නවලිබරල්වාදයට හා ජාතිවාදයට එරෙහි බලවේග ඒකරාශී විය යුතුයි

—— අහිලන් කදිර්ගාමර් —–

Ahilan_Kadirgamarදේශපාලන-ආර්ථික විශ්ලේෂකයකු වන ඔහු අහිලන් කදිරගාමර්. පසුගිය ජනවාරි ජනාධිපතිවරණයෙන් පසු අපේක්ෂා කළ ප‍්‍රතිසංස්කරණ සහ ඉදිරි මහ මැතිවරණයේ දිශානතිය පිළිබඳ අප සමඟ සංවාදයකට එක් විය. මේ ඔහුගේ අදහස්….

 

  •  රාජපක්ෂ රෙජීමයේ පරාජය හා මහ මැතිවරණයට යළි තරග කිරීම දක්වා ක‍්‍රියාදාමය ගැන ඔබේ අදහස මොකක්ද?

පරාජිත රෙජීමයේ පාලනය සමයේ පැවැති මිලිටරිමය මර්දනකාරීත්වය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් විවෘත වෙමින් පැවතුණා. යාපනය ප‍්‍රදේශය උදාහරණයක් ලෙස ගත්තොත් නිරන්තර හමුදා බුද්ධි අංශවල අවධානයට ලක්වෙමින් ජීවත්වීමට සිදුවූ තත්වය ලිහිල් වුණා. හමුදා නිලධාරියකු පත්කර තිබුණු ආණ්ඩුකාර ධුරයට සිවිල් නිලධාරියකු පත් කෙරුණා. පරිපාලන කටයුතුවලට තිබුණු මිලිටරි මැදිහත්වීම් වෙනුවට පරිපාලන සේවයේ ක‍්‍රියාකාරිත්වයක් ඇති වුණා. රටපුරාම ගත්තොත් වෙනස්කම් සිදුවුණා. තව බොහෝ දේ කරන්නත් තිබුණා.

වංචාදූෂණ සම්බන්ධයෙන් හා පසුගිය රෙජීමයේ තවත් වැරදි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කරලා නෑ. සමහර දේවල් පිළිබඳ ක‍්‍රියාත්මක වෙන්න දේශපාලන අවශ්‍යතාවක් හෝ ප‍්‍රමුඛතාවක් දක්නට ලැබුණෙත් නෑ. ඒක කනගාටුදායක තත්වයක්, මගේ අදහස අනුව, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම කියන්නෙ තව බොහෝ වෙනස්කම් සහිත ක‍්‍රියාදාමයක්. එකක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. මොකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට යනවා නම්, එක් පුද්ගලයකු වටා කේන්ද්‍රගත වූ හෝ මධ්‍යම රජය සතුව ගොනුකර තබාගත් අසීමිත බලයක් තිබිය යුතු නෑ. තව පැත්තකින් මේ රටේ සුළුතර ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය අවධානයට ලක් විය යුතුයි. බහුත්වවාදී රාජ්‍යයක් හා සමාජයක් බිහි විය යුතුයි. දේශපාලන විසඳුමක් සම්බන්ධ කාලයක් තිස්සේ ඉදිරිපත් වන ඉල්ලීම් තිබෙනවා. එක පැත්තකින් බලය විමධ්‍යගත කිරීමක් මෙන්ම මධ්‍යම රජයේ බලය බෙදීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් තිබෙනවා.

මෙහිදී සුළුතර ජන කොටස්වලට පමණක් නොවේ, පරිවාරයේ ජනතාවට, ඒ කියන්නෙ කොළඹ කේන්ද්‍රීයව තීරණ ගන්නවා වෙනුවට විවිධ ප‍්‍රාදේශීය වෙනස්කම් සහිත සිංහල ජනතාවටත් තමන්ගෙ අවශ්‍යතා අනුව තමන්ගේ කටයුතු කරගෙන යාමේ අවස්ථා නිර්මාණය කළ යුතුයි. මේ ක‍්‍රියාදාමය එක පාරට කරන්න බෑ. ඒක සිදුවෙයි කියලා මම හිතන්නෙ නෑ. නමුත් ඒ වෙනුවෙන් නායකත්වය ගතයුතුව තිබෙනවා. ඒක දීර්ඝකාලීන ක‍්‍රියාදාමයක්. කොහොම වුණත් ඒ වෙනුවෙන් කිසි දෙයක් පසුගිය කාලෙ වෙලා නෑ.

