සන්ධානයේ සහතිකය කාගේ අනාගතයටද?

UPFA-manifesto-02”අනාගතයට සහතිකයක්” නමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජූලි 28 වැනිදා නිකුත් වුණා. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙන සමහර දේවල් දැක්කම හිනා යනවා. මහජන මුදල් වංචා කිරීම හා දූෂණය නවත්වන්න ව්‍යුහයන් ස්ථාපිත කිරීම, දූෂිතයන්ට දඬුවම් දීම වගේ දේවල් අවුරුදු ගාණකට පස්සේ එකපාරටම මතක් වෙලා, මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට දාලා. මහින්දගේ අවුරුදු 10ක පාලන කාලය ඇතුලේ මේවා මතක් නොවුණේ ඇයි කියන ප‍්‍රශ්නය මතු වෙනවා. දූෂණ නැවැත්වීම විතරක් නෙවෙයි රාජ්‍ය සේවය දේශපාලනිකකරණය නතර කරන්න කොමිෂන් සභා පිහිටුවීම හා එය තවත් ශක්තිමත් කිරීම ගැනත් මේ ප‍්‍රකාශනයේ ලියලා. මේ ප‍්‍රකාශන ලියන අයයි ඒවා ජනතාවට බෙදන අයයි හිතාගෙන ඉන්නේ අපි මැරිලා-ඉපදිලා කියලා වෙන්න ඕන. නැතිනම් 2010දී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් කොමිෂන් සභා අහෝසි කළ අය, ඒ කරපු දේ ගැන වචනයක්වත් සිහිපත් නොකර 2015දී කොමිෂන් සභා ස්ථාපිත කිරීමක් ගැන කියන්නේ කොහොමද? ඊටත් වඩා හාස්‍යජනක (තවත් අතකින් ඛේදජනක) කාරණය තමයි ජාතික ගැටලූව ගැන තිබෙන කොටස. තමන්ම පත් කළ උගත්පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අවුරුදු ගණනාවක් ක‍්‍රියාත්මක නොකර, ඒ වාර්තාව කුණු කූඩයට දාලා තිබුණු සන්ධානය එක්වරම නින්දෙන් ඇහැරුණා වගේ ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ගැන කියනවා. සන්ධාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ජාතික ගැටලූව ගැන කොටස මේ වගේ පොඩි පොඩි කරුණු කීපයක් හැරුණු විට මුළු අවධානයම යොමු කරලා තිබෙන්නේ ජාතිවාදය අවුස්සන්න. ”බෙදුම්වාදයට යළි හිස එසවීමට ඉඩ නොදීම” වගේ සටන් පාඨ වැඩිපුර ඔබ්බලා ජාතිවාදයෙන් යළිත් වරක් බලය ඩැහැගන්න උත්සාහ කරන්නේ. කොහොම වුණත් ඉතිරි ක්ෂේත‍්‍ර සියල්ල ගැන අවධානය යොමු කරන්න අපහසු නිසා අපි දේශපාලන හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැන විතරක් මේ ලිපියෙන් කතා කරමු.

  • විධායක ක‍්‍ර‍්‍රමය හෝද හෝද මඬේ දැමීම

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තමන් යෝජනා කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහා අනාගතයට දෙන සහතිකය ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආරම්භයේදීම විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට අදාළ කටයුත්ත අතපසු වූ බව නිහතමානීව පිළිගන්නා බව සඳහන් කර තිබෙනවා. නමුත් ඒ නිහතමානීත්වය ගැන සැක පහළ වෙන්නේ එතැනින් පසු තිබෙන කරුණු දැක්කාම. ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය ගෞරවණීය තත්වයකට ගෙන ඒමට අත්‍යවශ්‍ය වන ප‍්‍රධාන අංගයක් ලෙස එහි පියවර තුනක් දක්වා තිබෙනවා.

  1. විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සංශෝධනය කිරීම
  2. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම
  3. පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ සටන් පාඨය යටතේ ඇත්තටම සිදු වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් ක‍්‍රියාදාමයක් බව අපි මීට පෙරත් ප‍්‍රකාශ කළා. සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඒක ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකරන බවත් කරන්නේ එහි ඇතැම් බලතල සංශෝධනය කරන බවත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන කීවේත් මේ කතාවමයි. නමුත් මේ ආකාරයට සංශෝධනය කරන බලතල මොනවාදැයි ජනාධිපතිවරණයේදී නිශ්චිත කර කිව්වේ නෑ. ඒ නිසාම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිකම් පුස්සක් වුණා. දැන් ඒ තක්කඩි වැඬේම දෙවැනි වරටත් කරන්නයි සන්ධානය සූදානම් වෙන්නේ. ”අනාගතයට සහතිකයක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කිසිම තැනක දැනට විධායක ජනාධිපතිවරයා සතු බලතලවලින් ඉවත් කෙරෙන්නේ මොන බලතලද කියලා ලියලා නෑ. ඒ වෙනුවට බලතල සංශෝධනය කිරීම කියලා නිකම් වියුක්ත අදහසක් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ නැවතත් වෙන්න යන්නේ පරණ කතාවමයි. විධායක ජනාධිපති ක‍්‍රමය එලෙසම පවත්වාගෙන යන්නයි මේ කුරුමානම. ඒ අතර මැතිවරණ ක‍්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තුවේ බහුතර බලය තනි පක්ෂයකට සහතික කරන්නත් ඒ වැඩපිළිවෙළ යෝජනා කරනවා.

