එජාපය; ‘අලුත් රටක්’ කියමින් පරණ පාරේම

UNP-EMඑක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පසුගිය ජූලි 23 වැනිදා එළිදැක්වූවා. ඒ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නම ‘මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ ප‍්‍රතිපත්තිය’. මේ නම මතකයි වගේද? මීට මාස 8කට කලින් එජාපය මෛත‍්‍රීපාල සිරිසේන සමඟ ජනාධිපතිවරණයට එද්දි නිකුත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නම ‘දින සියයකින් අලූත් රටක්’. දැන් දින 100, 200 වෙලා. ඒත් අලූත් රටක් හැදුණේ නෑ. දැන් රනිල් වික‍්‍රමසිංහ කියන්නේ අලූත් රටක් හදන්න මාස 60ක් දෙන්න කියලා. මේ මැතිවරණ ප‍්‍රකාශනයේ මුල් පිටුවේ ‘අලූත් රටක්’ ගැන සඳහන් වෙලා තිබුණාට ඇතුළේ පිටු පෙරළද්දී නම් පේන්නේ මේ එජාපයේ පරණ ප‍්‍රතිපත්තියම බව. නමුත් ඒ පරණ ප‍්‍රතිපත්තියට යම් ‘මානුෂික මුහුණුවරක්’ දෙන්නට ඒ ප‍්‍රකාශනය උත්සාහ දරා තිබෙනවා. (මෙහිදී අපට සිහිපත් වෙන්නේ චන්ද්‍රිකාව) කොහොම උනත් මේ ‘අලූත් රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තම ආර්ථික ප‍්‍රතිපත්තිය පදනම් වෙන්නේ ‘දැනුම මත පාදක වූ තරගකාරී සමාජ – වෙළෙඳපොළ ආර්ථිකයක්’ බව පවසනවා. ඒ ප‍්‍රකාශනයට අනුව මේ සමාජ – වෙළෙඳපොළ ආර්ථිකය ධනවාදයටත් සමාජවාදයටත් වඩා මානව හිතවාදීයි. නමුත් මොන නම දැම්මත් ක‍්‍රියාත්මක වෙන්නේ මොකක්ද කියලා අන්තිම වාක්‍යයෙන් පැහැදිලි කරගන්න පුළුවන්.

  • ”යෝජිත සමාජ – වෙළෙඳපොළ ආර්ථිකය අවධාරණය කරන්නේ විවෘත ආර්ථිකයේ පදනම පුළුල් කිරීම හෙවත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි”

(පිටුව -1)

ආර්ථිකය හා ආයෝජන

එක්සත් ජාතික පක්ෂයේ ‘අලුත් රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ප‍්‍රධාන පැති දෙකක් ගැන අවධානය යොමු කර තිබෙනවා. එකක් රටේ සුළු ව්‍යාපාර හා සුළු නිෂ්පාදකයන් රැකගන්න ඔවුන් ජනතා සමාගම් තුළ, සමුපකාර තුළ ජාලගත කිරීම. (එජාපය ඒක තේරුම් ගෙන තිබෙන්නේ සමාජවාදයෙන් ගත හැකි කොටසක් ලෙස) දෙවැන්න දේශීය ධනපතියන්ට උපරිම සහන හා පහසුකම් දෙන අතර විදේශීය ආයෝජකයන්ගේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට ලංකාව විවෘත කිරීම (ඒ කියන්නේ නවලිබරල් ධනවාදය) මේ දෙකම තිබෙන නිසා තමයි මේක සමාජවාදයේත් ධනවාදයේත් යහපත් ලක්ෂණ අත්පත් කරගත් එකක් කියන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි ක්ෂේත‍්‍රවල පෞද්ගලික අංශයට ඉඩදෙන ගමන්ම (නවලිබරල් ධනවාදය) ආයෝජකයන්ගෙන් අයකර ගන්නා බදුවලින් ඒ සේවාවන් නොමිලේ රජය මඟින් ලබාදෙන බවත් (සමාජවාදය) කියනවා. මේකට තමයි සමාජ වෙළෙඳපොළ ආර්ථිකය කියලා නමක් දාලා තියෙන්නේ. බැලූ බැල්මට දෙමුහුමක් වගේ පෙනුනට මේක දෙමුහුමක්වත් නෙවෙයි. පරණ නවලිබරල් ධනවාදයටම සුභසාධන අයිසිං තැවරීමක්. මේක ලංකාවේදී එජාපය විතරක් කරන මැජික් එකක් නෙවෙයි, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව ලොව බොහෝ අධිරාජ්‍යවාදී රටවල් පැමිණි ස්ථාවරයක්.