  •   19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ අපේක්ෂිත අරමුණු ඉටු වුණාද?

ආරම්භයක් ලෙස එය වැදගත්. ඒක පසුගිය වසරට වඩා ඉදිරියක් සහිතයි. වෙලා තියෙන්නෙ මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා විධායක බලය අඩු කරන්න කැමැති වුණාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාවටයි දිය යුතු. නමුත් සිදුව ඇත්තේ ඒ බලය පාර්ලිමේන්තුවේ බලවත් පාර්ශ්වයන් වෙත හුවමාරු වීමයි. ඒ නිසා ජනතාවට හිමි අයිතිවාසිකම් සහතික විය යුතුයි. ජනතාවට වාසිදායක ප‍්‍රතිසංස්කරණ ඉටු විය යුතුයි. ආරම්භක අවස්ථාවක් හැටියට වෙලා තියෙන දේ ගැන සෑහීමකට පත්වුවත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය ඉදිරියට ගත යුතුයි.

  •   හිටපු ජනාධිපති රාජපක්ෂ මහ මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ අරමුණු පසුපසට දමමින් රට තුළ ඇතිවුණේ ව්‍යාකූලත්වයක් නේද?

ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයක් පැමිණියාම ජනතාවට බලපාන සියලූම කාරණා සංවාදයට ලක්කරන්න පුළුවන් කියලා සමහරු හිතුවා. එහෙම වෙලාවක ආර්ථික ගැටලූ, රාජ්‍ය ආයතන ගැන, අධ්‍යාපනය, සෞඛ්‍ය, උතුරේ ජනතාවගේ ගැටලූ, දේශපාලන විසඳුම්, යුද්ධයෙන් පසු නැවත ඉදිකිරීම් ආදි කරුණු විවාද කරන්න පුළුවන්. මේ සියල්ල ගැනම අවධානයක් සහිත සාකච්ඡුාවකින් ජනතා නියෝජිතයන් පත්කරගන්න හැකියාව ලැබෙයි කියලා අදහසක් තිබුණා.

නමුත් අපි රටක් විදියට ආපස්සට ගිහින්. නැවත වරක් අප මුහුණ දෙමින් ඉන්නෙ ජනවාරි ජනාධිපතිවරණයට පෙරාතුව තිබුණු රාජපක්ෂ පිළිබඳ අභියෝගයටයි. මාස ගණනකට පෙර අවසන් කටයුතු කළ රාජපක්ෂ රෙජීමය ගැනයි ආපහු සාකච්ඡුා කරන්න සිදු වෙන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම පැත්තෙන් ගත්තම මේක නාස්ති කරගත් අවස්ථාවක් හැටියටයි සලකන්න වෙන්නෙ.

ඒ නිසා මේ වෙලාවෙ ව්‍යාකූලතාවක් තිබෙනවා. කොහොම වුණත් මහ මැතිවරණයක් පැමිණ තිබෙනවා. ජනතාවට ඡුන්දය දෙන්න වෙන්නෙ රාජපක්ෂ රෙජිමයේ ඉතිරි කොටස් පරාජය කිරීමටයි. පොදුවේ අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරීත්වය නිසා දේශපාලන සංස්කෘතිය පරිහාණියට පත්ව තිබෙනවා. ඒ නිසාම ජනතාවට සිදුවෙනවා මේ දේශපාලන පක්ෂවලින් පිටස්තර අලූත් පිරිසක් තෝරා ගන්න. එහෙත් අවාසනාවකට මේ ගැන විවාද කරන්න තරම් ඉඩ ප‍්‍රස්ථා විවර වෙලා නෑ. දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීමේ අවශ්‍යතාවක් ජනයා ඉදිරියට පැමිණ තිබෙනවා. දේශපාලන සංස්කාතියේ අතුරු කාරණාවලට වඩා ප‍්‍රධාන ගැටලූ විසඳාගැනීමේ අවශ්‍යතාවක් ඇති වී තිබෙනවා.

