මිනිත්තුවට 15ක් පාඩුයි

garment workersරත්නපුරයේ ‘බොඩිලයින්’ ඇඟලූම් ආයතනයේ ගේට්ටුවේ පාඨයක් ප‍්‍රදර්ශනය කරලා තියෙනවා.

එහි අදහස තමයි, ‘ඔබ විනාඩියක්වත් අපතේ යවන්න එපා. ඔබ අපතේ යවන සෑම විනාඩියකටම ආයතනයට රුපියල් 15ක් පාඩුයි’ යන්න.

දැන් අපිට තියෙන්නේ පුංචි අංක ගණිත වැඩක්. ඇඟලූම් ආයතනය කියන විදියට එක සේවකයෙක් එක විනාඩියක් වැඩ නොකර හිටියොත් ආයතනයට අහිමි වන මුදල රුපියල් 15ක්. එක සේවකයෙක් පැයක් වැඩ නොකර හිටියොත් ආයතනයට අහිමි වන මුදල රුපියල් 900ක්. සාමාන්‍යයෙන් ඇඟලූම් ආයතනයක වැඩ දිනය පැය අටක්, නවයක් හෝ ඊට වැඩියි. අපි සාමාන්‍ය වැඩ දිනයක් පැය අටක් කියලා හිතමු. ඒ වගේම කෑමට, තේවලට සහ වෙනත් අවශ්‍යතාවලට අනිවාර්යයෙන්ම වැඩ නොකර සිටින කාලය පැයක් කියලා හිතලා, එක සේවකයෙක් දවසකට පැය හතක් අනිවාර්යයෙන්ම වැඩ කළ යුතුයි කියලා හිතමු. ඇත්තටම මේ කාලය ඊට වඩා පැයක් දෙකක් හෝ ඊටත් වඩා වැඩියි. ඒත් අපි අපේ පහසුවට එහෙම හිතමු. එවිට, එක සේවකයෙක් පැය හතක් (වැඩ දිනයක්* වැඩ නොකර හිටියොත් ආයතනයට අහිමි වන මුදල රුපියල් 6300ක්.

ඇඟලූම් ආයතනය කියන්න උත්සාහ කරන්නේ එහි සේවකයන්ගේ සෑම මිනිත්තුවක්ම ආයතනයට කොයිතරම් වැදගත්ද කියලා. සෑම සේවකයකුගේම සෑම මිනිත්තුවක්ම ආයතනයට රුපියල් 15ක් වටිනවා. ඒ නිසා ආයතනය හිතනවා, කිසිම සේවකයෙක් එක මිනිත්තුවක්වත් වැඩ නොකර නොසිටිය යුතුයි කියලා. මෙහෙම හිතන ඇතැම් ආයතන සේවකයන්ට තේ විවේකය දෙන්නේ නෑ, ඒ වෙනුවට තේ එක ළඟට ගෙනත් දෙනවා. මුත‍්‍රා කිරීම වැනි ශාරීරික අවශ්‍යතාවලට වැසිකිළි යාම දිනකට වාර දෙකක් හෝ තුනක් දක්වා සීමා කරලා තියෙනවා. ඇතැම් විට ඒ සඳහා කාඞ් එකක් දෙනවා. ඒ කාඞ් එකේ තියෙන වාර ගණනට වැඩියෙන් මුත‍්‍රා කරන්න බෑ. ජපානයේ මෑතකදී හඳුන්වා දුන්නා, කාන්තා යට ඇඳුමක්. පැම්පස් එකක්. ඒක ඇන්දාම මුත‍්‍රා කරන්න වැසිකිළි යන්න ඕන වෙන්නේ නෑ. ඒකෙම මුත‍්‍රා කරන්න පුළුවන්, හරියට පුංචි දරුවන්ට අන්දනවා වගේ. ධනවාදය කම්කරුවන්ගේ සෑම මිනිත්තුවක්ම මුදල් බවට පත් කරන්න මේ ආකාරයේ ඉතාම අමානුෂික, ඇතැම් විට ම්ලේච්ඡුයි කියලා හිතෙන වර්ගයේ උපක‍්‍රම පාවිච්චි කරනවා. මේ තමයි සූරාකෑම.

දැන් අපි රත්නපුරේ ඇඟලූම් ආයතනයේ දැන්වීමට අදාළ සරල ගණන කම්කරුවන්ගේ පැත්තේ ඉඳලා විසඳලා බලමු.

