හැමදෙනාම සමාජවාදී වීම

Manifesto_3මේ දිනවල කෙරෙන දේශපාලන සංවාදයේ කොටස්කරුවන් වන අයකුට හිතෙන්නේ හැමදෙනාම සමාජවාදීන් බවට පත්වී ඇති බවය. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකිනෙකා පරයමින් තමන් සමාජවාදී ප‍්‍රතිපත්ති අනුගමනය

කරන බව පැවැසීමට පටන්ගෙන තිබේ. ඔවුන් කියන ආකාරයට ඔවුන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප‍්‍රතිපත්තිවල වැඩකරන ජනතාවටත් සමාජයේ පහළ ස්තරවලටත් ශ‍්‍රමයේ ප‍්‍රතිලාභ හිමිකර දෙන යෝජනා ඇතුළත් කර තිබේ. ඔවුන් කියන්නේ සිය අරමුණ නිෂ්පාදනයේ ප‍්‍රතිඵල සාධාරණ ලෙස බෙදාහැරීම බවය. එනම් සමාජවාදී ප‍්‍රතිපත්ති බවය. මේ ප‍්‍රතිපත්තියට එකිනෙකා විවිධ නම් පටබඳිමින් එකම කතාව කියමින් සිටී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෙය ‘ජනතා කේන්ද්‍රීය’ ආර්ථික ප‍්‍රතිපත්තියක් බවය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තම ප‍්‍රතිපත්තිය ධනවාදයේත් සමාජවාදයේත් ලක්ෂණ ඒකරාශී කරගත් ‘සමාජ – වෙළෙඳපොළ ආර්ථිකය’ක් බවය. මේ ප‍්‍රතිපත්තියටම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ‘නවීන සමාජවාදය’ කියාය. කුමන නම භාවිත කළත් මේ කරන්නේ පරණ නවලිබරල් ප‍්‍රතිපත්තියම අලූත් දවටනයකින් ඉදිරිපත් කිරීමයි. රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය පිළිබඳ දැවැන්ත විරෝධයක් සමාජයේ ගොඩනැඟීමෙන් අනතුරුව ආර්. පේ‍්‍රමදාස එයට ‘ජනතාකරණය’ නම් ලස්සන නමක් යොදා පැරණි පෞද්ගලිකකරණ ප‍්‍රතිපත්තියම ක‍්‍රියාවට නැංවූ ආකාරය මෙහිදී සිහිපත් කර ගත යුතුය. මොන නමෙන් ආවත් මේ ප‍්‍රතිපත්තියේ ප‍්‍රධානතම ලක්ෂණ තුනක් ඇත. පළමුවැන්න විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම යන ලේබලය යටතේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට දොරගුළු හැරීමයි. දෙවැන්න ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමයි. තුන්වැන්න වැඩකරන ජනතාවට වැටුප් වැඩි වීම්, සුබසාධන ආදිය යෝජනා කිරීමයි. මේ අතරින් පළමුවැන්න නිශ්චිතවම 1970 දශකයේ අගභාගයේ සිට ක‍්‍රියාත්මක වූ නවලිබරල් ප‍්‍රතිපත්තියයි. දෙවැන්න හා තුන්වැන්න ඔවුන් නම් කරන්නේ සමාජවාදී ප‍්‍රතිපත්ති ලෙසය. ඒ සෝවියට් කඳවුරේ ආර්ථික ප‍්‍රතිපත්තිය ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම හා සුබසාධන පදනම් කර ගත් බැවිනි. එහෙත් මේ සිදු වන්නේ එම ප‍්‍රතිපත්ති උරා ගැනීමක්ද එසේත් නැත්නම් ගෝලීය ධනවාදයේ උවමනාවන් ඉටු කිරීමක්ද?

