රාජපක්ෂලාගේ හෙළිකොප්ටර් වංචාවේ සුලමුල

උඩින් උඩින් වර – බිමින් බිමින් වර

සල්ලි කන්න වර රජ අප්පු

sri-lanka_20100610.jpgමේ දවස්වල මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා ආයෙමත් කරළියට ඇවිත්. කලින් හොරකම් ගැන තිබුණු චෝදනා ඔක්කොම සුද්ද කරගෙන ඇවිත් තිබෙන්නේ. හොරු අල්ලනවා අල්ලනවා කිව්වට ඊනියා යහපාලන ආණ්ඩුව අල්ලපු හොරෙක් නෑ. අන්තිමට ජවනිකාව කෙළවර වුණේ හොරු අල්ලන්න ආපු අය මහ බැංකු වංචාව හරහා කම්බ හොරු බවට පත්වීමෙන්. ඒකෙන් වුණේ හොරු තමන්ගේ චෝදනා ඔප්පු වුණේ නෑ කියලා පුරසාරම් කියන සුදනන් බවට පත් වීම. මහින්ද රාජපක්ෂ දැන් වේදිකාවල අහන්නේ මෙහෙම. ”මම හොරකම් කළා කිව්වා. මගේ පවුලේ අය හොරකම් කළා කිව්වා. මාස 6ක් ගියා. කෝ එකක්වත් ඔප්පු කළාද?” එක්සත් ජාතික පක්ෂයේ, ජාතික හෙළ උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හොරු ඇල්ලීමේ නාටකවල අවසාන ජවනිකාව කරළිගත වෙන්නේ ඒ විදියට. නමුත් මහජන මුදල් වංචා කිරීම සම්බන්ධ ඉතිහාසය මේ තරම් සිල්ලරේට වළලන්න දෙන්න බැරි නිසා අපි ඒ අතීත කතාවක අලූත් තොරතුරු ටිකක් අවුස්සන්න හිතුවා. මේ වංචාව සම්බන්ධ උඩින් – උඩින් ගිය ගමන්වලට. ඒ කියන්නේ හෙළිකොප්ටර්වලට. මොකක්ද මේ හෙළිකොප්ටර් වංචාව? අපි ඒ ගැන හොයමු.

රාජපක්ෂ පාලන සමයට අයත් මේ වංචාව සිදු වී තිබෙන්නේ වියට්නාම් සමාගමකින් එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් මිලට ගැනීමේදී. ඒ සඳහා තවත් සමාගම් ගණනාවක් අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබියදී ටෙන්ඩරය ඉහළ මිලක් ඉදිරිපත් කළ සමාගමට ලබා දීම කොමිස් ලබාගැනීමේ අරමුණෙන් කළ එකක් බවට සැක පහළ වී තිබෙනවා. එවැන්නක් සිදුව ඇත්නම් ඊට ඍජුව වගකිව යුත්තේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. 2011 වසරේදී මේ සඳහා ටෙන්ඩර් කැඳවූයේ ආරක්ෂක අමාත්‍යාංශය මඟින් යුද අවි ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ ලංකා ලොජිස්ටික්ස් සමාගමෙන්. මේ සමාගම රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක හමුදාවට හා පොලිසියට යුද අවි මිලදී ගැනීමේදී නිෂ්පාදකයා සහ ලංකා රජය අතර අතරමැදියා ලෙස කටයුතු කළා.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තමන්ට එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් මිලදී ගැනීමට අවශ්‍ය බව ලංකා ලොජිස්ටික්ස් ආයතනයට දැනුම් දීමෙන් අනතුරුව එම සමාගම ටෙන්ඩර් සඳහා කැඳවීම් කළා. යම් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන සමාගමක් සිය නිෂ්පාදිත තාක්ෂණික ඇගයුම් කමිටුවෙන් අනුමත වුවහොත් හා එම ටෙන්ඩරය අනුමත වුවහොත් දින 30ක් තුළ ලංකා ලොජිස්ටික්ස් සමාගම සමඟ විකිණුම් ගිවිසුමකට එළඹිය යුතුයි. ඒ වගේම ඒ ගනුදෙනුවේ සමස්ත වටිනාකමෙන් 10%ක අගයකට සමාන බැඳුම්කරයක් අත්සන් කළ යුතුයි. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ගිවිසුම අතරමඟදී හෝ මේ හෙලිකොප්ටර් පිළිබඳ සෑහීමට පත් නොවන්නේ නම් ගනුදෙනුව අවලංගු කර වෙනත් සමාගමකින් ඒවා මිලදී ගත හැකි බවත් ටෙන්ඩර් කොන්දේසිවල තිබුණා. විකිණුම්කරු නියමිත කාලයේදී භාණ්ඩ සැපයීමට අසමත් වුවහොත් ප‍්‍රමාද වන සෑම දින 30කටම මුළු මුදලින් 1% බැගින් කපා හැරෙන බවද ටෙන්ඩර් කොන්දේසිවල සඳහන්ව තිබුණා. ලංකා ලොජිස්ටික්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජයන්ත වික‍්‍රමසිංහ මෙම කොන්දේසි යටතේ හෙළිකොප්ටර් 4ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයට අත්සන් කර තිබුණා.

මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් අතර රටවල් 25කට පමණ ගුවන්යානා හා හෙළිකොප්ටර් සපයන ෂීධ9001:2008 යටතේ ජාත්‍යන්තර ප‍්‍රමිති සමාගමක් වන ලිතුවේනියාවේ හෙලිසෝටා සමාගම  තිබුණා. ඊට අමතරව ලිතුවේනියාවේ ඒවියා බෝල්ටිකා , බෙලෝරුසියාවේ ගුවන්යානා අලූත්වැඩියා සමාගමක් හා යුකේ‍්‍රනයේ යුකේ‍්‍රන් මාක්ස්  සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණා. මේ අතරින් හෙලිසෝටා සමාගම ඉදිරිපත් කළ ලංසුව අමෙරිකානු ඩොලර් 3,883,750ක්. ඒ පළමු හෙළිකොප්ටරයට ඩොලර් 991,450ක්, දෙවැන්නට 996,400ක්, තුන්වැන්නට 1,083,550ක් හා සිව්වැන්නට ඩොලර් 812,350ක් ලෙස. මේ මුදල අය කෙරෙන්නේ ලිතුවේනියාවේ සිට හෙළිකොප්ටර් නැවෙන් ගොඩඒමට, කොටස් සවි කිරීම හා නිශ්චිත කාලයක් තුළ සේවා සැපයීමටත් යටත්ව. පැවැති මිල ගණන් හා එම හෙළිකොප්ටර්වල ප‍්‍රමිතිය සලකා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිසෝටා සමාගමේ හෙළිකොප්ටර් මිලදී ගැනීමට තාක්ෂණ කමිටු අනුමැතිය ලබාදුන්නා. නමුත් එක්වරම 2012 ජුනි 22 වැනිදා මේ ටෙන්ඩර් සියල්ල අවලංගු කළ බව නිල වශයෙන් නිවේදනය කළා. ඊට පැහැදිලි හේතු දැක්වීමක් තිබුණෙත් නෑ.

එසේ විධිමත්ව කැඳවන ලද ටෙන්ඩරය අවලංගු කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් වියට්නාමය පදනම් කරගෙන ක‍්‍රියාත්මක වන හෙලිටෙකෝ  නම් සමාගමෙන් එම හෙළිිකොප්ටර් හතර මිලදී ගන්නා ලෙස ගුවන් හමුදාවට දැනුම් දුන්නා. මෙය හතරබීරි කතාවක් වන්නේ මේ හෙලිටෙකෝ සමාගම මුල් ටෙන්ඩරයක් ඉදිරිපත් නොකළ සමාගමක් වීම සහ එය තාක්ෂණ කමිටුවක පරීක්ෂාවට ලක් නොවී තිබුණු නිසා. අනෙක් ප‍්‍රශ්නය මේ සමාගමේ හෙළිකොප්ටර්වල මිල කලින් අනුමත වූ ටෙන්ඩරයට වඩා ඉහළ අගයක තිබීම. කලින් අනුමත වූ හෙලිසෝටා සමාගමේ හෙළිකොප්ටර් හතරක මිල ඩොලර් 3,883,750යි. ඒත් මේ එක්වරම අනුමැතිය දෙන ලද හෙලිටෙකෝ සමාගමේ හෙළිකොප්ටර් හතරක මිල ඩොලර් 3,937,200ක්. මේ දෙක අතර වෙනස ඩොලර් 53,450ක් හෙවත් රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක්. මෙය එතරම් විශාල මුදලක් ලෙස සැලකුයේ නැතත් මේ මිලදී ගැනීම්වල ක‍්‍රමවේදය අස්වාභාවිකයි. මේ ගනුදෙනුව වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලංකා ලොජිස්ටික්ස් ආයතනයට මුළු මුදලින් 2.5%ක කොමිස් මුදලක් ලබාදී තිබෙනවා. අදාළ වියට්නාම් සමාගමෙන් අතයටින් ඊට වඩා විශාල මුදලක් ආරක්ෂක බලධාරීන්ට ලැබී තිබේද යන්න මේ සිදුවීම් දෙස බලන ඕනෑම කෙනකුට සැක හිතෙනවා.

2006 සැප්තැම්බරයේ ආරම්භ කර 2010 සැප්තැම්බරයේ යළි ලියාපදිංචි කරන ලද ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගමේ වැඩකටයුතු පිළිබඳ සැක පහළ වූ එකම අවස්ථාව මෙය නෙවෙයි. 2009 වසරේදී කාලතුවක්කු වෙඩි උණ්ඩ චීන සමාගමකින් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක් වියදම් කිරීමද මෙලෙසම ආන්දෝලනයට ලක් වුණා. මේ සිදුවීම් පිළිබඳ මෙතෙක් කිසිදු පරීක්ෂණයක් විධිමත්ව දියත් වී නෑ. මේ ගනුදෙනු හරහා ධනවතුන් වූ දේශපාලකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය උදුරාගන්න ඉඩ දෙන්න බැරි නිසා අපි මෙවැනි අක‍්‍රමිකතා ගැන දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා.

(තොරතුරු අනුග‍්‍රහය :Sunday Leader)