුම්වලින් වැටහී ඇති ආකාරයට ඇයට දුෂ්කර ලෙස වැඩවල නිරත වීමට සිදුව තිබේ. සෑම වේලකටම ආහාර සඳහා අමුත්තන්ද ඇතුළු හත් අට දෙනකු සිටින අතර ඒ සියලූ දෙනාට ආහාර පිසීමට ඇයට සිදු විය. ඇගේ ආහාර පිසීම ගැන නිවෙස් හිමියා මෙන්ම අසල්වැසියන්ද ප‍්‍රසාදජනක වූ නිසා ඇතැම් අවස්ථාවල ඇයට වෙනත් නිවෙස්වල ඉවුම්පිහුම් සඳහාද යාමට සිදු විය. ටිකෙන් ටික තත්වය අයහපත් විය. නසුරාගේ ස්වාමියා ඇයව වෙනත් නිවෙස්වල වැඩට යවා මුදල් ඉපැයීම ආරම්භ කළේය. ඇයට දවසකට ලැබෙන වැඩකන්දරාව දරාගත නොහැකි විය. මේ අතර හිංසනයද ඇරඹිණි. මුලින් පහරදීම් ඇරඹුණේ කම්මුල් පහරවල් ලෙසය. පසුව ඒවා සිහිනැති වනතුරු පහරදීම දක්වා වර්ධනය විය. සිය සේවා ස්ථානය වධකාගාරයක් වූ පසු නසුරා නිවසට කතා කර තමන්ව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අයැද සිටියාය.

කලබල වූ නිස්තාර් වහාම නසුරා විදෙස්ගත කළ විදේශ රැුකියා ඒජන්සිකරු සොයා ගොස් ඇයව යළි ලංකාවට ගෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. නිස්තාර් කියන හැටියට එසේ ඇයව ලංකාවට ගෙන්වා දීම සඳහා ගුවන් ටිකට්පත් හා අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය බව ඒජන්සිකරු පවසා ඇත. නිස්තාර්ට රුපියල් ලක්ෂයක් සොයාගැනීමේ කිසිදු මාර්ගයක් නොවිණි. බැරිම තැන ඔහු පදිංචි නිවසේ ඔප්පුව උකස්කර රුපියල් ලක්ෂයක් ගෙන ඒජන්සිකරුට ලබාදී ඇත. ඒ මුදල ලබාගැනීමෙන් පසු අද වනතුරුත් ඒජන්සිකරු ආගිය අතක් සොයාගත නොහැක. රුපියල් ලක්ෂයද අතුරුදන් විය. නිස්තාර් අසරණ විය. මේ අතර 2015 මාර්තු මාසයෙන් පසු නසුරාගේ දුරකථන ඇමතුම්ද නතර විය. නිස්තාර්ට කරකියා ගත දෙයක් නොමැති විය. මේ සියල්ල මැද සෞදි වැලිකතරට නසුරාගේ අවසන් හුස්ම මුසුවෙමින් තිබෙන බව නිස්තාර් දැන සිටියේ නැත.

දරුවන්ගේ කුස් පිරවීම සඳහා දිනක් පුත්තලම නගරයේ සුළු වෙළෙඳාමක නිරත වෙමින් සිටියදී නිස්තාර්ට පුවත්පතක සිය බිරිඳගේ ඡුායාරූප පළවී තිබෙනු දැකිය හැකි විය. ඡුායාරූපයට යටින් තිබූ පුවත් කියවූ නිස්තාර් විකුණමින් සිටි බඩු බිම අතහැර නගරය මැදම විලාප තබමින් කෑ ගැසුවේය. නගරයේ ජනයා ඔහු වටා රොක් විය. පුවත්පතේ තිබුණේ ලාංකික ශෘහසේවිකාවක් පිළිස්සුම් තුවාලවලින් සෞදි අරාබියේ අසීර් රෝහලේදී මිය ගොස් ඇති බවයි. පිලිස්සුණු කාන්තාවක් වැටී සිටිනු දැක පාරේ ගමන් කළ අය සිරුර රෝහලට ගෙන ගොස් ඇත. එක්කෝ ඒජන්සිකරු පවසා ඇත්තේ මුසාවකි. ඇයව සේවයට යවා ඇත්තේ දමාම්වල නොවේ. එසේත් නැත්නම් දමාම්වලදී ඇය පිලිස්සූ ඇගේ ස්වාමීන් සිරුර අනීර්වලට ගෙනැවිත් ඇත. මේ සිදුවීමට අදාළව කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශය බෝලය කොළඹ පිහිටි අදාළ රැුකියා ඒජන්සියට මාරු කරයි. රැුකියා ඒජන්සිය බෝලය පුත්තලමේ සිය ආයතනයේ තැරැුව්කරුට මාරු කරයි. තැරැුව්කරු රුපියල් ලක්ෂයත් සමඟ අතුරුදන් වී ඇත.

