හිරබත් කන උද්ඝෝෂකයන් සහ යාපනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Vidya-Protest-Jaffna-schools-2විද්‍යාගේ ඝාතකයන්ට එරෙහිව පොලිසිය ගන්නා ක‍්‍රියාමාර්ග සැකසහිත බව පවසමින් මැයි 19 වැනිදා යාපනය අධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් 63කට ආසන්න පිරිසක් තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය. ඔවුන් බන්ධනාගාරගත කොට ගතවී තිබෙන කාලය මාස දෙකක් වේ.

17 හැවිරිදි පාසල් සිසුවියක වන විද්‍යා ඝාතනයට නව දෙනකු සම්බන්ධ බව අනාවරණය විය. ඔවුන් සියලූ දෙනාම පොලිසිය විසින් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගන්නා ලද නමුත් එක් සැකකරුවකු නිදහස් කර යවා තිබිණි. ගැටලූව ඇරඹෙන්නේ එතැනිනි. පොලිසිය විසින් අත්අඩංගුවෙන් මුදා හැරි සැකකරු ස්විස්ටර්ලන්තයේ පදිංචිකරුවකු බවද අනාවරණය විය. පොලිස් අත්අඩංගුවෙන් මුදා හැරීමෙන් පසුව ඔහු වහාම යාපනයෙන් ඉවත්ව ඇති අතර පසුව වැල්ලවත්තේදී පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ නිසා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය ගැන බරපතළ සැකයක් යාපනයේ වැසියන් තුළ පමණක් නොව සිද්ධිය දෙස බලා සිටි සියලූ දෙනා තුළ ඇති විය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මැයි 19 වැනිදා යාපනය අධිකරණය ඉදිරිපිට විරෝධතාවකට පසුබිම සැකසෙන්නේ එලෙසිනි.

යාපනයේ, සමාජ අසාධාරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරන අන්දමට විරෝධතාව කැඳවූ නායකයන් කිසිවකුත් ඊට සම්බන්ධ වී නැත. දෙමළ ජාතික සන්ධානයේ හෝ වෙනත් කිසිදු මහජන නියෝජිතයකු විරෝධතාව මෙහෙය වීම සඳහා මැදිහත් වී නැත. එහෙත්, යාපනය නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාව වෙළෙඳසැල් වසා දමා හර්තාලයක් දියත් කළ අතර සංවිධාන රැුසක් විරෝධතාවට එක්ව සිටියහ. මෙම විරෝධතාව හමුවේ පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධවද සමාජ අසාධාරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ප‍්‍රශ්න මතු කරයි.

”කොළඹ හරි වෙන තැනක හරි උද්ඝෝෂණයක් තිබුණා නම් පොලිසිය රජයේ දේපළ ආරක්ෂා කරන්න ආරක්ෂාව යොදවනවා. ඒත් යාපනේදී එහෙම වුණේ නෑ. අධිකරණය ළඟටම එන්න පොලිසිය උද්ඝෝෂකයන්ට ඉඩ දුන්නා.” යැයි අරුලානන්දම් අරුන් පවසයි.

කුපිත වී සිටි ජනතාව අතරින් පළමු ගල් පහර එල්ල විය. ඉන් පසුව තරගයට ගල් මුල් ප‍්‍රහාර අධිකරණය වෙත එල්ල විය. පොලිසිය ක‍්‍රියාත්මක වූයේ එම ප‍්‍රහාරයෙන් පසුවයි.

”යාපනයේ ජනතාව අවුරුදු 30ක යුද්ධයකට මැදි වෙලා හිටියේ. මේ වගේ උද්ඝෝෂණයක් තියෙනවා නම්, ඒක කරන්නේ කොහොමද කියලා කියල දෙන්න, ඒක මෙහෙයවන්න දේශපාලකයන් එන්න ඕන. ජනතාවට එයාලට ඡුන්දෙ දෙන්නෙ ඒකට. ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න.” යැයි අරුන් පෙන්වා දෙන්නේ මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ වෙනත් ප‍්‍රශ්නයක් පිළිබඳවයි.

තිස් වසරක යුද්ධයේ පීඩාවත් යුද්ධයෙන් පසු මිලිටරි මර්දනයේ පීඩාවත් ජීවිතය යළි ගොඩනැඟීමේදී ඇති වී තිබෙන පීඩාවත් සංස්කෘතික පීඩාවත් ආදී වශයෙන් පීඩනයන් රැුසක ගොදුරු බවට පත්ව සිටින ජනතාව සිය ආවේගය මුදා හරින්නේ ඒ සඳහා ඉඩ ලැබෙන එක් සිදුවීමක් හරහාය. වවිද්‍යාගේ ඝාතකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන බවට ඇති වූ සැකය මත මුදා හැරුනේ එම පොදු පීඩාවට එරෙහි විරෝධයයි.

