වතු කම්කරුවන්ට 1000ක් දෙන්න බැරිලූ

DSCF3691වෘත්තිය සමිතිත් හාම්පුතුන් සමඟ….

පසුගිය ජූලි 6 වැනි දා ආරම්භ කළ කම්කරු සටන ජූලි 16 වැනි දා අවසන් කරන ලදී. එනම් හෙමින් වැඩ කිරීමේ වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය මේ වන විට අත්හැර තිබේ. ඒ වෙනුවට යළිත් සුපුරුදු ලෙස වත්තේ වැඩට යාම ආරම්භ කර ඇත. කම්කරුවන්ගේ ප‍්‍රබල ඉල්ලීම වන්නේ ඔවුන්ට සිය දෛනික වැටුප ලෙස රු.1000/- ක් අවශ්‍ය බවයි.

මේ සටන පිළිබඳ කම්කරුවන්ගෙන් සාමාජික මුදල් අයකර ගන්නා ප‍්‍රධාන වෘත්තිය සමිතිවලට ඇත්තේ එකිනෙකට වෙනස් වූ ස්ථාවරයන්ය. ‘ලංකා කම්කරු කොංග‍්‍රසය’ රු.1000/- කම්කරුවාට දිය යුතුය යන ස්ථාවරයේ සිටින අතර, ‘ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ලංකා ජාතික කම්කරු සමිතිය’ට ඇත්තේ ඊට පටහැණි අදහසකි. පවතින ජීවන වියදමට සාපේක්ෂව මෙය කම්කරුවාගේ පාර්ශ්වයෙන් ගත් විට සාධාරණ ඉල්ලීමකි. ලංකා කම්කරු කොංග‍්‍රසයේ පස්සර වෘත්තිය සමිති නියෝජිත වේලූ රවීගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කියා සිටියේය.

‘අපි ඉන්නේ 1000ක් දෙන්න ඕන කියන ස්ථාවරයෙ. නමුත් දැනට දේශපාලන පක්ෂ සහ වතු ක්ෂේත‍්‍රයේ දේශපාලනඥයන් වගේම අනෙකුත් වෘත්තිය සමිති මේ 1000/- ලබා දීමට කැමැත්තක් නැහැ.

ඒකට හේතුව අපි මේ රු.1000/- ලබා දුන්නොත් අනිත් අයගේ වෘත්තිය සමිති දේශපාලනයේ ඉදිරි ගමනට එය බාධාවක් ලෙස තමා ඔවුන් සලකන්නේ. හෙමින් වැඩ කරන්න කියලා කිව්වේ අපි. අපට ඕන වුණේ කොම්පැනිවලට බලපෑමක් කරන්න. ඒත් එක්කම ලංකා ජාතික වතු කම්කරු සමිතියත් ඉන්නවා. ලංකාවේ අනිත් සියලූම පොඩි පොඩි සමිති එකතු වෙලා හැදුන ජාතික කම්කරු සමිතියත් ඉන්නවා. මේ සමිති තුනක් එකතු වෙලා තමයි මේ ගැන තීන්දුවක් ගන්නේ”

ඔහු එසේ පැවසුවද වත්මන් තත්වය ඒ අයුරින් විසඳී නැත. කම්කරුවාට රු.1000/ක් දිය යුතුය. එහෙත් ප‍්‍රබල වෘත්තිය සමිති තුළ ඊට අදාළ එකඟතාවක් නැත. එසේ නොමැතිව වතු හාම්පුතුන් හා කළ සාකච්ඡුා මේ වන විට අසාර්ථක වී ඇත. මේ පිළිබඳ ප‍්‍රධාන පෙළේ වෘත්තිය සමිතියක් වන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ අදහස කුමක්දැයි විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

”මේ කම්කරුවෝ වතුවල හරියට වැඩ කරනවා නම් රු.1000/- ක් දෙන්න පුළුවන්. ඒත් අනිත් එක අපට එහෙම කියන්න බෑනේ. ඒක ඉතින් කොම්පැණිත් එක්ක කතා කරලා තමයි තීරණය ගන්න වෙන්නේ. වතුවල කට්ටිය හරියට වැඩ කරන්නෙත් නැහැ. ඒ පැත්තත් හිතන්න ඕන”

අප හා එසේ කීවේ ලංකා ජාතික වතු කම්කරු සමිතියේ පස්සර වෘත්තිය සමිති කාර්යාලයේ සේවයේ නියුතු නියෝජිතවරයෙකි. කෙසේවුවද වෘත්තිය සමිතියක් ලෙස ඔවුන්ගේ පොදු අදහස වන්නේ රු.1000/- ක් ලබා දීමට ඔවුන් එකඟ නොවන බවයි. තවද, මේ පිළිබඳ නිල ප‍්‍රකාශයක් ලබා ගැනීමට 072-7893072 ජංගම දුරකථනය හිමි වැවිලි කර්මාන්ත ඇමැති වේලායුදන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එයට නිසි ප‍්‍රතිචාර ලබා ගැනීමට නොහැකි විය.