නිස්තාර් සටන අතහැරියේ නැත. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ නසුරාගේ සිරුර ලංකාවට ගෙන ඒමය. ඔහු තමා සතු සියල්ල විකුණා ගන්නට හැකි හැම තැනින්ම ණය ගෙන ඇගේ සිරුර ගෙනෙන්නට සෞදි අරාබියේ අසීර් රෝහලට ගියේය. මේ ඒ ගැන නිස්තාර් දිවයින පුවත්පතට පවසා ඇති කතාවයි.

”මම සල්ලි හොයාගෙන නසුරාගේ මිනිය ගේන්න සෞදියේ අසීර් රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ රටේ අදාළ ආයතනවලට ගිහින් අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. ඒ හැම තැනකින්ම කිව්වේ මගේ බිරිඳ ගිනි තියාගෙන මැරිලා කියලයි. එතකොට මම ඇහුවා එහෙම නම් ඇයි මඟ ගිහින් දාලා තියෙන්නේ කියලා. මගේ කතාව කවුරුවත් ඇහුවේ නෑ.

”උඹ කොහොමද එහෙම කියන්නේ. එහෙම නම් නඩු දාපන්” කියලා ඒ රටේ පොලිසිය මට බැන්නා.

ඒ වෙලාවේ මගේ නෝනා වැඩ කරපු ගෙදර අයත් එතැන හිටියා. ”නීති මාර්ගයෙන් කටයුතු කරන්න හැදුවොත් මිනිය දෙන්නේ නෑ” කියලා ඒ ගෙදර අයත් මට බලපෑම් කළා.

nasura 2මගේ නසුරාගේ මිනියවත් මට ෆොටෝ ගන්න දුන්නේ නෑ. ඉස්පිරිතාලෙ ඇතුළට ෆෝන් එකවත් ගෙනියන්න දුන්නේ නෑ. මම දවස් පහළොවක් සෞදියේ ඉඳගෙන බිරිඳගේ මරණයට සාධාරණයක් ඉටුකරගන්න බැලූවා. ඒත් වැඩක් වුණේ නෑ. ඒ රජයෙන්වත් මේ රජයෙන්වත් අපිට සාධාරණයක් ඉටු වුණේ නෑ. අඩුම තරමින් මගේ බිරිඳගේ මිනියවත් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නෑ. අන්තිමේ මම බිරිඳගේ දේහය සෞදියේ අබා අල් සරප් සුසාන භූමියේ භුමදාන කරලා ලංකාවට ආවා.

නසුරා වැඩ කරපු ගෙදරින් මාස දෙකක පඩිය කියලා රියාද් 1600ක් මගේ අතට දුන්නා. ඒ ඇරෙන්න වෙන කිසිම වන්දියක් නෑ. මගේ බිරිඳට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කර දෙන්න කියලා මම විදේශ සේවා කාර්යාංශයට ගිහින් කිව්වා. ඒත් කවුරුවත් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. රට යනකොට රක්ෂණය කළා. ඒත් රක්ෂණ වන්දියක් ලැබුණේ නෑ. අදාළ ආයතනවලට ගියාම එහාට යන්න මෙහාට යන්න කියනවා. වැඩක් වුණේ නෑ. අන්තිමටම විදේශ සේවා කාර්යාංශයට ගිය දවසේ කිව්වේ ”ඔයාගේ බිරිඳගේ පාස්පෝට් එක තවම ලංකාවට ඇවිත් නෑ. ඒ ආවහම මොනවහරි කරමු” කියලා. කවදද පාස්පෝට් එක එන්නේ කියලා ඇහුවම ඒක කියන්න බෑ කියනවා.”

රිසානා ගෙල කපා මරා දැමූ සේම නසුරා පුලූස්සා මරා දමා ඇත. ඇය සියදිවි නසා නොගත් බවත් ඇයව මරා දමා ඇති බවත් සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් දැන් මේ ඛේදවාචකයට වගකියන කෙනෙක් නැත. නිස්තාර් සිය දරුවන්ද සමඟ අසරණ වී සිටී. අවම වශයෙන් නසුරාගේ මළ සිරුරේ ඡුායාරූපයක්වත් නැත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයද සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයද මරනින්දේය. ඒ මරනින්ද මැද බොහෝ ශ‍්‍රමිකයන් සිය අවසන් නින්ද වැලිකතරේ ගෙවමින් සිටිති. නසුරා ඒ මහා ඛේදවාචකයේ එක් ගොදුරක් පමණි. අප ජීවත් වන සමාජය කෙතරම් විනාශකාරීද, අසාධාරණද, අයුක්තිසහගතද යන්න පිළිබඳව නසුරා එක් උදාහරණයක් පමණි.

මනෝජ් ප‍්‍රසන්න