පක්ෂ විපක්ෂය වෙනුවට සැබෑ විපක්ෂය

2557453-lgමං පුංචිම කාලෙ ගෙදර සහෝදර සහෝදරියො කවුරුත් නැති හින්ද තනියමයි සෙල්ලම් කළේ. රූපවාහිනියෙන් බලන කාටූන් චිත‍්‍රපටි වගේ වැඩසටහන්වල චරිත තනියම රඟපාන එක ඕනෙම පොඩි දරුවෙක් කරන දෙයක්. ඒත් මට ප‍්‍රශ්නයක් තිබුණ, මං ඒ කතාවල වීරයා වුණාට පස්සෙ කවුද දුෂ්ටයා වෙන්නෙ? ඒකට උත්තරේ වුණේ මගේ සතුරා මංම වෙන එක. වීරයාටත් මංම රඟපානවා, සතුරත් මංම වෙනවා. සෙල්ලම් කරන්න කවුරුත් නැති එකේ ප‍්‍රශ්නෙත් මඟ ඇරෙනවා. මට මේ දේ මතක් වුණේ පහුගිය කාලෙ පුරාවටත් දැන් ආයෙ ඡුන්දෙ කිට්ටු වෙලා වැඩියෙනුත් මතුවෙලා තියෙන හොඳ විපක්ෂයක් නැත්නම් ශක්තිමත් විපක්ෂයක් කියන කතා බහත් එක්කයි.

ඇත්තටම විපක්ෂය කියන්නෙ මොකක්ද? පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂය ඉඳගන්න පැත්තට අනිත් පැත්තෙ ඉඳගන්න කට්ටියද? පාර්ලිමේන්තුවෙදි කුණුහරුප කියාගෙන එළියට ගිහින් කැන්ටිමේදි දෙන්න බැන ගත්ත හැටි කතා වෙවී එකට බුරියානි කන එකද? සරල අදහසක් තියෙනවා, විපක්ෂය කියන්නෙ ආණ්ඩු පක්ෂෙ කරන හොඳ දේට උදව් කරලා, නරක දේට විරුද්ධ වෙන කට්ටියක් කියලා. ආණ්ඩුවේ වංචා දූෂණ වෙනවා නම් කෑ ගහල ඒව සමාජෙට හෙළි කරල ඒවට විරුද්ධව විරෝධය හදන එක, අකාර්යක්ෂම වෙද්දි ඒ ගැන විවේචනය කරන එක වගේ අදහසක්. ජනතා විමුක්ති පෙරමුණ වගේ විපක්ෂයේ බලය ගන්න ඕනෙ කියල ගොඩක් මැද පන්තියේ පිරිස් අතර කථිකාවතක් හැදෙන්නෙත් මේ තර්කය ඇතුළෙ. ජවිපෙ පසුගිය කාල සීමාව ඇතුළෙ වංචා දූෂණ පිළිබඳ ප‍්‍රමුඛ විවේචකයාගේ භූමිකාව අයිති කරගන්නවත් එක්කයි. ඒ අනුව මේ පවතින සමාජ ක‍්‍රමය ඇතුළෙ ධනේශ්වර පක්ෂයක් රට පාලනය කරන කොට ඒක අවුල්කර ගන්නෙ නැතුව කරගෙන යන්න මුර බල්ලගෙ භූමිකාව හොඳටම කරන්න පුළුවන් කාටද කියලා හොයන එක තමයි විපක්ෂයේ භූමිකාවෙදි සලකන්නෙ. ඇත්තටම විපක්ෂය කියන්නෙ පවතින ක‍්‍රමයේ රැුකවලූන් කියන එකද?