‘අලූත් රටක්’ වැඩපිළිවෙළ තුළ ඇත්තටම සිදු වෙන්නේ විවෘත ආර්ථිකයම පුළුල් කිරීම බව එහි ලියලා තිබෙනවා. ඊට අමතරව ඒ වැඩපිළිවෙළේ මූලික ක‍්‍රියාමාර්ග දකිද්දිත් ඒක පැහැදිලි වෙනවා. එක්සත් ජාතික පක්ෂය පවසන ආකාරයට විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් ලංකාව තුළ විශේෂ කලාප පිහිටුවනවා. මේ කලාප අපට අමුතු දෙයක් නෙවෙයි. වත්මන් එජාප නායක රනිල්ගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ පාලන කාලය තුළ ආයෝජකයන් සඳහා සාමාන්‍ය කම්කරු නීති බලපවත්වන්නේ නැති විශේෂ කලාප පිහිටුවූවා. ඒවා හැඳින්වූයේ ‘නිදහස් වෙළෙඳ කලාප’ යන නමින්. ඒවායේ නිදහස ලැබුණේ ප‍්‍රාග්ධන හිමියන්ට මිස වැඩ කරන ජනතාවට නෙවෙයි. මේ කලාප යළිත් වෙනස් නම්වලින් ඉදිරියට එනවා. එජාප වැඩපිළිවෙළට අනුව රටපුරා ආර්ථික සංවර්ධන අධිකලාප 48ක් හා හම්බන්තොට, රයිගම, මහඔය, ත‍්‍රිකුණාමලය, වන්නි, කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, කිලිනොච්චිය යන ප‍්‍රදේශවල කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාප 11ක් පිහිටුවීමට නියමිතයි.

මේ ප‍්‍රදේශත් ඇතුළුව මේ කලාප පවා අපට අමුත්තක් නොවන්නේ මේවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2011දී ගෙන ආ ජාතික භෞතික සැලැස්ම තුළත් අඩංගු වූ නිසා. රනිල් ‘පොකුරු ගම්මාන 2500’, ‘බස්නාහිර පළාතේ මෙගා පොලිස් මහා නාගරිකය’, ‘කාර්මික කලාප යා කරන අධිවේගී මාර්ග’ ගැන කියනවිට අපට නිතැතින් සිහිපත් වෙන්නෙ මහින්දගේ ජාතික භෞතික සැලැස්මේ ජනගහනයේ ව්‍යාප්ති රටාව වෙනස් කිරීමේ සැලැස්ම. රනිල්ගේ සංචාරක සංවර්ධන කලාප හා කෘෂිකාර්මික සංවර්ධන අධිකලාප 23 ගැන අසන විට සිහිපත් වන්නේ ඉතිරි ඉඩම් සංචාරක කර්මාන්තයට හා බහුජාතික සමාගම්වල වාණිජ වගාවන් සඳහා ලබාදෙන මහින්දගේ සැලැස්ම. බලාගෙන යනකොට එජාපය ඉදිරිපත් කරන්නේත් කලින් සන්ධානය ඉදිරිපත් කළ සැලැස්මමයි. මේ අනුව එජාපය ඉදිරිපත් කරන්නේ විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ ජාතික ධනය වැඩි කිරීම සඳහා අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්. ඒ කියන්නේ යම් හානි අවම කිරීමේ ක‍්‍රියාමාර්ග කිහිපයකුත් සමඟ නවලිබරල් ධනවාදී සැලැස්ම ඉදිරියට ගෙන යාම. මහින්දව එළවනවා කීවාට එජාපය වැලඳගෙන තිබෙන්නේ මහින්ද සහ මහින්දගේ වැඩපිළිවෙළමයි.