  •  අර්බුදයේ කතන්දරය

එම ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට නම් අපට වත්මන් සමාජ – ආර්ථික ක‍්‍රමය තුළ ඇති වූ අර්බුදත් එම අර්බුදවලට ඔවුන් පිළිතුරු සපයා ගත් ආකාරයත් පිළිබඳ ඉතිහාසය පිරික්සීමට සිදු වේ. ධනවාදයේ ඉතිහාසය පිරී ඇත්තේ ආර්ථික අර්බුදවලිනි. ආර්ථික අර්බුද ධනවාදයේම මූලික ලක්ෂණයකි. ධනවාදයේ පදනම වන්නේ ලාභ සෙවීම හා ලාභ වැඩි වැඩියෙන් සෙවීම සඳහා වන තරගයයි. මේ තරගයේදී වැඩි පාරිභෝගිකයක් ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට සිදු වේ. එවිට ලාභයද අඩු වේ. එසේ මිල අඩු නොකර අධික ලාභයක් සංකේන්ද්‍රණය කරගන්නා විට අනෙක් පැත්තේ දරිද්‍රතාව කඳු ගැසේ. එවිට ජනතාවට ක‍්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව අඩු වී යළි ලාභය අඩු වේ. එනිසා ධනවාදයට කොයි පැත්තෙන් ගියත් අර්බුද වළක්වාගත නොහැකය. ඒ අර්බුද එන්නේ ලාභ අවම වී, ප‍්‍රාග්ධන ප‍්‍රසාරණය නැවතී, ආර්ථිකය එකතැන පල්වීමෙන් අනතුරුවය. මේ අර්බුද පැනනැෙඟන්නේ මහා දැවැන්ත ආර්ථික අවපාතයන් ලෙස. දැනට ජීවතුන් අතර සිටින පරම්පරාවන් මේ ආකාරයේ මහා ආර්ථික අවපාත දෙකක් අත්දැක තිබේ. ඒ 1973දී හා 2008දීය. මේ ආර්ථික අර්බුද නිසා ධනවාදය ඉබේ බිඳවැටෙන්නේ නැත. එය හැමවිටම අර්බුදයට පිළිතුරක් සොයා ගන්නා අතර අර්බුදය පියමං කිරීමට උත්සාහ කරයි.

යුරෝපය තුළ 1929 ආර්ථික අර්බුදය පැන නැෙඟන විට ඔවුන් එයට පිළිතුරු සෙව්වේ ලොව පුරා පිහිටි යටත් විජිතවලින් අමුද්‍රව්‍ය හා ශ‍්‍රමය ඉතා අඩු මිලට, කුණු කොල්ලයට පැහැරගෙන එහි අතිරික්තයෙන් ලාභ රේට්ටු ඉහළ දා ගැනීම හරහාය. 1940 දශකය අගභාගයේ ආර්ථිකය එකතැන පල්වීමේ අර්බුදයට ඔවුන් පිළිතුරු සෙව්වේ බ්‍රෙටන්වුඞ්ස් ගිවිසුම අත්සන් කර ඩොලරය රත්තරංවලට සම්බන්ධ කර ඩොලරය ජාත්‍යන්තර විනිමය ඒකකය බවට පත් කිරීමෙනි. මෙහි ප‍්‍රතිඵලය වූයේ අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවලට අනෙක් රටවල ආර්ථිකය හා මූල්‍ය ක්ෂේත‍්‍රය මුළුමනින් පාලනය කළ හැකි තත්වයක් උද්ගත වීමය. පරිධියේ රටවල් මුළුමනින්ම අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය ප‍්‍රාග්ධනය මත යැපෙන තත්වයක් ඇති වීමය. කෙසේවෙතත් මේ හරහා නව යටත් විජිතකරණයක් දියත් වූ අතර රටවල් ඍජුව යටත් නොකර, වක‍්‍ර ක‍්‍රමවලින් ඒවා සූරාකමින් ආර්ථික අර්බුදය පියමං කරන ලදී. 1973 ආර්ථික අර්බුදයේදී ඔවුන් කළේ ඩොලරය හා රත්තරං අතර සම්බන්ධය කඩා දමා ඩොලරය නිදහසේ පා කිරීමත් ගෝලීය ප‍්‍රාග්ධනය ලොව පුරා යාමට තිබූ බාධාවන් ඉවත් කර එයට නව නිදහසක් අත්පත් කර දීමත්ය. නවලිබරල් ධනවාදය ලෙස හැඳින්වූයේ ධනවාදයට අලූත් නිදහසක් අත්පත් කර දෙන මෙම ක‍්‍රියාවලියයි. මේ සෑම අවස්ථාවකදීම අර්බුදයෙන් ගැලවීමට කළේ ආර්ථිකයේ සැබෑ වටිනාකම් උපදවන ක‍්‍රියාවලිය තුළ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමයි. එහෙත් 2008 ආර්ථික අර්බුදය මුළුමනින්ම අලූත් අත්දැකීමක් විය.