”කම්කරුවෝ 1000ක් ඉල්ලනවා. ඇයි ඔයාලා මේකට අකමැති ඇයි?”

අප එසේ ඇසු විට ඊට නිසි පිළිතුරක් දෙනවා වෙනුවට අපට ලැබුණේ ‘මම ඇමැතිතුමාගේ ලේකම්, ඇමැතිතුමා අසනීපයෙන් ඉන්නේ, තව පැයකින් ගන්න’ යන පිළිතුර පමණි.

මේ වෘත්තිය සමිති සැබැවින්ම කි‍්‍රයාත්මක වන්නේ කම්කරුවන්ගේ සාමාජික මුදල් වලිනි. මේ පිළිබඳ අපගේ අදහස වන්නේ කම්කරුවන්ට දිය හැකි දෛනික වැටුප රු.850/- කළ යුතු බවයි. එය ලංකා ජාතික කම්කරු සමිතියේ ස්ථාවරයයි. එහි සේවයේ නියුතු කඳුරට කම්කරු නීති නිලධාරියකු වන ආර්. සුබ‍්‍රමනියම් අප සමඟ කීවේ මෙවැන්නකි.

estate-line-houses”වතු කම්කරුවන්ට රු.1000/- දෙන්න කියලා යෝජනා කළේ තොණ්ඩමන්. වැවිලි හාම්පුතුන්ගේ සංගමයට මේ යෝජනාව දෙන්න කලින් අනිත් වෘත්තිය සමිති සමඟ මූලික වටයේ සාකච්ඡුාවක්වත් කළේ නැහැ. ඇත්ත වශයෙන්ම සාමූහික වැවිලි ක්ෂේත‍්‍රයේ සාමුහික ගිවිසුමට අයත් වෘත්තිය සමිතියට සාමාජිකයන් 40%ක් ඉන්න ඕන. 1992 තමා මෙම ගිවිසුම ආරම්භ කළේ. එය ආරම්භ කරන අවස්ථාවේදී ලංකා කම්කරු කොංග‍්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන ලංකා ජාතික වතු කම්කරු සංගමයට 2015 වන විට මේ වෘත්තිය සමිතිවලට 40% සාමාජික බලය තියෙනවාද? නැද්ද? මේ පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම සමීක්ෂණයක් කළ යුතුය. මේ ගිවිසුමට අත්සන් තැබීමට සුදුසුකම් ලබා තිබෙන්නේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ තොණ්ඩමන් පමණක් නොවේ. එ.ජා.ප. විසින් පාලනය කරන ජාතික වතු කම්කරු සංගමයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ඇමැති සහ පස්සර එක්සත් ජාතික පක්ෂ සංවිධායක වන කේ. වේලායුදම් පවා මෙයට වගකිව යුතුයි. කඳුරට ජනතා පෙරමුණේ ස්ථාවරය වන්නේ කම්කරුවාගේ දවසක වේතනය රු.1000/-ක් දිය යුතුය කියන ඉල්ලීම ප්‍රෝඩාවක්. පවතින වැවිලි ක්ෂේත‍්‍රයේ තත්වය අනුව කම්කරුවන්ට රු.850/- දිය යුතුයි යන්න අපේ අදහසයි.

”ඇයි ඔබ රු.850/- ගෙවිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ?” අපි ඔහුගෙන් එසේ විමසු විට ලැබුණේ මෙවැනි ප‍්‍රතිචාරයකි.

”ඔවුන්ගේ දැන් රු.850/- දෛනික වැටුපකට අනිවාර්යයෙන්ම ගත යුතු දලූ කිලෝ 20ත් 25ත් අතර ප‍්‍රමාණයක් කැඩිය යුතුයි. මේ ස්ථාවරය සියලූ මාසවල පවතින්නේ නැහැ. සමහර මාසවල දලූ කිලෝ 10ක් හෝ 12ක් කැඩුවත් සමාගම ඒ දෛනික වැටුප ගෙවනවා. ඇත්ත වශයෙන්ම මේ රු.1000/- පඩිය ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රධාන ලේකම් ආරුමුගන් තොණ්ඩමන් ඉදිරිපත් කළේ දේශපාලන වාසියක් තකා බව මම කියනවා. දෙවනුව දවසකට රු.1000/- වේතනය ලබා දිය යුතුය යන සාකච්ඡුාව අසාර්ථක වීමෙන් පසු මොහු වෘත්තිය සමිතියේ සිද්ධාන්තයට අනුව ගත් පියවර අංග සම්පූර්ණයෙන්ම වැරදි කි‍්‍රයාමාර්ගයක්.