අධ්‍යාපනය – සෞඛ්‍යය – ප‍්‍රවාහනය

සමාජවාදී අයිසිං එකකුත් තවරගෙන ආවාට එජාපයේ මේ වැඩපිළිවෙළ අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය, ප‍්‍රවාහනය වැනි සමාජ ආරක්ෂණ සේවාවන් ගැන කියන ප‍්‍රතිපත්තිය මොකක්ද? ඒ ප‍්‍රතිපත්තිය වෙන මොකුත් නෙවෙයි, ඒවායේ වගකීමෙන් රජය ඉවත් වෙලා ඒවා වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම බව මැතිවරණ ප‍්‍රකාශනයෙන් පෙනෙනවා.

අපි මුලින්ම ප‍්‍රවාහනය ගැන සඳහන් කොටස දෙස බලමු. ඒකේ වැඩිපුර තිබෙන්නේ පාරවල් හදන එක ගැන. රජය මැදිහත් වී ලාභදායී පොදු ප‍්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම ගැන කියන්නේ නෑ. මහින්දගේ ප‍්‍රතිපත්තිය උනේත් ඒකමයි. පසුගිය අයවැයේදී මහින්ද මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 200ක් වෙන් කරද්දී පොදු ප‍්‍රවාහනය වර්ධනය කරන්න වෙන් කර තිබුණේ රුපියල් බිලියන 50ක් විතරයි. එාජාපයත් ඉන්නේ ඒ ප‍්‍රතිපත්තියේම බව මේ ප‍්‍රකාශනය කියවන විට පැහැදිලි වෙනවා. මේ ප‍්‍රකාශනයේ ලංගම ගැන වචනයක්වත් නෑ. පෞද්ගලික බස්රථ පමණක් පොදු ප‍්‍රවාහනය ලෙස හඳුන්වා දෙන අතර ඒකෙදිත් බර තියලා තියෙන්නේ බස්හිමියන්ගේ ස්ථාවරත්වය රැකගැනීමට.

  • “මඟීන්ගේ සුව පහසුව හා ආරක්ෂාකාරී ගමනාගමනය සඳහා පොදු බස් ප‍්‍රවාහනය දියුණු කිරීම සහ ප‍්‍රවාහන සේවා සැපයුම්කරුවන්ගේ ව්‍යාපාරික තත්වය ස්ථාවර කිරීමට කටයුතු කරන්නෙමු” (පිටුව 18)

ත‍්‍රිරෝද රථවලට සහ පාපැදිවලට අවධානය යොමුකර ඇති ප්‍රමාණයෙන්ම පොදු ප්‍රවාහනය ගැන ස්ථාවරය තේරුම් ගන්න පුළුවන්.

සෞඛ්‍ය තත්වය හා අධ්‍යාපනය ගැනත් තිබෙන්නේ මේ නවලිබරල් ප්‍රතිපත්තියමයි. නම සමාජ – වෙළෙඳපොළ ආර්ථිකය වුණත් ක‍්‍රියාමාර්ග සැලසුම් කර තිබෙන්නේ වෙළෙඳපොළ ගැන පමණක් හිතලා මිස සමාජය ගැන හිතලා නෙවෙයි. පුවත්පතේ ඉඩකඩ සීමාව නිසා සෞඛ්‍ය සේවය ගැන තිබෙන එක වාක්‍යයක් ගැන පමණක් කතා කරමු.

