උගතුන් පාර්ලිමේන්තු යැව්වාම ඔක්කෝම හරියයිද?

JVPදැන් රටේ අපූරු සංවාදයක් අවුළුවා තිබේ. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ කවුරුන්ද යන්නයි. ඒ සංවාදය ඇවිළ වූවන්ම යළි කියා සිටින්නේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගතුන් බුද්ධිමතුන්, වෘත්තිකයන් වැන්නන් බවයි. එසේම කුඩුකාරයන්, එතනෝල්කාරයන්, හොරුන්, වංචනිකයන්, දූෂිතයන්, ගණිකා මඩම් හිමියන්, කැසිනෝකාරයන් නොවන බවයි.

මේ වන විට මේ රටේ දේශපාලකයා පිරිහී ඇති තරම ඇත්තේ එතැන වන නිසාය. නියමින් හෝ අනියමින් ඒ සියලූ දූෂිත දේ හා දේශපාලකයා බැඳී ඇත්තේය. එය මෑත අවුරුදුවල වඩාත් කැපී පෙනුණේය. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලොක්කා පසුගිය දිනවල කියා සිටියේ කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ නම කියැවෙන, ගෑවී සිටින දේශපාලකයන් විසි ගණනකගේ නම් තමන් සතු බවය. අවශ්‍ය නම් දේශපාලන පක්ෂවලට ලබාදිය හැකි බවය. එසේම ඔහු දැන් කියන්නේ මෙම තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් වූ නිසාම තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවය.

පසුගිය ආණ්ඩුවේ තනතුරු දැරූ දේශපාලකයන් ගණනාවක් යම් කාල සීමාවක් සිරගෙවලත් බන්ධනාගාර රෝහලේත් ගත කළ බව අමතක කළ නොහැකිය. ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලකයන් කාන්තාවන් පැහැරගෙන ගොස් ලිංගික අපරාධ සිදු කළ අතරම කාන්තාවන් සියයක් පරිහරණය කිරීමේ උත්සව පැවැත්වූ අය ගැනද වාර්තා විය.

මෙරට දේශපාලකයන් බහුතරය එසේය. මෙවැනි දූෂිතයන්ගෙන් දේශපාලන ලෝකය පිරී ඇත්තේය.

මෙය ඒ ඒ දේශපාලකයන්ගේ පෞද්ගලික වරදක්ද? පැනීමක්ද? කෑදරකම මජරකම නිසා හට ගත්තක්ද? ලෝභය තණ්හාව නිසා ඇති වූවක්ද? එහෙම නම් උත්තර පැහැදිලිය. ඒ එවැන්නන් දේශපාලනයෙන් ඉවත් කිරීමය. අතුගා දැමීමය. එහෙත් වරද ඇත්තේ එතැන නොවේ නම්? ගැටලූව ඇත්තේ වෙන තැනකය. එතැන කොතැනද? සොයා යා යුත්තේ එයයි.

මිනිස්සු හුදෙකලා නොවෙති. ඔවුන් සමාජීය සත්ව කොට්ඨාසයකි. ආර්ථික ජීවිතයේදී මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේදීත් දේශපාලනයේදීත් සබඳතා ගොඩනඟා ගනිති. ඒ නිසා මිනිසා මේ සබඳතාවලින් වෙන්කොට, හුදෙකලා කොට, තනි කොට කතා කළ නොහැක. මිනිසා මේ සියලූ සබඳතා තුළ තබා සෝදිසි කළ යුතුය. ඉතින් දේශපාලකයාද ඔහුට උපත දුන් සමාජ ආර්ථික දේශපාලන සබඳතා තුළ තබා සෝදිසි කළ යුතුය. දේශපාලකයා ගැන නිවැරැුදි කියවා ගැනීමක් වටහා ගැනීමක් ලබා ගත හැක්කේ එබැවින් පමණි.

අද අප කතා කරන්නේ ධනවාදය තුළ ධනපති ක‍්‍රමය විසින් නිර්මාණය කළ දේශපාලකයකු ගැනය. ඔහු හැදු වැඩූ ක‍්‍රමය, සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය ඔහු තුළින් පිළිබිඹු වීම කිසිසේත් වැළැක්විය නොහැක. අද අපි අත්දකින ධනපති දේශපාලකයා ඔහුගේ ක‍්‍රමයේ නිෂ්පාදිතයන්ය.

ධනවාදය තවදුරටත් සම්භාව්‍ය නැත. එය කෑදරය; මජරය; ලෝභය; කුහකය; ආත්මාර්ථකාමීය; බලකාමීය; ලාභය සොයා යයි; මුදල් ගොඩ ගසයි; ඒ සඳහා කළ හැකි සෑමදෙයක්ම කරයි. ඔහුට මුදල් අවශ්‍ය නම් පොඩි එකාගේ කැටයද කම්කරුවාගේ සාක්කුවද පන්සලේ පිං පෙට්ටියද මහා භාණ්ඩාගාරයද කිසිවක් අදාළ නැත. ඔහුගේ දිගු අත මේ සියල්ලටම දිගු කරයි. අතගා ගනියි. සිය ගිණුමේ පුරවයි. නිදන කාමරේක ගොඩ ගසයි.