  •   එළඹෙන මහ මැතිවරණයෙදි ජනවාරියේ පරාජය කළ රාජපක්ෂ රෙජීමයේ නියෝජනය හෝ ඉන්පසුව ජනතා අරමුණු ඉටුකරන්න අසමත් වූ අගමැති රනිල් ප‍්‍රමුඛ දේශපාලන සන්ධානය වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහ දෙකක් ඉස්මතු වී තිබෙනවා. ජනතාවට ගන්න තියෙන්නෙ සාධාරණ තේරීමක්ද?

මේ ප‍්‍රධාන පක්ෂ ප‍්‍රතික්ෂේප කරලා දකුණේ දී තෝරාගන්න තුන්වැනි තේරීමක් කරන්න වමේ දේශපාලන පක්ෂ තිබෙනවා. එහෙම තිබියදී උතුරේ ජනතාවට වෙන්නෙ දෙමළ ජාතික සන්ධානය තෝරාගන්නයි.

දෙමළ ජනතාවට ඒ හැර වෙන තේරීමක් කරන්න අවස්ථා ඉතිරිව නෑ.

ඒක ගැන කම්පාවක් අපට තියෙනවා. මහින්ද රාජපක්ෂ දේශපාලනයට පැමිණීමෙන් පසුව රාජපක්ෂට පක්ෂව හා විරුද්ධව වශයෙන් ජනතා බලවේග ධ‍්‍රැවීකරණය වී තිබෙනවා. එහිදී ආර්ථීක ප‍්‍රතිපත්ති ගැනවත් ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය ගැනවත් විවාද කරන්න ඉඩක් නෑ. ජනතා අයිතිවාසිකම් ගැන ප‍්‍රශ්න කරන්න අවස්ථා අඩුයි.

රාජපක්ෂ රෙජිමය බොහෝ වැරදි සම්බන්ධයෙන් වගකිව යුතුයි. එක්සත් ජාතික පක්ෂයත් මේ ප‍්‍රතිපත්තිමයි ඉදිරියට ගෙනයාමට සූදානම් වෙන්නෙ. ඒ නිසා මේ සමාජය මුහුණදෙන අර්බුදයේ කොටස්කරුවන් සහ වගකිව යුත්තන් වෙන්නෙ ප‍්‍රධාන ධාරාවෙ දේශපාලන පක්ෂ තමයි. ඔවුන් තමයි නවලිබරල්වාදී ප‍්‍රතිපත්ති හඳුන්වාදුන්නෙ. ඔවුන් බලයට පත්වුණොත් රාජපක්ෂ රෙජීමය නැවැත්වූ තැනින් පටන් ගනීවි.

කොහොම වුණත් මේ පවතින නවලිබරල් දේශපාලනයට ප‍්‍රතිවිරුද්ධව සැබෑ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් රට පුරාම ගොඩනැඟීමේ දී අභියෝගයක් තිබෙනවා. මේ වෙලාවෙ කියන්න වෙන්නෙම ප‍්‍රධාන ධාරාවෙ දේශපාලන පක්ෂ ගැන විශ්වාසය නොතබා තමන් නියෝජනය කරවන පුද්ගලයන් තෝරාගන්න බලන්න කියලයි. ඒකත් හරිම අවාසානාවන්ත දෙයක්. මොකද මේ රටේ ප‍්‍රධාන පෙළේ වෙනස්කම් කරන්න නම් ඊට ගැළපෙන නායකත්වයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. එවැනි දේශපාලන නායකත්වයක් නැති එක තමයි ගැටලූව.

  •   සිංහල ජාතිකවාදී දේශපාලනය පරාජිත රාජපක්ෂ පසුපස යන කණ්ඩායම හා එක්සත් ජාතික පක්ෂය වශයෙන් බෙදුණා. මේ පසුබිම තුළ රාජපක්ෂ රෙජිමය පාවිච්චි කළ අන්තවාදී සමාජ බලවේග මහ මැතිවරණයේදිත් ඉන්පසුවත් නැවත භාවිත කිරීමේ විභවයක් තිබෙනවා නේ්ද?

