පාතාල නියෝජනයක් සාධාරණ මැතිවරණයක්

UNP_shootout at kotahena

නිරෝෂන් සම්පත් පසුගිය අගෝස්තු 03 වැනි දා මිය ගියේය. 36 හැවිරිදි නිරෝෂන්, කොටහේන පදිංචිකරුවෙකි. රවි කරුණානායකගේ මැතිවරණ ප‍්‍රචාරක අවස්ථාවකට පසුගිය ජූලි 30 වැනි දා එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් මිය ගිය දෙවැන්නා ඒ අනුව නිරෝෂන් සම්පත්ය.

එම වෙඩි තැබීම නිසා 42 හැවිරිදි සිත්ති නසීමා නම් වූ කාන්තාව එදිනම මිය ගියාය. තවත් 12 දෙනෙක් එදින තුවාල ලැබ රෝහල්ගත කරන ලදී. අත් පත‍්‍රිකා බෙදමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටි 250-300 අතර පමණ වූ පිරිසකට හයිබි‍්‍රඞ් වර්ගයේ වාහනයකින් පැමිණි සිවු දෙනෙක් ටී 54 ගිනි අවි යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකොට තිබුණි.

මිය ගිය නිරෝෂන් සම්පත්ගේ අනන්‍යතාව ඔහු මිය ගොස් ඉතා කෙටි කාලයක් තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ‘ආමි සම්පත්’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහු පාතාල ලෝකය සමඟ සම්බන්ධ පුද්ගලයෙක් යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ප‍්‍රකාශ කළේ මෙම ගැටුම පාතාල ලෝකයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් බවයි. ‘ආමි සම්පත් ’ හා ‘සංඛ’ යන පාතාල කල්ලි සාමාජිකයන් දෙපොළ රවි කරුණානායක විසින් තම සේවයේ යොදවාගෙන ඇති බවට ඉක්බිති වාර්තා පළවූයේය. කෙසේවෙතත් මිය ගිය සම්පත් ‘ආමි සම්පත්’ ලෙස කුප‍්‍රකට පුද්ගලයා නොවන බවත් වෙඩි වැදී මිය ගිය පුද්ගලයකු එසේ හැඳින්වීම වැරදි බවටද ඇතැම් අංශවල කතාබහට ලක්විය.

සිදුවීම ජනමාධ්‍ය තුළ විවිධ ආකාරයෙන් අර්ථ ගැන්වෙද්දී ක්ෂණිකව ක‍්‍රියාත්මක වූ රවි කරුණානායක ප‍්‍රකාශ කළේ පැතිර යන එම ආරංචි සාවද්‍ය බවයි. ඔහු මෙම ගැටුම මහින්ද රාජපක්ෂගේ ගිණුමට බැර කරමින් කියා තිබුණේ ‘මහින්ද රාජපක්ෂගේ අවතාර යළි නැගිටිමින් සිටින’ බවයි. මේ අතර ස්වදේශ කටයුතු ඇමැති ජෝන් අමරතුංග ප‍්‍රකාශ කොට තිබුණේ ඩිලාන් පෙරේරාව අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඔහු කළ ප‍්‍රකාශය ගැන ප‍්‍රකාශයක් ලබාගත යුතු බවයි. රවි කරුණානායකට මෙන්ම ජෝන් අමරතුංගටද අනුව මෙම සිදුවීම සමඟ කිිසිදු පාතාල ලෝක සම්බන්ධයන් නොමැත.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේම කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ රවි කරුණානායකගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම නිශේධ කරමින් මෙම සිදුවීමට මහින්ද රාජපක්ෂ ගාවා නොගත යුතු බව අවිස්සාවේල්ලේදී පැවැති මැතිවරණ රැුස්වීමකදී පැවසීය. මෙය පාතාලය සම්බන්ධ වූ ගැටුමක් යැයි එහිදී ඔහු චෝදනා කොට සිටියේය. මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් වන කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ සහ එජාපයට හිතවත් සමාජ ක‍්‍රියාකාරිකයෙක් වන කීර්ති තෙන්නකෝන් ද මෙම අදහසම පළ කොට තිබුණේය. ඔහුද මේ ගැටුම විස්තර කළේ පාතාල ලෝකය සම්බන්ධ වූ ගැටුමක් වශයෙනි. කෙසේවුවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියා තිබුණේ මෙම සිදුවීම සහ පාතාලය අතර සම්බන්ධයක් තිබේ යනුවෙන් පැතිරී යන ආරංචිවල සත්‍යතාවක් නොමැති බවයි.