දැන් කෙනෙක් මට චෝදනා කරන්න පුළුවන් මිනිස්සුන්ට පොඩි හරි දෙයක් දිනාගන්න කවද හරි සමාජ වෙනසක් වෙනකන්ම ඉන්න ඕනෙද කියල. චංචා දූෂණවලට විරුද්ධ වෙන එක වගේ දේවල් නරකද? ඒ වගේ දේවල් නේද ඇත්තටම විපක්ෂයකින් වෙන්න ඕනෙ කියලා. ඒ වගේ දේවලූත් විපක්ෂයෙන් වෙන්න ඕනෙ. හැබැයි විපක්ෂයෙන් වෙන්න ඕනෙ ඒක විතරමද? උසස් පෙළ විභාගය හොඳට සමත් වෙන්න නම් හැම විෂයකම හැම ප‍්‍රශ්න පත‍්‍රයකටම හොඳට ලෑස්තිවෙලා උත්තර ලියන්න ඕනෙ. කෙනෙක් එක විෂයක පළමු ප‍්‍රශ්න පත‍්‍රයට හොඳට ලෑස්ති වෙනවා. වෙන එක විෂයක්වත් පොඞ්ඩක්වත් පාඩම් කරන්නෙ නැතුව. වෙන විෂයනුත් පාඩම් කරන්න තියෙනව කියල අදහසක්වත් නැතුව. දැන් මං ගිහිං එයාගෙන් අහනවා ඇයි ඕකම පාඩම් කර කර ඉන්නෙ කියලා. එතකොට එයා අහන්න පුළුවන් ඇයි පාඩම් කරන එක නරකද කියලා. අපි මෙතනදි බලන්න ඕනෙ උසස් පෙළ සමත් වෙනව කියන සමස්ත කි‍්‍රයාවලියට සාපේක්ෂවයි. ඒ වගේම අතනදිත් බලන්න ඕනෙ රටක විපක්ෂයේ කාර්යභාරය කියන කාරණයට සාපේක්ෂවයි.

මෙතනදි තැන් දෙකකින් මේ කාරණය දිහා අපි බලන්න ඕනෙ. කල්පනා කරල බලන්න, පහුගිය කාල සීමාව පුරා විපක්ෂය කියන සාධකයේ හැසිරීම. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පැය 48ක් අත්අඩංගුවේ තබා ගන්න ඉඩ දෙන මර්දන පනතට, පාසල්වල ගාස්තු අය කිරීම නීත්‍යනුකූල කිරීමේ පනත වගේ දේවල්වලට ඔය විපක්ෂය ”විපක්ෂ වෙන්නෙ නෑ”. නියමින් හෝ අනියමින් සහාය දෙනවා. ඒත් මහ බැංකු අධිපති වංචා කරද්දි විපක්ෂය කඩු හෙළි අමෝරා ගන්නවා. මේ සමාජ ක‍්‍රමයෙ නඩත්තුවට ඕනෙ කරන ප‍්‍රතිසංස්කරණ, යෝජනාවලට විපක්ෂය නිහඬයි. හැබැයි වංවා දූෂණ වගේ ඒ වැඬේ පිළිවෙළකට කරන්න බාධාවෙන වැඩවලට විරුද්ධයි. පවතින වෙළෙඳපොළ ධනේශ්වර සමාජ භාවිතාවන් තව තවත් තහවුරු කරගන්න ගන්න කි‍්‍රයාමාර්ගවලට සහාය දෙන ගමන් ඒක හරියට කරගන්න බාධාවෙන පසුගාමී කි‍්‍රයාවන්ට විරුද්ධ වෙන විපක්ෂයේ භූමිකාව සැබෑ විපක්ෂයේ භූමිකව වෙත ගෙන යා යුතුව තියෙනවා. ඒකට විපක්ෂයෙ භූමිකාව කියන්නෙ මොකක්ද කියල හරියටම අඳුනගන්න වෙනවා.

ඇත්ත විපක්ෂයක් කියන්නෙ පවුලේ සංවාදයක් වගේ අපි අපි ඇතුළෙ ඇති වෙන පුංචි පුංචි ආරවුල් විසඳගන්නවා

කියන එකට නෙමෙයි. උදාහරණයක් ගත්තොත් පවතින සමාජ ක‍්‍රමය ඇතුළෙ හැමෝම හැම දෙයක්ම වෙළෙඳ භාණ්ඩයක් කරන්න හදනවා. ඒ අනුව සෞඛ්‍යයත් වෙළෙඳ භාණ්ඩයක් කරන්න ඔය කොයි පාලකයත් ඡුන්දෙදි අපේ මූණට නොකීවට උත්සාහ කරනවා. දැන් සැබෑ විපක්ෂයක කාර්යභාරය වෙන්නෙ, සෞඛ්‍ය ඇමැතිවරයා ගත්ත කොමිස් කුට්ටියක් ගැන කියන එක විතරක් නෙමෙයි. මේ සෞඛ්‍යය වෙළෙඳ භාණ්ඩයක් කරන ප‍්‍රතිපත්තියත් එක්ක කොන්දේසි විරහිතව ගැටෙන්න ඕනෙ. ඒත් අපි විපක්ෂයේ කාර්යභාරය කියලා දකින්නෙ මීට වඩා හරිම සරල දෙයක්. ඇත්තටම ඒක විපක්ෂයද කියන ප‍්‍රශ්නෙත් එනවා. ආණ්ඩුව ගෙනියන ප‍්‍රතිපත්තියට විරුද්ධවීමක් නෙමෙයි, ඇත්තටම එතන කරන්නෙ. ඒකට උදව් කිරීමක්. නැත්නම් ඒකට පක්ෂ වීමක්.

