එජාප ආණ්ඩුවක් පල්ලම් බැස්ස වූ ’53 ජනතා සටන

12-hartal-in-1953-nm-perera-addresses galle face rally

මීට අවුරුදු 62කට පෙර ලංකාව තුළ දේශපාලන නැඟිටීමක් සිදු විය. එය කම්කරුවන් සමඟ අත්වැල් බැඳගත් පොදු ජනතාවගේ අරගලයක් විය. 1952 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් ඩඞ්ලි සේනානායක නැවත බලයට පත් වීමට ජනතාව හමුවේ දහසක් බොරු පොරොන්දු දුන්නේය.

යු.එන්.පී. පාලනය තිබෙන තාක් හාල් සේරුව ශත 25ට දෙන වගද පාසල් ළමුන්ට දිවා ආහාරයක්, සෞඛ්‍ය පහසුකම්, මහාමාර්ග සංවර්ධනය, ගමනාගමන සේවය ආදී විවිධ පොරොන්දු ජනතාව හමුවේ තබන ලදී. එසේ පොරොන්දු දුන්නේ 1951 එ.ජා.ප. අත්හැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් බණ්ඩාරනායක සමඟ පැරණි වම එක්ව එල්ල කළ අභියෝගයට මුහුණ දීමටය. ඩඞ්ලි සේනානායක ආණ්ඩුවක් පිහිටුවන විට ඒ පොරොන්දු ඉටු කරන්නට නොහැකි ඉරණම තීන්දු වී තිබිණි. එනම්, 1950 සිට ලංකාව ලෝක බැංකුවේ සාමාජික රටක් ලෙස මහජන සුබසාධන කප්පාදුව අරඹන්නට එකඟ වී තිබිණි.

  • කප්පාදුවේ තරම

බලයට පත්වී වසරක් ඉක්මවෙන්නට පෙර එජාප ආණ්ඩුව සීනි මිල ශත 15කින් ඉහළ දැමීය. පොරොන්දු පසෙක තබමින් කටයුතු කිරීම ඊළඟ වසරේද සිදු විය. 1953 ඩඞ්ලිගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ජේ ආර්ගේ අයවැය ලේඛනයෙන් පාසල් දිවා ආහාරවේල කපා හරින ලදී. දුම්රිය ගාස්‌තු සහ තැපැල් ගාස්‌තු වැඩි කරන ලදී. අනාථ ආධාර දීමනා අඩු කරන ලදී. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්‌වා 50%ක්‌ පමණ අඩු කිරීමේ ප‍්‍රතිඵලයක්‌ වශයෙන් සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්‌වා ඉහළ ගියේය.

මෙම තත්වය නිසා ජනතාව මහත් පීඩාවකට පත්ව සිටියහ. වමේ වෘත්තීය සමිති විසින් කළ සාකච්ඡුාවකින් පසු අයවැය යෝජනාවලට විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළක් සම්මත කෙරිණි. පළමුවෙන්ම එම විරෝධයට එක්‌වූයේ වෘත්තිය සමිති වටා සංවිධානය වූ කම්කරු පිරිසයි. ජූලි 21 වැනිදා වරාය කම්කරුවෝ පැය 3 ක සංකේත වර්ජනයක නිරත වූහ. රත්මලානේ දුම්රිය වැඩ බිමේ කම්කරුවෝ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලය වටලාගෙන උද්ඝෝෂණය කළහ. අනතුරුව ලිපිකරුවන් හා ගුරුවරුන් සහ සහනාධාර ලැබූ ගොවීන් ධීවරයෝද ඇතුළු සියලූ‍ම ජන කොටස්‌ මෙම විරෝධතාවලට එක්‌වූහ. අයවැය පළමුවර කියවනු ලැබුවේ ජූලි 23 වැනි දාය. එදින වමේ පක්ෂවල නායකත්වය යටතේ විරුද්ධ පක්ෂ සහභාගීත්වයෙන් සංවිධානය කළ විරෝධතා රැුලියක්‌ එවකට පාර්ලිමේන්තුව අබියස ගාලූ‍ මුවදොර පිටියේදී පැවැත්විණි.

