ස්ටේස් පාරේ මරණය

IMG_5460

කොළඹ 14, ග‍්‍රෑන්ඞ්පාස්, ස්ටේස් පාරේ පදිංචිව සිටි ඞී.ජී. පේ‍්‍රමසිරි නමැති 65 හැවිරිදි පුද්ගලයකු පොලිසියේ පහරකෑමට ලක්ව මරණයට පත් වූ පුවත ඔබ දනී. එය සිදු වූයේ අගෝස්තු 09 වැනිදා උදෑසන එකොළහට පමණය. මරණයෙන් කුපිත වූ ස්ටේස් පුර ආසන්නයේ පදිංචි ජනතාව

කොස්ගස්හන්දිය – ඔරුගොඩවත්ත මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ටයර් පිළිස්සූහ. පොලිසියත් කැරලි මර්දන ඒකකයත් මැදිහත්ව තත්වය සාමකාමී කළ බවත් මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේ, මරණය සම්බන්ධයෙන් මත දෙකක් ඇති නිසා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එක් මතයක් වන්නේ, පොලිසිය කාන්තාවක අත්අඩංගුවට ගැනීමට යාමේදී පේ‍්‍රමසිරි පොලිස් නිලධාරීන්ට බාධා කළ බවත් එහිදී ඇති වූ පොර බැදීමේදී ඔහු බිම වැටී මරණයට පත් වූ බවත්ය. අනෙක් මතය වන්නේ, පොලිසිය කළ පහරදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු මරණයට පත් වූ බවයි. සඳුදා සවස් වන විට තත්වය ඔය ආකාර විය.

මළ ගෙදර යාමට පෙර මම, දිනපතා පුවත්පත්වල පළ වී තිබූ වාර්තා කිහිපයක් කියවා බැලූවෙමි. ඒ සියලූම වාර්තා පොදුවේ සඳහන් කර තිබුණේ මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය අවස්ථාවේ ඇති වූ පොර බැදීමකදී බිම ඇද වැටීම නිසා පේ‍්‍රමසිරි මරණයට පත් වූ බවයි. සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකාරියක හා මිය ගිය පුද්ගලයාගේ ඥාතියකු වන ඩබ්ලිව්. බේබිනෝනාගේ ප‍්‍රකාශය සම්බන්ධව පුවත්පත් දෙකක තිබූ වාර්තා පරස්පර විය. එකකට අනුව පේ‍්‍රමසිරි පොලිස් නිලධාරීන්ගෙන්

දැඩි ලෙස පහරකෑමට ලක්ව ඇති අතර අනෙක් වාර්තාවට අනුව ඔහුට එල්ල වී තිබෙන්නේ පහර දෙක තුනක් පමණි.

මේ සියලූ කරුණුද සිතේ දරාගෙන, සඳුදා සවස තුනට පමණ මා බොරැුල්ලෙන් 178 බස් රථයක එල්ලූනේ මරණය සිදු වූ ආකාරය ගැන ‘ජනරළ’ පාඨකයාට සත්‍යයට වඩාත් ආසන්න තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කිරීමේ අරමුණ ඇතිවය. මා සමඟ පොලිසියට බැණ බැණ ගිය බසයේ රියදුරු මහතා, පාර අයිනේ හට් එකක් යට තරුණයන් කිහිප දෙනකු කාඞ් සෙල්ලම් කරමින් සිටින තැනකදී වේගය අඩු කර මට බසින්න යැයි කීවේය. මම පැන ගත්තෙමි. තරුණයන් වෙත ගිය මම මළ ගෙදර කොහිදැයි විමසුවෙමි. ඔවුහු පාරට පහළින් ඇති ගෙයක් පෙන්වීය. මම ඒ ගෙවල් පෙළ අස්සට රිංගා ගතිමි. ඒ වන විටත් මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ගෙනැවිත් තිබුණේ නැත.

