කෙක්කෙන් බැරිනම් කොක්කෙන් ජාතිවාදය

අන්තර්ජාලය පුරා නැවත වරක් ජාතිවාදී සහ ආගම්වාදී අදහස් ප‍්‍රචාරය කරන්න පටන් අරන්. මේක මූලික වශයෙන්ම ක‍්‍රියාත්මක වෙන්නේ මුස්ලිම් විරෝධී ප‍්‍රචාරයක් විදියට. මේ සඳහා මෑතකදී ඇතිවුණු සිදුවීම් කිහිපයක් භාවිත කරමින් තිබෙනවා. මුලින්ම මේ ප‍්‍රචාරයන් ආරම්භ වූයේ ජූලි 15 වැනිදා පස්වරුවේ වැලිමඩ වෙළෙඳසැලක ඇති වූ සිදුවීමකින් පස්සේ. දෙවැනි වර යළිත් මේ ප‍්‍රචාරයන් උත්සන්න වුණේ ජූලි 19 වැනිදා කොළඹ ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ‍්‍රී ලංකා – පාකිස්තානු දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගය අතරවාරයේ ඇති වුණු ගැටුම නිසා. මේ වන විට එම ප‍්‍රචාරයන් කේන්ද්‍රගත වී තිබෙන්නේ ජූලි 20 වන විට වාර්තා වුණු වෙනත් සිදුවීමක් පාදක කර ගනිමින්. ඒ පසුගිය දා ගුවන් ප‍්‍රහාරයකින් මිය ගිය අයි.එස්.අයි.එස්. මූලධර්මවාදීන් අතර ශ‍්‍රී ලාංකිකයකු සිටි බවට නිකුත් වූ වීඩියෝව. ඒ ලාංකිකයා විදෙස්ගත වී අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳුණු අයෙක්. ඔහු ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව මුලින් පවසා තිබුණත් ඔහු මහනුවර, වැරැුල්ලගම ප‍්‍රදේශයේ අයෙක් බව මේ කතුවැකිය ලියන මොහොත වන විට වාර්තා වී තිබෙනවා.

මේ සිදුවීම් එකින් එක වෙන වෙනම විමසා බලන විට පෙනී යන්නේ මේවායේ ජාතිවාදය පැතිරවීමට තරම් හේතු සොයා ගැනීම දුෂ්කර බව. වැලිමඩ නගරයේ ඇතිවූ සිදුවීම කප්පම් ගැනීමක් සම්බන්ධ සිදුවීමක් බව දැනට වාර්තා වී තිබෙනවා. 15 වැනිදා පස්වරුවේ වැලිමඩ නගරයේ වෙළෙඳසැලකින් යෝගට් එකක් ගත් අයෙක් ඒ යෝගට් එක සඳහා මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. එය ඒ අවස්ථාවේ පමණක් සිදු වුණු අහම්බීය සිදුවීමක් නෙවෙයි. මේ පුද්ගලයා දිගින් දිගටම නගරයේ වෙළෙඳසැල්වලින් බියගැන්වීම් හා මැරබලය භාවිත කර මුදල් නොගෙවා භාණ්ඩ ලබාගත් බව පොලිසිය කියනවා. මේ සිදුවීම සිදු වුණු වෙළෙඳසැල් හිමිකරුත් මීට පෙර මොහු ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. යෝගට් එකට මුදල් නොගෙවීමේ සිද්ධිය දුරදිග ගොස් ඇති වූ සිදුවීමකදී වෙළෙඳසැලේ සේවකයන් අතින් එම පුද්ගලයාත් ඔහුගේ සොහොයුරාත් ඝාතනය වී තිබුණා. මේ සිදුවීමෙන් ජාතිවාදය හදන්නේ කොහොමද, මෙවැනි සිදුවීම් නිතර වාර්තා වෙනවා කියා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේ සිදුවීමේ වෙළෙඳසැල් හිමියා මුස්ලිම්. මියගිය දෙදෙනා සිංහල. දැන් ප‍්‍රචාරය යන්නේ ‘මුස්ලිම් අය සිංහලයන් මරණවා. ඔබ නිදිද’ කියලා.