දැන් කාරණය පැහැදිලිය. ප‍්‍රශ්නය ඇත්තේ පුද්ගලයා තුළ නොවේ. ක‍්‍රමය තුළය. එසේ නම් පිළිතුර ඇත්තේ පුද්ගලයා වෙනස් කිරීම තුළ නොව ක‍්‍රමය වෙනස් කිරීම තුළය. මුහුණු මාරුව තුළ නොව ක‍්‍රම මාරුව තුළය. එහෙත් මහජනයා ඒ සිතීමට ඒම වැළැක්වීම සඳහා මතුපිට වෙනසකට, සරල වෙනසකට, මුහුණු මාරුවකට මේ සංවාදකාරයෝ මහජනයා කැඳවයි. ඒක ධනපති පන්තියේ උවමනාවය. තමන් සමාජවාදී යැයි, විප්ලවවාදී යැයි මාක්ස්වාදී යැයි ඉස්සර කියාගත් ජ.වි.පෙ. මේ මතය වඩාත් ඉහළින් ප‍්‍රචලිත කරයි. ඔවුන් කියන්නේද වංචාකාරයන්, හොරුන්, තක්කඩියන් නොවන පිරිසිදු මිනිසුන් පාර්ලිමේන්තු යවන ලෙසය. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් එතැනට යවන ලෙසය. ඒ සඳහා තමන් උපාධිධාරීන් ඉදිරිපත් කර ඇති බවත් ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සමන්විත ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති බවටත් ඔවුහු අඬබෙර ගසති. දැන් ජවිපෙ ගමේ සාමාජිකයා කළ යුත්තේ අර ආචාර්ය, මහාචාර්ය දොස්තරවරු පාර්ලිමේන්තු යැවීමට කඹුරන එකය. බඩගින්නේ දහඩිය පෙරාගෙන ඡුන්ද එකතු කරන එකය. හැබැයි ඔය ලැයිස්තුවේ එකදු මාක්ස්වාදී බුද්ධිමතෙක්, විප්ලවවාදී බුද්ධිමතෙක් ඉන්නවාදැයි අපි නොදනිමු. ජවිපෙටත් උවමනා මේ ක‍්‍රමය පිරිපහදු කරගැනීමය. ඔවුන්ට උවමනා විප්ලවයක් නැත. සමාජවාදයක් නැත. ධනපති ක‍්‍රමයේ වෙනසක් උවමනා නැත.

ඔවුන් මේ ක‍්‍රමය තුළ කොතෙක් දුරට ගිලී ඇද්දැයි තේරුම් ගැනීම හරිම පහසුය. පසුගිය දිනෙක ජවිපෙ ඌවේ නායකයකු පැවැසුවේ කුමක්ද? වඩු බාස්ලා පාර්ලිමේන්තු නොයවන ලෙසය. මේසන් බාස්ලා නොයවන ලෙසය. කම්කරුවන්ගේ, ගොවියන්ගේ, වැඩකරන මිනිසුන්ගේ රාජ්‍ය බලය, ආණ්ඩු බලය ගොඩනැඟීම ගැන ඔවුන් සිතන්නේ කෙසේද යන්න ගැන සිතා බැලීමට මේ කියමන පමණක් වුව ප‍්‍රමාණවත්ය. එපමණක් නොවේ. ඔවුන්ගේ පෝස්ටරයකින් මෙසේ කියයි. ”ඔබ පිණිස ආ මිනිසා” ඒ කියන්නේ ගොවියා, කම්කරුවා පීඩිතයා සිය ඉරණම සියතට ගත යුතු නැත. සිය ඉරණම සිය උරමතට ගත යුතු නැත. ඔහුගේ ඉරණම අර ‘මිනිසාට’ පැවැරුවාම හරිය. මන්ද ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. මෙතෙක් කල් මේ රටේ මිනිසුන් කළේ ඒක නොවෙයිද? අවුරුදු පහකට හෝ හයකට වරක් සිය ඉරණම ධනපති පන්තියේත් ඔවුන් සරණගිය පැරණි ඉපැරණි වාමාංශයේත් අතට පත්කිරීම නොවේද? ජවිපෙ පීඩිතයාගේ බලය ගොඩනැඟීමට දඟලන්නේ එහෙමය.

පසුගිය කාලයේ ධනපති පාර්ලිමේන්තු නියෝජිතයන් ඔවුන්ගේ සැබෑ මුහුණුවර හෙළිදරව් කළේය. ඔවුන්ගේ කෑදරකම, මජරකම, බලලෝභීත්වය දේපළ කොල්ලය තුළින් කඩතුරාව ඉරා දැම්මේය. එමඟින් පෙන්නුම් කළේ ගරා වැටෙන ධනවාදය, මිය යන ධනවාදය, දිරාපත් ධනවාදය, පිරිහුණු ධනවාදය අර්බුදයට ගිය ධනවාදයය. මේ ජරාව නව පිරිසිදු මුහුණකින් ආවරණය කර ගත යුතුව ඇත. වසන් කළ යුතුව ඇත. සුදු පිරුවටයකින් වසන් කළ යුතුව ඇත. පිරිසිදු මිනිසුන්ගේ පාර්ලිමේන්තුවක් ගැන සාකච්ඡුාවේ උපත එතැනය. ජවිපෙ කරගහගෙන යන්නේ ඒ ධනපති යෝජනාවය.

යළිත් කිවයුත්තේ පරණ කතාවමය. මුහුණු මාරුව නොවේ ක‍්‍රමය මාරු කරමු.

 පී.බී. දසනායක