පැයකට මඳක් වැඩි කාලයක් මිය ගිය පුද්ගලයා ජීවත් වූ කුඩා නිවසේ සාලයේ පුටුවක් මත වාඩි වී තමන් දුටු දෑ කියන කුඩා දරුවන්ගේ, තරුණයන්ගේ සහ වැඩිහිටියන්ගේ කතාවලිනුත් ඔවුන්ගෙන්

සමුගෙන එන අතරවාරයේ හමු වූ තවත් අයගේ අදහස්වලිනුත් ඉක්බිති, පේ‍්‍රමසිරිගේ මරණය ගැන මම ඔබට කිසිවක්ම නොකියමි. කිහිප දෙනකුගේ ප‍්‍රකාශ මා මාගේ සටහන් පොතේ කුරුටු ගාගත් අතර ඒවා මෙහි වෙනම පළ කර ඇත. පේ‍්‍රමසිරිගේ මරණය ගැන ඒ හොඳටම ප‍්‍රමාණවත්ය. මට ඔබට කීමට වෙනත් කතාවක් ඇත.

මිය ගිය පේ‍්‍රමසිරි පදිංචිව සිටි නිවසේ සාලය ගෘහ භාණ්ඩවලින් මුළුමනින්ව හිස්ව තිබිණි. කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනකු බිම වාඩි වී කතා කරමින් සිටි අතර බිලිඳුන් වඩාගෙන සිටි මැදිවියේ ගැහැනියක හා තරුණියක පමණක් පුටුවල වාඩි වී සිටියහ. ඔවුන් මා පිළිගත්තේ මා එතැයි බලාපොරොත්තුව සිටි පරිදිය. මට පුටුවක් ලැබිණි. මැදිවියේ ගැහැනියට මුහුණ ලා මම වාඩි වීමි. ඇය සිද්ධිය ඇසින් දැක තිබිණි. ඇය මට යම් යම් විස්තර කීවාය. ඒ අතරේ අනෙක් තරුණිය මාධ්‍ය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය කියමින් සිටියාය.

”වෙච්ච දේ නෙවෙයිනේ දාන්නෙ. පොලිසිය කියන එක තමයි දාන්නෙ. ඇවිල්ලා අපෙන් විස්තර අහගෙන යනවා, වෙන වෙන ඒවා පත්තරවල දානවා.”

මම පුවත්පත්වල දුටු වාර්තා ගැන කියා සත්‍ය සිදුවීම කුමක්දැයි විමසුවෙමි. එවිටම එතැනට ආවේ කුඩා දරුවන් පිරිසකි. ඔවුන් සිද්ධිය ඇසින් දැක තිබිණි. වැදගත්ම දෙය එය නොවේ. ඔවුන් ඒ විස්තර මා වෙත කීවේ පොලිසියේ හැසිරීමේ ඇති නීත්‍යනුකූලභාවය ප‍්‍රශ්න කරමිනි.

”පිරිමි පොලිසිය කොහොමද ගෑනු කෙනෙක්ට ගහන්නෙ?” ඔවුහු මගෙන් ප‍්‍රශ්න කළහ.

අපට එදිනෙදා හමුවන ඒ වයසේ කුඩා දරුවන් පොලිසියට කියන්නේ ‘පොලිස් මාමා, පොලිස් නැන්දා’ කියා වුවත් මට ස්ටේස් පාර අයිනේදී හමු වූ කුඩා දරුවෝ පොලිසිය එහි සැබෑ ස්වභාවයෙන්ම හඳුනාගෙන සිටියහ. පොලිසිය සිටින්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට නොව, තමන්ව මර්දනය කරන්නට බව දැන සිටියහ. පොලිසිය සතුව ඇති නෛතික බලය ගැනත් පොලිසිය හමුවේ ජනතාව සතු අයිතිවාසිකම් ගැන සැලකිය යුතු දැනුමක් ඔවුන් වෙත විය. මම විමතියට පත් වීමි. පොලිසියට විරුද්ධව පත්තරයකට යමක් කීමට ඔවුන් තුළ කිසිදු බයක් තිබුණේ නැත.

”ගිය මාසෙ අපේ අම්මට ගහලා අරගෙන ගියා.” එක් දරුවකු කීවේය.

”ඒයි, මේ මහත්තයට උඹේ මූණ පෙන්නපං.” අයෙකු පැවසීය. මම පසුපස හැරී බැලූවෙමි. මට පිටුපසින් සිටියේ යෞවනයන් කිහිප දෙනෙකි. ”මේ කොල්ල සිගරට් එකක්වත් බොන්නෙ නෑ. ඒ වුණාට අල්ලගෙන ගිහිං ගංජා පැකට් එක්ක උසාවි දැම්මා.”