පාකිස්තානය සහ ලංකාව අතර පැවැත් වුණු එක්දින ක‍්‍රිකට් තරගයේ ඇතිවූ සිදුවීම ඊටත් වඩා කනගාටුදායක සිදුවීමක්. සාමාන්‍යයෙන් අනෙක් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ලංකාවේ ක‍්‍රීඩා ලෝලීන්ගේ යම් විනයක් තිබුණා. 1980 දශකයෙන් පසුව වෙනත් රටක ක‍්‍රීඩකයකුට හිරිහැර කිරීම, පරාජය දරාගත නොහැකිව කලහකාරී ලෙස හැසිරීම, හොඳින් දක්ෂතා ප‍්‍රදර්ශනය නොකළ තම රටේ ක‍්‍රීඩකයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම වගේ ලක්ෂණ ලංකාවේ ක‍්‍රීඩා ලෝලීන් ප‍්‍රදර්ශනය කළේ නෑ. නමුත් මෙවර ලංකාව ලකුණු 135ක අපකීර්තිමත් පරාජයක මුවවිට සිටිද්දී ක‍්‍රීඩා ලෝලීන් අතර කලහකාරීත්වයක් හට ගත්තා. පන්දු රැුකීමේ සීමාව ආසන්නයේ සිටි පාකිස්තානු පන්දු රකින්නකුට ගලක් වැදීම නිසා පාකිස්තාන් කණ්ඩායම පිටියෙන් ඉවත් වුණා. දශක කිහිපයකින් ලංකාවේ මෙවැනි අපකීර්තිමත් සිදුවීමක් සිදු වී නෑ. නමුත් දැන් මේ සිදුවීමත් භාවිත කර ජාතිවාදය වැපිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. මුලින්ම ප‍්‍රචාරය ගියේ ලංකාවේ මුස්ලිම් ජාතිකයන් පාකිස්තානය වෙනුවෙන් පී‍්‍රතිඝෝෂා නැඟීම නිසා සිංහල ක‍්‍රීඩා ලෝලීන් ඔවුන්ට පහර දුන් බව. නමුත් අවසානයේදී පෙනෙන්නේ මේ සිංහල – මුස්ලිම් ප‍්‍රශ්නයක් නොව කී‍්‍රඩා ලෝලීන් අතර ඇතිවූ සාමාන්‍ය ගැටුමක් බව. නමුත් මේ සිදුවීම අනිසි ලෙස අර්ථකථනය කරන්න තවමත් උත්සාහ දරමින් තිබෙනවා.

අයි.එස්.අයි.එස්. මූලධර්මවාදීන් සමඟ එක්වීමට ලොව විවිධ රටවල මූලධර්මවාදී අදහස් දරන පිරිස් අරාබි රටවලට, උතුරු අප‍්‍රිකාවට හා මධ්‍යම ආසියාවට යනවා. ලංකාවේත් එවැනි අදහස් දරන්නන් එයම සිදු කිරීම පුදුමයට හේතුවක් නෙවෙයි. අනෙක් අතට එවැනි එක් පුද්ගලයකු සම්බන්ධ සිදුවීමක් උපුටා දක්වමින් සමස්ත ලාංකේය මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ප‍්‍රචාර ගෙනයාම කිසිසේත් අනුමත කරන්න බෑ. නමුත් දැන් සිදු වෙන්නේ ලංකාවේ හැම මුස්ලිම් ජාතිකයෙක්ම අයි.එස්.අයි.එස්. සටන්කරුවෙක් යැයි හැෙඟන ආකාරයේ ප‍්‍රචාරයක් දියත් වීම.

මේ සිදුවීම් බලද්දි සිහිපත් වන්නේ ඉන්දියානු කෙටි කතාවක්. ඒ කෙටිකතාවට අනුව මුස්ලිම් ජාතිකයකු හින්දු ජාතිකයකු මරා දැමුවා යැයි කටකතාවක් පැතිර යනවා. ඒ කට කතාව මත පදනම්ව විශාල ජාතිවාදී ගැටුමක් හටගන්නවා. සිදුවීමේ අගමුල සොයමින් පරීක්ෂාවක නිරත වන්නකුට දැන ගන්නට ලැබෙන්නේ සිදුවීමේ මුල වන්නේ මුස්ලිම් ජාතිකයකු, හින්දුවරයකු නොව හින්දු නිවසක සිටි බල්ලකු මරා දැමීම බව. ඔහු තවදුරටත් පරීක්ෂා කරද්දි දැනගන්නට ලැබෙන සත්‍යය අපව මවිත කරවනවා. ඒ බල්ලාත් මරා දමා නෑ. බල්ලා නිරුපද්‍රිතව සිටිනවා. මෙතරම් විශාල විනාශයක් සිදුව තිබෙන්නේ මුස්ලිම්වරයකු හින්දු නිවසක හදාගත් බල්ලකුට පහරදීමේ සිද්ධියක් කටකතා මඟින් අතිශයෝක්තියට නැඟූ නිසා. මේ ජාතිවාදී කටකතා පැතිර වීම පසුපස තිබෙන්නේ නින්දිත හා බංකොලොත් දක්ෂිණාංශික දේශපාලනය. මැතිවරණය ආසන්නයේ මෙවැනි කටකතා පතුරු වන්නේ මුස්ලිම් විරෝධය හරහා දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායම් බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍ය නෑ. ඉතිහාසය පුරා සිදු වූ මෙවැනි සිදුවීම් අවසානයේදී තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කළා. එදත් ගිනි ඇවිළවුණේ දේශපාලන අරමුණුවලට. අදත් එහෙමයි. මෙවැනි මොහොතක නිහඬව සිටින්නාත් ගිනි අවුළුවන්නා තරමටම වැරදිකාරයෙක්. ඒ නිසා නිහඬතාව බිඳිමු. මහා ව්‍යසනයක අවදානම ඉදිරියේ නොදුටු ඇස් ඇතිව, නොඇසූ කන් ඇතිව සිටීමට අප කාටවත් අයිතියක් නෑ.