අනේ හැබෑට මෙහෙමත් නාඩගම්

පරණ නාඩගම්වල අලූත් පිටපත් රඟදැක්වීම ආයෙත් ආරම්භ වෙලා. එහෙම නාඩගම් ගණනාවක් තිබෙනවා. මේ දවස්වල ඒවා රඟ දැක්වෙද්දී ඒවා මීට කලින් දැකලා තිබෙනවා වගේ හැඟීමක් එන්නේ මේ කරළිගත වෙන්නේ ඒ නාඩගම්වල නළුවන් වෙනස් කළ නව නිෂ්පාදනය නිසා. පිටපත ඒකමයි. ඒ වචනමයි. ඒ ෆයිට්මයි. නළුවන් විතරක් වෙනස්. ඒ අතරින් අලූත්ම නාඩගම තමයි ‘අධිවේගී මාර්ග කතා වස්තුව’. ජූලි 4 වැනිදා මාධ්‍ය සාකච්ඡුාවක් තියපු එක්සත් ජනතා නිදහස් සන්ධානය අධිවේගී මාර්ග හරහා වෙන නාස්තිකාර වියදම් ගැන ගොඩක් දේවල් කතා කළා. ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, බන්දුල ගුණවර්ධන ඇතුළු සන්ධානයේ කට්ටිය එදා මාධ්‍ය සාකච්ඡුාවට ආවේ වස බෝතල් උස්සගෙන. වස බෝතල් ඉස්සරහින් තියාගෙන ඒ අය කීව කතාවට පාදක වුණේ 3 වැනිදා විවෘත කළ මධ්‍යම අධිවේගී මාර්ගය. සන්ධානය කියන කතාව මේකයි. ඒ අය කියන විදියට මේ අධිවේගී මාර්ගයට අදාළ ඉංජිනේරු තක්සේරුව රුපියල් බිලියන 120යි. ඒත් චීන එක්සිම් බැංකුව හා එම්.සී.සී. නම් සමාගම සමඟ කොන්ත‍්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ ව්‍යාපෘති වියදම ලෙස රුපියල් බිලියන 145.9ක් සඳහන් බවත් මෙහිදී විශාල වංචාවක් සිදු වී ඇති බවත් සන්ධානය පවසනවා. ඔවුන් මාධ්‍ය සාකච්ඡුාවට වස බෝතල් ගෙනැවිත් තිබුණේ රනිල් වික‍්‍රමසිංහට පානය කිරීමට ලබා දෙන්න. පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමකට එළඹුණු අවස්ථාවේදී සිංගප්පූරුවේ ලීක්වාන් යූ මහජන මුදල් වංචාකරන අය වස පානය කළ යුතු යැයි කිවූ බව මාදුළුවාවේ සෝභිත හිමි පවසා තිබුණා. ඩිලාන් පෙරේරා කියන්නේ ඒ ගිවිසුමට අනුව කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළ රනිල් වස පානය කළ යුතු බව.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඇත්තටම වස පානය කළ යුත්තේ සන්ධානය බව. ඔහුගේ නිවේදනයේ සඳහන් ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉංජිනේරු ඇස්තමේන්තුව රුපියල් බිලියන 348යි. ඒත් මහින්ද රාජපක්ෂ පාලනය එයට රුපියල් බිලියන 741ක් වියදම් කරලා. කටුනායක අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තු කළ මුදල රුපියල් බිලියන 38ක් වුණත් බිලියන 47.5ක් වියදම් කරලා. ඒ සන්ධානයේ පාලන කාලයේ කැරැුට්ටුව. මේ ද්වන්ද්ව සටන් බැලූවම පේන්නේ දෙගොල්ලොම මහජන මුදල් හිතේ හැටියේ විනාශ කරන බව. දැන් මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ට වස බොන්න කියනවා. ඒ ගොල්ලො මේ ගොල්ලන්ට වස බොන්න කියනවා. ඔය කවුරුත් වස බොන්නෙ නෑ. අන්තිමට වස බොන්න වෙන්නේ ජනතාවට. (දැනටමත් හාල්වල වස, එළවළුවල වස, වෙළෙඳපොළෙන් ගන්න රසකාරකවල වස, මස් මාළු කල්තබාගන්න එකතු කරපු වස, රතුපස්වල – තුන්නාන – චුන්නාකම් වගේ පැතිවල සංවර්ධනයේ නාමයෙන් එකතු කළ වස ඇතුළුව දැනට ඇතුළු කර ගන්නා වසවලට අමතරව*