එක සේවකයෙක් පැය හතක් වැඩ කළොත් ඔහු ආයතනයට උපයා දෙන මුදල රුපියල් 6300ක්. නැවතත් කියන්න ඕන, සේවකයන් වැඩ කරන කාලය මීට වඩා වැඩියි, ඒ නිසා ඔවුන් දිනකට ආයතනයට උපයා දෙන මුදල මීට වඩා වැඩියි කියලා. සේවකයෙක් ආයතනයට දිනකට රුපියල් 6300ක් උපයා දුන්නත් සේවකයකුගේ දිනක වැටුප රුපියල් 800ක් විතර මුදලක්. ඒ කියන්නේ ඉතිරි රුපියල් 5500ම ඔහු ආයතනය වෙනුවෙන් නිපදවන ලාභය. අපි මේක කාලය විදියට ගණනය කරලා බැලූවොත් තවත් පැහැදිලියි. සේවකයෙක් ආයතනයට මිනිත්තුවකට රුපියල් 15ක ආදායමක් උපයනවා නම්, රුපියල් 800ක් උපයන්න ඔහුට වැය වන කාලය මිනින්තු 53ක් 54ක් විතර. අපි හිතමු ඒ කාලය පැයක් කියලා… ඒ කියන්නේ සේවකයෙක් තමන්ගේ වැටුප වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ දවසේ වැඩ කාලයෙන් පැයයි. ඉතිරි මුළු කාලයම, පැය හයක්, හතක් අටක්, ඇතැම් විට පැය දහයක් වැඩ කරලා තියෙන්නේ ආයතනයේ ලාභය වෙනුවෙන්. කාල් මාක්ස් ශ‍්‍රම සූරාකෑම කියලා කිව්වේ මෙන්න මේකට. අහෝසි කරන්න ඕන කියලා කිව්වේ මෙන්න මේ සූරාකෑම.

දැන් ආයතනය කියනවා, ඔවුන්ට ඔය කියන විදියේ ලාභයක් ලැබෙන්නේ නෑ, ඔවුන් ණය වෙලා ඉන්නේ, යන්ත‍්‍ර සූත‍්‍රවලට ගෙවන්න තියෙනවා; විදුලියට ගෙවන්න තියෙනවා; වතුරට සහ තවත් නොයෙක් දේවල්වලට ගෙවන්න තියෙනවා. ඒ ඔක්කොම කරන්නේ ඔය මුදලෙන් කියලා. ඒ කියන එක මුළුමනින්ම සත්‍ය නොවන බව පැහැදිලියි.

අනෙක් අතට ධනවාදය තුළ මේ සියල්ලටම වග කියන්න වෙලා තියෙන්නේ තනි තනි පුද්ගලයන්ට. ඒ නිසා තමයි සමාජවාදය අවශ්‍ය වෙන්නේ. නිෂ්පාදනයේ වගේම එහි ප‍්‍රතිඵලවලත් වගකීම සමාජය සතු වුණාම මේ ප‍්‍රශ්නය විසඳෙනවා. දැන් නිෂ්පාදනයේ වගකීම රහසිගත ලෙස සමාජය මත පටවලා ප‍්‍රතිඵලවල අයිතිය විතරක් ධනපතියා තමන් සතු කර ගෙන තිබෙනවා. මොකද ආයතනය වෙනුවෙන් ගත් ණය ගෙවන්නේ එහි හිමිකරුවා නොවෙයි. ජලයට, විදුලියට ගෙවන්නේ ලීසිං ගෙවන්නේ, තවත් මොනවා හෝ වියදම් තිබෙනවා නම් ඒවා ගෙවන්නේ හිමිකරුවා නොවෙයි, සේවකයා. මොකද, සේවකයා තමන් වෙනුවෙන් පැයක් වැඩ කරද්දී ආයතනයේ නඩත්තුවට හා එහි අයිතිකරුවාගේ ලාභය වෙනුවෙන් පැය හයක්, හතක්, දහයක් වැඩ කරනවා. ඒ ධනවාදය. දැන් අවශ්‍ය වෙන්නේ එහි ලාභයත් සේවකයාගේ අයිතියක් බවට පත් කිරීම. සමාජවාදය කියන්නේ ඒකට.

ජේ.ටී. ගමගේ

Advertisements