  •  බුබුළු ආර්ථිකය

වර්තමාන ධනවාදී ආර්ථිකය වැටුණු උගුල තේරුම් ගැනීමට නම් මූල්‍ය ප‍්‍රාග්ධනය තේරුම්ගත යුතුය. ධනවාදයේ මුල් අවධියේදී බැංකු කටයුතු කළේ ව්‍යාපාරික කටයුතුවල අතරමැදියා ලෙසය. නමුත් ක‍්‍රමයෙන් බැංකු ව්‍යාපාරවලට ආරම්භක ප‍්‍රාග්ධනය හා මූල්‍ය පහසුකම් සැපයීම, ණයදීම, උකස් ගැනීම වැනි කටයුතු දක්වා සිය කාර්යභාරය පුළුල් කළේය. ඒවා ප‍්‍රධාන කාර්යයන් වීමත් සමඟ එම ක‍්‍රියාවලියෙන් පොලී අයකිරීම නිසා බැංකු ප‍්‍රාග්ධනය ශක්තිමත් විය. කර්මාන්ත හිමියා බැංකු මත යැපෙන තත්වයක් ක‍්‍රමානුකූලව උද්ගත විය. කාර්මික ඒකාධිකාරවලටද බැංකු ඒකාධිකාර මත යැපෙන්නට වූ නිසා ඒවායේ ස්වාධීන පැවැත්ම පවා අහෝසි විය. අවසානයේදී සිදු වූයේ මේ කාර්මික ප‍්‍රාග්ධනය හා බැංකු ප‍්‍රාග්ධනය තව තවත් බලවත් වීමත් සමඟ ලෝක ආර්ථිකය මූල්‍ය ඒකාධිපතියන් අතළොස්සක් විසින් හසුරුවන තත්වයක් බිහි වීමයි. ඒ හරහා ලෝක දේශපාලන බලාධිපත්‍යයද ඔවුන් සතු විය. මෙම තත්වය අධිරාජ්‍යවාදය ලෙස හැඳින්වේ. ඒ අනුව අප මේ ජීවත් වන්නේ මූල්‍ය ප‍්‍රාග්ධනය සමස්ත ලෝකයම හසුරුවන අධිරාජ්‍යවාදී අවධිය තුළය.

ප‍්‍රාග්ධනය පවතින්නේ ස්වයංව ප‍්‍රසාරණය වෙමිනි. එසේ ප‍්‍රසාරණය වීමට නම් එය නව වටිනාකම් අත්පත් කරගත යුතුය. එය සිදුවන්නේ වැඩ කරන ජනතාවගේ ශ‍්‍රමයේ අතිරික්ත වටිනාකම් උකහාගැනීම හරහාය. එය සිදුවීමට නම් ප‍්‍රාග්ධනය නිෂ්පාදන ක්ෂේත‍්‍රයක හැසිරිය යුතුය. නමුත් මූල්‍ය ප‍්‍රාග්ධනය අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමේ කාර්යයට දායක වන්නේ වක‍්‍ර ලෙසිනි. එය ඍජුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සම්බන්ධ නැත. සැබැවින්ම සිදු වන්නේ නිෂ්පාදනීය ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ වටිනාකම්ම මූල්‍ය ප‍්‍රාග්ධනය හරහා ව්‍යාජ පිම්බීමක් පෙන්වීමයි. නවලිබරල් ධනවාදය තුළ මේ ක‍්‍රියාවලිය තවත් වේගවත් වී ලෝක ආර්ථිකයේ සැබෑ වටිනාකම මෙන් කිහිප ගුණයක ව්‍යාජ වටිනාකම් මවමින් එය පිම්බිනි. එහෙත් එය බුබුළක් මෙන් ඇතුළත හරයක් නොමැති පිම්බීමක් විය. අවසානයේ සිදු වූයේ බුබුළ පුපුරා යාමයි. මූල්‍ය ප‍්‍රාග්ධනය නව වටිනාකම් බිහි නොකර නිර්මාණය වී තිබූ වටිනාකම් තව තවත් තමා වෙතට උරා ගත්තේය. එවිට ලාභ අනුපාතික පහළ වැටුණු අතර ඒකාධිකාර මූල්‍ය සමාගම් එයට පිළිතුරු සෙව්වේ පොලී අනුපාතික පහළ දමමින්, ආරක්ෂණ නීති ලිහිල් කරමින් එකිනෙකා පරයන උමතු තරගයක් හරහාය. ඒ තරගයේ ප‍්‍රතිඵලයක් වූ අරාජිකත්වය නිසා 2008 සැප්තැම්බරයේදී ලෝක ආර්ථිකයම මහා බිඳ වැටීමකට ලක් විය. වෙනදා මෙන් සැබෑ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් හරහා ප‍්‍රශ්නය නිරාකරණය කළ නොහැකි වූ බැවින් අර්බුදය වසර හතකට පසු අද දක්වාත් පවතී. නවලිබරල් ධනවාදය අසාර්ථක බව එහි පියවරුන්ට හා පුතුන්ට පිළිගැනීමට සිදු වූයේ ඉන් පසුවය.

