විකල්පයට ඉඩ විවරවීම

Janarala-poster-2අපි මේ කතුවැකිය ලියන්නේත් ඔබ එය කියවන්නේත් මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී. මෙවර මහ මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු ගෙඹි පිනුම් දකින්නට ලැබෙන එක ස්ථීරයි. මේ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්පත් කරගන්න වෙනත් පක්ෂවලින් මන්ත‍්‍රීවරු බිලීබෑමට සිදු වන බව දේශපාලන පක්ෂවල නායකයෝ දැන් ප‍්‍රසිද්ධියේම කියනවා. එහෙම බිලීබෑම සඳහා සැලසුම් සකස් කිරීමත් එකඟතා නිර්මාණය කර ගැනීමට කතා කිරීමත් දැනටමත් ඇරඹිලා. දේශපාලනය තුළ පක්ෂ සම්බන්ධයෙන් තිබුණු අනුරාගයත් දේශපාලන ප‍්‍රතිපත්තීන් ‘ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වීම’ (උපුටා ගැනීම කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙනි* ගැන හැමදෙනාම කම්පනයෙන් යුතුව කතා කරනවා. කලකට ඉහත දේශපාලනය කළ අයට තමන්ගේ පක්ෂ ගැන අනුරාගික හැඟීමක් තිබුණා. අවුරුද්දෙන් අවුරුද්ද පක්ෂ මාරු කිරීම ඔවුන්ට හිතා ගන්නවත් බැරි දෙයක් විදියට තිබුණේ. ඒ වගේම තමයි ප‍්‍රතිපත්ති. තමන් පිළිගත් ප‍්‍රතිපත්ති අතහැර මෙතෙක් විවේචනය කළ ප‍්‍රතිපත්තියක් වැලඳ ගැනීම කිසිසේත් කළ නොහැක්කක් ලෙසයි පැවැතුනේ. නමුත් මේ වන විට නවලිබරල් සංස්කෘතිය තුළ ඒ සියල්ල අහෝසි වෙලා මුදල් ගොඩගැසීමත් ජනප‍්‍රියත්වය හා බලය අත්පත් කරගැනීමත් අංක එකට ඇවිල්ලා.

‘යකඩ පිච්චුන ගෙදර පුළුන් ඉතිරි වෙන්නෙ නෑ’ කියලා පරණ කියමනක් තිබෙනවා. අනෙක් සියල්ල මුදල් ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිලෙන තත්වයක් ඇතුළේ දේශපාලනය විතරක් ඒකට හසු නොවී ඉතිරි වෙන්නෙ නෑ. නමුත් දේශපාලනය තුළ මේ තත්වය ඇති වෙන්න බලපෑ තවත් හේතු තිබෙනවා. මීට පෙර කතුවැකියකදීත් අපි සාකච්ඡුා කළ කරුණකින් අපට ඒ හේතුවට ප‍්‍රවේශ වෙන්න පුළුවන්. සෝවියට් කඳවුර බිඳවැටිලා නවලිබරල් ආධිපත්‍යය ලෝකයේ එකම බලය බවට පත්වීමත් සමඟ දක්ෂිණාංශික දේශපාලනය තුළ ලිබරල් හා කොන්සර්වේටිව් වෙනස්කම් අහෝසි වෙලා හැමදෙනාම නවලිබරල් ප‍්‍රතිපත්ති වැලඳගත් බවත් වම සිය ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් අතහැර දකුණේ දේශපාලනය වැලඳගත් බවත් එදා අපි ලිව්වා. ඒකත් මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ මාරුවත් අතර ඇති සම්බන්ධය මොකක්ද? අද අපි කතා කරන්නේ ඒ ගැන.