”ඒ අනුව මීළග මහ මැතිවරණයෙන් පසු 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කර ඊට අනුරූප මැතිවරණ පනතක් සම්මත කරන අතර ඡන්ද ප‍්‍රදේශ සීමා මායිම් නිර්ණය කිරීමට කටයුතු කෙරේ” (පිටුව 51).

මේ කියන්නේ විධායක ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම තනි පක්ෂයකට හිමි වන ක‍්‍රමයක් ගැන සහතිකය දෙන්නේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නෙවෙයි, පාලක පන්තියේ බලය ස්ථාවර කරගන්න. මේක තුලනය කරන්න පක්ෂවල සාමාජිකයන් ඒවායේ තීන්දු තීරණ ගන්නා ක‍්‍රියාවලියට සම්බන්ධ කිරීම හා තීරණ ගැනීමේ මණ්ඩල අඛණ්ඩව රැුස්වීම නීතිගත කරන බව කියා තිබෙනවා. මේවට කියන්නේ ‘වැදි බණ’ කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දශමයක්වත් අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ. මධ්‍යම කාරක සභාව රැුස්වීම අත්හිටුවා අධිකරණ නියෝගයකුත් නිකුත් කරලා තියෙන්නෙ. අනුන්ගෙ ඇස්වල කුණුරොඩු හොයන්න කලින් තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය මේ අය සෙවිය යුතුයි. අඩුම ගානේ තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාවවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස වෙනස් කරන්න පියවරක් නොගෙන අනෙක් පක්ෂ ගැන නීති හදනවා කියලා දෙන පොරොන්දු විහිළු හැර වෙන මොනවද? ඒ නිසා සන්ධානය යෝජනා කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දිශානතිය තිබෙන්නේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් හකුළුවලා පාලක පන්තියේ බලය වැඩි වැඩියෙන් ශක්තිමත් කරන දිශාවට.

  • ආයෝජන මේනියාව

එක්සත් ජාතික පක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මුළුමනින්ම පාහේ සමාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආර්ථික ප‍්‍රතිපත්ති ආර්ථිකයේ තිබෙන අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධිවලට පිළියම් ලෙස ඖෂධ දෙකක් යෝජනා කර තිබෙනවා. ඒ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම සහ විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම. ජාතික නිෂ්පාදනයේ ඵල වැඩකරන ජනතාවට හා රටේ පහළ පන්තීන්ට බෙදාහරින විදියක් ගැන සඳහනක්වත් නෑ. කතා කරන්නේ ජාතික ධනය ඉහළ නැංවීම ගැන. 2005දී ඩොලර් බිලියන 25ක් වූ දළ දේශීය නිෂ්පාදිතය 2015දී ඩොලර් බිලියන 75ක් දක්වා වැඩි කළ බවට පුරසාරම් කියන සන්ධානය 2020 වන විට එය ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ නංවන බව කියනවා. නමුත් මේක කිසිසේත්ම රටේ ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නංවන්නේ නෑ. 2005 සිට 2015 දක්වා දළ දේශීය නිෂ්පාදිතය තුන් ගුණයක් වුණාට ඒ අවුරුදු 10 තුළ පවුලේ ආදායම තුන් ගුණයක් වූ පවුල් කීයක් රටේ තිබෙනවාද? බහුතරයකට වුණේ රුපියලේ අගය බාල්දුවීම හා බඩු මිල ඉහළ යාම නිසා ජීවන මට්ටම තිබුණාටත් වඩා පහළ වැටීම. රටේ දුප්පත්ම 20%ක ජනගහනයට ජාතික ආදායමෙන් ලැබෙන්නේ 4.4%ක සොච්චමක් පමණක් බව අප අමතක කරන්න නරකයි.

සන්ධානය මේ විදියට ජාතික ආදායම වැඩිකර ගන්න උත්සාහ කරන්නේ මොන විදියටද? කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල ප‍්‍රමුඛතා හඳුනා ගන්න විද්වතුන්ගෙන් සමන්විත ”ජාතික ආර්ථික උපදේශක කමිටුවක්” හදන බව කියනවා. නමුත් ඒ අතරම තමන් ප‍්‍රමුඛතාව දෙන්නේ මූල්‍ය ප‍්‍රාග්ධනය පිම්බීමට බවත් කියනවා. දැනට ඩොලර් බිලියන 28ක අගයක තිබෙන සමස්ත වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 100 දක්වා වර්ධනය කරන බව මූලික පොරොන්දුවක්. කොටස් වෙළෙඳපොළට ඕනෑම පුරවැසියකුට ඇතුළුවීමට ඉඩ සැලසීම තවත් පොරොන්දුවක්. ලංකාව කලාපීය ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් කිරීම තවත් පොරොන්දුවක්. ලංකාවේ බැංකු, රක්ෂණ සමාගම් වැනි මූල්‍ය ආයතන කලාපීය හා ගෝලීය වෙළෙඳපොළට ව්‍යාප්ත කිරීම තවත් පොරොන්දුවක්. (මේ සඳහා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 13, 14 පිටු පරිශීලනය කරන්න). ඒ නිසා නවලිබරල් ධනවාදී ප‍්‍රමුඛතා දැනටමත් හඳුනාගෙන අවසන්. අර කියන ජාතික ආර්ථික උපදේශක කමිටුවට කරන්න තියෙන්නේ ඒවා ක‍්‍රියාත්මක කිරීම. ඒ නිසා මේ කියන ජාතික ධනය ඉහළ නැංවීම ඇතුළත හරයක් නැතිව බොරුවට පුම්බන ”නවලිබරල් බුබුළු ආර්ථිකයක්” නිර්මාණය කර අවසන් විය හැකි ව්‍යාපෘතියක්.

සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ආර්ථිකය සඳහා කරන දෙවැනි යෝජනාව ආයෝජන ඉහළ නැංවීම. විදේශ ආයෝජකයන් ලවා කර්මාන්තශාලා 326ක් ආරම්භ කිරීමේ යෝජනාවක් තිබෙනවා. මීට අමතරව ආයෝජකයන්ට බාධාකාරී වන පවතින නීති පවා ඉක්මවා යන නව පනතක් සම්මත කර ගෝලීය ප‍්‍රාග්ධනයට රටේ වෙළෙඳපොළ විවර කරන බව සඳහන් වෙනවා.

”කර්මාන්තයක් ආරම්භ කිරීමේදී, පුළුල් කිරීමේදී හා පවත්වාගෙන යාමේදී වර්තමානයේ බලාත්මකව පවතින විවිධ පනත්වල පවතින පරස්පරතා හේතුවෙන් අපහසුතාවට පත් වන කර්මාන්තකරුවන් මුහුණ දෙන විවිධාකාර බාධා ඉවත් කර ඔවුන් දිරි ගැන්වීමට සහ ඊට පහසුකම් සැලසීමට නව නීතිමය රාමුවක් හඳුන්වා දෙන්නෙමු. ඒ සඳහා පූර්ණ බලතල සහිත කර්මාන්ත සංවර්ධන පනත ගෙන එන්නෙමු” (පිටුව 19) මෙසේ ආයෝජකයන්ට පාවඩ එලන අතර ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ට සිදුවන දේ ගැන කිසිවක් නොකියා සිටීමට සන්ධානය ප‍්‍රවේශම් වී තිබේ. සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කර දැනට සංචාරක කර්මාන්තය හරහා ලැබෙන ඩොලර් බිලියන 2.7ක වාර්ෂික ආදායම 2020 වන විට ඩොලර් බිලියන 5 දක්වා දෙගුණයකින් පමණ ඉහළ නංවන බව පවසා ඇත. එහෙත් එකී කර්මාන්තයේ සේවයේ නියුතු සේවකයන් ගැන වචනයක්වත් සඳහන් කර නැත. ඇගලූම් කර්මාන්තය තුළ සිටින කම්කරුවන්ගේ වැටුප් ගැන කිසිවක් නොකියා ඔවුන්ට ‘උපදේශන සේවා’ සපයන බව පවසා තිබෙනවා.

ඇගලූම් කම්කරුවන්ට තිබෙන ප‍්‍රශ්නය උපදේශන සේවා නැතිකම නෙවෙයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන බව පවසා තිබෙන්නේ වතු හිමියන්ගේ ලාභයෙන් කොටසක් යොදවා නෙවෙයි. ඒ සඳහා මහජන අරමුදල්වලින් කොටසක් යොදවන බවයි සන්ධානය කියන්නේ. පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් ගැන කිසිවක් නොකියා අවම මූලික වැටුප පමණක් රුපියල් 3000කින් ඉහළ නංවන බව කියනවා. ඒ නිසා සන්ධානය ඉන්නේ පරණ ප‍්‍රතිපත්තියේමයි. විදේශීය ප‍්‍රාග්ධන හිමියන්ට සියලූ සහන දීම සඳහා ජනතාවගේ සහන උදුරා ගන්නා ප‍්‍රතිපත්තිය. ආයෝජකයන්ට තමන් කැමති පරිදි ශ‍්‍රමිකයන් සූරාකන්නත්, පරිසරය වනසන්නත් ඉඩ විවර කර දෙන ප‍්‍රතිපත්තිය. ඒ අතර අරයට 1000යි, මෙයාට 5000යි, අහවලාට 3000යි ආදි ලෙස දවසෙන් දියවෙලා යන තෑගි බෙදලා පහළ පන්තිය අන්දන ප‍්‍රතිපත්තිය. සන්ධානය සහතිකය දෙන්නේ හෙටත් අද වගේමයි කියලා. ඒත් රත්න ශ‍්‍රී විජේසිංහ කවියක මෙහෙම කියනවා. ”එහෙත් හෙට අද වගේ නෙවෙයි”

දිනිත් හෙට්ටිආරච්චි