මේ ප‍්‍රශ්නයට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පැත්තෙන්ම විසඳුමක් යෝජනා වී ඇත. ඒ යෝජනාව වන්නේ නිෂ්පාදනීය ශ‍්‍රමය හා නිෂ්පාදනීය නොවන ශ‍්‍රමය අතර සමතුලනය ඇති කිරීමයි. ඒ නිසා දැන් ගෝලීය ප‍්‍රාග්ධන හිමියන් නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් සිටී. ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම ගැන හුදෙකලාව කරන කතා දැන් සම්බන්ධ වන්නේ සමාජවාදයට නොව නවලිබරල් ධනවාදයේ අලූත් හැරවුමටය. (එජාප, ශ‍්‍රීලනිප හා ජවිපෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ ආයෝජකයන් ගෙන්වා ගැනීමට හා ජාතික ධනය ඉහළ නැංවීමට ප‍්‍රමුඛත්වය දෙන්නේ යැයි කියන්නේ ඒ නව උපායමාර්ගයට අනුවය* එවිට සමාජයෙන් එන ප‍්‍රතිවිරෝධය නැති කළ හැක්කේ වැඩ කරන ජනතාවට මොනවා හෝ ඉඳුල් ප‍්‍රමාණයක් වැඩි කිරීම හරහාය. ඒ නිසා මේ වැඩපිළිවෙළ ‘ජනතා සහන’ ගැනද වගන්ති අඩංගුය. එහෙත් එය සමාජවාදී ප‍්‍රතිපත්තියකින් මූලික වශයෙන් වෙනස් වන්නේ නිෂ්පාදනයේ සැබෑ ඵලවල සාධාරණ කොටසක් වැඩ කරන ජනතාවට ලබාදීම වෙනුවට ධනපතියාගේ ධනයෙන් පහළට රූරා වැටෙන බිංදුවක් දෙකක් පහළ පන්තියට යෝජනා කිරීම හරහාය.

ඒ නිසා විදේශ ප‍්‍රාග්ධනය කැඳවීම, ජාතික නිෂ්පාදනය ඉහළ දැමීම හා කට ඇතුළේම දියවී යන – සිරුරට පෝෂණයක් නැති බොම්බයි මොටයි වැඩ, ඊනියා සහන පොරොන්දු සහිත ආර්ථික ප‍්‍රතිපත්තිය ඉතිහාසයේ බරපතළම කඩා වැටීමට පසුව තිබෙන ධනවාදයට හුස්ම පිඹීමේ ප‍්‍රතිපත්තියයි. එජාපය, ශ‍්‍රීලනිපය හා ජවිපෙ යෝජනා කරන්නේ ධනවාදය යළි නැඟිටුවීමටය. පහළ පාන්තික ජනතාව, පීඩාවට පත් වූ ජනතාව කළ යුත්තේ එය දුර්වල වූ අවස්ථාවේදී එයට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සංවිධානය වීමය. හැම දෙනාම බොරු සමාජවාදීන්ව ව්‍යාජ වාග්පාඨ දොඩවද්දී සැබෑ සමාජවාදීන් හඬ විවර කළ යුතුව ඇත්තේද ඒ සඳහාය.