සෙමින් වැඩ කරමින් දවසේ වේතනය ලබා ගැනීමට අවශ්‍ය වන්නා වූ දලූ ප‍්‍රමාණය නොගෙන කි‍්‍රයා කිරීම තුළින් වැවිලි සමාගම ඉතාම අසීරු තත්වයකට පත් වෙනවා. සතියක් ඇතුළත ඔවුන්ගේ ඉල්ලීම පරිදි කිසිම සේවකයකුට මේ වන විට වැටුප් නොගෙවන බවට වැවිලි හාම්පුතුන් ස්ථිරවම කියා ඇත. නමුත් ගිය සතියේ අවසාන සාකච්ඡුාව අවසන් වීමෙන් පසු තොණ්ඩමන් පැවසුවේ හෙමින් වැඩ කළ දින වෙනුවෙන් ඒ සටන අවසන් වූ පසු ඒ දවස් වෙනුවෙන් පඩිය දෙගුණයක් දෙන බවයි.

ඔහු එසේ ප‍්‍රකාශ කොට මිනිත්තු 5 කට පසු වැවිලි හාම්පුතුන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ අපි කවදාවත් එවන් ප‍්‍රකාශයක්, එවන් පොරොන්දුවක් නොදුන් බවයි. ඒ හින්දා අපි කියන්නේ රු.1000/- ක් දෙන සාකච්ඡුාවට එනවා නම් ඒකට මේ රජයේ ඉන්න ඇමැතිකම් තියෙන රාධකි‍්‍රෂ්ණන්, දිගම්බරම්, අරුමුගම් තොණ්ඩමන්, මුත්තු සිවලිංගම් ඒ අය රජයට බල කිරීමක් කරන්න ඕන. වතු කම්කරුවන්ගේ ඡුන්දය අරගෙන මෛතී‍්‍රපාල සිරිසේන රජය තුළ හෝ මහින්ද රාජපක්ෂගේ රජය වේවා අනිවාර්යයෙන්ම මේ කඳුරට වතු නායකයන් මේ සම්බන්ධව කතා නොකර සිටින්නේ ඇයි?”

මේ නිසා ප‍්‍රධාන වෘත්තීය සමිති කම්කරුවාගේ පැත්තෙන් කල්පනා නොකරනවා පමණක් නොවේ. කම්කරුවන් ඉදිරිපත් කරන අදහස්, සටන් පාඨද නොසලකා හැර තිබේ. ඒ හේතුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමයට රිසි පරිදි ලාභ උපයාගැනීමටද මඟ පෑදී ඇත. මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට මුහුණ දුන් කම්කරුවාගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ ගැන අප කම්කරු කාන්තාවන් සමඟ කතා කළෙමු. පස්සර සපුගස්තැන්න වතුයායේ කම්කරු කාන්තාවක් වන එම්. කෙලෙසෙල්වි අප හා කීවේ මෙවැන්නකි.

”ජුනි මාසයේ අපි දින 7යි වැඩ කළේ. 7 වැනිදා ඉඳලා වැඩට ගියේ නෑ. 16 තමයි වැඩට ගියේ. පඩි ලැබෙයිද නැද්ද තාම තීරණයක් නෑ. පඩි නැති නිසා කඩවල් වලින් ණයට තමයි කෑවේ. රත‍්‍රං බඩු උකස් තියලා ණය ගෙවන්න වුණා. ලබන මාසය වෙනකම් පඩි නැහැ. කම්පනිවලින් කියනවා, අපිට රු.80/- වැඩි කළා කියලා. ඒකත් තවම හරියටම දන්නේ නැහැ. පඩි කොලේ ගත්තම තමා දැන ගන්න වෙන්නේ. ”

එම වතු යායේම සේවය කරන සින්නමුත්තු කෙලෙසෙල්වි අප සමඟ මෙසේ කියා සිටියාය.

”මට ගැහැනු ළමයි හතරක් ඉන්නවා. තුන් දෙනෙක් ඉස්කොලේ යනවා. එක් කෙනෙක් මාසෙන් මාසට ක්ලිනික් ගෙනියන්න ඕන. මගේ මහත්තයා මැරුණා. මං විතරයි වැඩ කරන්න ඉන්නේ. 4 දෙනෙකුට කන්න දෙන්න ඉස්කෝලේ යවන්න මේ පඩිය මදි. මේ ගෙදර කඩා වැටිලා දැන් මාස 6ක් වෙනවා. අපි දැන් ඉන්නේ මාමලාගේ ගෙදර. වෙන මාසවල රු.8000/-ක් පඩි හම්බ වෙනවා. මේ මාසේ ඒක අඩු වෙනවා. කට්ටිය කියන්නේ මේ සැරේ පඩිය 3000/-ක් කියලා. ඒකත් හම්බ වෙයිද කියලා දන්නේ නැහැ”

සැබැවින්ම වැවිලි සමාගම් මෙන්ම ප‍්‍රධාන වෘත්තිය සමිති ඔවුන්ගේ පාර්ශ්වයෙන් විවිධ කරුණු දක්වා ඇතත් කම්කරුවාගේ ප‍්‍රශ්නයට ඒ තුළ පුළුල් සාධාරණ අවධානයක් නොමැති බව පසුගිය වෘත්තිය කි‍්‍රයාමාර්ගයට දැක්වූ ප‍්‍රතිචාර තුළින් යළිත් තහවුරු වී ඇත.

ඉන්දුමතී විද්‍යාරත්න