ඉන්පසුව විරෝධතා නගර ගම් ඔස්සේ ව්‍යාප්ත කෙරිණි. එකල පැවැති ගම්සභා, සුළු නගර සභා, මහ නගර සභා ආයතනවල නියෝජිතයෝද අයවැය යෝජනාවලට විරෝධය පළ කළහ. රටේ ප‍්‍රධාන නගරවල ආණ්‌ඩුවට ඉල්ලා අස්‌වන ලෙස බලකරමින් විරෝධතා පවත්වන ලදී. බලපිටිය, ගාල්ල, මාතර, අනුරාධපුරය, බදුල්ල, යාපනය, මඩකලපුව වැනි නගරවල බලවත් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ විය. සමහර ප‍්‍රදේශවල ජනතාව තමන් නියෝජනය කරන මන්ත‍්‍රීවරයාගේ නිවස වටලා විරෝධය පළ කළහ. මේ අතරම හැටදහසකගේ අත්සනින් යුතු පෙත්සමක්‌ පෙළපාළියෙන් ගොස්‌ අගමැති ඩඞ්ලි වෙත බාරදෙන ලදී.

  • හර්තාල් සංවිධානය

the-hartal activistsහර්තාල් ව්‍යාපාරයේදී ක‍්‍රියාකාරී ලෙස මැදිහත් වූ රෙජී මෙන්ඩිස් තම ජනතා සටන් ව්‍යාපාරය පිළිබඳ ආවර්ජනය කරමින් මෙසේ සටහන් කර තිබිණි.

”ජනතාවට එල්ලවිය හැකි පීඩනයට එරෙහිව එක්සත් ක‍්‍රියාමාර්ගයකට ගොනු වෙන්නට යු.එන්.පී. විරෝධී සියලූ‍ බලවේගයන්ට අපි කතා කළෙමු. පළමු වතාවේදී කොමියුනිස්ට් පක්ෂයත් පිලිප්ගේ කණ්ඩායමත් එක් නොවීය. නමුත් අපි ‘හර්තාල් කොමිටියක්’‍ ගොඩනැගීමු.

ලෙස්ලි ගුණවර්ධන, සේනක බිබිලේ, රතු විජේසිංහ, ජී.සී. පෙරේරා සහ මා (රෙජිනෝල්ඞ් මෙන්ඩිස්* එම කොමිටියේ සාමාජිකයන් වශයෙන් පත් කෙරිණි. නැවත නැවතත් අපි යු.එන්.පී. විරෝධී සියලූ‍ බලවේගයන්ට එක්සත් ක‍්‍රියාමාර්ගයක් සඳහා ආරාධනා කළෙමු.

බණ්ඩාරනායක සහ තොණ්ඩමන් හැර අනෙක් සියලූ‍ දෙනාම අප සමඟ යම් යම් ප‍්‍රමාණයන්ට එකඟ වූහ. ෆෙඩරල් පක්ෂය උතුරේදී සහයෝගය දීමේ එකඟතාවට එළඹිණි. ඊ.ඒ. ගුණසිංහගේ කම්කරු සංගමයද ඔවුන්ට බලය ඇති තැන්වලදී සහයෝගය දීමට එකඟ විය. මේ බලපෑම කරනු ලැබුයේ ගුණසිංහගේ දෙවැනියාව සිටි දේවේන්ද්‍රසිංහ විසිනි. ගුණසිංහගේ උවමනාව වූයේ යු.එන්.පී.යට රිංගා ගැනීමයි. ”‍හර්තාලයක් කරන්න පුළු‍වන් තරමට රට මෝරලද, පැහිලද කියල බලන්න මට හය මාසයක කාලයක් අවශ්‍යයි”‍ යැයි බණ්ඩාරනායක කීය. නමුත් ඔහුට රට වටේ යාමට දුන්නේ නම් අපේ රටේ ඉතිහාසය තුළ ‘හර්තාල්’ යන වචනයවත් සටහන් නොවීමට ඉඩ තිබිණ.

(1996 අගෝස්තු – ‘හිරු’ සඟරාව)

මේ අතර අගෝස්‌තු මස 7 වැනිදා ඩඞ්ලි ආණ්ඩුවේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර වැඩි ඡුන්ද 23කින් දෙවන වර කියවා සම්මත කර ගැනිණි.

  • පිටකොටුවේ සටන

දහඅට හැවිරිදි සටන්කාමී ගැටවරයකු ලෙස ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එක්වූ රෙජී මෙන්ඩිස් කළ ආවර්ජනය සුවිශේ්ෂ වෙයි. කම්කරු සමිති දොළහක් නියෝජනය කළ ‘පිටකොටුව ලෝකල් සභාවේ’ ලේකම්වරයා ලෙස ඔහු කම්කරු සටන් ගණනාවකටම නායකත්වය දුන්නේය. රෙජී තමන් විසින් නායකත්වය දුන් පිටකොටුවේ සිදුවීම් පිළිබඳ ‘හිරු’ සඟරාවේ මෙසේ සටහන් කර තිබිණි.