දැන් අප ඉදිරියේ විවිධ පැතිකඩවලින් කියැවෙන කතා සමූහයක් තිබේ. එජාපයේම රවි, ජෝන් ආදීන් කියන විදිහට මේ බිහිසුණු ගැටුම සහ පාතාල ලෝකය අතර කිසිදු සම්බන්ධයක් නැත. අප රවි විශ්වාස කරන්නේ නම් මෙම වෙඩි තැබීම පසුපස මහින්ද රාජපක්ෂ ඉන්නවා යැයි අපට නිගමනය කරන්නට සිදු වේ. එහෙත් එජාපයේම සුජීව කියන විදිහට මෙය පාතාල කල්ලි සම්බන්ධ වූ වෙඩි තැබීමකි. මේ අතර 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ‘ස්වාධීන’ කළ පොලිසියද ජෝන් අමරතුංගට අවශ්‍ය දේම කියමින් සිටී.

රවි කරුණානායක හා ජෝන් අමරතුංග කුමක් කීවත් දේශපාලන ලෝකය හා පාතාල ලෝකය අතර සම්බන්ධය මෙරටට අලූත් එකක් නොවේ. එයට දීර්ඝ ඉතිහාසයක් ඇත. පාතාල ලෝකය නමින් හැඳින්වෙන්නේ නීති විරෝධී හා සාහසික ආකාරවලින් මිනීමැරුම්, කොල්ලකෑම් ආදිය හරහා මුදල් ඉපයීම පිණිස යටිබිම්ගතව සංවිධානය වූ ජාලයකි. මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වන්නේ නාගරික හා අර්ධ නාගරික පරිසරයන්හි ජීවත්වන පොදු සමාජ ක‍්‍රියාවලියෙන් පිටමං කරනු ලැබූ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම්ය. එදිනෙදා යැපීම පිණිස දේශපාලන බලවතුන් සෙවණේ කුලියට වැඩ කරන මොවුන් ඒ ඒ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා අනුව සන්නද්ධ කර සංවිධානාත්මකව මෙහෙයවනු ලබයි. මෙම ජාලය සහ රටේ බල දේශපාලන ව්‍යුහය අතර අතීතය පුරාවට අතිශය කිට්ටු සම්බන්ධතාවක් විය. දේශපාලන නායකයන් ස්වකීය යම් යම් අරමුණු ඉටු කරගැනීම පිණිස පාතාල ලෝකය පාවිච්චි කළ අතර පාතාල ලෝකයේ නායකයන් සිය ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම

සඳහා දේශපාලන නායකයන්ගේ අනුග‍්‍රහය ලබාගත්තේය. මේ අනුව එකිනෙකා පෝෂණය කරන වර්ගයේ සම්බන්ධයක් මෙම ලෝක දෙක අතර පවතී. තුම්මුල්ලේ පද්මෙ, සොත්ති උපාලි, ආනමාලූ ඉම්ටියාස්, තොප්පි චමින්ද, ජූලම්පිටියෙ අමරෙ, වම්බොට්ටා ආදී විවිධ නම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධය තුළ මතු වී එන අතර ඒ නම් මැකී, අලූත් නම් ඒ සමීකරණය තුළට ආදේශ වේ. මේ කවර නමක් ආදේශ වූවත් පාතාලය සහ දේශපාලනය අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ලංකාවේ දේශපාලන සැකැස්මේ එක් ව්‍යුහයක් ලෙස දිගටම නඩත්තු වෙමින් පවතී.

ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුව පෙරළා පසුගිය

කාලයේ එජාපය ප‍්‍රමුඛ රජයක් බලයට ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ආදී වූ සටන් පාඨ පෙරදැරි කරගෙනය. රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීභාවයට එරෙහිව සමාජය තුළ ගොනු වී තිබූ සමාජ විරෝධය පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා බලපෑ බව පැහැදිලිය. රාජපක්ෂ රජය ක‍්‍රියාත්මක වූයේ සම්මත ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් අනුව නොවේ. විශේෂයෙන්ම නාගරික මධ්‍යම පාන්තික කොටස් රාජපක්ෂ රජයේ මෙකී හැසිරීම් කෙරෙහි කලකිරී සිටි අතර වඩා ශිෂ්ට සම්පන්න පාලනයක් පිළිබඳ එම කොටස් ඇති කළ උද්ඝෝෂණය රාජපක්ෂ පාලනය පෙරළීම කෙරෙහි මතවාදී තලයේ විශාල වශයෙන් බලපෑම් කළේය.