මේ තමයි අපේ වර්තමාන අර්බුදයේ එක් පාර්ශ්වයක ස්වභාවය. උතුරෙ දි අන්තවාදී දෙමළ ජාතිකවාදය ක‍්‍රියාත්මකයි. මේ අය එකිනෙකාට තදින්ම පසමිතුරු වුවත් එකිනෙකා නැතිව පවතින්නත් ඔවුන්ට බෑ. ඔවුන් දෙපාර්ශ්වය විසින් තම මතවාදය අනුව සිංහල හා තමිල් සමාජයේ බලවේග සංවිධානය කරනවා. ජනතාවගේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රික ඉඩකඩක් විවර කිරීම තුළ පමණයි මෙවැනි අන්තවාදයන් පරාජය කිරීමට හැකි වෙන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රිකරණ ක‍්‍රියාදාමය මඟහැරීමේ පසුබිම තුළ මෙවැනි බලවේග නිෂ්කී‍්‍රය කිරීමත් ප‍්‍රමාද කෙරෙනවා. ජනවාරි මාසෙ ප‍්‍රජාතන්ත‍්‍රිකරණය දෙසට සමාජයක් ලෙස විවෘත වුවත් එළඹ ඇති මහ මැතිවරණයේදිත් නැවත වරක් අපට ජනවාරියේ තිබුණු ප‍්‍රශ්නවලටමයි පිළිතුරු සොයා යන්න වෙලා තියෙන්නෙ.

  •  නවලිබරල්වාදය සහ ජාතිවාදය එක්ව කරට කර පාලන බලය කරා යන තත්වයකදි විකල්පය සොයාගන්න වෙන්නෙ වමේ දේශපාලනයෙන්. මහ මැතිවරණයත් සමඟ එළඹෙමින් තිබෙන දේශපාලන පොර පිටිය තුළ වමට ඇති ප‍්‍රමුඛ අභියෝග මොනවද?

මේක තරමක් පුළුල් ප‍්‍රශ්නයක්. තරමක ස්වයංවිවේචනාත්මක ආකාරයෙන් කතා කළොත් මම මාව පුලූල් තලයකදි හඳුන්වාගන්නෙ වාමාංශිකයෙක් හැටියටයි. ඉතින් අපේ වාම දේශපාලනය නවලිබරල්වාදය සහ මහජාතිවාදය අභියෝගයක් ලෙස භාරගන්න තරම් සවිමත් තත්වයක තවමත් නෑ. වාම කණ්ඩායම් සභාගවාදයෙන් පිරිහීමට පත්වුණා. පැරණි වම තව දුරටත් මහින්ද රාජපක්ෂ රෙජිමය සමඟ පෙළ ගැසී ඉන්නවා. ඒ නිසා පැරණි වාම දේශපාලනයෙන් බිඳී ආ වාමාංශික බලවේග ගැන තමයි අපට යම් විශ්වාසයක් තියන්න වෙන්නෙ.

මෛත‍්‍රීපාල හෝ මහින්ද හෝ රනිල් හෝ මෙම දේශපාලන ක‍්‍රියාදාමය තුළ නවලිබරල්වාදය හා ජාතිවාදය උපයෝගි කරගන්නවා. ඒ නිසාම ධනපති දේශපාලනයට එරෙහිව වාම දේශපාලනය කරන්න නම් එම ඇත්ත අභියෝග බාරගත යුතු වෙනවා. එහිදීී ශක්තිමත් වාම දේශපාලන බලයක් ගොඩනැඟීමට නම් මේ අභියෝග දෙක මත පදනම් වූ ඒකරාශිවීමක් වමට අවශ්‍ය වෙනවා.

  •  නමුත්, ලංකාවේ වෙන් වෙන් කණ්ඩායම් ලෙස පවතින වාම දේශපාලන සංවිධාන නවලිබරල්වාදය සහ ජාතිවාදය පරාජය කිරීම පිණිස වූ පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟීම වඩා ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් නොවේද?

මම හිතන්නෙ ඒක තමයි තියෙන මාවත. ඒ සඳහා රට පුරාම ජන ප‍්‍රජාවන්ගේ ජාතිවාදයට සහ නවලිබරල්වාදයට විරුද්ධ බලවේග ඒකරාශි කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. දකුණේ වාමාංශික කණ්ඩායම් පමණක් නොවේ, උතුරේ, නැෙඟනහිර සහ වෙනත් ජාතික සීමාවන්ට අයත් ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශි කළ යුතු වෙනවා. ජාතිවාදයටත් නව ලිබරල්වාදයටත් එරෙහි සමාජ දේශපාලන පෙරමුණක් ගොඩනැඟීමට නම් රට පුරා විසිරී ගිය ඒ සියලූ කණ්ඩායම්වල ක‍්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය වෙනවා.