”සිරිල් ද සොයිසා බස් කොම්පැනි කම්කරුවන් වර්ජනයට එක්වේ යැයි අපි බලාපොරොත්තු නොවෙමු. නමුත් ඔවුහු අගෝස්තු 11 වැනිදා රාත‍්‍රී 12 සිට බස් ප‍්‍රවාහනය නවතා දැමුහ. සිරිල් ද සොයිසා උග‍්‍ර යු.එන්.පී.කාරයෙකි. නමුත් කම්කරුවන්ගේ තීන්දුව සම්බන්ධයෙන් ඔහුට කළහැකි දෙයක් නොවූයෙන් හේ නිහඬව සිටියේය. එහෙත් බස් කොම්පැනිකාරයන් කීපදෙනකුට අයත් බස්රථ ප‍්‍රවාහනයට යොදවා තිබුණි. මේ බස් පදවාගෙන විත් තිබුණේ ඒ ඒ ගම්වල මැරයන් විසිනි……

පිටකොටුවේදී පොලිසිය සමඟ මුහුණට මුහුණලා සටන් ඇති විය. වරාය, ගෑස් කොම්පැනිය, චාමර්ස් ධාන්‍යාගාරය වැනි තැන්වල හමුදාව රැුකවල් ලා ගෙන සිටියහ. 10.30 වන විට පොලිසිය සමඟ සටන් ඇවිළිණි. ඒ වන විට ‘පිටකොටුවේ ලෝකල්’ එකෙන් වෘත්තීය සමිති දොළහක් නඩත්තු කරමින් තිබිණ. පිටකොටුවේ සිටියේ අප සුළු පිරිසකි. නොයෙකුත් තැන්වලට අනෙකුත් සියලූ‍ දෙනාම යොදවා තිබුණි. නමුත් ගම්වල සිටි තරුණ කොටස් දහවල් වන විට පිටකොටුවට එන්න පටන් ගත්හ. ඒ අය අප හා එකතු වූ නිසා අපට සටන් කරන්නට පහසු විය. මල්වත්ත හන්දියට එනතෙක්ම පොලිසිය අපට පහර දීගෙන ආ අතර අපි හරස් පාරවලින් විත් පොලිසියට පහර දුනිමු. කෙසේවුවද අවසානයේදී පොලිස් බැරැුක්කවලට යන තෙක්ම ඔවුනට එළව එළවා පහර දෙන්නට අප සමත් වීමු. සවස 1.30 වනතුරුම සටන් පැවතිනි. අපේ සහෝදරයකු ඩඞ්ලිගේ ආණ්ඩුවේ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමුණේ මෙම සටනේදීය. මුළු රටේම අපේ සහෝදරවරු නවදෙනකු මරා දමා තිබිණි. මොරටුව, එගොඩඋයන, කොරලවැල්ල ආදී ප‍්‍රදේශවල විශාල වශයෙන් සටන් ඇති විය. මෙහිදී වැඩියෙන් දායක වූයේ කාන්තාවන්ය. මොවුන් දුම්රිය රියදුරා ඇතුළු අය අත්අඩංගුවට ගෙන එන්ජිම ගලවා පානදුරේට යැවීය.”

  • ප‍්‍රචණ්ඩත්වය හා මර්දනය

the-hartal incident1953 අගෝස්‌තු 12 වැනි දින මෙසේ සටන්කාමී ජනතාව විසින් රටපුරාම හර්තාලය පැවැත්විණි. වමේ පක්ෂ විසින් එය සංවිධානය කරනු ලැබුවද කම්කරුවන් අරගලය ආරම්භ කළද පුළුල් ජනතා සහායක්‌ ඊට ලැබිණි. දුම්රිය, බස්‌ ධාවනය අඩාල විය. දොම්පෙ, අම්බලන්ගොඩ,

බලපිටිය, කොස්‌ගොඩ, නුගේගොඩ ප‍්‍රදේශවල ජනතාවගේ ක‍්‍රියාකාරී සහාය විශේෂයෙන් කැපී පෙනුණි. නැෙඟනහිර පළාතේ හැර දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ පවැතුණි. කොළඹ අවට ප‍්‍රදේශවල හර්තාලය අතිශයින් සාර්ථක විය. එය කොතරම් සටන්කාමී වීද යන්න රෙජී මෙන්ඩිස්ගේ විස්තරයෙන් පැහැදිලි වේ. මෙම තත්වය තුළ ඩඞ්ලිගේ ආණ්ඩුව බියපත්ව සිටියේය. ඇමැති මණ්ඩලය අගනුවරදී