මන්ත‍්‍රීවරුන්ගේ හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ පක්ෂ මාරුව ප‍්‍රතිපත්තිමය ක්ෂේත‍්‍රයේ පිරිහීම හා බිඳවැටීම සමඟ එකට බැඳී තිබෙනවා. 1990 දශකයට පෙර ප‍්‍රතිපත්තිමය වශයෙන් එකම පදනමක සිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර මතුපිට තලයේ යම් යම් වෙනස්කම් තිබුණා. සියයට සියයේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීම සාධාරණ නැති වුණත් එක්සත් ජාතික පක්ෂය යම් ලිබරල්වාදී දේශපාලනයකුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කොන්සවේටිව්වාදී දේශපාලනයකුත් නියෝජනය කළ බව දළ වශයෙන් කියන්න පුළුවන්. මේ පක්ෂ දෙකට අනෙක් ලක්ෂණ යම් ප‍්‍රමාණවලින් අන්තර්ගත කර ගත්තත් වරින්වර ඇතැම් කාලවකවානුවලදී වෙනත් ලක්ෂණ ප‍්‍රදර්ශනය කළත් පොදු වශයෙන් එහෙම කියන්න පුළුවන්. ඒ විදියට පැවැති එජාප – ශ‍්‍රීලනිප දේශපාලනය විශාල පරිවර්තනයකට ලක්වෙන්නේ 1994දී. 1994 මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී තමන් විවෘත ආර්ථිකය පිළිගන්නා බව චන්ද්‍රිකා බණ්ඩාරනායක විවෘතව ප‍්‍රකාශ කළා. (එයට මානුෂික මුහුණුවරක් දීම ගැන කිව්වේ බොරු අයිසිං එකක් විදියට. තමන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය විවෘත ආර්ථිකයම බව කීමයි චන්ද්‍රිකාට අවශ්‍ය වුණේ* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වනතුරුම හිටියේ විවෘත ආර්ථිකයට වෙනස් ප‍්‍රතිපත්තියක. අන්තිමේදී විධායක ජනාධිපති ක‍්‍රමයටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය හිමි වුණා. මේ හැරුම් ලක්ෂයේදී ලංකාවේ ප‍්‍රධාන දක්ෂිණාංශික දේශපාලන පක්ෂ දෙක වන එජාපය හා ශ‍්‍රීලනිපය අතර පැවැති සුළු හෝ ප‍්‍රතිපත්තිමය වෙනස අහෝසි වෙලා ඒ දෙක එකම ප‍්‍රතිපත්තියකට ගොනු වුණා. එතැනින් පසුව පක්ෂ දෙකේ වෙනසක් නැති නිසා එහෙන් මෙහෙට මාරු වෙන්නත් මෙහෙන් එහෙට මාරු වෙන්නත් තිබුණු බාධාවන් අහෝසි වුණා. මන්ත‍්‍රීවරු කිසිම හිරිකිතයකින් තොරව සල්ලි කුට්ටි වෙනුවෙන් පක්ෂ මාරු කිරීම සාමාන්‍යකරණය වන වටපිටාවක් හැදුණේ එහෙම. මේ දෙකෙන් කොයි පක්ෂයට ගියත් වෙනසක් නැති නිසා පක්ෂ නායකයන්ට වගේම පක්ෂ සාමාජිකයන්ට හා ඡුන්දදායකයන්ටත් මාරුවීම ප‍්‍රශ්නයක් නැති වුණා.

එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිපත්තිමය වශයෙන් සමාන වීමත් සමඟ ඒ ප‍්‍රතිපත්තියට එරෙහි විකල්පයක් සඳහා අවකාශයක් විවර වුණා. ජනතා විමුක්ති පෙරමුණ වේගයෙන් පුළුල් වුණේ ඒ විකල්පය අතට ගැනීම නිසා. මේ පක්ෂ දෙකේ නවලිබරල් ප‍්‍රතිපත්තියට විරුද්ධ ජනතාවට පැමිණිය හැකි තැන විදියට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ. 2000දී පස් අවුරුදු වැඩපිළිවෙළ එළිදක්වන මොහොත වන විට ජවිපෙ මේ විකල්පය ලෙස වාම විකල්පයක් ඉදිරිපත් කිරීම වෙනුවට ‘නිෂ්පාදනය ඉහළ නංවන ජාතික ආර්ථිකයක්’ වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් වෙත පසු බැස්සා. පසුව 2002 දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පිහිටුවීම හරහා ජාතිකවාදී දක්ෂිණාංශික විකල්පයක් දක්වා තවත් පසු බැස්සා. ඒත් ඒ සියල්ල මැද ජවිපෙ යම් විකල්පයක් ලෙස සමාජ පිළිගැනීමකට ලක්වුණා.

1994දී එජාපය හා ශ‍්‍රීලනිපයට අදාළව සිදු වූ ප‍්‍රතිපත්ති වෙනස ජවිපෙට අනුව සිදු වුණේ 2015දී. එජාපයේ, සන්ධානයේ හා ජවිපෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මේ වන විට මුළුමනින්ම සමාන තැනකට පැමිණ තිබෙනවා. එජාපයේ හා ශ‍්‍රීලනිපයේ මුල්බැස ගත් අදහස් වන පාර්ලිමේන්තු ක‍්‍රමය, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම, ජාතික ආරක්ෂාව වැනි සටන් පාඨ කරා ජවිපෙ පැමිණෙන අතර මෙතෙක් ජවිපෙ ප‍්‍රතිපත්තිය ලෙස කියූ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම, ජනතාවට සහනදීම වගේ ඒවා එජාප හා සන්ධාන ප‍්‍රතිපත්තිවලට ඇතුළත් වෙලා. කොහොම වුණත් දැන් 1994දී ශ‍්‍රීලනිපය පිළිගත් ප‍්‍රතිපත්තිය 2015 වන විට ජවිපෙන් පිළිඅරන්. මේ වන විට මේ පක්ෂ තුනම ප‍්‍රතිපත්තිමය වශයෙන් සමාන වෙලා. දැන් සමාජය ඉදිරියේ ඇත්ත විකල්පයක් සඳහා අවකාශය විවර වෙලා. දැන් වමේ ව්‍යාපාරය කළ යුත්තේ වාම විකල්පයක් සඳහා සමාජ අනුමැතිය දිනා ගැනීම. මේ විවර වූ ඉඩකඩ මෙවර මැතිවරණයේදී ක්ෂණික රැුල්ලක් ලෙස ප‍්‍රදර්ශනය වෙන එකක් නෑ. ඒත් අනාගතය විවෘතව පවතින්නේ ඒ නිවැරදි විකල්පයට. මෙවර මැතිවරණය අනාගත ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් කරන බීජ වැපිරීමක් විතරයි.