මේ ජාතියේ නාඩගම් තව විශාල ප‍්‍රමාණයක් කරළිගත වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය සන්ධානයේ පාලන කාලය තුළ තිබුණේ ගජමිතුරු ආර්ථිකයක් කියලා කියනවා. මීට වසර 20කට පමණ පෙර 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග එද්දී ඇය කිව්වෙත් එක්සත් ජාතික පක්ෂයේ ‘ගජමිතුරු ධනවාදය’ වෙනුවට ‘මානුෂික මුහුණුවරකින් යුත් විවෘත ආර්ථිකය’ හදනවා කියලා. එදා ගජමිතුරු ආර්ථික ප‍්‍රතිපත්තියට විරුද්ධව කෑගහපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අද ගජමිතුරු චෝදනාවට ලක්වෙලා. අවුරුදු 20ක් තිස්සේ මොන මානුෂික මුහුණුවරක්වත් නැතිව අන්තිම ම්ලේච්ඡු විදියටම විවෘත වෙළෙඳපොළ ආර්ථිකය පවත්වාගෙන ගිහිල්ලා. එදා ගජමිතුරු විවෘත ආර්ථිකය පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂය අද ඇවිත් ‘ගජමිතුරු ආර්ථිකය’ වෙනුවට ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්’ හදමු කියනවා. වීරයයි දුෂ්ටයයි මාරුවෙලා එකම චිත‍්‍රපටය නැවත රඟදැක්වෙනවා කියලා අපි කලින් සතියක ලිව්වේ ඒකයි.

එක්සත් ජාතික පක්ෂයයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයි එකම නාඩගම චරිත මාරු කර ගනිමින් රඟපෑම ගැන අපට අලූතින් පැහැදිලි කරන්න තරම් දේකුත් නෑ. ඉතිහාසයක් පුරා ලංකාවේ ජනතාව මේ සිදුවන දේ අත්දැක තිබෙනවා. නමුත් ඒ දේම නැවත නැවතත් සිදු වෙනවා. වසර 7ක සමගි පෙරමුණු පාලන කාලයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය 1977දී ඇවිත් අලූත් ජීවිතයක් පොරොන්දු වුණා. ඒ සඳහා අපේ රටේ ජනතාව එජාපයට අවුරුදු 17ක්ම කල් දුන්නා. පරණ ජීවිතයම මිස අලූත් දෙයක් වුණෙත් නෑ. ඊට පස්සේ ඒක වෙනස් කරන්න කියලා 1994දී පොදු ජන එක්සත් පෙරමුණට බලය දුන්නා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව සන්ධානය අවුරුදු 20ක් රට පාලනය කළත් අලූත් ජීවිතයක් නෑ. පරණ ජීවිතයමයි. පරණ රටමයි. දැන් එදා පොරොන්දු කඩ කළ එජාපය ‘මාස 60කින් අලූත් රටක්’ කියාගෙන පරණ කතාවම ඉදිරියට දාලා බලය ගන්න හදනවා. පොරොන්දු කඩ කළ සන්ධානය ‘අනාගතයට සහතිකයක්’ කියාගෙන පරණ පාරේම යනවා. ඒ කාලයේ ‘උනුත් එකයි – මුනුත් එකයි’ කියලා මේ නාඩගම හෙළිදරව් කරන්න ආපු ජනතා විමුක්ති පෙරමුණ ඒ නාඩගමේම කොටස්කාරයෝ වෙලා ‘උන්ට වඩා මුන් ටිකක් හොඳයි’ වගේ කතා මුමුණමින් ඉන්නවා. අලූත් ජීවිතයක් පොරොන්දු වූ හැම දෙනාම අමු අමුවේ පොරොන්දු කඩලා, බලාපොරොත්තු විනාශ කළාට පස්සේ ජනතාව කළ යුත්තේ කුමක්ද?

ජනතාව කළ යුතු දේ ඉතා පැහැදිලියි. මේ තරම් පාවාදෙනු ලැබූ තත්වයක් තුළත් ධෛර්්‍යය නොසිඳී තබා ගැනීම. එක එක අයව සිංහාසනාරූඪ කරනවා වෙනුවට තමන්ගේම සංවිධානාත්මක බලයක් ගොඩනඟන්න උත්සාහ කරන එක. රාජ්‍ය බලයේ ගොදුරු බවට පත්වෙනවා වෙනුවට රාජ්‍ය බලය හසුරුවන සුක්කානම තමන් අතට ගන්න එක. බර්ටෝල් බ්‍රෙෂ්ට් නම් ජර්මානු සාහිත්‍යවේදියා තමන්ගේ කවියක මෙහෙම කිව්වා.

”අධෛර්්‍යයවත් නොවව්

දියත් කරව් නැණ නැව

කරව් තරණය – සිදු සයුර අපරිමිත

උදුරා ගනිව් නායකත්වය”