රැුස්වීම අවදානමක් ලෙස වටහා ගන්නා ලදී. කැබිනට්‌ මණ්‌ඩලය හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය පැනවීමේ තීරණය ගනු ලැබුවේද වරායෙන් ඈත නවතා තිබූ එච්. එම්. එස්‌. නිව්ෆවුන්ලන්ඞ් නම් බි‍්‍රතාන්‍යයට අයත් යුද නැවේදීය. ඇති වූ බිය නිසාම ඩඞ්ලිගේ ආණ්ඩුව හර්තාලයට ප‍්‍රතිචාර දැක්වූයේ ප‍්‍රචණ්‌ඩ ස්‌වරූපයෙනි. එහි ප‍්‍රතිඵලය වූයේ හර්තාල් සටන්කරුවන්ද ඊට සමාන ප‍්‍රචණ්ඩ ස්වභාවයකින් මර්දනයට මුහුණ දීමය.

එහෙයින් මහජන දේපළ, රජයේ ගොඩනැඟිලි හා ප‍්‍රවාහන සේවාවලට දැඩි ලෙස අලාභහානි සිදු විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පක්ෂපාතී පුවත්පත් මෙය දුටුවේ මැරකම් සහ කඩාකප්පල්කාරීත්වය පුළුල් ලෙස පැතිරීමක්‌ ලෙසිනි. එහෙත් හර්තාලය යනු ආණ්ඩුවේ කප්පාදු පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීම පිණිස ඇති වූ දීප ව්‍යාප්ත ජනතා නැගිටීමක්‌ විය. ඇත්ත වශයෙන්ම එය එක්සත් ජාතික පක්ෂය විසින් දුන් මැතිවරණ පොරොන්දු කඩකිරීමට එරෙහිව ජනතාවගේ නැඟී සීටීමකි. සිය විරෝධය තුට්‌ටුවකට මායිම් නොකිරීමත් මර්දනයෙන්ම පිළිතුරු දීමත් හේතුකොටගෙන කෝපාවිෂ්ට වූ ජනතාව වඩාත් ප‍්‍රචණ්ඩ ලෙස සිය විරෝධය පළකිරීමේ නිරත වූහ.

බි‍්‍රතාන්‍ය පාලනයෙන් නාමිකව ලද නිදහසින් පසු පත් වූ ආණ්‌ඩුවක් පළමු වතාවට ජනතාවට වෙඩි තැබීමට නියෝගය දුන්නේ ඒ අවස්ථාවේදීය. එම පොලිස්‌ වෙඩිතැබීම් නිසා හර්තාල් සටන්කරුවන් නවදෙනකු මිය ගියහ. හදිසි නීතිය හා මහජන ආරක්ෂක පනත යටතේ හර්තාලයට සම්බන්ධ ක‍්‍රියාකාරීන්‌ අත්අඩංගුවට ගන්නා ලදී. එසේම මර්දනයේ ව්‍යාපාත් අවස්ථා ලෙස සටන්කරුවන්ගේ දේපළ රජයට පවරා ගැනීමත් සෝදිසි කිරීමත් දිගටම සිදුකෙරිණි. තැන තැන ඇඳිරි නීතිය පැනවුණි. එසේම වාමාංශික පුවත්පත් තහනම් කරමින් ආණ්‌ඩුවට පක්ෂ පුවත්පත් පමණක්‌ පළ කරනු ලැබිණි. එම පුවත්පත්වල පළ වූ සියලූ අදහස් තොරතුරු හර්තාල් විරෝධී විය.

  • වමේ නායකයන්ගේ ප‍්‍රකාශය

අගෝස්තු 12 වැනිදා පටන්ගත් හර්තාලය 13 වැනිදා තෙක්‌ පැවතුණි. මෙසේ 13 වැනිදාත් හර්තාලය ඉදිරියට යද්දී වාමාංශික නායකයන් කල්පනා කළේ හර්තාලය තවදුරටත් ඉදිරියට ගෙනයෑම අනතුරක්‌ වශයෙනි. ලංකා සමසමාජ පක්ෂයේ ඇන්.ඇම්. පෙරේරා, විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් යන තිදෙනා විසින් ප‍්‍රසිද්ධ ආයාචනයක් කරන ලදී.