යහපාලනය යනුවෙන් අදහස් කරන්නේ ‘යහපත් ආණ්ඩුකරණය’ නම් පාතාල කල්ලි සමඟ දේශපාලකයන් සබඳතා පැවැත්වීම එහි කොටසක් විය නොහැක. එය දේශපාලනය පිළිබඳ සාම්ප‍්‍රදායික ලිබරල් වටිනාකම්වලටත් පටහැණිය.

එහෙත් අප ඉතිහාසය තුළ දුටුවේ ලංකාවේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකම, ස්වකීය ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයේදී මෙකී ලිබරල් වටිනාකම් තුට්ටුවකට මායිම් නොකළ බවයි. විවෘත ආර්ථිකයේ නැඟීමත් සමඟ පාතාල ලෝකය පැතිරී යාම තදින්ම සම්බන්ධ වී තිබේ. එජාපයේ 17 වසරක පාලනය, පොදු පෙරමුණු ආණ්ඩු සමය, මහින්ද රාජපක්ෂ පාලන කාලය යන තුන් කාලයේදීම මෙම සම්බන්ධය කිසිදු වෙනසකින් තොරව දිගටම ක‍්‍රියාත්මක වූයේය. අප දැන් දකින්නේ අලූත බලයට පැමිණි එජාපයේ බලවතුන්ද එම සම්බන්ධය එලෙසින්ම නඩත්තු කරමින් සිටින ආකාරයයි. රවි කරුණානායක එජාපයේ ප‍්‍රමුඛයෙකි. යුරෝපීය ඇඳුම අඳින ‘මහත්මයෙකි’. හෙතෙම එජාප රජයේ මුදල් ඇමැතිවරයාද වන්නේය. කෙසේවුවද ඔහුගේ දේශපාලනය භෞතික තලයේ දිග හැරෙන්නේ ආමි සම්පත්ලා සහ ඔවුන්ට ගෙවන අති විශාල මුදල් සම්භාරය හරහාය.

එසේම මෙම සිදුවීමේ තිබෙන අනෙක් ප‍්‍රශ්නය වන්නේ අදාළ මැතිවරණ ප‍්‍රචාරණ කටයුත්ත සංවිධානය වී තිබූ ආකාරයයි. මැතිවරණ නීතිය අනුව ගෙන් ගෙට යාමේ කටයුතු සඳහා යොදාගත හැක්කේ උපරිම වශයෙන් ආධාරකරුවන් 25 දෙනෙකි. එහෙත් මෙම අවස්ථාවේ ආධාරකරුවන් 200-300 අතර පිරිසක් අදාළ ප‍්‍රචාරක කටයුත්ත සඳහා සම්බන්ධ වී තිබේ. ‘යහපාලනය’ පිළිබඳ එජාපය ඉදිරිපත් කොට තිබෙන අලංකාරිකය සහ මෙම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය අතර පවතින්නේ විශාල පරතරයකි.

රාජපක්ෂ රජයට එරෙහිව එජාපය ගෙන ආ ප‍්‍රධාන විවේචනයක් වූයේ එම පාලනයේ පාදඩ ස්වභාවයයි. එනම් එම පාලනය මහත්මා නොවීමයි. ශිෂ්ට නොවීමයි. එහෙත් කොටහේන වෙඩි තැබීමේ සිදුවීම මනාව පෙන්නුම් කරන්නේ එජාපයේ බිම් මට්ටමේ භාවිතාවද රාජපක්ෂගේ භාවිතාවෙන් එතරම් වෙනස් නොවන බවයි. පාතාල ලෝකය දේශපාලනමය ලෙස පාවිච්චි කිරීම නම් වූ ලංකා දේශපාලන සැකැස්මේ පවතින උප ව්‍යුහය සමඟ අතිශය තදින් මෙම ප‍්‍රධාන පක්ෂ දෙකම ගැට ගැසී සිටින අතර එතැනදී අඩුම තරමින් ලිබරල් දේශපාලන වටිනාකම් විසින් ඉල්ලා සිටින පරිසාධන මට්ටමටවත් ළඟාවීමට මෙම පක්ෂ දෙකම අසමත් වී තිබේ. කොටහේන සිද්ධිය වූ කලී එකී අසාර්ථකත්වය පිළිබඳ කදිම හැඟවුමකි.

 

ජනක තුෂාර