සැබැවින්ම පවතින සමාජ ක‍්‍රමය තුළ සැබෑ විපක්ෂයේ භූමිකාව පවතින සමාජ ක‍්‍රමයෙන් වෙනස්ව වඩා යහපත් සමාජයක් දිහාවට යොමු වූවක් වෙන්න ඕනෙ. ඒක පාර්ලිමේන්තුවෙ අනිත් පැත්තෙ වාඩිවෙලා ආණ්ඩුවට හූ කියනවට වඩා සංකීර්ණ වගේම භාරදූර කාර්යක්. සැබෑ විරුද්ධ පක්ෂයේ කි‍්‍රයාකාරීත්වය මහ පොළොවත් එක්ක බැඳුණු එකක් වෙන්න ඕනෙ. විරුද්ධත්වය කියන මතය ඊළඟ ඡුන්දෙදි තමන්ට බලය ගැනීමෙන් හෝ තමන්ගෙ ගොඩ වැඩිකර ගැනීමෙන් එහාට ගිහින් පවතින ක‍්‍රමයට එරෙහි අදහසක් ජනතාව වෙත ගෙනයාමේ ඔවුන් ඒ වටා ගොනු කිරීමේ් දිශාවට යොමුවිය යුතුයි. මෙතනදි ආණ්ඩුව කරන දූෂණ වංචාවලට මුනිවත රකින්න ඕනෙ කියල කියවෙන්නෙ නෑ. ඒවට විරුද්ධ වෙන්න ඕනෙ. හැබැයි, මේ සමාජයෙ අර්බුදය මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැතියෙක් හරි දෙතුන් දෙනෙක් හරි හොරකං කරන එක වගේ තැනකට ලඝුවෙන්න දෙන්න බෑ.

පවතින සමාජය ඇතුළෙ සැබෑ විපක්ෂයෙ භූමිකාව පවතින්නෙ මිනිසුන් අතරයි. සැබෑ විපක්ෂය මතුවෙන්න ඕනෙ ඔවුන් තුළිනුයි. ආණ්ඩුව ගන්න ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව දැනුවත් වෙලා නැඟී සිටින්න ඕනෙ ඔවුන්. එහෙම නැතුව පාර්ලිමේන්තුව ඇතුළට යවන ගැලවුම්කාරයන් ටිකක් ස්වර්ග රාජ්‍යය පහළ කරනකන් බලන් ඉඳීමෙන් විසඳුම් ලැබෙන්නෙ නෑ. ඉතිහාසය පුරාම තීරණාත්මක ජනතා විරෝධී තීරණ පරාජය කළේ පාර්ලිමේන්තුව ඇතුළෙ නෙමෙයි, ඉන් එහා මහපාරෙ අරගල ඇතුළෙයි. පහුගිය මහින්ද රාජපක්ෂ සමය ඇතුළෙ පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බහුතරයක් තියෙද්දිත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත, විශ‍්‍රාම වැටුප් පනත වගේ දේවල් පරාජය කළේ, ඒ ප‍්‍රශ්න පාර්ලිමේන්තුවෙ හතර සීමාව පැනල මිනිස්සු ඒව තමන්ගෙ අතට ගත්ත හින්දයි. ඒ නිසා කවුරු බලයට ආවත් සැබෑ විපක්ෂය වීමේ වගකීම තියෙන්නෙ මිනිස්සු අතේ. ඡුන්දෙදි කාට හරි කතිරය ගහන එක නෙමෙයි වැදගත් දෙය. එතනින් එහා එළඹෙන සමය ඇතුළෙ සකී‍්‍රය වෙන එකයි. වාමාංශික ව්‍යාපාරය වැනි සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්න බලවේගවල වගකීම මේ සැබෑ විපක්ෂය ගොඩනඟන එකයි. ඒ, විපක්ෂයේ වගකීම තමන්ගෙ කරට ගැනීමෙන්ම නෙමෙයි මිනිස්සු සංවිධානය කිරීම හරහා ඔවුන්ව විපක්ෂය බවට පත් කිරීමෙන්. එවැනි සකී‍්‍රය ජනතාවක් හරහායි, එම ව්‍යාපාර බලාපොරොත්තු වෙන සමාජ වෙනස කරන්න වෙන්නෙ. එහෙම නොවී කොළ පාටට, නිල් පාටට වගේම රතු පාටට අත්පුඩි ගහන පිරිසක් හදා ගන්න එකෙන් නෙමෙයි.

රිවිහාර පින්නදූව

Advertisements