”හර්තාලය පවත්වන ලෙස කරන ලද අයැදුමට අනුව අනර්ඝ අන්දමින් ක‍්‍රියා කිරීම ගැන අපි ලංකාවේ බහු ජනතාවට ප‍්‍රශංසා කරමු. සහල් ඇතුළු සහනාධාර ඉවත් කිරීම ගැන විරෝධය දැක්‌වීමේදී ජනතාවගේ ශක්‌තිය හා සමගිය පළකිරීමට අපට පුළුවන් විය. ආණ්‌ඩුව බියෙන් තැතිගෙන හදිසි අවස්‌ථාවක්‌ පැනනැඟී ඇති බව ප‍්‍රකාශයට පැමිණවීමෙන් රට පාලනය කිරීමට ස්‌වකීය අසමත් බව ප‍්‍රකාශ කළේය. පොලිසියේ හා ආණ්‌ඩුවේ ප‍්‍රකෝප කිරීම්වලට හසු නොවන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මුලින් නිවේදනය කළ පැය 24ක හර්තාලය (අද බ‍්‍රහස්‌පතින්දා) උදේ අවසන් විය. එබැවින් නැවත වැඩට ගොස්‌ තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙස සියලූ‍ දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.”

එසේ හර්තාල් ව්‍යාපාරයෙන් ඉවත්වීමට වමේ නායකයන් දුන් සංඥාව හමුවේ කම්කරුවන් ඇතුළු පීඩිත සටන්කාමීන්ට හව්හරණක් නොවීය. දීප ව්‍යාප්ත කම්කරු – ජන අරගලයක් පාවාදීමෙන් කෙළවර වූ අතර මර්දනයේ අත්දැකීම් තනි තනිව භුක්ති විඳීමට සිදු විය. 1953 අගෝ්ස්‌තු 18 වැනිදා මහජන ආරක්ෂක පනත පිළිබඳ විවාදයේදී හර්තාලයේදී සිදු වූ ප‍්‍රචණ්‌ඩ ක‍්‍රියා පිළිබඳ සාකච්ඡුාවක් ඇති විය. එම තත්වය හමුදාවේ හා පොලිසියේ ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවලට විරුද්ධව, සිය ආත්ම ආරක්ෂාව පතා ජනතාව දැක්‌වූ ප‍්‍රතිචාර ලෙස වාමාංශික නායකයන් විසින් හඳුන්වා දෙන ලදී.

කෙසේවෙතත්, හර්තාලයට හේතු වූ කරුණු පිළිබඳව වෙනත් විවාදයක්‌ 1953 සැප්තැම්බර් 01 වැනිදා පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කළ වමේ නායකයන් පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් මිය ගිය ජීවිතවලට රජය වගකිව යුතු බවට දෝෂ දර්ශනය කරන ලදී. හර්තාලකරුවන්ට වෙඩි තැබීමෙන් ඇති කළ තත්වය 1915 පසුව ලංකාවේ සිදු වූ විශාලතම මිනිස්‌ ඝාතනය ලෙස ඔවුන් විසින් හඳුන්වාන ලදී. එහිදී අගමැතිවරයාගේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරනු ලැබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති ඩඞ්ලි සේනානායක සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමත් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්වීමත්ය. ඉන්පසුව අගමැති කොතලාවල විසින් කප්පාදු පිළිවෙත් හඳුන්වා දුන් මුදල් ඇමැති ෙඡ්. ආර්. ජයවර්ධන මුදල් ඇමැති ධුරයෙන් පහ කර ඔහු කෘෂිකර්ම ඇමැති ලෙස පත් කරන ලදී. ශත 75ක්‌ව තිබුණු හාල් සේරුව ඔක්‌තෝබර් 13 වැනිදා සිට ශත 55 දක්‌වා අඩු කරනු ලැබීය. පසුව 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් විය.

’53 හර්තාලය ලෙසින් දේශපාලන සාහිත්‍යයේදී හඳුන්වන එම සුවිශේෂී අවස්ථාව මෙරට තැළෙන පෑගෙන ජනතාවට ධනපති පන්තිය මට්ටු කරන්නට හැකි බව පළමු වරට සලකුණු කළ වෙඩිමුරයද විය. එසේම එය පැරණි වාමාංශික ව්‍යාපාරයේ නායකත්වය නිර්ධනයන්ගේ ස්වාධීන නැඟී සිටීමක් කෙරෙහි විශ්වාසයක නොව ධනපති පන්තිය සමඟ සම්මුතිකාමයක සිටින බව හෙළිදරව් කළ අවස්ථාවක් ලෙසද ඉතිහාසයට එක් විය.

අජන්තා එම්. ජයසේකර