”නිදාගෙන ඉද්දි මාව අල්ලගෙන ගිහින් හොඳටම ගහලා එව්වා” ඒ යෞවනයෙකි.

මෙබඳු කතා

රැුසකින් මගේ සවන් වැසී ගියේය. මේ ඔවුන් ජීවත් වන පරිසරයයි. ඒ සමාජයේ සාක්ෂරතාව යනු අකුරු දැන ගැනීම පමණක් නොවේ යැයි මට සිතිණි. එහි සාක්ෂරතාවට පොලිසිය සමඟ කට ගසා, වාද කොට අත්අඩංගුවට පත් නොවී සිටීම සඳහා අවශ්‍ය නීතිය ගැනත් දැන සිටීම ඇතුළත්ය. එසේ නොවන්නේ නම් ජීවත්වීම දුෂ්කරය.

පොලිසියට නඩු මදි වූ විට කරන්නේ ස්ටේස් පුර, ස්ටේස් පාර වැනි ප‍්‍රදේශවලට පැන කිහිප දෙනකු රැුගෙන යාමයි. ඔත්තුවකට කඩා පනින පොලිසියට සැකකරුවකු අල්ලා ගැනීමට බැරි වුවහොත් පාරේ සිටින කවුරුන් හෝ අල්ලා ගෙන යාම සිරිතයි. කාන්තාවන්ට කතා කරන්නේ කුණුහරුපවලිනි. ඔවුන් අත්විඳිමින් සිටින්නේ පොලිස් රාජ්‍යයක අත්දැකීමය. පොලිසියේ පහරකෑමට ලක් නොවූ තරුණයන් සිටින්නේ නම් ඒ සුළු පිරිසකි.

ස්ටේස් පාරේ මට හමු වූ ජනතාව විඳිමින් සිටින තත්වය එසේය. අනෙක් පැත්තද ඊට වඩා වෙනස් නොවේ. මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් එහි ඕනෑ තරම්ය. බුලත් විට, චොක්ලට් මෙන්ම මත්කුඩු පැකට්ද අලෙවි වේ. සමාජ අපරාධවල තෝතැන්නක් බවට පත්ව තිබේ. පොලිසියට දිනපතා පැමිණිලි ගලා යයි. රැුයක් පොලිසියේ ගත කිරීම, පොලිසියෙන් පහරක් දෙකක් ගුටි කෑම දෛනික ජීවිතය බවට පත් වී තිබෙන තරම්ය.

වෙනත් ඕනෑම ව්‍යාපාරයක් පවතින්නේ පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගන්නා නිසාය. එහෙත් මත්කුඩු ජාවාරම පවතින්නේ මත්කුඩු විකුණන නිසාය. ඇබ්බැහි වූවන් තනා ගැනීම සඳහා ජාවාරම්කරුවෝ පාතාලය සහ විවිධ ක‍්‍රම භාවිත කරති. අහිංසක ජීවිත එහි ගොදුරු බවට පත් වේ. මත්කුඩු මතින් සිහින ලෝකවල සැරිසරන තරුණයන්ගේ, පොලිසියේ පහරකෑමට ලක්ව වේදනාවෙන් කෙඳිරිගාන මිනිසුන්ගේ, අම්මා හෝ තාත්තා ඇප ලබා නිදහස්ව එන තුරු මඟ බලා සිටින දරුවන්ගේ ජීවිත තළාගෙන මත්කුඩු ජාවාරම්කරුවන්ගේ, පාතාලයට හා වෙනත් ජාවාරම්වලට බලපත‍්‍ර දෙන දේශපාලකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ අතිසුඛෝපභෝගී වාහන ඒ මේ අත වේගයෙන් දුවමින් තිබේ. එවැනි තත්වයක් තුළ මෙබඳු මරණවලට ඕනෑ තරම් ඉඩකඩ තිබේ. විටෙක පොලිසිය වෙනුවට එතැනට ආදේශ වන්නේ පාතාලයයි. ඕනෑම අයකු එහි ගොදුරු බවට පත්වීමට ඉඩ ඇත. ඔවුන් ගොදුරු වී සිටින්නේ ඔවුන්ට ජීවත්වීමට සිදු වී තිබෙන ජීවන කොන්දේසිවලට බවට සාධක එහි සෑම තැනකම තිබේ. වෙනස්විය යුත්තේ එම ජීවන කොන්දේසි නොවේද?

ජනක තුෂාර