තමිල් ජන ප‍්‍රජාව ගත්තම උතුරේ, නැෙඟනහිර සහ වතු ක්ෂේත‍්‍රයේ ජනයා නියෝජනය වන වාම දේශපාලන ධාරාවන් ඊට ඇතුළත් විය යුතුයි. මුස්ලිම් ජනසමාජයේ ජාතිවාදයට එරෙහි බලවේග ඒකරාශි කළ යුතුයි. නවලිබරල්වාදයට වගේම ජාතිවාදයට එරෙහි බලවේග ඒකරාශි කළ යුතුයි. මේ සඳහා වඩා හොඳින් විශ්ලේෂණ කරන්න, හිතන්න වෙනවා. පන්ති දේශපාලනය පදනම් කරගත් දැක්මක් අවශ්‍යයි. නවලිබරල් ගෝලීයකරණ යුගයේ පන්ති දේශපාලනය හැදෑරිය යුතුයි. ලෝක පරිමාණයෙන් ආසියාවේත්, අපි‍්‍රකාවෙත්, යුරෝපයේත්. කොහෙ බැලූවත් ජාතිවාදය හා නවලිබරල්වාදය කරට කර යනවා. ඉන්දියාවෙ බීජේපී වෙන්න පුළුවන් හින්දු මහජාතිවාදය වෙන්න පුළුවන්, නවලිබරල් ආර්ථික ක‍්‍රමය සමඟ එකට යන්නෙ. මේක පොදු ප‍්‍රශ්නයක් තමයි’ නමුත් වඩා අධ්‍යයනය කළ යුතු දේ තිබෙනවා. එක් එක් රට තුළ විශේෂතා සහ දුබලතා හඳුනාගත යුතුයි. රාජ්‍ය, ව්‍යවස්ථාව සහ ආර්ථිකය සම්බන්ධ නව උපායමාර්ගයන් අවශ්‍යයි. සමාජ බලවේග ඒකරාශි කිරීමේ ක‍්‍රමවේද අවශ්‍යයි.

  •   යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් වෙනස්කම් ඇති වූ බව ඔබ කිව්වා. දැන් යාපනයේ තත්වය මොකක්ද?

බොහෝ දෙනා දකුණේ තත්වය ගැන පමණයි කල්පනා කරන්නෙ. නමුත් උතුරේ තත්වය ගැන කියනවා නම්, මගේ අදහස නම්, අපේක්ෂා කළ තත්වයට සාපේක්ෂව යාපනයේ, එතරම්ම වෙනස්කම්වලට භාජනය වී නැති බවයි. යුද්ධයට පස්සෙ පවතින මිලිටරි බලය තවමත් ක‍්‍රියාත්මකයි.

ටිඑන්ඒ එක සාමාන්‍ය ජනයාගෙ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නෙ නෑ. ඒ නිසා දකුණේ වාමාංශිකයන්ට කියන්න තියෙන්නෙ ටිඑන්ඒ එක කියන දේවල් ගැන ඇහුම්කන් දෙන්න එපා. එන්න උතුරට ඇවිත් සාමාන්‍ය ජනතාවගෙන් තත්වය අහන්න. දකුණේ සමාජ ව්‍යාපාරවලට ඇවිත් උතුරේ ජනතාවගේ ජීවිතය ගැන තමන් විසින්ම අත්දැකීම් ගන්න කියලා කියන්න සිදු වෙනවා. ජනතාව විවිධ දුක් පීඩාවල තවදුරටත් ගිලී ඉන්නවා. විවිධ සමාජ කණ්ඩායම් ලෙසත් වෘත්තිය සමිති, සමුපකාර හැටියටත් ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න සබඳතා ගොඩනගා ගන්න එන්න කියලා වමේ දේශපාලන කණ්ඩායම්වලට මා ආරාධනා කරනවා.

වමේ දේශපාලන අරමුණු වෙනුවෙන් සැබෑ දේශපාලන ඒකරාශිවීමක් විය යුතුයි. එවැනි එක්වීමකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රීකරණය, දේශපාලන විසඳුම් සහ යුක්ති සහගත ආර්ථික ක‍්‍රමයක් සඳහා වූ සමාජ ව්‍යාපාරයක් අපේක්ෂා කළ නොහැකියි.

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත