මැතිවරණ ප‍්‍රකාශන ප‍්‍රතිපත්තිමය සංවාදයක් සඳහාද?

casino-neonවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජනප‍්‍රිය දහරාවට අයත් සියලූම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණය සඳහා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ඉදිරිපත් කර ඇත. බැලූ බැල්මටම මෙය සාධණීය තත්වයක් ලෙස කෙනකුට පෙනී යා හැක. නමුත් මෙම ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන’ ඉදිරිපත් කිරීම මඟින් කියැවෙන්නේ කුමක්දැයි පළමුව අවධානයට ලක් කළ යුතුව ඇත.

මෙසේ ඉදිරිපත් කිරීමේදී ඒ ඒ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්තීන් සංවාදයට බඳුන්වේද යන්නත් ප‍්‍රශ්නයකි. එසේම දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ සැබෑ අරමුණ ප‍්‍රතිපත්තිමය කරුණු මුල්කරගෙන තම මැතිවරණ ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමද යන්න සැකසහිතය. සැබැවින්ම මේවා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ලෙස හැඳින්වුවද ඒවා හුදු මැතිවරණ ප‍්‍රකාශනයන්ය. කාලයෙන් කාලයට තම පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන් ජනතාව හමුවේ තැබීම වාමාංශික පක්ෂවලට අයත් දේශපාලන සම්ප‍්‍රදායකි. නිදසුනක් ලෙස 82 පැවැති ජනාධිපති මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූයේ එම පක්ෂයේ ‘විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ මුල් කරගෙනය.

එය ජවිපෙ දේශපාලන ක‍්‍රියාකාරීත්වයට මුල් වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයම විය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වීම සිදු විය නොහැකිය. (එසේ සිදුවන්නේ නම් ප‍්‍රතිපත්ති වෙනස් විය යුතුය.) නමුත් අද වන විට සියලූ ජාතික මැතිවරණයන් සඳහා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නමින් මැතිවරණ ප‍්‍රකාශන නිකුත් කිරීම ඒ ඒ දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාරයේම එක් අංගයක් ලෙස ජනප‍්‍රිය දහරාවේ සිටින සියලූ දේශපාලන පක්ෂ විසින් සිදු කරයි. මේ වන විට එය මෙරට දේශපාලනයේ මැතිවරණ සංස්කෘතියේ සාමාන්‍ය සිදුවීමකි. ඒ අනුව වෙර මහ මැතිවරණය සඳහා ද එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් මැතිවරණ ප‍්‍රකාශන දැනටමත් එළි දක්වා ඇත.

බොහෝ දේශපාලන පක්ෂ මහ මැතිවරණයට ප‍්‍රවේශ වූයේද ප‍්‍රතිපත්තීන් පදනම් කරගෙන ජනතාව සමඟ සිදු කරන සංවාදයකින් නොවේ. මෙවර මහ මැතිවරණයේදී බොහෝ දේශපාලන පක්ෂවල මුඛ්‍ය අරමුණ වුණේ මහින්දවාදී සහ මහින්ද විරෝධී ලෙස ලාංකේය සමාජය දෙකට බෙදා ගැනීමයි. එය ප‍්‍රතිපත්තිමය සංවාදයකට වඩා අදේශපාලන බෙදීමකි. එය පසුගිය ජනාධිපතිවරණයේද දක්නට ලැබුණු එකම දිගුවක් බවට මේ වන විට පත්වී ඇත. එනිසා එම අරමුණ සාක්ෂාත් කරගත් පසු හුදෙක් මැතිවරණ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමෙන් ප‍්‍රතිපත්තිමය සංවාදයක් ඇති නොවේ. එය හුදෙක් ඒ ඒ දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාරයන්ගේ හුදු සැරසිල්ලක් පමණි. විශේෂයෙන්ම ඉදිරියේදී එළිදැක්වීමට නියමිත මහින්ද ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ රනිල් ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අදාළව මෙම විවේචනය වලංගු වේ.

අනෙක් අතට මෙම සන්ධාන දෙකටම අදාළ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත මැතිවරණ ප‍්‍රකාශනවල අඩංගුව පිළිබඳ ඇතැම් කරුණු දැනටමත් හෙළිදරව් වී තිබේ. එම කරුණු සලකා බැලීමේදී ඒවායේ කිසිදු නැවුම් බවක් නොමැති බවත් එම මැතිවරණ ප‍්‍රකාශනයන් දෙකම එකම ප‍්‍රතිපත්තියක් සහ එකම සැලැස්මක් මත පදනම්ව ඉදිරිපත් කරන්නට යන බවත් පෙනී යයි. එම සැලැස්ම අන් කිසිවක් නොව ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආසියානු සංවර්ධන බැංකුව එක්ව සකස්කර ඇති ඉදිරි අවුරුදු 30ක් සඳහා වූ භෞතික සැලැස්මයි. මෙය මුල්වරට එය මත පදනම්ව මැතිවරණ ප‍්‍රකාශනයක් ඉදිරිපත් කළේ 2002දී එක්සත් ජාතික පක්ෂයයි. එය ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ ලෙස නම් කර තිබූ අතර පසුව 2009දී ‘මහින්ද චින්තන – ඉදිරි දැක්ම’ ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම වර්ෂයේ පැවැති ජාතික මැතිවරණ සඳහා ඉදිරිපත් කරන ලදී. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත එක්සත් ජාතික පෙරමුණෙහි මැතිවරණ ප‍්‍රකාශනයේ අඩංගු ‘පොකුරු ගම්මාන’ සැලැස්මත් එක්සත් ජනතා නිදහස් සන්ධානය රැුගෙන එන ‘නිම්න දේශයක්’ නමින් වූ මැතිවරණ ප‍්‍රකාශනයේත් ඉහත භෞතික සැලැස්මේ ආකර්ෂණීය කරුණු මත පමණක් පදනම් වී ඇති බව පෙනේ. නමුත් එම සංයුක්ත සැලැස්මේ සමාජ අවධානයට ලක් වූ බරපතළ කරුණු මෙම මැතිවරණ ප‍්‍රකාශනවලින් හිතාමතාම ඉවත්කර ඇත. නැත්නම් ඒවා සංශෝධන සහිතව සුමට ලෙස ඉදිරිපත් කර ඇත.

ප‍්‍රධාන සන්ධාන දෙකෙහි මැතිවරණ ප‍්‍රකාශනවලට අමතරව මැතිවරණ ප‍්‍රකාශනයක් එළිදක්වා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. එය එම පක්ෂයේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මත පදනම්ව ඉදිරිපත් කර ඇත. ජ.වි.පෙ. ‘අපේ දැක්ම’ එහි ආරම්භක යුගයේ එම පක්ෂය පදනම් වූ විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් බොහෝ සෙයින් දකුණට අපගමනය වූ සංශෝධිත ප‍්‍රතිපත්ති මාලාවක් බව මීට ‘ජනරළ’ මඟින් අප නිතර සංවාදයට බඳුන් කරන ලදී. එමෙන්ම මෙවර ජ.වි.පෙ. මැතිවරණ ප‍්‍රකාශනය එළිදක්වන විශේෂ සමුළුව ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවී ලෙස විකාශනය කරන ලදී. ජ.වි.පෙ. සමුළුවකට රාජ්‍ය මාධ්‍ය අනුග‍්‍රහය ප‍්‍රථමවරට හිමිවීමද මෙහි ඇති විශේෂත්වයකි. එමෙන්ම ජනප‍්‍රියවාදී ගායකයකු වන සුනිල් පෙරේරාද මෙම සමුළුවට අනාරාධිතවම සම්බන්ධ වන බව ප‍්‍රකාශ කර තිබුණි.

එනිසා ජ.වි.පෙ. මැතිවරණ ප‍්‍රකාශනයේදී කුමක් සඳහන් වුවද මැතිවරණ වේදිකාවේ සඳහන් කරන දේශන ගැන පමණක් මෙම ලිපියෙන් අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් යැයි සිතමු. ජ.වි.පෙ. මෙවර මහ මැතිවරණයේදී පුල පුලා ප‍්‍රකාශ කරන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැති තීරණය කිරීමේ බලය ජ.වි.පෙ.ට ලබා දෙන ලෙසයි. මෙම කේවල් කිරීමේ බලය සහිතව වමේ පක්ෂ සහාය ආණ්ඩුවලට එක්වූ අවස්ථා ලංකාවේ ඉතිහාසයේ විරල නැත. නමුත් මෙම සෑම සහායක්ම වමේ පක්ෂ අපේක්ෂා කළ අරමුණුවලට ළඟා වීමට නොහැකිව ඔවුන් දරුණු පරාජයන්ට ලක්විය. මේ සඳහා හොඳම නිදසුන 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවයි. ජ.වි.පෙ.ද මන්ත‍්‍රී ධුර 39ක් සහිතවම 2004දී සන්ධාන ආණ්ඩුවක් ගොඩනැඟූ අතර එහි ඇමැති ධුර 04ක්ද හොබවන ලදී. නමුත් ජ.වි.පෙ.ට අනුව ආණ්ඩුව හසුරුවා ගැනීමට නොහැකි වූවා පමණක් නොව ජ.වි.පෙ. බාරගත් අමාත්‍යාංශවල වැඩකටයුතුද නිදහසේ කරගැනීමට ඉඩක් නොලැබුණි.

අනෙක් අතට ජනතාව අවධානය යොමු කළ යුත්තේ ජ.වි.පෙ. හෝ ඕනෑම පක්ෂයකට පාර්ලිමේන්තුවේ හිමි වන කේවල් කිරීමේ බලය යොදවා දිනාදීමට උත්සාහ කරන්නේ මොනවාද යන්නයි. ඒ ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් විය යුතුය. නමුත් මෙම තාවකාලික ආණ්ඩුව පවා හැසිරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එහි විධායක සභාවට සම්බන්ධ විය. එහිදී ජ.වි.පෙ. ප‍්‍රමුඛතාව හිමි වී තිබුණේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ සහ මහින්ද රාජපක්ෂ පාලනයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණවලට එරෙහිව දේශපාලන උද්ඝෝෂණයක් පවත්වා ගෙන යාමයි. නමුත් වැඩකරන ජනතාවට ඍජුවම බලපාන පෞද්ගලික අංශයේ සේවක වැටුප රු. 2,500ක් වැඩි කිරීමේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ දැමීම වැනි කරුණු සම්බන්ධයෙන් ජ.වි.පෙ.ට ආණ්ඩුව තුළ හිමි වූ බල භාවිත කළේ නැත. එනිසා ප‍්‍රධාන ධනපති පක්ෂත් එකඟ වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම සැබෑ කේවල් කිරීමක් නොවන අතර සැබෑ අරගලය වන්නේ එම පක්ෂ කිසිවෙක් එකඟ නොවන ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කිරීමයි. නමුත් පසුගිය

දේශපාලන භාවිතාවන් තුළ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ එවැනි කේවල් කිරීමක් ආණ්ඩු පක්ෂයට සිදු කර නැත.

අවසාන වශයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප‍්‍රකාශනවල කුමක් සඳහන් වුවද ජනතාවගේ පැත්තෙන් එම පක්ෂවලට සරල ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීම එම පක්ෂවල සැබෑ ප‍්‍රතිපත්තිය කුමක්දැයි එළිදරව් කිරීමට ප‍්‍රමාණවත්ය. උදාහරණයක් වශයෙන් මේ මැතිවරණ ප‍්‍රකාශන නිකුත් කළ සියලූ පක්ෂවලට මෙවැනි ප‍්‍රශ්නයක් යොමු කරමු.

‘ඔබ පක්ෂය රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප ජීවන අංකය මත ගණනය කිරීමටත් ඒ මත වාර්ෂික අවම මූලික වැටුප වැඩි කිරීමටත් එකඟ වන්නේද?’

මෙම ප‍්‍රශ්නය ඉතාමත් සරලය. පැය 8ක සේවය සඳහා ජීවත් වීමට සරිලන වැටුපක් කම්කරුවන්ට දිය යුතුය. ජීවන වියදම ඉහළ යන විට මෙම අවම මූලික වැටුප වැඩි විය යුතුය. අතිකාල හෝ වෙනත් මාර්ගවලින් මුදල් සෙවීම නොසලකා පැය 8ක සේවා කාලයක් තුළ ජීවත් වීමට සරිලන වැටුපක් කම්කරුවන්ට හිමිවිය යුතුය. ඉතින් මෙම ප‍්‍රතිපත්තියට එකඟ වන්නේදැයි මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලූම දේශපාලන පක්ෂවලින් අපට විමසිය හැකිය. පෞද්ගලික වෛi විiාලය සහ සියලූම පෞද්ගලික පාසල් අහෝසි කිරීම, සියලූ සැත්කම් රජයේ රෝහල් තුළ නොමිලයේ සිදු කිරීම ආදි මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් මතු කළ හැකිය. ඒ නිසා මෙම ලියුම්කරුගේ අදහස වන්නේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න මඟින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂවල ප‍්‍රතිපත්තිය විමසිය යුතු බවය. එසේ නොමැතිව සුන්දර වදන්වලින් සැකසුන ලස්සන පොත් පිංචවල් ලෙස දේශපාලන පක්ෂය විසින් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මඟින් සැබෑ ප‍්‍රතිපත්තිමය සංවාදයක් සිදු කළ නොහැකිය.

චන්ද්‍රසිරි ලන්දගේ