  • “ජාතික සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ආරම්භ කරනු ඇත” (පිටුව 19)

රක්ෂණාවරණයක් අවශ්‍ය වෙන්නේ අපි අසනීප උනාම ප්‍රතිකාර ගන්න මුදල් අවශ්‍ය වෙනවානම්. ඒ කියන්නෙ නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ, ප‍්‍රතිකාරවලට මුදල් ගෙවන්න වෙනවා. අපි කියන්නේ සෞඛ්‍ය සේවය අයිතියක්, ඒ නිසා ඒක මුදලට විකුණන්න එපා කියලා. එජාපය කියන්නේ ඒක මාසික රක්ෂණ වාරික ක‍්‍රමයට කොටස් වශයෙන් ගෙවන්න දෙන්නම්, එකවර මුදල ගෙවන්න අවශ්‍ය නෑ කියලා. මේක යන්නෙ කොහෙද, මල්ලෙ පොල් වගේ කතාවක්. අන්තිමට වෙන්නේ මාසෙ ආදායමෙන් මේ ගෙවන ඒවාට අමතරව සෞඛ්‍ය රක්ෂණ වාරිකයකුත් ගෙවන්න වෙන එක. ඒ වාරිකය ගෙවන්න බැරි අයට ප‍්‍රතිකාර නැතිව මැරෙන්න වෙන එක.

අධ්‍යාපනය ගැන ප්‍රතිපත්තිය මේකමයි. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම වගේම අධ්‍යාපනය වෙළෙඳපොළ රූකඩයක් බවට පත් කර රැකියාවලට අවශ්‍ය වහලා නිර්මාණය කිරීමට පමණක් අධ්‍යාපනය භාවිත කිරීම. එජාප ප්‍රකාශනයෙන් උපුටා ගත් මේ ප්‍රතිපත්තිය දෙස බලන්න.

  • “විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සහ කර්මාන්ත හා රැකියා වෙළෙඳපොළ අතර සම්බන්ධතාව ශක්තිමත් කෙරේ.
  • “ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව උපාධි පාඨමාලා දෙකක්වත් 2017 වන විට සෑම විශ්වවිද්‍යාලයක් විසින්ම හඳුන්වා දිය යුතු වේ.” (පිටුව 24)

අධ්‍යාපනයට අත්වන ඉරණම පැහැදිලි කරගන්න ඒ උදාහරණ දෙක පමණක් වුව ප‍්‍රමාණවත්. පෞද්ගලික අධ්‍යාපන ආයතන නීතිගත කිරීම පිළිබඳවත් එජාපය සඳහන් කරනවා.

  • “රටේ පොදු අධ්‍යාපන ප්‍රතිපත්තියට ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් කරන්නෙමු” (පිටුව 22)

අපි අරගල කරන්නේ අධ්‍යාපනය අයිතියක්, ඒක විකුණන්න එපා කියලා. එජාපය ඒකටත් දෙන්නේ සෞඛ්‍ය සේවය ගැන වගේම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ උත්තරයක්. ඒ කියන්නේ අපි අධ්‍යාපනය විකුණනවා, සල්ලි නැති අයට ණයට දෙන්නම් කියලා.

  • “තාක්ෂණ වෘත්තීය සහ උපාධි පාඨමාලා හදාරන උසස් අධ්‍යාපනයේ නියුක්ත ශිෂ්‍යයන්ට දීමනා සහ ණය පහසුකම් ලබාදෙන වවුචර් ක‍්‍රමයක් හඳුන්වා දෙන්නෙමු” (පිටුව 23)

ඒ නිසා එජාපයේ ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලියි. සමාජ වෙළෙඳපොළ ආර්ථිකය වගේ අලූත් නම් යොදා ගත්තට ක‍්‍රියාත්මක කරන්නේ 1978 ඉඳලා පට්ට ගහපු පරණ ප්‍රතිපත්තියමයි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට රට ගොදුරු කරන, සමාජ සුභසාධන අහිමි කරන ප්‍රතිපත්තියමයි. ඒ නිසා එජාපයේ මාස 60කින් හැදෙන්නේ අලූත් රටක් නෙවෙයි, පරණ වෙලා පිළුණු වූ රටක් හා සමාජයක්. ‘අලුත් රටක්’ ප්‍රතිපත්ති ප‍්‍රකාශනය ගැන අපට කියන්න තියෙන්නේ ඒක.

දිනිත් හෙට්ටිආරච්චි