අධිකරණ ගොඩනැඟිල්ලට අලාභහානි කිරීමෙන් පසුව පොලිසිය විසින් උද්ඝෝෂකයන් රැුසක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන් පසුව පරීක්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් විය. ඔවුන් මාධ්‍ය ආයතනවල පටිගත කළ වීඩියෝ දර්ශන, ඡායාරූප, වෙළෙඳසැල්වල සහ නිවෙස්වල ආරක්ෂක කැමරා දර්ශන ආදිය පරීක්ෂා කොට අත්අඩංගුවට ගත යුතු සැකකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කරනු ලැබීය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදා ගනු ලැබුවේ ‘සුදුවෑන්’ වීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකුගේ අවධානය යොමු වී නැත.

සුදුවෑන්වලින් ‘අත්අඩංගුවට’ ගන්නා ලද පුද්ගලයන්ට පහරදීම් සිදු වී තිබේ. පසුව ඔවුන් පොලිසිය වෙත බාරදී ඇති අතර පොලිසිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කරනු ලැබීය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ සුදුවෑන් සංස්කෘතියට නිමාව තබන බවට පොරොන්දු දෙමිනි. රාජපක්ෂ පාලනය පිළිබඳ ජනතාවට තිබුණු ප‍්‍රධාන ගැටලූවක් වූයේද ජීවත්වීමට තිබෙන අයිතිය අහිමි කිරීමයි. දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ජනවාරි 08 වැනිදායින් පසුව මෙම ලිපිය ලියන මොහොත වන තුරු සුදුවෑන් සැරිසැරූ බවක් වාර්තා නොවේ. එහෙත් උතුරු පළාතේ සුදුවෑන් තවමත් ගාල් කර නැති සේය. එය බරපතළ ගැටලූවකි.

130 දෙනකු මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මැයි මස 26 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයක නිරත විය. ඔහුගේ සංචාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ විiාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ යාපනයේ ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමටයි. ජනාධිපතිවරයාට යාපනයේ සංචාරය කොට සිදුවීම සොයා බැලීමට සිදු වූයේ ජනතාවගෙන් නැඟුණු විරෝධතාව බව නිසැකය. යාපනයට ගිය ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් උද්ඝෝෂකයන් සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස නියෝග කළේය. එම නියෝගයට අනුව සිසුන් සහ ප‍්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු පිරිසකට ඇප ලැබිණි. එහෙත් සිදුවීම්වලට ඍජුව සම්බන්ධ බවට සැක කෙරෙන 63ක පමණ පිරිසක් මාස දෙකක් තිස්සේ තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් වී නැත. තමන්ගේ නියෝගයට අනුව සෙසු පිරිස සම්බන්ධ පරීක්ෂණ කඩිනම් නොවන්නේ මන්දැයි ජනාධිපතිවරයාද මෙතෙක් විමසා නැත.

”උද්ඝෝෂණ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. උසාවියට ගහපු එක හරියි කියලා අපි කියන්නේ නෑ. නමුත් පරීක්ෂණ ඉක්මන් කරන්නේ නැත්තේ ඇයි? සාක්ෂි තියෙනවා නම් නීතිය ක‍්‍රියාත්මක කරන්න.” සමාජ අසාධරණයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මතය එයයි.

උද්ඝෝෂණ කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයකි. යාපනයේ අධිකරණයට පහරදීම කලින් සැලසුම් කරන ලද ක‍්‍රියාවක් නොවේ. එය හදිසියේ ඇති වූ සිද්ධියකි. ඒ බව මේ වන විටත් තහවුරු වී තිබේ. ඒ නිසා දැන් කළ යුත්තේ පරීක්ෂණ කඩිනම් කොට අත්අඩංගුවේ සිටින සියලූ දෙනා නිදහස් කිරීමයි. එසේ නොවේ නම් දෙආකාරයක හානි සිදුවිය හැකිය. එකක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේද සම්බන්ධයෙන් යාපනයේ ජනතාව තුළ ගොඩනැෙඟමින් තිබෙන විශ්වාසය පළුදුවීමයි. දෙවැන්න කිසිදු සමාජ ගැටලූවක් හමුවේ තම මතය ඉදිරිපත් කිරීමට නොපෙලඹීමයි. මේ දෙකම සමාජයට හානිකරය.

ජනක තුෂාර